ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව යළි දීර්ඝ කෙරේ

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ 2025 දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ කාලය 2026 වසරේ ජනවාරි 31 දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි.

නව පියවර අනුව දෙසැම්බර් මස විශ්‍රාම වැටුප 2026.01.31 දින දක්වා වැඩ කරන දිනයන්හි අදාළ තැපැල් හෝ උප තැපැල් කාර්යාල මඟින් ලබා ගැනීමට ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන්ට අවස්ථාව හිමිවේ.

පසුගිය දා ඇති වූ සුළි කුණාටු තත්ත්වය මත ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් හට සිදු වූ ආපදාවන් හේතුවෙන් තැපැල් කාර්යාලවලට ළඟාවීමේ අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් මාසයට අදාළ ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ කාලසීමාව දෙසැම්බර් 31 දින දක්වා මීට පෙර දීර්ඝ කර තිබුණි.

දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178, 753 වන අතර, ධීවර  විශ්‍රාම වැටුප් ලාභීන් ප්‍රමාණය 6,312ක් වන අතර මෙම ප්‍රතිලාභීන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට මාසයකට රුපියල් මිලියන 413ක මුදලක් රජය විසින් වැය කරන බව ද කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *