“එක මිටට ගොවි බිමට”: වගා නොකළ ඉඩම් වගා කිරීම ඇරඹේ

රජය මඟින් ආරම්භ කර ඇති වගා නොකළ ඉඩම්, වගා කිරී­මට යෑමේදී සිය­ලුම ගොවීන්ට ආර්ථික ශක්ති­යක් ලබා දෙනවා සේම ඒ තුළින් ජාතික ආර්ථි­ක­යට වි‍ශාල ශක්ති­යක් ලැබීම ජන­තා­වගේ ජය­ග්‍ර­හ­ණ­යක් බව කෘෂි­කර්ම, පශු සම්පත් ඉඩම් හා වාරි­මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පව­සයි.

“එක මිටට ගොවි බිමට” යන තේමාව යටතේ ලංකාවේ වගා නොක­රන ලද සිය­ලුම කෘෂි­කා­ර්මික ඉඩම් වගා කිරීමේ ජාතික වැඩ­ස­ට­හන කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමි­යෙන් පෙරේදා (11) ආරම්භ කර­මින් අමා­ත්‍ය­ව­රයා එසේ පැව­සීය. කර්මාන්ත ශාලා භූමියේ අක්කර 2000ක බඩ­ඉ­රිඟු වගා­කි­රීම මේ තුළින් ආරම්භ කළ අතර අමා­ත්‍ය­ව­රයා යන්ත්‍රා­නු­සා­ර­යෙන් ගොවීන් සමඟ බඩ­ඉ­රිඟු බීජ සිටු­වීමේ අව­ස්ථා­වට එක්විය.

‘පොහො­සත් රටක් ලස්සන ජීවි­ත­යක්’ යන රජයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට සම­ගා­මීව මෙම වැඩ­ස­ට­හන දිස්ත්‍රික්ක 22ක් පුරා පෙරේදා (11) ආරම්භ කෙරුණු අතර, මේ සඳහා තෝරා­ගෙන ඇති ඉඩම් ප්‍රමා­ණය අක්කර එක් ලක්ෂ දාහත් දාස් අනූ­ප­හකි (117,095).

මෙහිදී තව­දු­ර­ටත් අද­හස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, “එක මිටට ගොවි බිමට යන වැඩ­ස­ට­හ­නට ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තු­වට මෙවර අය වැයෙන් රුපි­යල් මිලි­යන 3500ක් වෙන් කරලා තිය­නවා. අපේ අය – වැය ඉදි­රි­පත් කරලා සම්මත කර­ගත්තේ මාර්තු 21 වැනිදා. ඉදිරි මාස හය­කට මේ මුදල විය­දම් කරන්න ඕන. මේ ව්‍යාපෘ­තිය යටතේ බඩ­ඉ­රිඟු වගාව සඳහා පම­ණක් රුපි­යල් මිලි­යන 627ක් වෙන් කරලා තිය­නවා. මේ මුද­ලින් ගොවි­බි­ම්ව­ලට යන පාර­වල් ඇළ­වේලි සකස් කිරීම ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම් සිදු වෙනවා. කන්තලේ සීනි සමා­ගම යටතේ ඇති මෙම භූමිය තුළ වගා කට­යුතු සඳහා පම­ණක් රුපි­යල් මිලි­යන 10ක් වෙන් කරලා තිය­නවා. මේක ජාතික වැඩ­ස­ට­හ­නක්. එක ගොවි­ය­කුට බීජ මිලදී ගන්න හරි ඒ හා සම්බන්ධ වැඩ­ව­ලට රජය මඟින් අක්ක­ර­ය­කට රුපි­යල් 10,000ක මුද­ලක් ප්‍රදා­නය කර­නවා. සම­හර ගොවීන්ට මේ වැඩේ ගැන යම් යම් ප්‍රශ්න තියෙ­නවා. ඒවා කතා කරලා විස­ඳ­ගන්න පුළු­වන්. ලංකාවේ බඩ­ඉ­රිඟු අව­ශ්‍ය­තා­ව­යෙන් භාග­යක් ගෙන්නේ පිට­ර­ටින්. ඒ සඳහා ලංකා­වෙන් විශාල මුද­ලක් පිට­ර­ටට ඇදී යනවා. අපිට භූමිය තියෙ­නවා නම්, ආර්ථික වශ­යෙන් වුව­ම­නාව තියෙ­නවා නම් ජාතික ආර්ථි­කය ගොඩ­නැ­ඟීමේ කර්ත­ව්‍ය­යට මේ ව්‍යාපෘ­තිය සාර්ථක කර­ගන්න පුළු­වන්. මෙහි අස්වැන්න මිලදී ගැනීම සම්බ­න්ධ­යෙන් සැක­යක් තියා ගන්න එපා. අපි ඒ ප්‍රශ්න­යට විස­ඳුම් හොයලා ඉව­රයි. මේ බඩ­ඉ­රිඟු අස්වැන්න ආහාර ප්‍රව­ර්ධන මණ්ඩ­ල­යෙන් සාධා­රණ මිල­කට ගොවී­න්ගෙන් මිලදී ගැනී­මට සියලු කට­යුතු සූදා­නම් කරලා තියෙන්නේ.

