ගෝලීය තිරසර සංවර්ධන අභිමතාර්ථ ජයගනිමින් ඉදිරියට යන ආසියාවේ ආදර්ශය

2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන මහ සමුළුවේදී හඳුන්වා දුන් ගෝලීය තිරසර සංවර්ධන අභිමතාර්ථ  17 ක්  වසර 2030 වනවිට සාක්ෂාත් කරගැනීමට සියලු රටවල් තම සංවර්ධන ඉලක්ක සැලසුම්කර ක්‍රියාත්මක කළ යුතුව ඇත. මෙම ඉලක්ක අතුරින් දිළිඳුකම තුරන් කිරීම, කුසගින්න නිමා කිරීම, ආහාර සුරක්ෂිතතාවය, පෝෂණය සහ තිරසර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත.

ලක්ෂ දෙසිය විස්සක් වන ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ කුසගිනි නිවන්නට, අවශ්‍යතාවයට ප්‍රමාණවත් පරිදි පෝෂණීය ආහාර සාධාරණ මිලකට සපයන්නට අවැසි යාන්ත්‍රණය සැලසුම් කිරීමේ ප්‍රමුඛ වගකීමක් වර්තමානයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත පැවරී ඇත. එම සැලසුම් ගෝලීය තිරසර සංවර්ධන අභිමතාර්ථ ජයගත හැකි කුසගින්නෙන්  තොර දුප්පත්කම තුරන් කරලිය හැකි ජන සමාජයක් බිහි කළ හැකි වැඩසටහන් විය යුතුය. ලොව බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව විමසිලිමත්ව බලා සිටී. එහි ප්‍රගතිය අනුව ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට ආධාර හා ණය ව්‍යාපෘති සපයයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් සකස් කරනු ලබන කාලානුරූප වූ සැලසුම් ක්‍රියාත්මක කිරීමත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් කාර්යක්ෂමව හා ඵලදායීව යෙදවීමත්, ගොවිජන සමාජයේ තිරසර සංවර්ධනය සඳහාත් වන  කෘෂිකාර්මික වැඩසටහන් මිහිමත ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ වගකීමක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.

පසුගිය 2023 වසර තුළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳව  සංක්ෂිප්තව විමසා බැලීමේ දී රුපියල් මිලියන තුන්දහසක යෝධ කෘෂිකාර්මික සංවර්ධනයක් සිදුකර ඇති බවට ගොවි ජනතාව සාක්ෂි දරනු ඇත.

වගා කළ හැකිව පැවති නමුත් තම ශ්‍රමය උපයෝජනයෙන් සංවර්ධනය කිරීමට නොහැකිව පැවති කුඹුරු ඉඩම් අක්කර තුන්දහසක් රුපියල් මිලියන 153.9 ක ප්‍රතිපාදන යොදවා ව්‍යාපෘති 1517 ක් ක්‍රියාත්මක කරන ලදී. අත්හැර දමන ලද වැව් 20 ක් රුපියල් මිලියන 216.5 ක  ප්‍රතිපාදන යොදවමින් ප්‍රතිසංස්කරණය කර එම වැව් යටතේ පවතින සියලු කුඹුරු ඉඩම් සාර්ථකව යල මහ දෙකන්නයේ වගා කළ හැකි තත්ත්වයට පත්කර ජාතික සක්‍රිය වගා බිම් පද්ධතියට එකතු  කරන ලදී. නිසි අවස්ථාවේ සුළු අළුත්වැඩියා කටයුතු සිදු නොකිරීම නිසා වාරි කර්මාන්ත අක්‍රිය තත්ත්වයට පත්වීම වැලැක්වීම සඳහා kick Start  නමින් හදිසි අළුත්වැඩියා කටයුතු වාරි කර්මාන්ත 526 ක සිදු කිරීමට රුපියල් මිලියන 187.3 ක ප්‍රතිපාදන යොදවන ලදී.  කෘෂිකාර්මික කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම සඳහා රුපියල් මිලියන 418.1 ක් යොදවමින්  කෘෂිකාර්මික මාර්ග 215 ක් සංවර්ධනය කරන ලදී. වියළි කලාපීය ප්‍රදේශවල ගොවිබිම් සඳහා අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමට කෘෂි ළිං 74 ක්  රුපියල් මිලියන 18.5 ක ප්‍රතිපාදන යොදවමින් සංවර්ධනය කරන ලදී. නවීන තාක්ෂණය භාවිත කරමින් අපනයනය ඉලක්ක කරගනිමින් තරුණ ගොවි ප්‍රජාව කෘෂිකර්මයට නැඹුරු කරමින් සුහුරු කෘෂිකාර්මික ගම්මාන වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 16 ක ගෘහාශ්‍රිත වගාවන්  291 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. මේ සඳහා රුපියල් මිලියන 151.3 ක ප්‍රතිපාදන නිදහස් කර ඇත.  ඒකක බිම් ප්‍රමාණයකින් ලබාගත හැකි අස්වැන්න ඉහළ නංවමින් හෙක්ටයාර් එකකින් මෙට්‍රික් ටොන් 07 ක වී අස්වැන්නක් ඉලක්ක කරගනිිමින් පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම සඳහා පැරෂුට් තැටි ලක්ෂ 32 ක් ගොවීන් වෙත ලබාදීම සඳහා රුපියල් මිලියන 197.7 ක ප්‍රතිපාදන යොදවන ලදී.

සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් නිවැරදි දත්ත පද්ධතියක් අවශ්‍ය වේ. රජයේ සංවර්ධන සැලසුම් සකස් කිරීම, සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ ලැබෙන අස්වැන්න පුරෝකථනය කර ආහාර බෝග ආනයන අපනයන සීමාවන් තීරණය කිරීමට මෙම දත්ත පද්ධතිය විශේෂයෙන් උපකාරී වේ. මේ සඳහා Geo Goviya මෘදුකාංගය භාවිත කර දිවයිනේ සියලු කුඹුරු ඉඩම් මැනීම සිදුකරන ලදී. එම දත්ත Digital කෘෂිකාර්මික ඉඩම් ලේඛනයට (කුඹුරු) ඇතුළත් කිරීම දෙපාර්තමේන්තුව 2023 වසරේදී ක්‍රියාත්මක කළ ජයග්‍රාහී ඉදිරි පියවරකි. මේ සඳහා රුපියල් මිලියන 374.8 ක ප්‍රතිපාදන යොදවන ලදී.

මීට අමතරව ජල කළමනාකරණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 32.9 ක් යෙදවීමත්, වල් පැළෑටි මර්දනය සඳහා රුපියල් මිලියන 8.2 ක ප්‍රතිපාදන යෙදවීමත් තුළින් ජල කළමනාකරණ වැඩසටහන් සහ  අස්වනු ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.

මෙම සංවර්ධන  ව්‍යාපෘති වලට අමතරව 2023 යල කන්නයේදී වී වගා කරන ගොවීන් 911,409 ක් සඳහා රුපියල් මිලියන 10,115.6 ක මූල්‍ය ආධාරයක් ද 2023/24 මහ කන්නයේදී වී වගා කරන ගොවීන් 1,574,710 ක් සඳහා කුඹුරු ඉඩම් හෙක්ටයාර 734,214.58 කට රුපියල් මිලියන 11,028 ක මූල්‍ය ආධාරයක්ද ගොවීන් වෙත ලබාදීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය වසර තුළ සිදුකළ සුවිශේෂී කාර්යභාරයකි.

ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු සාර්ථක කරගැනීම සඳහා 2023 වසරේදී රුපියල් මිලියන 7,086 ක ණය මුදල් ගොවිජන බැංකුව මඟින් ගොවීන් 59,731 ක් සඳහා  ලබාදී ඇත. දැනට ගොවිජන බැංකු කොටස්, ඉතිරිකිරීම්, පෙරමඟ ළමා ඉතුරුම් ගිණුම්, ගොවි සංවිධාන ගිණුම්, කාන්තා ගොවි සංවිධාන ගිණුම් සහ කුඩා කණ්ඩායම් ගිණුම්වල මූල්‍ය වත්කම රුපියල් මිලියන 3,747 කි. ගොවීන්ගේ ඉතුරුම් ප්‍රවර්ධනය කිරීම තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම මුදල් ආයෝජනය තුළින් සිදුකරනු ඇත.

ගොවීන්ට තම වගා කටයුතු සිදුකිරීමේදී නීතිමය බාධාවන් වළක්වා ගැනීම සඳහා ගොවිජන නීතිය ක්‍රියාත්මක කරන ලදී. මේ යටතේ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතට අදාළ වන ගොවි ආරවුල් පැමිණිලි  1167 ක් සඳහා විසඳුම් ලබාදී ඇති අතර, ගොවිජන විනිශ්චය සභාව විසින් පැමිණිලි 8000 කට ආසන්න ප්‍රමාණයකට විසඳුම් ලබාදී ඇත.

කෘෂිකාර්මික කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව සිදු කිරීම සඳහා 2023 වර්ෂයේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නිලධාරීන්ගේ සහ ගොවි නියෝජිතයන්ගේ දැනුම කුසලතා වර්ධනය කිරීම

සඳහා විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළවන පුහුණු වැඩසටහන් 50ක් සිදු කරන ලදී. මේ සඳහා රු.මි 13.6ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලදී.

2023 වසරේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඉටුකරන ලද ඉහත වැඩකොටස් වලට අමතරව ගොවිජන සේවා මධ්‍යස්ථාන 567 ක් සහ ක්‍රියාකාරී ගොවි සංවිධාන 16,840 ක් මඟින් ගොවිජන ශුභ සිද්ධිය උදෙසා ඉටුකරන ලද සේවය මිල කළ නොහැකිය.

2024 වර්ෂයේදී දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා දැනටමත් අවශ්‍ය නීතිමය රාමුව ශක්තිමත් කර ඇත. මේ සඳහා චක්‍රලේඛ මාර්ගෝපදේශ සංග්‍රහ විධිමත් හා යාවත්කාලීන කරන ලදී. ව්‍යාපෘති හඳුනාගැනීමේ සිට සංවර්ධනය කරන ලද ව්‍යාපෘති ගොවීන් අතට පත් කිරීමෙන් පසු නඩත්තු කිරීමේ ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛ හා මාර්ගෝපදේශ මඟින් උපදෙස් ලබාදී ඇත්තේ තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක දැඩි අවශ්‍යතාවය නිසාමය.2024 වර්ෂයේදී රුපියල් මිලියන 3000ක ප්‍රතිපාදන යොදවමින් තෙත් කළාපීය හඳුනාගත් පුරන් කුඹුරු ස්ථිර බෝග සඳහා යෙදවීම, ගොඩ ඉඩම් සහ වාණිජ ගෙවතු ඉඩම් සංවර්ධනය කිරීම, කෘෂිකාර්මික මාර්ග සංවර්ධනය, අබලන් වැව් සංවර්ධනය කිරීම, සුළුවාරිමාර්ග සුළු අලුත්වැඩියාවන් සිදු කිරීම, ගංවතුර හානි සිදුවූ වාරිමාර්ග අලුත්වැඩියා කිරීම, සුළු වාරිමාර්ග වැව් හා අමුණු ප්‍රතිසංස්කරණය සහ නඩත්තු අරමුදල් පිහිටු වීම, කෘෂි ලිං ප්‍රතිසංස්කරණය, සූර්ය ජල පොම්ප පද්ධති ස්ථාපිත කිරීම, සුහුරු ආදර්ශ ගම්මාන සංවර්ධනය, ඩිජිටල් කෘෂිකාර්මික ඉඩම් (කුඹුරු නොවන) ලේඛනයක් සකස් කිරීම, අක්කර දස දහසක පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම, Laser land leveler උපකරණය මගින් කුඹුරු ඉඩම්වල ලියදි විශාල කිරීම හා මට්ටම් කිරීම වී වගාව සඳහා පැළ සිටුවන යන්ත්‍ර හා බලවේග වල් මර්ධන යත්ත්‍ර භාවිතය, කෘෂිකාර්මික බෝග සඳහා පොහොර හා කෘෂි රසායන යෙදීමට ඩ්‍රෝන යන්ත්‍ර භාවිත කිරීම සහ වන සතුන්ගෙන් වගා බිම් ආරක්ෂා කිරීමට සෘතුමය වගා ආරක්ෂක වැට ඉදිකිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ප්‍රමුඛතාවය අනුව ව්‍යාපෘති හඳුනා ගැනීම සහ අනුමත ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන නිදහස් කිරීම සිදු කරමින් පවතී. මහජන මුදල් වැයකර සිදුකරන මෙම ව්‍යාපෘති වල ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට අත්කර ගැනීමට නම් අදාළ සංවර්ධන වැඩසටහන් තුළින් කෘෂි නිෂ්පාදනය ඉහළ යාම මෙන්ම ගුණාත්මක නිෂ්පාදන අවශ්‍ය කාලයට පාරිභෝගිකයන්ට සහන මිලට ලබා ගැනීමට හැකිවිය යුතුය. මේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් වගවීමෙන් යුතුව මේ වන විටත් කටයුතු කරමින් පවතී.

ජාතිය ජීවත් කරවීම උදෙසා ස්වභාවධර්මය හා අනුගත වෙමින් පරාර්ථකාමී චින්තනයෙන් දේශීය කෘෂිකර්මාන්තයේ අනන්‍යතාවය තහවුරු කරමින් නවීන තාක්ෂණය ගොවිබිමට සමීප කරමින් සුරක්ෂිත ස්වයංපෝෂිත රටක් හෙට දවසේ උරුම කර දීම අප සැමගේ ජාතික වගකීමක් විය යුතුය.

ජානක කස්තුරිආරච්චි 

            ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් (සංවර්ධන)
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *