මිනිස් ප්‍රජාවේ දෛනික අවශ්‍යතාවන් උදෙසා උසස් ගුණාත්මක තත්ත්වයෙන් ආහාර නිෂ්පාදන අඛණ්ඩව සපුරා ගැනීම අභියෝගාත්මක බව නොරහසකි. විශේෂයෙන්ම කාලගුණික විපර්යාස හමුවේ කෘෂි හා වැවිලි කර්මාන්ත දැඩි අර්බුදයකට මුහුණපා තිබීම මෙම තත්ත්වය වඩාත් තීව්‍රකර තිබේ. එබැවින් උද්ගතවන එම තත්ත්වයන් යටතේ මුහුණදෙන අභියෝග ජයගත හැකි තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීම කෙරෙහි අපි යොමුවිය යුත්තෙමු
වර්තමානයේදී සම්ප්‍රදායික අභිජනන ශිල්පීය ක්‍රම ඇතුළුව ආහාර නිෂ්පාදනය උදෙසා ජීවී ජීවීන් හෝ ජීවීන්ගේ කොටස් වෙනස්කර ශාක හෝ සත්ත්ව නිෂ්පාදන වැඩි දියුණු කිරීම හා විශේෂිත කෘෂිකාර්මික භාවිතයන් සඳහා ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය කිරීම ජෛව නිෂ්පාදන තාක්ෂණය Bio Production Technology ඔස්සේ සපුරා ගැනීමේ පුළුල් ප්‍රවණතාවයක් ලෝකය පුරාම දැකගත හැකිවේ. ඒ උදෙසා ජාන ඉංජිනේරු ශිල්පයේ සොයා ගැනීම් කෘෂි, වැවිලි හා සත්ත්ව කර්මාන්තය තුළට වේගයෙන් ආදේශ කරගනිමින් පවතී.
විශේෂයෙන්ම කෘමි පලිබෝධ සහ රෝග වලට ප්‍රතිරෝධී බෝග විශේෂ ජනිත කර ගැනීමට, සමහර ආහාර බෝගයන්හි ස්වභාවිකව ගොඩනැගෙන විෂ අඩු මට්ටමකට රැගෙන ඒමට, ආහාර පිසීමේ තෙල්වල සංතෘප්ත මේද අඩු කිරීමට සහ ආහාර මගින් ඇතිවන අසාත්මිකතා අවමකර ගැනීමට මෙන්ම ආහාරවල පෝෂ්‍ය පදාර්ථ වැඩිදියුණුකර ගැනීමට දැන් ජෛව තාක්‍ෂණය උපයෝගීකර ගැනේ. ජානමය වශයෙන් වැඩිදියුණු කරන ලද බෝග වලට අමතරව ක්ෂුද්‍රජීවී පැසවීම හරහා ප්‍රතිජීවක නිෂ්පාදනය, සත්ත්ව රෝග සඳහා නව එන්නත් නිපදවීම ඊට තවත් උදාහරණ ලෙස දැක්විය හැකිවේ. එමෙන්ම නව ශාකශාර ඖෂධ නිෂ්පාදනය සඳහා බෝග භාවිතා කිරීම, ලවණ සහිත පස්වල වගා කිරීමට හෝ නියඟ තත්ත්වයන්ට වඩා හොඳින් ඔරොත්තු දීමට හැකියාව ඇති බෝග ප්‍රභේද ජනිතකර ගැනීමට හැකිවීම මෙහිලා විශේෂත්වයෙන් සඳහන් කළ හැකිවේ. ඒ හේතුවෙන් දේශගුණික විපර්යාස මත බෝග නිෂ්පාදන කෙරෙහි වන බලපෑම් අවම කරගැනීමට හෝ අනුවර්තනයවීමට අවස්ථාව උදාවී ඇත. මේ උදෙසා ජෛව නිෂ්පාදන තාක්‍ෂණයෙන් ව්‍යුත්පන්න බෝග ගණනාවක් වගාකරුවන් වෙත දැනටමත් බොහෝ රටවල් හඳුන්වාදී තිබේ. ඒ අනුව අනාගතයේදී ජෛව නිෂ්පාදන තාක්‍ෂණයේ උපකාරයෙන් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර නිෂ්පාදනය වේගවත් වනු ඇත.
විශේෂයෙන්ම ශාක මගින් පසෙහි ඇති දූෂක ද්‍රව්‍යයන්ගේ විෂහරණය කිරීම හෝ පසෙන් දූෂක ද්‍රව්‍ය අවශෝෂණයකර එකතු කිරීම සඳහා ජානමය වශයෙන් ශාක සංවර්ධනය Phytoremediation කෙරේ. මෙම අවස්ථා දෙකේදීම ප්‍රතිඵලය වන්නේ දූෂිත ස්ථානයක පසෙහි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමයි. එමෙන්ම පොසිල ඉන්ධන, ශ්‍රමය, පොහොර සහ ජලය අවම ලෙස භාවිතා කරන කටුක පරිසරවල පවා සශ්‍රීකව බෝග නිෂ්පාදනය කිරීමට පර්යේෂකයන් අවධානය යොමු කරමින් සිටී.
කෙසේ වුවද වාණිජමය භාවිතය සඳහා ජාන ඉංජිනේරු විද්‍යාව හරහා නිපදවන බෝග පාරිභෝගිකයින්ට හෝ පරිසරයට සැලකිය යුතු අවදානමක් නොමැති බවට වග බලා ගැනීම අදාල ආයතනයන්හි වගකීමවේ. මක්නිසාදයත් ජානමය වශයෙන් නිර්මාණය කරන ලද ජීවීන් පිළිබදව සලකා බැලීමේදී විශේෂයෙන්ම කෘමීන් හෝ රෝග ප්‍රතිරෝධක ලක්ෂණ සම්බන්ධයෙන් පක්ෂීන්, ක්ෂීරපායින් හා කෘමීන් මෙන්ම අනෙකුත් ජීවීන් කෙරෙහි ඇතිකරවන අනෙකුත් විභව අවදානම් හා පාරිසරික බලපෑම් සමාලෝචනය කළ යුතුවේ. මක්නිසාදයත් මී මැස්සන් , හිතකර කෘමීන්, හිතකර පාංශු ජීවීන් සහ මාළු වැනි බොහෝ ජලජ ජීවීන් පිළිබඳ අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇතිවීමට ඉඩකඩ නොමැතිබව සහතික කරගත යුතු බැවිනි. ලෝකයේ බොහොමයක් රටවල අපේක්ෂිත භාවිතය අනුව ජෛව නිෂ්පාදන නියාමනය කරනු ලැබේ. සමහර නිෂ්පාදන එකකට වඩා නියෝජිතායතන යටතේ නියාමනය කෙරේ. ක්ෂේත්‍ර පරීක්ෂණ අනුමත කිරීම සහ අවසානයේ අනුමත ජෛව තාක්‍ෂණ බෝග නියාමනය කිරීම ඇතුළු නියාමන තීරණ ක්‍රියාත්මක කිරීම මිනිස් සෞඛ්‍යයට හෝ පරිසරයට අහිතකර ලෙස බලනොපාන බව සහතික කිරීමට එකී සියලුම නියාමන ආයතන වල කාර්යභාරය බව පැවසිය හැක.
එමෙන්ම වර්තමානයේදී සෑම ක්ෂේත්‍රයකටම ආදේශකර ගන්නා සුහුරු තාක්ෂණය කෘෂි, වැවිලි ක්ෂේත්‍ර සහ සත්ත්ව පාලන කර්මාන්තය උදෙසා පහසුවෙන් යොදා ගැනීමට ද හැකියාව පවතී. ඒ අනුව එම තාක්ෂණය පදනම් කරගෙන ගොඩනැගෙමින් පවතින අන්තර්ජාලය මත පදනම් වූ සුහුරු තාක්ෂණය Internet of Things ලොකු කුඩා සෑම වගා බිමකටම මෙන්ම ඒ හා සබැඳි ජෛව නිෂ්පාදන කර්මාන්තයේ බොහෝ අභියෝග ජය ගැනීමට හා ගැටළු නිරාකරණයට සාර්ථක විසඳුමක් ලබාදෙන බව පැවසිය හැක.
බෝග අස්වැන්න වැඩි කිරීමට අපේක්ෂා කරන ගොවින්හට මෙන්ම සත්ත්ව නිෂ්පාදන ව්‍යාපාරයක කාර්යක්ෂමතාව උපරිම කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකුහට වුවත් සුහුරු තාක්ෂණික යෙදවුම් Smart Application ඒ උදෙසා ආදේශකර ගැනීමෙන් අදාළ කටයුතු පහසුවෙන් ඉටුකරගත හැකිවේ. එමෙන්ම ජෛව නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කටයුතු කරන වෙනත් වෘත්තිකයෙකුහට වුවද අභියෝග හමුවේ අන්තර්ජාලය මත පදනම් වූ සුහුරු තාක්ෂණය සමඟ කටයුතු කිරීම වඩාත් හොඳ ප්‍රතිඵල අත්පත්කර ගැනීමට ආධාරයක් වනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනාවැකි අනුව ලොව පුරා වර්ධනය වන ජනගහනයේ ඉල්ලීම් සපුරාලීම සඳහා කෘෂිකාර්මික ඵලදායිතාව 2050 වන විට 200% කින් ඉහළ නංවා ගත යුතුවේ. මේ උදෙසා ඉඩම් පරිහරණය තුළින් පමණක් ජෛව නිෂ්පාදන දෙගුණ කිරීම කළ නොහැකි බව ප්‍රකාශිතය. අප කළයුත්තේ සම්පත් නාස්තිය අවමකර ගුණාත්මක ආහාර නිෂ්පාදනය ප්‍රමාණාත්මකව උපරිම කිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමයි. වැඩිවන ජනගහනයක අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ භෝගවල පෝෂණ අන්තර්ගතය වැඩි දියුණු කිරීම සඳහා කෘෂිකාර්මික ජෛව නිෂ්පාදන තාක්‍ෂණය භාවිත කිරීමට වර්තමානයේ වැඩි නැඹුරුවක් දැකගත හැක.
ඒ උදෙසා ඉහත සදහන් ක්ෂේත්‍ර කටයුතු හැකිතාක් ස්වයංක්‍රීයකරණයට නතු කිරීම වැදගත් ක්‍රියාමාර්ගයක් වන බව පැවසිය හැකිවේ. අන්තර්ජාලය පදනම් කරගත් සුහුරු තාක්ෂණ යෙදවුම් මත අනාගතයේ බොහෝ ව්‍යවසායකයින් ලෝකයේ ජෛව නිෂ්පාදන ක්ෂේත්‍රයේ දිශානතිය වෙනස්කරනු ඇත. එබැවින් කෘෂි, වැවිලි හා සත්ත්ව නිෂ්පාදන කර්මාන්තයේ දී මෙම යෙදවුම් කාර්යක්ෂමව භාවිතා කරන්නේ කෙසේදැයි සොයා බැලීම අප රටේ ගොවිජනතාවට ද ඉතා වැදගත් වනු ඇත. විශේෂයෙන්ම මෙම අංශය තුල පවතින අතිවිශාල නවෝත්පාදන විභවය හේතුවෙන් දැනටමත් මෙම පරිවර්තනය චීනය, දකුණු කොරියාව, ජපානය, තායිවානය හා තායිලන්තය ආදී ආසියාතික රටවල් අත්විඳිමින් සිටියි.
මෙහිදී බහුතරයක් විමසන්නේ ගොවිතැන ස්මාර්ට් කරන්නේ කෙසේද යන්නයි. එයට තාර්කික විසදුම් ලබා දිය හැක්කේ නිරවද්‍ය කෘෂිකර්මාන්තය Precision agriculture යන සංකල්පය මතය. ක්ෂේත්‍රයක සම්පත් භාවිතය ප්‍රශස්ත කිරීම සහ සියලු ක්‍රියාවලීන්හි උපරිම ඵලදායිතාව සහතික කිරීම කෙරෙහි පසෙහි රසායනික ලක්ෂණ සහ පාරිසරික දත්ත විශ්ලේෂණයකර ඒවා හසුරුවාගෙන කටයුතු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ. ඒ අනුව සංවේදක භාවිතාකර ඊට අදාල දත්ත එක්රැස්කර ගැනීම පළමුව සිදුවේ. එසේ රැස්කල දත්ත සැකසීම, විශ්ලේෂණයකර තීරණ ගැනීම හා ඒ අනුව ක්‍රියාත්මකවීමටත් පුරෝකථනය මත අනාගතයට සාර්ථකව මුහුණදීමටත් ගොවියාට මෙන්ම ජෛව නිෂ්පාදන ව්‍යවසායකයිනටද හැකියාව උදාවේ. බොහෝ දුරට කුඩා පරිමාණ ගොවීන්හට සහායවීම උදෙසා මෙම තාක්ෂණ යෙදවුම් භාවිතයට නැඹුරුවීමේ ප්‍රවණතාවය මෙරට හැර අනෙකුත් ආසියාතික රටවල වර්ධනය වීමක් පෙන්නුම් කරයි. ඒ උදෙසා මෙරටට ඇති ලොකුම බාධාව වන්නේ සංනිවේදන කටයුතු උදෙසා 5G ආවරණයක් සෑම පෙදෙසකම නොමැති වීමයි. දෙවැන්න නිවැරදි දැක්මක් ඇති ආර්ථික ප්‍රතිපත්තියක් අපට නොමැතිවීමයි. මෙම අංශ දෙකහි විශ්වාසදායක මැදිහත්වීමක් සිදුවුවහොත් මෙරට ආහාර නිෂ්පාදන අංශයේ අනාගතය අදට වඩා හෙට යහපත් වනු ඇත.
කෝවිඩ් වසංගතය සමයේ ලොව පුරා ශ්‍රම සම්පතින් බොහෝ දුරට බැහැරවූ ස්වයංක්‍රීය දුරස්ථ ගොවිතැන් ක්‍රමවේදයන්ගේ අවශ්‍යතාවය තවදුරටත් ඉස්මතු කළේය. මෙයින් අදහස් කරන්නේ කෘෂිකාර්මික ව්‍යාපාර පුළුල් කිරීම හරහා අස්වැන්න උපරිම කිරීමට ශ්‍රම ශක්තිය වෙනුවට සීමිත සම්පත් භාවිතයේදී නාස්තිය අවම කිරීම උදෙසා ස්වයංක්‍රීයකරණය ඔස්සේ ප්‍රශස්ත පිරිවැය-කාර්යක්ෂමතාව පදනම් වූ ජෛව නිෂ්පාදන ක්‍රමවේදයකට අප අවතීර්ණ විය යුතු බවයි.
කෘෂිකර්මාන්තය සඳහා වන අන්තර්ජාල යෙදවුම් හා භාවිත උපාංග එහි නිෂ්පාදන පිළිවෙත් උදෙසා ආදේශකර ගැනීම ඔස්සේ ජලසම්පාදනය, පොහොර යෙදීම හෝ රෝග හා පළිබෝධ පාලනය වැනි කාලය ගතවන විවිධ පුනරාවර්තන ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණයට නතු කළ හැකිවේ. ඒ අනුව සමස්ත නිෂ්පාදන ක්‍රියාදාමයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට අවස්ථාව උදාවේ. එසේම සත්ත්ව පාලනයේදී පශු සම්පත් අධීක්ෂණ Livestock monitoring කටයුතු වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. එක් එක් සත්ත්වයාගේ පෝෂණ තත්ත්වය, ශරීර උෂ්ණත්වය, රුධිර පීඩනය, ගැවසෙන ස්ථානය සහ වෙනත් බොහෝ පරාමිතීන් පිළිබඳ වෙන් වෙන්ව දත්ත රැස් කිරීමට සුහුරු සංවේදක සහිත කරපටි භාවිතා කළ හැකිය. මේ ආකාරයෙන් සත්ත්ව පට්ටියක් නිරීක්ෂණය කිරීම, උණ ඇති සතුන් සෙසු සතුන්ගෙන් ඉක්මනින් වෙන් කිරීමට හා අයාලේ යන එළදෙනුන් හෝ බැටළුවන් සොයා ගැනීමට වුවද ඒවා ආධාරකරගත හැකිවේ. මෙවැනි භාවිත මගින් නිෂ්පාදන දාමයේ පිරිවැය අවමකරගෙන සත්ත්ව ගොවිපල කාර්ය සාධනය ප්‍රශස්ත කරගැනුමට හැකියාව තිබේ.
මේ අනුව ජෛව නිෂ්පාදනවල පරිමාව වැඩිකරගන්නා අතරම ගුණාත්මක බවින් අඩු නිෂ්පාදන අවමකර ගැනීමෙන් අපතේ යන සම්පත් ප්‍රමාණය අඩුකරගැනීමට හැකියාව ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජෛව නිෂ්පාදන මෙහෙයුම් ක්‍රියාවලියේ දී ඉහළ ලාභාංශයක් ගොවීන් හා ව්‍යවසායකයින් හට අත්පත්කරගත හැකිවේ. එසේම විවිධ සංවේදක ඔස්සේ රැස්කර ගන්නා විශාල දත්ත එකතුවක් Data collection ඔස්සේ තත්කාලීන තොරතුරු Real-time statistics වෙබ් දර්ශන පුවරු Web dashboards හෝ අන්තර්ජාල භාවිත යෙදුම් වෙත සැපයීම හා බෙදාහැරීමෙන් එක් එක් අංශයන්හි ක්‍රියාකාරිත්වය මෙන්ම සමස්ත ඵලදායිතාව පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව උදාවේ.
එමෙන්ම වගා ක්ෂේත්‍රයක සෑම තොරතුරක්ම සුහුරු සංවේදක මගින් අනාවරණය ගැනීමට හා එම සියලු තොරතුරු අදාල යෙදවුම් ඇසුරෙන් මධ්‍යගත ආකාරයෙන් සැකසීමට හා විශ්ලේෂණයට හැකියාව දැන් උදාවී තිබේ. ඒ අනුව අදාල පරාමිතීන් අධීක්ෂණය උදෙසා වන ඒකාබද්ධ මෘදුකාංගයකින් කාර්යයන් කිහිපයක් ඉටුකර ගතහැකිවේ. උදාහරණයක් ලෙස කෘෂිකාර්මික ඩ්‍රෝන යානා ඇසුරෙන් සකසා ගන්නා ලද භූගෝලීය සිතියම් සමඟ චන්ද්‍රිකා ඡායාරූප සංසන්දනය කිරීම ඔස්සේ නිරීක්ෂණය වන දත්ත ඇසුරෙන් ගොවීන්ට බෝග සහ පශු සම්පත් සඳහා කොපමණ භූමි ප්‍රමාණයක් භාවිතයට ගතහැකිද යන්න නිවැරදිව දැනගැනීමට හැකියාව ලැබේ. එමඟින් කුමන බෝග වගා කළ යුතුද එක් එක් බෝගය සඳහා කොපමණ භූමි ප්‍රමාණයක් වෙන්කර ගත යුතුද යන්න තීරණය කිරීමට එම දත්ත උපකාරීවේ.

ඩ්‍රෝන නිරීක්ෂණ Drone monitoring ඔස්සේ භූගෝලීය දත්ත රැස්කිරීම පමණක් නොව පාංශු විශ්ලේෂණයේ සිට ශාක පෝෂණය හෝ පළිබෝධ පාලනය දක්වා පුළුල් පරාසයක කාර්යයන් රැසක් ඒවා ඇසුරෙන් ඉටුකර ගත හැකිය. සුළු පරිමාණ ගොවීන්ට වඩාත් හොඳ සහායක් ඩ්‍රෝන යානා භාවිතයෙන් ලබාගැනීමට ඉඩප්‍රස්ථා විවරව තිබේ. උදාහරණයක් ලෙස ත්‍රිමාණ කෘෂිකාර්මික සිතියමක් මඟින් ගොවීන්ට වල් පැලෑටි හෝ පළිබෝධකයන් සමඟ ගැටලු ඇති විය හැකි ස්ථාන හඳුනාගැනීමට හැකිවීම පෙන්වා දිය හැක. මෙහිදී ගොවීන්ට අවශ්‍ය වන්නේ ක්ෂේත්‍ර දත්ත කිහිපයක් මෙහෙයුම් ජංගම දුරකථනයේ හෝ ටැබ් පුවරුවේ යෙදවුමට ඇතුළත් කිරීම පමණි. ඉන් පසුව ඩ්‍රෝන යානා ස්වයංක්‍රීයව ක්ෂේත්‍ර අධීක්ෂණය සඳහා පියාසර කරවිය හැක. ඒ අනුව කාලගුණය, පළිබෝධ ගහණය, ජල කළමනාකරණය සහ ශාක සෞඛ්‍යය පිළිබඳ දත්ත අඛණ්ඩව සහ මධ්‍යගතව සකසා දෙනු ලබන අන්තර්ජාල මෙහෙයුම් වේදිකා වෙත යොමුකර ලැබේ.
ඒ අනුව පරිඝනක හා වලාකුළු පද්ධති මත පදනම් වූ සංකේතාත්මක ගණිතමය ක්‍රියාපටිපාටියක් Cloud-based algorithmic calculations යටතේ තත්කාලීන ප්‍රවේශය ඔස්සේ ගොවීන්ට කාලගුණය සහ පාංශු තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට සහ පුරෝකථනය කිරීමට හැකි වන අතර එමගින් ඔවුන්ට අවශ්‍ය පියවර ගැනීමට ඉඩකඩ සැලසේ. අවසාන වශයෙන් සුහුරු පාලන ක්‍රම අනුව ජලසම්පාදන පද්ධති සමඟ ඒවා ඒකාබද්ධ කිරීම මඟින් බෝග වගා ක්ෂේත්‍ර වෙත හෝ සතුන්ගේ අවශ්‍යතා සඳහා යොමු කරන ජල ප්‍රමාණය පාලනය කිරීමට හැකියාව ලැබේ. මෙම ක්‍රමවේද හරිතාගාර ගොවිතැනේ දී නිෂ්පාදන සාධක ප්‍රශස්ත කර ගැනුමට ද මහෝපකාරී කරගත හැකිවේ.
විශේෂයෙන්ම අස්වනු නෙළන කාලය තුළ ඕනෑම පද්ධතියක් අකර්මන්‍යවීමෙන් ගොවීන්හට සැලකිය යුතු පාඩු සිදුවිය හැකි බැවින් ඒ සඳහා භාවිතාවන සියලුම උපකරණ නිසිලෙස නඩත්තු කිරීම අවශ්‍ය කෙරේ. අන්තර්ජාල යෙදවුම් මත පදනම් වූ සුහුරු තාක්ෂණය සමඟින් උපකරණ අධීක්ෂණය Equipment monitoring ඔස්සේ ගොවීන්හට තම උපකරණවල නඩත්තු සේවා කටයුතු විධිමත් කරවාගැනීමට සහ අනපේක්ෂිතව පද්ධති අසාර්ථකවීම වළක්වා ගැනීමට ඉඩකඩ සලසයි. මේ අනුව ගොවියෙකු විසින් භාවිතා කරන උපකරණවල විශේෂත්වයට ගැලපෙන පරිදි නිවාරණ අධීක්ෂණ විසඳුම් සකස් කළ යුතු බැවින් ඒ උදෙසා අවශ්‍ය මෘදුකාංග තෝරා ගැනීම ගොවීන්ගේ වගකීමකි. සෑම තත්පරයකම ඔබේ බෝග ක්ෂේත්‍ර හෝ සත්ත්ව පට්ටි පිළිබඳ සංඛ්‍යාලේඛන එකතු කිරීමට ඔබට නියත වශයෙන්ම අවශ්‍ය නොවූවද දත්ත රැස් කිරීමේ සංඛ්‍යාතය නිරවද්‍ය ප්‍රතිඵල ලබාගැනීමට වැදගත්බව සිතන්න. එමෙන්ම උපකරණ අධීක්ෂණය ඔස්සේ තත්කාලීනව දත්ත යාවත්කාලීන කිරීම් කළයුතු බව අවධාරණය කරමි.
එමෙන්ම නිෂ්පාදන ක්‍රියාවලීන් වඩා හොඳින් පාලනය කිරීම Control of production processes උදෙසා අවශ්‍යවන තොරතුරුමත පුරෝකථන සැලසුම් කිරීමට ද හැකියාව ලැබේ. එසේම අන්තර්ජාල යෙදවුම් භාවිතයෙන් කෘෂිකාර්මික බෝග සහ පශු සම්පත් තත්කාලීනව නිරීක්ෂණය කිරීම ඔස්සේ නිෂ්පාදන සම්පත් අපතේයාමේ අවදානම අවම කිරීමට ද හැකියාව උදාකරගත හැකිවේ.
කෙසේ වෙතත් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම දුෂ්කර වුවත් එය අනාගතය ප්‍රතිනිර්මාණය කරන ආයෝජනයකි. එබැවින් ආහාර නිෂ්පාදනය ඉහල නැංගවීම උදෙසා තත්කාලීනව දත්ත හුවමාරුව සහතික කිරීම සඳහා නිවැරදි තාක්ෂණය භාවිතා කිරිම කෙරෙහි අප ඉක්මනින් යොමු විය යුතුබව පෙන්වා දිය හැක. ඒ අනුව සන්නිවේදන ජාල හරහා සංවේදක මෘදුකාංග සහ වෙනත් තාක්ෂණික උපාංග සහ පද්ධති සමඟ සම්බන්ධවී භෞතික වස්තූන් පිළිබඳ වූ තත්කාලීන හා පූර්ව එක්රැස්කරගත් දත්ත හුවමාරු කිරීම ඔස්සේ ගොඩනැගෙන Internet of Things කෘෂි, වැවිලි හා සත්ත්ව නිෂ්පාදන අංශයන් වෙත ආදේශකර ගැනුම අපේ රටට ද වැදගත්බව පැවසිය හැකිවේ.
එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ
(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලගුණ විද්‍යා නිරීක්ෂකයෙකු ලෙස වසර 03 ක්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වූ අඹේපුස්ස, වල්පිට හා හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ත්‍රිත්වයෙහි වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස සේවයකර තිබේ. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම) හා වසර 2000 සිට 2021 දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාරමත අවස්ථා දෙකකදී ද ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත.)