මීට පෙර රජ­යන් අපේ මේ අමා­ත්‍යාං­ශය කෑලි පහ­කට කඩලා ඇමැ­ති­වරු පස්දෙ­නෙක් පාල­නය කළා. ලේක­ම්වරු පස් දෙනෙක් හිටියා. දැන් එක් ඇමැති වර­යෙක් හා එක් ලේක­ම්ව­ර­යෙක් යටතේ මේ කට­යුතු ඉතා අමා­රු­වෙන් හරි සිද්ධ වෙනවා.” යැයි පැවැ­සීය.

මෙහිදී අද­හස් දැක්වූ කෘෂි­කර්ම හා පශු­ස­ම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරු­ණා­රත්න මහතා: “මේ ප්‍රදේ­ශයේ ජන­තා­වට ඉඩම් ප්‍රශ්න, ජල ප්‍රශ්න තියෙ­නවා. අපි මේ බිමට අවස්ථා ගණ­නා­ව­ක­දීම පය ගහලා තිය­නවා.

එත­කොට මේ භූමිය එන්න පාර­ක්වත් නැතිව වල් වැදිලා තිබුණේ. වගා නොකළ ඉඩම් වගා කිරීමේ සංක­ල්පය යටතේ මේ ජාතික උත්ස­ව­යට සම­ගා­මීව ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් පුරා සමා­ර­ම්භක වැඩ­ස­ට­හන් පැවැ­ත්වෙ­නවා. අඩු භූමි­යක වැඩි ඵල­දාව ලබා­ගත හැකි වන පරිදි අපගේ විද්‍යා­ගාර 32ක් පුරා පස් සාම්පල් පරීක්ෂා කිරීම සිදු­කෙ­රෙ­නවා.”

විදේශ කට­යුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේම­චන්ද්‍රා මහතා: “කන්තලේ සීනි කම්හල වැහු­ණට පස්සේ, අප රජය වත්මන් ජනා­ධි­ප­ති­තු­මාගේ සංක­ල්ප­ය­කට අනුව මේ භූමියේ අක්කර11,000ක් වගා­කි­රී­මට අනු­මැ­තිය ලැබුණා. පළමු අදි­යරේ අක්කර 3300ක් ගොවීන් 1152කට ප්‍රති­ලා­භීන් ලෙස මෙම ඉඩම් බෙදලා දීලා තියෙ­නවා. මේක ලේසි කට­යු­ත්තක් නෙමෙයි.”

මෙහිදී අක්කර 2000ක බඩ­ඉ­රිඟු වගා කිරීම සඳහා තෝරා­ගත් ගොවීන් පිරි­ස­කට ඉඩ­ම්ව­ලට ප්‍රවි­ෂ්ට­වීමේ අව­සර පත්‍ර නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි. මෙම අව­ස්ථා­වට ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රොෂාන් අක්මී­මන, දිසා­පති මහේෂ් හේමන්ත කුමාර, ගොවි­ජන සේවා අධ්‍යක්ෂ ජෙන­රාල් යු.බී.රෝහණ රාජ­පක්ෂ යන මහ­ත්වරු ද එක්වූහ.

ත්‍රිකු­ණා­ම­ලය විශේෂ – ඒ.ටී.එම්. ගුණා­නන්ද – දිනමිණ ඇසුරිනි

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *