අප මේ ගෙවෙන්නේ, රටක ආර්ථික, සමාජීය සහ භෞතික සංවර්ධනයට බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකයක් බවට, දේශගුණ විපර්යාස පත් වෙමින් තිබෙන කාල පරිච්ඡේදයකි. නිසි කලට වැසි ලැබීම යන සංකල්පය බැහැර වී, ඕනෑම මොහොතක රට තුළ හදිසි ගංවතුර, නායයෑම්, දැඩි වියළි කාලගුණ තත්ත්වයන් සහ සුළි කුණාටු ඇතිවිය හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, ගෝලීයව ද අපට උදාහරණ එමටය. එම නිසා අපට තවදුරටත් පෙර කළ ආකාරයටම සංවර්ධන කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
රටේ ආර්ථිකයට, ජන ජීවිතයට දැඩි බලපෑමක් සහිත පසුබිමක් නිර්මාණය කිරීමට දේශගුණ විපර්යාසවලට හැකි වී ඇති පසුබිමක, ඒ පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව රටක් ලෙස අපව ඒ සඳහා යොමු කරවයි. පසුගියදා කොළඹ දී පැවති දෙදින සමුළුවේ දී මේ පිළිබඳ විවිධ විද්වත් අදහස් පළ විය. එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශක සහ වරලත් නගර සැලසුම් ශිල්පී, රොහාන් කුරේ දැක්වූ අදහස් මෙසේය.
“ඔබට හොඳ දේශගුණික අවදානම් අවම කිරීමේ සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට අතහිත දෙන ආයෝජන සැලැස්මක් තිබේ නම්, එය රට තුළ ආයෝජන අවස්ථා වැඩිදියුණු කරන අතර, ආයෝජකයින් ඒ සඳහා ආයෝජනය කරනු ඇත. අවදානම් සහිත දේශයකට කිසිවකු නොඑන බැවින් දේශගුණික විපර්යාස යන ප්‍රබල කාරණය සංවර්ධන සැලසුම් සකස් කිරීමේදි, ක්‍රියාත්මක කිරීමේදි සහ ආයෝජනය කිරීමේ සැලසුම්වලට අන්තර් ග්‍රහණය කිරිම අතිශය වැදගත්.
2017, 2018 සහ 2019 සඳහා වන ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ඇති රටක් ලෙස ඉස්මතු කරමින්, ඉහල දේශගුණික අවදානමක් ඇති රටවල් දහය අතරට ශ්‍රේණිගත විය. එවැනි පසුබිමක් තුළ දේශගුණික අවදානම සමාජ, ආර්ථික සහ භෞතික සංවර්ධන සැලසුම්වලට ඇතුළත් කිරීමෙන් ආයෝජනවල කාර්යක්ෂමතාවයද ඉහළ නංවනු ඇත.
ආයෝජකයින් සෑම විටම පිරිවැය සලකා බලන අතර, ඔවුන් ශ්‍රී ලංකාව දේශගුණ අවදානමට ලක්විය හැකි රටක් බව එහිදී දකිනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගේ ආයෝජන සඳහා මූල්‍ය සැලසුම් සකස් කිරීමේදි රක්ෂණ වාරික සඳහා ගෙවිය යුතු පිරිවැය වැඩිවනු ඇත. මෙම තත්ත්වයන් යටතේ ආයෝජකයින් පැමිණීමට උනන්දු වනු ඇතැයි සිතීමට හැකිද? මේ එක පැත්තක් පමණයි. මේ ආයෝජන සෑම විටම මූල්‍යමය ආයෝජන පමණක් ම වන්නේ නැහැ. දිගු කාලීනව රටට ප්‍රතිලාභ අත්කර දෙන ව්‍යාපෘතීන් ද විය හැකියි. රටක දිගු කාලීන යහ පැවැත්ම සඳහා කෙරෙන ව්‍යාපෘතීන් ඒ රටේ අනාගතය කෙරෙහි ඍජු බලපෑම් ඇති කරන නිසා. මේ කිසිවක් අපට බැහැර කරන්නට බැහැ.
රටවල් හයකට ADB තාක්ෂණ සහාය
2018 දී ආසියානු සංවර්ධන බැංකුව (ADB) දකුණු ආසියානු කලාපයේ රටවල් හයක් අරමුණු කරගෙන තාක්ෂණ සහාය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළා. එහි මූලික අරමුණ වූයේ කාබන් අවම සංවර්ධන ක්‍රියාමාර්ග සහ දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ තාක්ෂණික සහාය, ඒ රටවල් හයට ලබා දීමයි.
මේ තාක්ෂණික සහාය ලබාදීමේ වැඩසටහන්වල මූලික අරමුණ වූයේ ඒ අදාළ රටවල දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව අරමුණු කරගත් විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති හඳුනා ගැනීම, ගැටලු අවම කිරීමේ සහ ඊට අනුගත වීමේ විසඳුම් ලෙස ඒ අදාළ විසඳුම් ආයෝජන සැලසුම් ලෙස ඉදිරිපත් කිරීම යි. වැදගත්ම දේ මේ හඳුනාගත් විසඳුම් ඔවුන් භාවිත කරන්නේ ජාතික දේශගුණ විපර්යාස අවම කිරීම සහ අනුහුරුගතවීම සඳහා ආයෝජන සැලැස්මක් සකස් කිරීම සඳහා දේශගුණ විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම කියන කාරණාව මත පදනම්වයි. තවත් ආකාරයකට පැවැසුවොත් ජාතික ඒකාබද්ධිත දේශගුණ ප්‍රතිචාරාත්මක ආයෝජන සැලසුමක් ඉදිරිපත් කිරීමයි. එනම් දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දිය හැකි සංවර්ධන ආයෝජන හඳුනා ගැනීම යි. මොකද අපේ රටේ ඕනෑ තරම් සැලසුම් මීට පෙරත් සකස් කර තිබෙනවා. නමුත් ඒවා හැම එකක්ම ආයෝජන සැලසුම් හෝ කඩිනමින් ආයෝජනය කළ හැකි සැලසුම් නොවෙයි. සමහර ඒවා උපායමාර්ගික සැලසුම්. සමහර ඒවා ප්‍රතිපත්තිමය කාරණාවලට අදාළ මාර්ග සිතියම්. තවත් සමහර ඒවා ක්‍රියාකාරී සැලසුම්. සමහර ඒවා ප්‍රතිපත්ති රාමුගත සැලසුම්.
ඒ නිසා තමයි අපට සිදුවූයේ, දැනටමත් සකසා ඇති ජාතික සැලසුම් නැවත විමර්ශනය කර, ඒ විශ්ලේෂණ තුළින් හඳුනා ගත් ක්‍රියාකාරකම් සහ විසඳුම් දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දීමේ සහ අනුගත කිරීමේ වැඩසටහන් බවට පත් කරගන්න පුළුවන්ද කියන කාරණාව මූලික වටයේ දී සලකා බලන්න. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය යටතේ සිදු කෙරෙන ප්‍රධානම කාර්යය නම් දැනටමත් සකස් කොට ඇති ජාතික අනුහුරුගතවීමේ සැලසුම, ජාතික භෞතික සැලසුම, ගෝලීය උණුසුම අවම කිරීම සඳහා සකසා ඇති ජාතික අභිමතාර්තයන් (nationally determined contributions) සහ ඉලක්ක ඇතුළත් ක්‍රියාකාරී සැලසුම, කාබන් ශූන්‍ය කිරීමේ මාර්ග සිතියම වැනි විවිධ සැලසුම් මේ වනවිට විද්වත් මණ්ඩලයක් විසින් විශ්ලේෂණය කරමින් සිටින්නේ. මේ ජාතික සැලසුම හදන්නේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සහ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලයේ අධීක්ෂණය සහ මාර්ගෝපදේශවලට අනුව. ඊට අමතරව, අප බලාපොරොත්තු වනවා, ලංකාවේ දේශගුණ විපර්යාස අවදානම් පැතිකඩ යාවත්කාලීන කර, පරිසර අමාත්‍යාංශය යටතේ තිබෙන දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයට බාර දෙන්නත් .
ආර්ථිකයට බලපෑම් කරන දේශගු ණික විපර්යාස
රටේ ආර්ථික සහ සංවර්ධන ක්‍රියාවලියට බලපෑම් ඇතිකරන ප්‍රබලම සාධකය දේශගුණික විපර්යාස යැයි කීම පොදු මහජනතාවත් හොඳින් වටහා ගත යුතු කාරණයක්. ගංගා, වැව් පොකුණු සහ කලපු කේන්ද්‍ර කරගත් පරිසරය, වෙරළබඩ හා ගංගා ආශ්‍රිත පරිසර පද්ධති ව්‍යාප්තිය, පුරාවිද්‍යා, වනජීවී හා ජෛව විවිධත්වය ඇතුළු ඉතා විශාල පරාසයක විහිදුණු, සංවර්ධන ක්‍රියාවලියේදී ස්පර්ශ වන සෑම අංශයක් ම මේ බලපෑමට යටත්. මේවා පරිහරණය සහ භුක්ති විඳීමේදී තම තමන් කෙරෙහි වූ සමාජ වගකීමත් පුරවැසියන් තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. මේ සෑම අංශයකම වගකීම අදාළ ආයතනවලට වගේම, තනි තනිව පුරවැසියන් කෙරෙහිත් තිබෙනවා.
කෙසේ වෙතත් රටට බලපාන ආර්ථිකය පැත්තෙන් ගත් විට, 2016 දී ශ්‍රී ලංකාව අත්සන් කළ පැරිස් දේශගුණ ප්‍රති ප්‍රඥප්තිය අමතක කරන්නට බැහැ. ඒ සඳහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කර අවසන්. 2021 වසරේ දී, ගෝලීය දේශගුණ සමුළුවට අප රටක් ලෙස අපගේ ජාතික අභිමතාර්ථ සහ දායකත්ව ඉලක්ක ඉදිරිපත් කළා. ඊට අනුව, 2030 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය තුළින් ජනනය කරන බවට අප රාජ්‍යයක් ලෙස සහතික වී තිබෙනවා. ඊළඟට 2050 වන විට කාබන් ශුන්‍ය සංවර්ධන ක්‍රියාවලියකට අවතීර්ණ වන බවටත් එකඟ වී තියෙනව. ඊළඟට, අපේ රටේ වන වැස්ම 29.7% සිට 32% දක්වා ඉහළ නංවන්නටත් අප එකඟ වී තිබෙනවා. ඒ එකඟතාවලට අනුව තමයි, රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ මේ ඉදිරි සැලසුම් සකස් වන්නේ. ඒ සඳහා තාක්ෂණික සහ විශේඥ සහාය ලබා දෙන්න ආසියානු සංවර්ධන බැංකුව සූදානම්.
කාරණාව දේශගුණ විපර්යාස අවම කරන්න ඕනේ, සංවර්ධන ක්‍රියාවලියත් එක්ක ඒකාබද්ධවයි. මොකද, මේ සංවර්ධන ක්‍රියාවලියේ නොවිසඳුණු ගැටලු තමයි දේශගුණ විපර්යාස බවට පත්ව තිබෙන්නේ. එය, 1860 කාර්මික පුනරුදයත් සමඟ ඇති වූ දීර්ඝකාලීන ගැටලුවක ප්‍රතිඵලයක්.
සංවර්ධනය යනු කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, බලශක්තිය, වනාන්තර, ධීවර, නගර සැලසුම්කරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, කර්මාන්ත, පශු සම්පත්, මානව ජනාවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, සංචාරක සහ විනෝදාස්වාද, ජලය, වාරිමාර්ග පද්ධති… ඇතුළු සෑම අංශයක ම එකතුවක්. මේ කියන සංවර්ධනයේ සියලුම අංශවලට දේශගුණික විපර්යාස බලපානවා.
විශේෂයෙන් අපේ ප්‍රධාන ආර්ථික කටයුතුවලින් එකක් වන කෘෂි කර්මාන්තය ගත් විට ඊට තේ, පොල්, රබර්, වී ගොවිතැන, ධීවර, සත්ත්ව පාලනය ඇතුළු පශු සම්පත් කර්මාන්තය… කියන සෑම අංශයකට ම දේශගුණ බලපෑම් එල්ල වනවා. ඉතින් අපේ කෘෂිකර්මාන්තය කොහොමද මේ දේශගුණික විපර්යාසවලට අනුගත සුහුරු කෘෂි කර්මාන්තයක් බවට පත්කරන්නේ කියන එක විශාල අභියෝගයක්. ඒ සඳහා සුහුරු දේශගුණික කෘෂිකර්මාන්තය කියන සංකල්පය කෙරෙහි අවධානය යොමුකළ යුතු වනවා. එහිදී ඒකාබද්ධිත ජල සම්පත් කළමනාකරණය සහ නව තාක්ෂණය සමඟ කෙරෙන කෘෂි කර්මාන්තයකට යා යුතුයි කියන දේ අප බලාපොරොත්තු වනවා. රටක් ලෙස අපට උදාවී තිබෙන්නේ අලාභ පියවා ගෙන යා යුතු ඉදිරි ආර්ථික ගමනක් නිසයි…”
ඉනෝකා පෙරේරා බණ්ඩාර
උපුටා ගැනීම – සිළුමිණ