SMEs Guide SL: විජලනය කළ පලතුරු සහ එළවළු ඇසුරුම්කර සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගමු

විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය හා රසය ඒ ආකාරයෙන්ම රඳවා ගෙන අවශ්‍ය අවස්ථාවක දී පරිභෝජනය කිරීමට පහසු නිෂ්පාදන ලෙසින් වෙළපොල වෙතින් සපයාගත හැකිනම් කොතරම් සහනයක්ද?.

එයට කදිම විසඳුමක්, විජලනයකර සකසන ලද /  Dehydrated and Processed  එළවළු හා පලතුරු වෙතින් සපයාගත හැකි වේ. විශේෂයෙන්ම අධික තාපයට හෝ කල්තබා ගන්නා රසායනික ද්‍රව්‍ය  ප්‍රමාණිකව අන්තර්ගතකර සකසන ලද ආහාර මෙන් නොව, විජලනය කිරීම ඔස්සේ ආහාර නිෂ්පාදනයේ දී ඒවායෙහි ඇති විටමින්, ඛනිජ ලවණ සහ එන්සයිම එලෙසින්ම රැකගැනීමට හැකියාව පවතී. මෙයින් පැහැදිලි වන්නේ පාරිභෝගිකයාට වසර පුරා ඔවුන්ගේ ප්‍රියතම එළවළු හා පලතුරු වල සැබෑ රසය භුක්ති විඳීමට අවස්ථාව උදාකරගත හැකි බවයි.

කෙසේ වුවද එදිනෙදා ජීවිතයේ කාර්යබහුලවීම හා සීමිත ඉඩකඩ සහිත ගෘහස්ථ පරිසරය හේතුවෙන් බොහෝ පිරිසකට නිවසේ දී ඉක්මනින් ආහාර පිළියෙළ කරගැනීම වඩාත් අභියෝගාත්මක වේ. එවැනි ජීවන රටාවකට අනුගතවූ සැමට පිසීමේ පහසුව මෙන්ම පරිභෝජනයේදී රසවත් බවක් ද මෙලෙස සැකසූ ආහාර ඔස්සේ භුක්ති විඳීමට ඉඩකඩ සැලසේ.

මින් බැහැරව, විජලනය කළ එළවළු හා පලතුරු සංයුක්ත / Compact ආකාරයට සහ සැහැල්ලු ලෙස නිෂ්පාදනය කිරීමට ද හැකියාව තිබේ. එහෙයින් එම ආහාර ද්‍රව්‍ය ඔබ මොබ රැගෙන යාමට ද පහසු වේ. විනෝදය උදෙසා කඳවුරු බැඳීමේදී, කඳු නැගීම විනෝද චාරිකා හෝ ප්‍රයසම්භාෂණ වැනි එළිමහන් ක්‍රියාකාරකම් හිදී වඩාත් පහසුවෙන් ඒවා පරිභෝජනයට ගතහැකි වේ. විශේෂයෙන්ම විජලනය කළ එළවළු සුප්, ස්ටූ, සලාද සහ / Fruit Smoothie ලෙසින් විවිධ කෑම වට්ටෝරු සමගින් භාවිතා කළ හැකිවේ. එමගින් ආහාර වේලට රසය සහ පෝෂණය පහසුවෙන්ම එක් කරගත හැකි වේ.

විශේෂයෙන්ම විජලනය කළ එළවළු සුප්, ස්ටූ, සලාද සහ / Fruit Smoothie ලෙසින් විවිධ කෑම වට්ටෝරු සමගින් භාවිතා කළ හැකිවේ. එමගින් ආහාර වේලට රසය සහ පෝෂණය පහසුවෙන්ම එක් කරගත හැකි වේ.

විශේෂයෙන්ම ඉක්මනින් පිළියෙළ කළ හැකි සුප් වර්ග, කෙටි ආහාර, ක්ෂණික නූඩ්ල්ස් සහ වෙනත් ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන උදෙසා විජලනය කළ එළවළු පැකට් අඩංගුකර ඇති ආකාරය ඔබ දැක ඇත. එහි එක් ප්‍රතිඵලයක් වන්නේ, විජලනය කළ විවිධ ආහාර විකල්පයන් කෙරෙහි පාරිභෝගිකයින් තුළ නිරායාසයෙන්ම  ආශාව ජනිත කරවීම යී. මෙම තත්වය දේශීය වශයෙන් විජලනය කරන ලද ආහාර අලෙවියේ පරිමාව පුළුල් කිරීමට ද ඉවහල්වන ප්‍රවණතාවයකි.

පලතුරු සහ එළවළු විජලනය කිරීම / Dehydration අප අසා දැක ඇති පැරණිතම ආහාර කල් තබා ගැනීමේ ක්‍රමවේද වලින් එකකි. ඒ උදෙසා විවිධ ක්‍රියාවලි උපයෝගීකරගත හැකි වේ. මූලික වශයෙන් මෙම ක්‍රියාවලීන් වෙනස් වන්නේ භාවිතා කරන වියළුම් ක්‍රමවේද හා යන්ත්‍රෝපකරණ මත වන අතර එය එළවළු හා පලතුරු වර්ගය සහ අවසාන නිෂ්පාදනයේ අපේක්ෂිත ලක්ෂණ මත රඳා පවතී.

ඇතැම් අවස්ථාවලදී ඔබ මෙවැනි යන්ත්‍ර දැක ඇතුවාට සැක නැත. මේ ආකාරයට පාරිභෝගිකයා වෙත එළවළු හා පලතුරු සැපයීමට ඔබට ද අවස්ථාව උදාකර ගැනීමට හැකියාව පවතී. ඒ අනුව විජලනයකර සකසා ඇසුරුම්කර ලද එළවළු හා පලතුරු වෙළඳපොලට ඉදිරිපත් කිරීමේදී ඒවායෙහි එකතුකල අගය වැඩිකර ගැනීමට ද අවස්ථාව සැලසේ. ඒ හේතුවෙන් අලෙවිකරන එළවළු හා පලතුරු සඳහා ස්ථාවර මිලක් වසර පුරාම පවත්වාගෙන යා හැකි වේ. ඒ මත හොඳ ආදායම් මාර්ගයක් ඔබට පහසුවෙන් උදාකරගත හැකි වේ. එහෙයින් විජලනය කළ එළවළු හා පලතුරු නිෂ්පාදනය කිරීම ඔස්සේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමුවන නව ව්‍යවසායකයින් සඳහා මෙය කදිම ආයෝජනයක් බව පෙන්වා දෙමු.

වර්තමානය වනවිට විජලනය කරන ලද එළවළු පැකට් හා පලතුරු බෝතල, ටින් හා කෑන් මෙරටට ආනයනයකර රටපුරාම බෙදාහරින ආකාරයක්ද දැකගත හැකි වේ. එහෙත් විජලනය කරන ලද දේශීය ආහාරවල ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමත් සමඟ ක්ෂණික / Instant සහ පහසුවෙන් පිළියෙළ කරගතහැකි / Ready-to-cook ආහාර ද්‍රව්‍ය කෙරෙහි පාරිභෝගිකයින්ගේ අවධානය යොමුවීමේ ඉහළ විභවයක් ද පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම මෙවැනි නිෂ්පාදන අලෙවිය උදෙසා  ඇතැම්  සිල්ලර හා සුපිරි වෙළඳසැල් ඔස්සේ මෙන්ම ආහාර ප්‍රදර්ශණ අවස්ථාවන්හි වැඩි ඉඩප්‍රස්ථා ඔබට ලබාගැනීමට ද අපහසු නොවේ. එහෙයින් මෙය කුඩා ව්‍යාපාරයක් / Small Scale Entrepreneur ලෙස ගෘහස්ථව අරඹා අනුක්‍රමයෙන් මධ්‍ය හා මහ පරිමාණ / Medium and large scale වශයෙන් වෙළඳපොළ අතික්‍රමණය කිරීමට හැකියාව ඇති වඩාත් පහසු ව්‍යවසායකත්ව අංශයක් බව අවධාරණය කරමු.

කෙසේ වුවද මෙවැනි ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කිරීමට යොමුවන ඔබ, ඒ පිළිබඳව යම් ප්‍රමාණාත්මක පූර්ව අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත් බව පවසමි. ඒ අනුව ඔබගේ ව්‍යවසායකත්ව අරමුණ සාක්ෂාත්කර ගැනීමට මෙහි ඉදිරිපත්කරන කරුණු ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරමු.

සාමාන්‍යයෙන් ආහාර විජලනය කිරීමේ යන්ත්‍රයක් තුළ දී සිදුවන්නේ උෂ්ණත්වය, වාතය ගලායාම / Air Flow සහ ආර්ද්‍රතාවය / Humidity පාලනය කිරීම ඔස්සේ ආහාර ද්‍රව්‍ය තුළ අන්තර්ගත තෙතමනය වාෂ්පකර බැහැර කිරීමයි. ඒ උදෙසා විජලන යන්ත්‍රයක විදුලි හීටරයක් හෝ ගෑස් දහනය කරන තාපන ප්‍රභවයක් උපයෝගීකර ගැනේ. එමගින් යන්ත්‍රය තුළට ඇදගන්නා පිරිසිදු වාතය උණුසුම් කරවයි. එම උණුසුම් වාතය විදුලි පංකාවක් හෝ බ්ලෝවරයක් / Blower භාවිතකර විජලන යන්ත්‍රයේ වියළන කුටියට යොමුකර ඒ තුළ උණුසුම් වාතය / Hot Air සංසරණය / Circulation වීමට සලස්වයි.

එලෙස විජලන යන්ත්‍රයක් තුළට යොමුකරන උණුසුම් වාතයේ උෂ්ණත්වය යෝග්‍ය පරිදි අඩු වැඩි කිරීමට උෂ්ණත්ව පාලකයක් / Temperature Control උපයෝගීකර ගැනේ. ප්‍රශස්ත වියලීමේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා විවිධ ආහාර වර්ගවලට විවිධ උෂ්ණත්ව පරාසයන් බලපාන බැවින් මෙවැනි උපාංගයක අවශ්‍යතාව වඩාත් ඉස්මතු වේ. උෂ්ණත්වය පාලනය කිරීමෙන්, විජලනයේදී ආහාර අධික ලෙස රත් වීම / Overheating හෝ අධික ලෙස පිසීම / Overcooking වළකාගැනීම සඳහා සුදුසු පරාසයන් තුළ වාතයේ උණුසුම පාලනය කිරීමට එමගින් හැකියාව ලැබේ.

සමහර උසස් තත්වයේ ආහාර විජලන යන්ත්‍ර තුළ ආර්ද්‍රතා පාලන / Humidity Control උපාංගයකින් ද සමන්විත වේ. වියළන කුටිය තුළ ඇති ආර්ද්‍රතා මට්ටම නිරීක්ෂණය කිරීමෙන්, වියළීමේ ක්‍රියාවලියේදී පාලිත තෙතමනය ප්‍රතිශතය සහතික කිරීම සඳහා ආර්ද්‍රතා මට්ටමේ පවත්වා ගැනීමට එය සීරුමාරුකර තැබීමට හෝ ස්වයංක්‍රීයව සීරුමාරුවන ලෙස සැකසීමට හැකියාව තිබේ. මෙම උපාංගයේ ක්‍රියාකාරිත්ව යටතේ විජලනයේදී ආහාරමත සිදුවන අධික වියළිබව  / Too Dry හෝ තෙත් වීම / Too Moist වළක්වා ගැනීමට හැකියාව සැලසේ.

එමෙන්ම විජලන යන්ත්‍රය තුළ රඳවා ඇති සිදුරු සහිත රාක්ක / Mesh Shelves හෝ තැටි / Trays මත තබන ආහාර අතරින් උණුසුම් වාතය ඒකාකාරව සංසරණය වීමට සලස්වා ඒවායේ තෙතමනය / Moisture අවශෝෂණය කරගෙන වාෂ්පීකරණය / Vaporization ඔස්සේ ඉවත්කර ගැනේ. මීට අමතරව, වියළීම ඒකාකාරව සාක්ෂාත් කරගැනීම සඳහා වියළුම් කුටිය තුළ වායු ප්‍රවාහය තුලනයකර පතුරවා හැරීමට ඒ තුළ වූ බ්ලෝවර හෝ පංකා තවදුරටත් උපයෝගිකර ගැනේ. ඒ අනුව විජලන යන්ත්‍ර තුළ පාලිත පරිසරයක් අපට නිර්මාණය කරගත හැකිවේ. වියලීමේ මෙම ක්‍රියාවලිය මගින් ආහාර ද්‍රව්‍යයන්ගේ වයනය Texture සහ පෝෂණ ගුණය / Nutritional Value ආරක්ෂා කරගතහැකි අතර ඒවා පරිභෝජනයට ගතහැකි ආයු කාලය ද දීර්ඝ කරගැනීමට හැකියාව උදාකෙරේ.

ආහාර කල් තබා ගැනීම විජලනය සඳහා මූලික හේතුව වුවද, එමගින් පාරිභෝගිකයා අතට පත්කරන අවසාන නිෂ්පාදනයේ බර සහ පරිමාව අඩුවීම මත ඇසුරුම්කර තැබිමේදී, ගබඩා කිරීමේදී සහ ප්‍රවාහනය කිරීමේ දී නිෂ්පාදකයා කෙරෙහි බලපාන මෙහෙයුම් පිරිවැය ද අඩු කරගත හැකි වේ. එළවළු හා පලතුරු නිෂ්පාදන අස්වැන්න ප්‍රමාණාත්මකව අඩුවන සහ වැඩිවන කාලවලදී ඵලදායී ලෙස වෙළඳපොල නියාමනය කිරීමට මෙවැනි නිෂ්පාදන උපකාරී වේ.

කෙසේ වෙතත්, විවිධ එළවළු හා පලතුරු සඳහා වියළන වේලාවන්, උෂ්ණත්ව ප්‍රමාණයන් සහ ආර්ද්‍රතා සීරුමාරු කිරීමට / වෙනස් කිරීමට අවශ්‍ය වනු ඇත. එබැවින් ආහාර විජලන යන්ත්‍රයක් භාවිතා කිරීමට පෙර එයට අදාල නිෂ්පාදකයාගේ අත්පොත / Product Manual සහ නිර්දේශිත මෙහෙයුම් මාර්ගෝපදේශ Operating Guidelines කියවා තේරුම් ගැනීමට අමතක නොකරන්න.

විශේෂයෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පළතුරු හා එළවළු වියළන / විජලන උදෙසා භාවිත කළ හැකි යන්ත්‍ර, ගෘහ හා කාර්මික වර්ග ලෙස මාදිලි කිහිපයකින් නිපදවා වෙළඳපොලට හඳුන්වා දී තිබේ. ඔබගේ යෝජිත ව්‍යාපාරයේ පරිමාමිතික ස්වරූපයට අදාලව ඒවා තෝරා ගැනීම උචිත බව සඳහන් කරමු. ඒ අනුව ඔබ යොමුවීමට අදහස් කරන්නේ මධ්‍යම ප්‍රමාණයේ ආහාර සැකසුම් ව්‍යාපාරයක් සඳහා නම් ඒ උදෙසා / Commercial Fruits and Vegetables Dryer Machine භාවිතයට ගැනීම වඩාත් සුදුසු වනු ඇත. විවිධ ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණ වලින් කාර්යක්ෂමව වියළීමට එවැන්නකට හැකියාව තිබේ. ඉහළ ධාරිතාවකින් යුත් ආහාර සැකසුම් කම්හල් සඳහා නිර්මාණයකර ඇති Industrial Fruits and Vegetables Dryer Machine මහා පරිමාණ නිෂ්පාදන අවශ්‍යතා පිරිමසාලන හෙයින්, වියළි පලතුරු හා එලවළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් එකවර සැකසීමට බලාපොරොත්තුවන විශාල ව්‍යාපාර සඳහා මෙවැනි යන්ත්‍ර  හොඳම විකල්පය වනු ඇත.

විවිධ ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණ වලින් කාර්යක්ෂමව වියළීමට එවැන්නකට හැකියාව තිබේ. ඉහළ ධාරිතාවකින් යුත් ආහාර සැකසුම් කම්හල් සඳහා නිර්මාණයකර ඇති Industrial Fruits and Vegetables Dryer Machine මහා පරිමාණ නිෂ්පාදන අවශ්‍යතා පිරිමසාලන හෙයින්, වියළි පලතුරු හා එලවළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් එකවර සැකසීමට බලාපොරොත්තුවන විශාල ව්‍යාපාර සඳහා මෙවැනි යන්ත්‍ර  හොඳම විකල්පය වනු ඇත.

එමෙන්ම අඛණ්ඩව සහ වරින් වර ආහාර ද්‍රව්‍ය වියළීමට උමං වර්ගයේ පළතුරු වියළන යන්ත්‍ර / Tunnel Type Fruit Drying Machine භාවිත කළ හැකිවේ. විශාල පරිමාණයෙන් ආහාර  නිෂ්පාදනය කරන ව්‍යවසායන් සඳහා මේවා වඩාත් සුදුසු වේ. මෙම යන්ත්‍ර ඇසුරෙන් නිෂ්පාදනයේ, පෝෂණ සංරචක සහ වර්ණය උපරිම ලෙස රඳවා තබා ගනිමින් එළවළු හා පලතුරු වියළා ගත හැකිය. ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුතු වියළීමේ යන්ත්‍ර විශේෂයක් ලෙස මේවා හඳුන්වා දිය හැකියි.

අඩු නිෂ්පාදන පරිමාවක් සහිත කුඩා ව්‍යාපාරයක් ලෙස විජලනය කළ පළතුරු හා එළවළු නිෂ්පාදන සැකසීම සඳහා යොමුවන ඔබට ගෘහ ආශ්‍රිතව භාවිත කලහැකි කුඩා වියළන යන්ත්‍ර ඒ උදෙසා උපයෝගීකර ගැනීම වඩා උචිත වේ. ඒ අනුව ගෘහස්ථයේ සිට කුඩා පරිමාණයෙන් නිෂ්පාදන සැකසීම උදෙසා සංයුක්ත මයික්‍රෝවේව් උඳුන්  Microwave Dryer විශේෂය භාවිත කිරිම වඩා පහසු වේ. මෙහිදී ආහාර ඉක්මනින් හා ඒකාකාරව වියලීමට මයික්‍රෝවේව් විකිරණ උපයෝගීකර ගැනේ. එය වියළීමේ කාලය සැලකිය යුතු ලෙස අඩු කරන අතර ආහාරවල රසය ද නොවෙනස්ව රැකගත හැකි වේ.

වියළි ආහාර සඳහා ඉහළ යන ඉල්ලුම හමුවේ වියළන හා විජලනය කළ ආහාර සැකසුම් තාක්‍ෂණ යන්ත්‍ර උදෙසාවන වෙළඳපොළ ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතී. එසේ වුවද ඉහත සදහන් බොහෝ ආහාර වියළන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම බල විදුලිය මත රඳා පවතී. එහෙත් සූර්ය වියළන යන්ත්‍ර Solar Powered Dryer ඇසුරෙන් එළවළු හා පලතුරු සහ මස් පවා පහසුවෙන් වියළා ගත හැකිය. මෙම වියළන යන්ත්‍ර සූර්ය ශක්තිය අවශෝෂකර තාපශක්තිය බවට පරිවර්තනය කිරීම සඳහා ලෝහ පුවරු ඇසුරුකර ගන්නා අතර යන්ත්‍රයේ අනෙකුත් උපාංග ක්‍රියාකරවිමට, සූර්ය පැනල Solar Panels ඇසුරෙන් නිපදවන විදුලිය බලය භාවිතා කෙරේ.

විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ භාවිත සඳහා විවිධ මෝස්තර සහ වින්‍යාසයන්ගෙන් යුතුව සූර්ය වියළන යන්ත්‍ර Solar Dryer නිපදවනු ලැබේ. සෘජු සූර්ය වියළුම් යන්ත්‍ර Direct Solar Dryers සහ වක්‍ර සූර්ය වියළන යන්ත්‍ර Indirect Solar Dryers ලෙස මොස්තර දෙකකින් මේවා දැනට සපයාගත හැකි වේ. සූර්ය වියළුම් යන්ත්‍රයක් පරිසර හිතකාමී වන අතර ක්‍රියාත්මකවීමට අඩු බලශක්තියක් වැයවන හෙයින් මෙම ක්‍රමවේදය වඩාත් ලාභදායී ප්‍රවේශයක් බව පෙන්වා දෙමි. මේ අනුව ව්‍යවසායකයින්ගේ ඇණවුම් අවශ්‍යතා මත මෙවැනි යන්ත්‍ර නිෂ්පාදනයකර සපයන ආයතන මෙරට මෙන්ම ඉංදියාව, තායිලන්තය, ජපානය, චිනය හා ජර්මනිය ආදී රටවල ස්ථාපිතව ඇති බවද මෙහිලා සඳහන් කරමි.

කෙසේ වුවද ඔබට නැවුම් එළවළු හා පලතුරු නිෂ්පාදන තොග වශයෙන් අඛණ්ඩව සපයාගැනීමට  හෝ මිලදී ගතහැකිනම්  නම්  කුඩා පරිමාණ එළවළු විජලනය කිරීමේ යන්ත්‍ර Small-Scale Vegetable Dehydrator Machine ඇසුරෙන් වුවද ඔබේ නිෂ්පාදන උදෙසා විශේෂ ප්‍රතිලාභ අත්පත්කරගත හැකිවේ. මෙවැනි කුඩා පරිමාණයේ එළවළු විජලනය කිරීමේ යන්ත්‍රයක් උදෙසා ආයෝජනය කිරීමෙන් දිගු කාලීනව ඔබට එහි ව්‍යවසායකත්ව ප්‍රතිලාභ අත්පත්කර ගැනීමට මාර්ගය විවරවනු ඇත. බොහෝ අවස්ථාවල පාරිභෝගිකයින් මිලදී ගන්නා ආනයනය කරන ලද විජලනය කළ එළවළු හා පලතුරු ආකලන, කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ අධික සෝඩියම් අන්තර්ගත වේ. එවැනි ද්‍රව්‍ය වෙතින් බැහැරව දේශීය වශයෙන් නිවැරදිව තාක්ෂණය හසුරවමින් සෞඛ්‍යාරක්ෂිතව හා ගුණාත්මක ලෙස විජලනය කළ එළවළු හා පලතුරු නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත්කිරීම ඔස්සේ, ඔබගේ ව්‍යාපාර සන්නාමය පහසුවෙන් ජනප්‍රිය කරගත හැකිවනු නොඅනුමානය.

ඔබගේ අභිවෘද්ධිය පතා කුඩා පරිමාණයේ එළවළු හා පලතුරු විජලනය කිරීමේ යන්ත්‍රයක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු තීරණාත්මක සාධක කිහිපයක් පෙන්වා දෙමු. මෙම කරුණු ඔබේ අවශ්‍යතාවලට ගැලපෙන යන්ත්‍රයක් සොයා ගැනීමට සහ ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය සහතික කරගැනීමට ඔබට උපකාරී වනු ඇත.

ඔබගේ අභිලාෂය මත පදනම්ව විජලනය කිරීමේ යන්ත්‍රයේ ප්‍රමාණය සහ ධාරිතාව Size and Capacity ප්‍රමූඛතම වැදගත් කරුණ බව පෙන්වා දෙමි. ඔබ සතුව ඇති ඉඩකඩ සීමිත නම්, සංයුක්ත හා සැහැල්ලු යන්ත්‍රයක් Compact and Lightweight Machine ඒ උදෙසා වඩාත් සුදුසු වනු ඇත. කෙසේ වෙතත්, ඔබට විශාල ප්‍රමාණයකින් එළවළු හා පලතුරු නිතර විජලනය කරන්නේ නම්, විශාල ධාරිතාවක් සහිත යන්ත්‍රයක් මිලදී ගැනීම කෙරෙහි යොමුවීම වඩාත් සුදුසු වේ. මෙම තීරණය ගැනීමේදී ඔබසතු මූල්‍ය ශක්තිය සහ අනෙකුත් බාහිර සම්පත් පිළිබඳව දෙවරක් සලකා බලන්න.

කෙසේ වුවද ආහාර වියළීමට හෝ විජලනය කිරීමට යොදා ගන්නා යන්ත්‍ර මෙන්ම ඒ උදෙසා සපයා ගන්නා එළවළු හෝ පලතුරු, අස්වැන්න නෙළා ගැනීමේ සිට අවසාන ඇසුරුම්කරණයේ සිට බෙදාහැරීම දක්වා වූ සෑම සබැඳියක්ම නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි බලපවත්වන බව පෙන්වා දෙමි. එහෙයින් තම ව්‍යවසායයේ පරිමාව කොතෙක් වුවද පළමුව ඒ උදෙසා එළවළු හා පලතුරු නැවුම් ස්වරූපයෙන් සපයාගත ගැනීම ඉතා වැදගත් බව සදහන් කරමි. ඒ අනුව එළවළු හෝ පලතුරු අස්වැන්න නෙලීමේ Harvest සහ තෝරාගැනීමේ Selection සිට මෙම ක්‍රියාදාමයේ ඇරඹුම සිදුවන බව වටහාගත යුතු වේ. පරිනතවීමේ අවධියේදී maturing stage / Ripening ප්‍රවේශමෙන් අස්වැන්න නෙලා ගැනීමෙන් පමණක් අවසාන නිෂ්පාදනයේ රසය සහ පෝෂණය සහතික කළ නොහැකිය. ඉන් පසුව ප්‍රශස්ත කාලයක් තුළ සිදුකරන ක්‍රියාදාමයන්හිදී අනෙකුත් කටයුතු ඉටුකරගැනීම කෙරෙහි ඔබ අවධානය යොමුකල යුතුවේ.

මෙලෙස රැස්කරගත් එළවළු හෝ පලතුරු අනතුරුව පිරිසිදු කිරීම Cleaning සහ සකස් කිරීමේ Preparation ක්‍රියාවලියට යොමුකල යුතුවේ. මෙම අදියරේදී පලතුරු හෝ එළවළු වල වර්ණය, සුවඳ හෝ රසය දූෂණය කළ හැකි හෝ බලපෑම් කළ හැකි දූවිලි, කෘමි අවශේෂ, පුස් බීජාණු, ශාක කොටස් සහ වෙනත් ද්‍රව්‍යය ඉවත් කිරීමට පිරිසිදු ජලයෙන් ඒවා සෝදා අනවශ්‍ය කොටස් පළමුව ඉවත්කර ගත යුතුවේ.

එලෙස පිරිසිදු කිරීමෙන් පසු එළවළු හෝ පලතුරු උචිත ආකාරයට කැපීම Cutting හා සැකසීමට Processing යොමු කලහැකි වේ. විවිධ වර්ගයේ එළවළු සඳහා විවිධ කැපුම් ක්‍රම අනුගමනය කිරීමට සිදුවේ. විජලනය කිරීමේ ක්‍රියාවලියේදී ජලය ඒකාකාරව ඉවත් කළ හැකි බව සහතික කරගැනීම සඳහා සමහරක් ද්‍රව්‍ය පෙති ආකාරයට කපා ගත යුතු අතර සමහර ඒවා කැට ආකාරයට කපා ගත යුතු ද වේ. මෙලෙස කපන ලද එළවළු හෝ පලතුරු ඉන්පසුව, ඒවා විජලන යන්ත්‍රය තුළ වූ තැටි මත තැබිම හෝ ඒ වෙත පෝෂණය කිරීම කලහැකි වේ. ඉන් අනතුරුව අදාල යන්ත්‍රයේ සීරුමාරු කිරීම් ඉටුකර එය ක්‍රියාකරවා උණුසුම් වාතය යන්ත්‍රය තුළට යොමුකල හැකි වේ.

විජලනයට බඳුන් කරන ආහාර ද්‍රව්‍ය නියමිත කාලසීමාවෙන් පසුව ඉන් ඉවතට ගෙන ඇසුරුම් කිරීමට Packaging  කටයුතු කිරිම ඊ ළඟ පියවර වේ. මක්නිසාද යත් වියළාගත් එළවළු හා පලතුරු තෙතමනය නැවත අවශෝෂණය කිරීම ඔස්සේ සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරකම් මත විනාශවීම වළකාගැනීම සඳහා නිසි ලෙස ඇසුරුම් කිරීම Packaging අවශ්‍යවන හෙයිනි. එහෙයින් පිරිසිදු, වියලි, වාතය රහිත බහාලුම් තුළ සකසාගත් නිෂ්පාදන ඇසිරීම ඊට උචිත ක්‍රමවේද යයි. කෙසේ වුවද විජලනය කළ ආහාර ස්පර්ශ කිරිමට හැකි තරමට සම්පූර්ණයෙන්ම සිසිල් වන තුරු ඇසුරුම් නොකල යුතු වේ. මක්නිසාදයත්, උණුසුම් ආහාර ජල වාෂ්ප පිටකිරීම හේතුවෙන් පුස් හා දිලිර වර්ධනය වීමට ප්‍රමාණවත් තෙතමනයක් එමගින් සැකසූ නිෂ්පාදනයට එකතුවිය හැකි බැවිනි. එමගින් සමස්ථ නිෂ්පාදනයම එකවර අපහරණය කිරීමට සිදුවිය හැකිය. එමෙන්ම ගබඩා කිරීමේ සහ ප්‍රවාහනයේදී නිෂ්පාදනයේ ගුණාත්මකභාවය තීරණය උදෙසා ඇසුරුම්කරණය බලාත්මක වන හෙයින් මේ උදෙසා විශේෂ අවධානයක් ඔබ යොමුකළ යුතු වේ.

මෙහිදී වාතය රහිත බහාලුම්වල Air-Tight Containers හෝ අධි ශීතකරණ බෑග් Freezer Bags තුළ වියළාගත් ආහාර ඇසුරුම් කළ හැකි වේ. එසේම ඒ උදෙසා වාතය රහිත මුද්‍රා Airtight Seal  වලින් සමන්විත වූ භාජන වුවද භාවිතා කළ හැකි වේ. අධි ශීතකරණ බෑග් භාවිතා කරන්නේ නම්, මුද්‍රා  තැබීමට පෙර බෑගය තුළින් මුළුමනින්ම වාතය ඉවත්කිරීමට වග බලා ගන්න. රික්ත ඇසුරුම් ක්‍රමය Vacuum Packaging යටතේ වාතය ඉවත් කිරීම ඔස්සේ වියළාගත් ආහාර වලින් තෙතමනය වඩාත් සාර්ථකව ඉවත්වන හෙයින් ඒවා හොඳින් කල්තබා ගත හැකි වේ. ඒ උදෙසා වැකුම් සීලර් Vacuum Sealer  යන්ත්‍ර භාවිත කිරීම ඔබට වඩා පහසුවනු ඇත. එමෙන්ම නයිට්‍රජන් පරිසංරක්ෂණ ඇසුරුම් ක්‍රමවේදය  Nitrogen Preservation Packaging වුවද මේ උදෙසා භාවිත කළ හැකිවේ. නයිට්‍රජන් ඇසුරුම් හැපෙන සුළු ආකාරයට සකසන ආහාර සඳහා වඩාත් සුදුසු වේ. මේ ඔස්සේ නිෂ්පාදිතය ඇසුරුම් කල ඇසුරුම තුළ වියළිව පවතින බව වඩාත් සහතික වන අතරම ආහාර ද්‍රව්‍ය ඔක්සිකරණය වීම ද වළකාගත හැකි වේ.

මේ ආකාරයට විජලනය කරන ලද පලතුරු සහ එළවළු ඇසිරීමෙන් අනතුරුව ඒවා හඳුන්වා දිමට ලේබල් කිරීමේ අවශ්‍යතාව Labeling requirements උදාකෙරෙනු ඇත. ආහාර සුරක්ෂිතතා ප්‍රමිති අනුව ඇසුරුම්කරණය සහ ලේබල් කිරීමේ රෙගුලාසි සමඟ ඒවා අනුකූල විය යුතුය. එහෙයින් සෑම බහාලුමක එහි අන්තර්ගතය, බර , එය ඇසුරුම් කළ දිනය හා කල්තබා ගතහැකි කාලය සඳහන් කල යුතුවේ. රසායනාගාර ඇසුරෙන් ආහාර නිෂ්පාදනවල පෝෂණ අගයයන් විශ්ලේෂණයකර එහි සාරාංශයක් ලේබල මත දැක්වීමට ක්‍රියාකරන්න. පිසීම උදෙසා පරිහරණයේදී නැවුම්බව ආරක්ෂාකර ගැනීම සඳහා විවෘත කළ වියළි ආහාර බහාලුම්, නැවත ශීතකරණයක් තුළ ගබඩා කිරීමට උපදෙස් සපයන්න. නැතහොත් ආලෝකයට නිරාවරණය නොවන සිසිල්, වියළි ස්ථානයක තැබීමට උපදෙස් ලේබලය මත සඳහන් කරන්න.

ඔබගේ ව්‍යාපාරය ශක්තිමත් ලෙස නැගී සිටීනම් ඉහත අභියෝග බැහැර කිරීම උදෙසා ඩිජිටල් ක්‍රමවේද වෙත මාරු වන්න. ඇසුරුම් කළ ආහාර ලේබල් කිරීමේදී ඩිජිටල් ක්‍රමයට ආහාර ලේබල් කිරීම එයට සාර්ථක විසඳුමකි. එවැනි ටැග් Tags ඔස්සේ ඔබගේ ආහාර නිෂ්පාදනය වෙළඳපොල තුළ ලෙහෙසියෙන් ප්‍රවර්ධනය කල හැකි වේ. එමෙන්ම ඔබගේ නිෂ්පාදනයට අදාල බොහෝ කරුණු එයට ඇතුළත් කළහැකි වනු ඇත.

කෙසේ වුවද නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ සනීපාරක්ෂක ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ගොවිපලේ සිට සිල්ලර අලෙවිසල දක්වා වන සෑම පියවරකදීම දැඩි සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරිම උසස් ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ආහාර නිෂ්පාදනයක ලක්ෂණ පිළිබිඹු කිරීමට ඉවහල්වන බව අවධාරණය කරමු. එහෙයින් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී අනවබෝධයෙන් කටයුතු කලහොත් එම කටයුතු වල නිරතවන සෑම කෙනෙකුම, නිශ්චිත මට්ටමකින් විෂබීජ ඔබමොබ රැගෙන යනු ඇත. පුද්ගලයෙකුගේ ඇස්, මුඛය, නාසය, හිසකෙස් හෝ ඇඳුම් ස්පර්ශ කිරීමේදී මෙන්ම දෑත් නොසෝදා ආහාර ස්පර්ශ කිරීමෙන් රෝගවාහක බැක්ටීරියා හා ක්ෂුද්‍රජීවීන්ගේ පැතිරීම ප්‍රවර්ධනය කෙරේ. එවැනි අපවිත්‍ර ද්‍රව්‍ය පැතිරීම වැළැක්වීම සඳහා ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දී පුද්ගලික සනීපාරක්ෂාව ඉතා වැදගත් අවශ්‍යතාවයකි. එය සුරක්ෂිත ආහාර නිෂ්පාදනයක වැදගත් අංගයකි. නිෂ්පාදන ආයතනයක පුද්ගලික සනීපාරක්ෂාව යනු සේවකයාගේ පෙනුම පමණක් නොවේ.

එමෙන්ම ආහාර නිෂ්පාදන පරිශ්‍ර අපවිත්‍රවීම මත එහිදී සකසන නිෂ්පාදන කෙරෙහි එම තත්වයන් සෘජුවම බලපානු ඇත. එහෙයින් කාර්ය පරිශ්‍රය සකස් කිරීමේදී ද පරිසර සනීපාරක්ෂාව උදෙසා අදාල  රෙගුලාසි, අණපනත් හා ප්‍රමිතීන් අනුගමනය කිරීම කෙරෙහි ඔබගේ අවධානය යොමුවිය යුතු වේ.

මෙලෙසින් සාර්ථක ව්‍යාපාරයක් අඛණ්ඩව ඉදිරියට රැගෙනයාම උදෙසා නිෂ්පාදන මෙහෙයුම් කටයුතු නිමාවීමෙන් අනතුරුව ඔබගේ ආහාර වියළන යන්ත්‍රය ද නිතිපතා පරීක්ෂා කිරීම ද වැදගත් වේ. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය වියළා ගැනීමෙන් පසු එම යන්ත්‍ර හොඳින් පිරිසිදු කිරීම Cleaning අත්‍යවශ්‍ය වේ. වියළුම් යන්ත්‍රයේ උපාංග අතර ආහාර කොටස් එකතුවීමෙන් එහි ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවනු ඇත.  එහෙයින් නැවත භාවිතයේදි වියළන යන්ත්‍රයක ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය සහතික කරගැනීමට සහ එහි ක්‍රියාකාරී ආයු කාලය දීර්ඝ කරගැනීම උදෙසා එය නිතිපතා නඩත්තු කිරීමට යොමුවන්න. විශේෂයෙන්ම වියළීමේ ක්‍රියාවලියෙන් පසු ඉතිරි වී ඇති අපද්‍රව්‍ය හෝ අංශු ඉවත් කිරීමට මෘදු බුරුසු, රෙදි හෝ සම්පීඩිත වියළි වායු ධාරා භාවිත කරන්න. මෙම යන්ත්‍ර නිතිපතා පිරිසිදු කිරීම ඔස්සේ හරස් දූෂණය Cross-Contamination වළකාගත හැකි අතර සනීපාරක්ෂක ප්‍රමිතීන් Hygiene Standards රැකගැනීමට ද එය උපකාරී වේ.

එමෙන්ම වියළුම් යන්ත්‍ර අඛණ්ඩව පරීක්ෂා කිරීම මගින් එහි කොටස් අරඹයා වූ හානිවිම හෝ උපාංග කොටස්මත ගෙවීම් සලකුණු තිබේදැයි පරීක්ෂා කළහැකි වේ. ඕනෑම අළුත්වැඩියා කිරීමකට ක්ෂණිකව ක්‍රියාකිරීමෙන් තවදුරටත් සිදුවන බරපතල හානි වළක්වා ගතහැකි අතර වියළන යන්ත්‍රයේ කාර්යක්ෂමතාව රැකගැනීමට ද හැකියාව සැලසේ. යන්ත්‍රයේ තාපන උපාංග Heating Element නිසියාකාරව ක්‍රියාකරන බවට සහ එය ආහාර ඵලදායි ලෙස වියළීමට ප්‍රමාණවත් තාපයක් නිපදවන බව සහතික කරගැනීමට හොඳින් පරීක්ෂා කරන්න. විදුලි පංකා සහ වාතාශ්‍ර මං අවහිරතා වලින් තොර පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. ඊට අමතරව, තැටි සහ රාක්කවල කිසියම් හෝ පිපිරී යාමේ සලකුණු තිබේදැයි පරීක්ෂා කරබලා අවශ්‍ය නම් ඒවා ප්‍රතිස්ථාපනය කරන්න.

එමෙන්ම වියළන යන්ත්‍රයට අදාළ විදුලි පංකා Fan /Blower සහ මෝටර Motor වැනි ක්‍රියාකාරී කොටස් ලිහිසි කිරීම ඔස්සේ ඝර්ෂණ හානි ඔස්සේ සිදුවන ගෙවීම් අවමකරගත හැකිවේ. එය යන්ත්‍රයේ සුමට මෙහෙයුම් ක්‍රියාකාරිත්වය ඔබවෙත සහතික කරන අතර එය ක්‍රියාත්මක කිරීමේදී නැගෙන ශබ්දය අවම කරයි. වියළන පාලක ක්‍රමාංකනය කිරීම යන්ත්‍රයේ නිරවද්‍යතාවය සහතික කරයි. එබැවින් ඩිජිටල් පාලන සහිත වියළන යන්ත්‍රවලට නිශ්චිත උෂ්ණත්වය සහ කාල සැකසුම් පවත්වා ගැනීම සඳහා ඉඳහිට නැවත ක්‍රමාංකනය කිරීම අවශ්‍ය විය හැකිය. අනෙකුත් මාදලි උදෙසා නිරතුරුව නිෂ්පාදකයාගේ උපදෙස් පිළිපැදීම වැදගත් වේ.

කෙසේ වුවද කුඩා පරිමාණයේ එළවළු හා පලතුරු විජලනය කිරීමේ ව්‍යාපාරයකට ඔබ යොමුවිමට අදහස්කරන්නේනම් එවැනි යන්ත්‍රයක් තෝරාගැනීමේදී, ඇතැම් විශේෂාංග ඔබේ අත්දැකීම් වැඩිදියුණු කළ හැකි අතර ප්‍රශස්ත වියළීමේ ප්‍රතිඵල සහතික කරදෙයි. විජලනය කිරීමේ යන්ත්‍රයක සොයා බැලිය යුතු ඉහළම විශේෂාංග කිහිපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමුකරනුයේ එම කර්තව්‍ය සාර්ථකකර ගැනීමට උපකාරයක් වශයෙනි.

කුඩා පරිමාණයේ එළවළු විජලනය කිරීමේ යන්ත්‍ර වර්ග කිහිපයක් භාවිතය උදෙසා මේවනවිටත් වෙළඳපොලට හඳුන්වාදී තිබේ. ඒ සෑම එකකම වාසි සහ අවාසි දකින්නට තිබේ. මෙම වර්ග අතර වෙනස්කම් අවබෝධ කර ගැනීම ඔබට දැනුවත් තීරණයක් ගැනීමට උපකාරී වේ. වඩාත් සුලභ ආකාරයේ විජලනය කිරීමේ යන්ත්‍ර දෙස සමීපව බලමු.

එක එක මත ගොඩ ගැසිය හැකි තැටි කිහිපයකින් සමන්විත වේ. මෙම යන්ත්‍ර සංයුක්ත සහ බහුකාර්ය වේ, ඔබේ අවශ්‍යතා මත පදනම්ව එය තුළට තැටි එකතු කිරීමට හෝ ඉවත් කිරීමට ඉඩ සැලසේ. /Stackable Dehydrators ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන මේවා වඩා ලාභදායී වන අතර පළමුවරට මෙවැනි ව්‍යාපාරයකට යොමුවන පුද්ගලයින් සඳහා හෝ සීමිත ඉඩක් ඇති අය සඳහා මේ ආකාරයට නිපදවූ යන්ත්‍ර වඩා සුදුසු වේ.

ස්ථාවර රාක්ක වලින් සමන්විත රාක්ක විජලනය යන්ත්‍ර / Shelf Dehydrators වඩා හොඳ වියළුම් පරිසරයක් සපයයි. මෙම යන්ත්‍ර බොහෝවිට විශාල ධාරිතාවකින් යුක්ත වන අතර එළවළු හෝ පලතුරු විශාල ප්‍රමාණයක් එකවර විජලනය කිරීමට යොදාගතහැකි වේ. මිල ගණන් අතින් තරමක් ඉහළ වුවද වැඩි ඉඩකඩක් සහිත උසස් වියළීමේ කාර්ය සාධනයක් ඒවායින් ලබා දෙයි.

විශේෂයෙන්ම මේ උදෙසා තනන කැබිනට් විජලන යන්ත්‍ර / Cabinet Dehydrators තුළ තාපය හා වායු ප්‍රවාහය ඒකාකාරව බෙහැරීම සහතික කරන සිරස් වායු ප්‍රවාහ පද්ධතියක් සකසා තිබේ. ඉහළ වියලීමේ ක්‍රියාකාරිත්වය හා නිරවද්‍ය උෂ්ණත්ව පාලනය සහ විශාල නිෂ්පාදන ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව මේ ආකාරයේ යන්ත්‍ර වෙතින් අපේක්ෂා කලහැකි වේ. කෙසේ වෙතත් මෙම වර්ගයේ යන්ත්‍ර මිල අධික වන අතරම ස්ථාපනය උදෙසා වැඩි ඉඩකඩක් වුවමනා කෙරේ.

සූර්යබල විජලන යන්ත්‍ර / Solar Power Dehydrators එළවළු වියලීම සඳහා සූර්ය කිරණ තුළ අන්තර්ගත ශක්තිය පරිහරණයට ගනී. ස්වභාවික බලශක්ති ප්‍රභවයන් මත රඳා පවතින බැවින් ඒවා පරිසර හිතකාමී සහ ලාභදායී වේ. සූර්ය විජලන යන්ත්‍ර බහුල හිරු එළිය ඇති ප්‍රදේශ සඳහා සුදුසු වන අතර බලශක්ති ජාල වෙතින් පිටත පෙදෙස් හෝ තිරසාර භාවිතයන් සඳහා විශිෂ්ට යන්ත්‍ර විකල්පයක් ලෙස පෙන්වා දිය හැකිවේ.

කාර්යක්ෂම තාපන මූලද්‍රව්‍යයක් Heating Element සහ නිසි වායු ප්‍රවාහ පද්ධතියක් / Proper Airflow System සහිත විජලන යන්ත්‍රයක් තෝරා ගන්න. මෙමඟින් යන්ත්‍රය තුළ වූ සියලු තැටි හරහා තාපය ඒකාකාරව බෙදාහැරීම සහතික කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස වියළීම සමාකාර consistent drying වන අතර සහ ආහාර තබන තැටි භ්‍රමණය කිරීමේ අවශ්‍යතාවය මඟහැර දෙයි.

යන්ත්‍රය තුළම සවිකරන ලද කාල මුහුර්තකය / Timer මගින් අවශ්‍ය වියළන කාලය සැකසීමට සහ යන්ත්‍රය නිරන්තරයෙන් අධීක්ෂණය නොකර බැහැරව සිටිමට ඉඩ සලසයි. ස්වයංක්‍රීයව වසා දැමීම Automatic Shut-off මඟින් ආහාර ද්‍රව්‍ය අධික වියළීමෙන් ආරක්ෂාකර නියමිත කාලය අවසන් වූ පසුව යන්ත්‍රය ස්වයංක්‍රියව නතරකරවන බව එයින් සහතික කරයි.

නිසි විජලනය සඳහා උෂ්ණත්ව පාලනයක් / Temperature Control අත්‍යවශ්‍ය වේ. ප්‍රශස්ත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විවිධ එළවළු විවිධ උෂ්ණත්වයන් අවශ්‍ය වේ. විවිධ නිෂ්පාදනවලට ඉඩ සැලසීම සඳහා වෙනස් කළ හැකි උෂ්ණත්ව සැකසුම් සහිත විජලනය කිරීමේ යන්ත්‍රයක් තෝරා ගන්න. මෙම නම්‍යශීලීභාවය ඔබට විවිධ ආහාර වට්ටෝරු සමඟ අත්හදා බැලීමට සහ විජලනයේදී හොඳම ප්‍රතිඵලය සහතික කිරීමට ඉඩ සලසයි.

එමෙන්ම එළවළු විජලනය කිරීම කාලය ගතවන ක්‍රියාදාමයක් විය හැකිය. සමහර අවස්ථාවන්හිදී ඒ උදෙසා පැය කිහිපයක් හෝ දින ගණනක් අඛණ්ඩව ක්‍රියා කිරීම අවශ්‍ය වේ. බලශක්ති කාර්යක්ෂම / Energy Efficiency යන්ත්‍රයක් තෝරා ගැනීමෙන් ඔබේ විදුලි බිල අඩු කර ගැනීමට සහ පාරිසරික බලපෑම අවම කර ගැනීමට හැකි වේ. කාල මුහුර්තකක, ස්වයංක්‍රීය වසා දැමීම හෝ අඩු බලශක්ති පරිභෝජනයක් පෙන්වන හා උපයෝගීකරගන්නා විශේෂාංග සහිත ආකෘති සහිත විජලන යන්ත්‍ර පිළිබඳව අවධානය යොමු කරන්න.

පරිශීලක-හිතකාමී විජලන යන්ත්‍රයක් ඔබේ සංරක්ෂණ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කරයි. පහසුවෙන් තේරුම් ගත හැකි පාලනයන් සහිත යන්ත්‍ර, පහසුවෙන් පිරිසිදු කිරීම සඳහා ඉවත් කළ හැකි තැටි සහ වියලීමේ ක්‍රියාවලියේ පැහැදිලි දෘශ්‍යවන යන්ත්‍ර කෝරා ගැනීමේදී  සලකා බලන්න. සමහර උසස් මාදිලිවල අමතර පහසුව සඳහා ඩිජිටල් සංදර්ශක Digital Displays පෙර-සැකසූ වැඩසටහන් / Pre-Set Programs සහ ස්ථාපිත කළ කාල මුහුර්තක / Built-In Timers පවා සවිකර තිබෙනු ඇත.

කල් පවතින විජලනය කිරීමේ යන්ත්‍රයක් වෙනුවෙන් ආයෝජනය කිරීම දිගු කාලීන භාවිතය සහ ආයෝනය කල මුදල් සඳහා වටිනාකම සහතික කරයි. එහෙයින් නිතර භාවිතා කිරීමට Durable ඔරොත්තු දිය හැකි උසස් තත්ත්වයේ මලනොකන ලෝහ / stainless steel වලින් සාදන ලද යන්ත්‍ර මිලදී ගැනීම සඳහා යොමුවන්න.

විනිවිද පෙනෙන දොරක් හෝ පියනකින් / Transparent Door or Lid හෙබි වියළන යන්ත්‍රය විවෘත නොකරම එහි වියළීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ඔබට ඉඩකඩ සලසයි. එමඟින් ස්ථාවර උෂ්ණත්වයක් යටතේ වාතය ගලායාමක් පවත්වා ගැනීමට හැකියාව ලැබේ. මෙම අංගය කාලය ඉතිරි කරන අතර විජලනය කිරීමේ ක්‍රියාවලියේදී තෙතමනය හානිවීම / moisture loss වළකා දෙයි.

වියළා සකසාගත යුතු අමුද්‍රව්‍ය තැබිමට, බැහැරට ගැනිමට සහ පිරිසිදු කිරීම සඳහා ඉවත් කළ හැකි තැටි Removable Trays සහිත විජලනය කිරීමේ යන්ත්‍ර භාවිතය වඩා පහසුවේ. ඒ හේතුවෙන් වැඩකරන කාලය හා ශ්‍රමය ඉතිරි කරගත හැකිවේ. විශේෂයෙන්ම ක්‍රියාකාරිත්වයේදි විජලනය කිරීමේ යන්ත්‍රයේ ශබ්ද නැගීම පිළිබඳව සලකා බලන්න. සමහර මාදිලිවල නිහඬ මෙහෙයුම් ලක්ෂණ ඇත. පරිසරයට හා භාවිත කරන සේවකයිනට අවම බාධාවක් එමගින් සහතික කරයි.

සමහර විජලන යන්ත්‍ර සමඟ පළතුරු රෝල්කරන පුවරු හෝ දැල් තිර වැනි අමතර උපාංග සපයයි. මෙම උපාංග යන්ත්‍රයේ බහුකාර්යතාව පුළුල් කරන අතර පුළුල් පරාසයක නිෂ්පාදන විජලනය කිරීමට පහසුකම් සලසා දෙයි. මෙයට අතිරේකව, නිෂ්පාදකයා විසින් කිසියම් විභව ගැටළු Potential Issues විසඳීම සඳහා වගකීමක් / Warranty හෝ පාරිභෝගික සහායක් / Customer Support ලබා දෙන්නේ දැයි විමසා බලන්න.

කුඩා පරිමාණ එළවළු විජලනය යන්ත්‍ර භාවිතය මගින් ප්‍රතිලාභ රැසක් ඉක්මනින් අත්පත්කරගත හැකි බැවින් ඔබගේ ගමන එවැන්නකින් ආරම්භ කරන්න. මේවා නිර්මාණයෙන්ම සංයුක්ත මෝස්තර වන බැවින් සීමිත ඉඩ සඳහා වඩාත් සුදුසු වේ. පිරිවැය ඵලදායී Cost-effective නිෂ්පාදනයකට එමගින් ඔබට ඉඩ සලසයි. වියළීමේ ක්‍රියාවලිය පාලනය කලහැකි අතර විශේෂිත එළවළු හා පලතුරු වර්ග සහ අපේක්ෂිත විජලනය මට්ටම් අනුව අදාල සැකසුම් සකස් කිරීමට / Customization එවැන්නකින් ඔබට හැකියාව ලැබෙනු ඇත.

මෙවැනි විජලනය කිරීමේ යන්ත්‍රයක් ඇසුරෙන් කැරට්, තක්කාලි, ගම්මිරිස්, ළූණු, සුදුළූණු, හතු ආදී විවිධ එළවළු මෙන්ම කොළ පැහැති පලා වර්ග සහ ගස්ලබු, අන්නාසි, අඹ, වරකා, ලෙමන්, කෙසෙල්, මිදි, හා ස්ට්‍රෝබෙරි ආදී පලතුරු පහසුවෙන් විජලනයකර කරගත හැකි වේ. කුඩා පරිමාණ යන්ත්‍ර මූලික වශයෙන් සුළු පරිමාණ නිෂ්පාදන කටයුතු සඳහා නිර්මාණයකර තිබුණද ඇතැම් අවස්ථාවක වාණිජ මෙහෙයුම් සඳහා ද ඒවා යොදා ගැනීමට හැකියාව පවතී. ඔබගේ ආශාව හා අපේක්ෂාව විශාල පරිමාණ නිෂ්පාදන මෙහෙයුම් සඳහා නම් වඩා ලොකු යන්ත්‍ර වෙත යොමුවිම වාසිදායක වනු ඇත.

කෙසේ වුවද මෙරට පාරිභෝගික ප්‍රජාවගේ හැසිරිම අධ්‍යනය කිරීමේදී පහසුවෙන් පරිභෝජනය කළ හැකි සහ පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදන සඳහා වෙළදපොල තුළ වැඩිවන ඉල්ලුම මත විජලනය කළ එළවළු හා පලතුරු වෙළඳපොළ වර්ධනයක් පැහැදිලිවම පෙන්නුම් කරයි. සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සහ ක්ෂණිකව ආහාර පිළියෙළ කිරීම පිළිබඳ ගෘහණියන්ගේ දැනුවත්භාවය ඉහළ යාම හේතුවෙන් මෙම වෙළඳපල ඉදිරියට ඇදෙනු ඇත. මීට අමතරව විජලනය කරන ලද එළවළු හා පලතුරු සඳහා වර්ධනය වන අපනයන වෙළඳපල මේ උදෙසා අනාගතයේ විදෙස් විනිමය උපයා ගැනීම කෙරෙහි පැහැදිලි විභවයක් පෙන්නුම් කරයි.

විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න සහ පහසු ආහාර විකල්පයන් සඳහා වැඩිවන පාරිභෝගික මනාපය නුදුරු අනාගතයේ මෙරට විජලනය කළ එළවළු හා පලතුරු වෙළඳපොළ මෙහෙයවන ගාමක බලය වනු ඇත. එපමණක් නොව, ආහාර සැකසුම් කර්මාන්තයේ ව්‍යාප්තිය හමුවේ විජලනය කළ එළවළු හා පලතුරු අපනයනය අවස්ථා විවරකර ගැනීම තුලින් අපේ රටට අවශ්‍ය විදේශ විනිමය  උපයා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.

කෙසේ වුවද මේ උදෙසා යටිතල පහසුකම් සමාකාරයෙන් ලෙස පුළුල් නොවීම මත මෙම ක්ෂේත්‍රයේ ප්‍රගමනයට බාධා එල්ලවනු ඇත. තවද, දේශීය වශයෙන් උච්චාවචනය වන අමුද්‍රව්‍ය මිල සහ ආනයනික නිෂ්පාදනවල තරඟකාරිත්වය මත නව ව්‍යවසායකත්ව කෙරෙහි වෙළඳපල අවහිරතා බැහැර කිරීමට (ආනයන සීමාකිරීම්) ක්‍රියානොකිරීම ද මෙම තත්වය තීව්‍රර කිරීමට හේතු වනු ඇත. මෙවැනි සංකීර්ණ ගැටළු නිරාකරණය කරගෙන නව ව්‍යවසායකයින් බිහිවීමට ඉඩකඩ විවරකරදීම රජයේ වගකීම විය යුතු වේ. ඒ උදෙසා අදාල අංශ මෙහෙයවීමට හොඳම අවස්ථාව හා කාලය දැන් උදාවී තිබේ. එය දේශීය ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට සහ පසු අස්වනු හානි අවම කිරීමේ ප්‍රතිපත්ති ද සාක්ෂාත් කිරීමට ද හේතුකාරක වනු ඇත.

සමස්තයක් වශයෙන් සලකාබැලිමේදී විජලනය කරන ලද එළවළු සඳහා ගෝලීය වෙළඳපල නිරතුරුවම වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්ෂ 2018 අවසන් වන විට ගෝලීය විජලනය කළ එළවළු වෙළඳපොලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 65.7ක් විය. එය 2022 දී ඩොලර් බිලියන 72.7 ක් වූ අතර 2033 වන විට එය ඩොලර් බිලියන 159.6 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එහෙයින් සම්ප්‍රදායික හා ජනප්‍රිය අපනයන රටාවෙන් මිදී විදෙස් විනිමය උපයාගතහැකි මෙවැනි ක්ෂේත්‍ර කෙරෙහි අපි අවධානය යොමුකළ යුතු නොවේද? එහිදි මෙරට කාර්යභාරය හා දායකත්වය කුමක් ද යන්න වත්මන් රජයේ අවධානයට නතුවිය යුතු කරුණකි. ඒ උදෙසා ව්‍යවසායකින් දිරිමත් කිරීමට රාජ්‍ය අංශය ක්‍රියාකරනු ඇතැයි අපි විශ්වාස කරමු. එහෙත් වගකිව යුත්තන් කාර්ය පරිශ්‍ර වෙතින් බැහැරටවිත් කිසිවක් නොකර ඉන්නේ ඇයි ද ? යන්න ගැටළුවකි.

මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින්  DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.

(Chinese Academy of Agricultural Mechanization Sciences in Beijing හි දී මා ඉගෙනගත් කරුණු මත දේශීය කර්මාන්ත කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය පතා මෙය ඉදිරිපත්කරන බව කාරුණිකව සලකන්න.)

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *