ආහාර වලින් ස්වයංපෝෂිත වීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවෙයි – මිත්‍රපාල ලංකේශ්වර සභාපති, රත්න සමූහ ව්‍යාපාරය
‘රත්න සමූහ ව්‍යාපාරය’ යනු මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය ව්‍යාපාර ජාලයකි. 17 හැවිරිදි තරුණ ගොවියෙකු විසින් 1978 දී ආරම්භ කළ රත්න සහල් ව්‍යාපාරය මේ වන විට ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව මැද පෙරදිග කලාපයේ ජනතාවට ද ‘බත’ සැපයීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටී. වී ගොවියාට සාධාරණ මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් සැපයීම තම ප්‍රමුඛ අරමුණ කරගත් රත්න සමූහ ව්‍යාපාරයේ අධිපති ‘මිත්‍රපාල ලංකේශ්වර’ මහතා කෘෂිකර්මාන්තයේ තිරසර සංවර්ධනය වෙනුවෙන් ද නැවුම් අදහස් ඇත්තෙකි. අඩසියවකට ආසන්න කාලයක් සහල් ඇතුළු ව්‍යාපාර රැසක යෙදෙමින් ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් සමග සමීපව කටයුතු කරන රත්න සමූහ ව්‍යාපාරයේ අධිපති, මිත්‍රපාල ලංකේශ්වර මහතා සමඟ ‘ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකින් මෙම ලිපිය සැකසී ඇත.
මගේ පියා 1950 ගණන්වල අගභාගයේ කොළඹ සිට පොළොන්නරුව පුළස්තිගමට පැමිණි අයෙක්. ඔහුගේ රැකියාව වුණේ ගොවිතැනයි. ඒ අනුව මගේ ජීවිතය ආරම්භ වන්නෙත් ගොවියෙක් ලෙසයි. මම සහල් ව්‍යාපාරයට අවතීර්ණ වෙන්නේ 1978 දී. ඒ කාලේ අපේ ගමේ වී වගා කළ ගොවීන්ට වී ටික අලෙවිකර ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ වෙන කොට මගේ වයස අවුරුදු 17ක් විතර ඇති. මම හිතුවා අපේ ප්‍රදේශයේ ගොවිජනතාවගේ වී මරදගහමුලට අලෙවි කරන්න පුළුවන් කියලා. ඒ අනුව මම අපේ ගොවීන්ගේ වී මිලට අරගෙන මරදගහමුලට අලෙවි කරමින් අපේ ප්‍රදේශයේ වී ගොවීන් කාලයක් තිස්සේ මුහුණ දීලා තිබුණ ගැටලුවක් විසඳුවා. මේ අතර මම දැක්කා මරදගහමුල ප්‍රදේශයේ වී මෝල් තිබෙනවා. අපෙන් මිලට ගන්න වී තමයි ඔවුන් සහල් බවට පත්කරන්නේ. මේකට මගේ හිත ගියා. මමත් හිතුවා වී මෝලක් ආරම්භ කළොත් වඩාත් පහසුයි, ලාභයි කියලා. ඊට පස්සේ මගේ පියාගේ වත්තේ පහළ පුංචි වී මෝලක් ආරම්භ කරන්න මට පුළුවන් වුණා. ඒ අනුව සහල් නිෂ්පාදනයට මම යොමු වුණා. ‘රත්න සහල්’ ව්‍යාපාරය ආරම්භ වුණේ ඒ ආකාරයෙනුයි. අද ලංකාව පුරාම ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ‘රත්න සහල්’ ව්‍යාපාරයේ ආරම්භ සිදු වුණේ පුංචි ව්‍යාපාරයක් විදිහටයි.
අපේ පරමාර්ථය
රත්න සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන පරමාර්ථයක් තමයි ‘වී මිල අඩු නොකර හොඳ මිලක් ගොවියට ලබාදීම’. අපි දෛනිකව වී ලොරි 200-300ක් මිලදී ගන්නවා. අපි මේ වී මිලදී ගැනීම අඩු කළොත් වී මිල වේගයෙන් පහළ බහිනවා. ඒ නිසා අපි වී මිල අඩු නොවෙන්නත්, සහල් මිල ඉහළ නොයන්නත් වගබලා ගනිමින් මේ දෙක මනාව තුලනය කරගෙන යාමට පියවර ගන්නවා. තවත් වැදගත් කරුණක් තිබෙනවා. අපි වසර පුරාම සහල් පාරිභෝජනය කළාට අපිට වී ලැබෙන්නේ වසරකට මාස හතරක් පමණයි. මේ මාස හතරේ ලැබෙන වී තොග කළමනාකරණය කරමින් ඉතිරි මාස අට පුරා රටේ ජනතාවට සහල් ලබාදීමේ වගකීම අපට තිබෙනවා. ඒ අනුව අපි ද ඇතුළත්ව සියලු මෝල් හිමියෝ තොග රැස්කර ගැනීමක් කරනවා.
වී කිලෝ 650කින් පමණ තමයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ. මේ ආකාරයෙන් දහසකුත් එකක් කැපකිරීම් සහ අභියෝග මැද රත්න සහල් ව්‍යාපාරය ලංකාවටම සහල් සපයන දැවැන්ත හා ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත් වුණා. ඊට පස්සේ මට හිතුණා මේ ව්‍යාපාරය තව දුරටත් පුළුල් කළ යුතුයි කියලා. ඒ අනුව සහල් ව්‍යාපාරයට වඩාත් වැදගත් වන සහල් ඇසුරුම් නිෂ්පාදනය කරන ‘පොලිසැක්’ කර්මාන්තශාලාවක්, සහල් මෝල්වලින් පිරිසිදු කර පිට කරන ජලයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා අක්කර 200ක ටොම්ජේසී අඹ වගාවක්, බිම්ගල් (ඉන්ටර්ලොක් ගල්) නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක්, සංචාරක සහ ව්‍යාපාරික කටයුතුවලට හෙළිකොප්ටර් සේවා ලබා දෙන ‘Rathna Aviation’ සමාගම සහ සංචාරක හෝටල් ජාලයක් දක්වා ‘රත්න සමූහ ව්‍යාපාරය’ පුළුල් කිරීමට මට හැකියාව ලැබුණා.
බඩඉරිඟුවලින් රට ස්වයංපෝෂිත කිරීම
මේ සියලු ව්‍යපාර අතර තවත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මම මෑතකදී පියවර ගත්තා. ඒ මේ රටේ ජාතික අවශ්‍යතාවක් බවට පත්ව ඇති, බඩඉරිඟු වලින් රට ස්වයංපෝෂිත කිරීම වෙනුවෙන් ‘රත්න ඇග්‍රෝ හෝල්ඩිං පුද්ගලික සමාගම’ ආරම්භ කළා. එහි අරමුණ වන්නේ ගොවි ආර්ථිකය ශක්තිමත් කරමින් මේ රටට අවශ්‍ය බඩඉරිඟු රට තුළම නිෂ්පාදනය කරමින් ඒ වෙනුවෙන් පිට රටට ගලා යන ඩොලර් මිලියන ගණනක් රට තුළ ඉතිරිකර ගැනීමයි. ඒ අනුව ත්‍රිපෝෂ ඇතුළු විවිධ නිෂ්පාදන මෙන්ම රටට අවශ්‍යය සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමත් අපට සිදුකළ හැකියි. මෙහි ව්‍යාපාර කළමනාකරු ලෙස ගොවියෙක් වගේම ගොවි නායකයෙක් වන එල්.ආර්. ආනන්ද රාජපක්ෂ මහතා සහ උපදේශකවරයා ලෙස විශ්‍රාමික කෘෂි ව්‍යාප්ති නිලධාරි ඩබ්ලිව්.එම් කරුණාසේන වර්ණසූරිය මහතා කටයුතු කරනවා.
මෙම බඩඉරිඟු වගා ව්‍යාපෘතියේ පළමු පියවර සඳහා ගොවීන් 5000ක් සහභාගී කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවශ්‍ය බඩඉරිඟු බීජ, පොහොර ඇතුළු කෘෂි යෙදවුම් අස්වැන්න නෙළා ඒවා අලෙවි කළ පසු මුදල් ගෙවීමේ පදනම මත ලබාදීමට පියවර ගන්නවා. එසේම මෙම ගොවීන් සහ අපේ
සමාගම අතර ඉදිරි වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම හරහා ඔවුන්ට ‘ගිවිසගත් මිලක්’ ලබාදීමට සැලසුම් කර තිබෙනවා. අපේ ඇස්තමේන්තු අනුව බඩඉරිඟු ගොවියෙකුට කිලෝවකින් රුපියල් 65 – 75ක පමණ ලාභයක් උපයා ගත හැකියි. අක්කරයක බඩඉරිඟු වගා කරන ගොවියෙකුට කිලෝ 3000ක අස්වැන්නක් ලැබුණොත් මාස හතරකින් 225,000ක ශුද්ධ ලාභයක් ලබාගත හැකියි.
වර්තමානය වන විට රත්න සමූහ ව්‍යාපාරය තුළ සේවකයින් 5000-6000ක් පමණ සේවය කරනවා. ඒ වගේම අපේ වැදගත්ම ව්‍යාපාරික කටයුත්ත වන්නේ සහල් ව්‍යාපාරය නිසා සෑම කන්නයකදීම අපේ ව්‍යාපාරයට අයත් ලොරි රථ ගොවීන් ළඟටම ගොස්, ඔවුන්ට කිසිම ආකාරයක අපහසුතාවක් ඇති නොවන ආකාරයට සාධාරණ මිලක් යටතේ ඔවුන්ගේ වී මිලදී ගැනීමට පියවර ගෙන තිබෙනවා.
සහල් ව්‍යාපාරය කියන්නේ තරමක් සංකීර්ණ ව්‍යාපාරයක්. අපිට වී ගොවියා වගේම සහල් පාරිභෝගිකයා ගැනත් අවධානය යොමු කිරීමට සිදුවෙනවා. විශේෂයෙන් ලංකාවේ සහල් පාරිභෝජනය කරන ජනතාවට සාධාරණ මිලකට සහල් ලබාදීමට අපට සිදුවෙනවා. ඒ තුළ තමයි වී මිල තීරණ වන ක්‍රමවේදය සකස් කර තිබෙන්නේ. මට පසුගිය දා ගරු ජනාධිපතිතුමා මුණ ගැසුණා. එතුමා එහිදීත් ප්‍රකාශ කළේ, ‘සහල් ව්‍යාපාරය ආණ්ඩුවට කරන්න බැහැ. ඒ නිසා පෞද්ගලික අංශය මැදිහත් වෙලා වී ගොවියාත් සහල් පාරිභෝගිකයාත් බේරා ගෙන කටයුතු කරන්න කියලා’ අපි කටයුතු කරන්නේ වී ගොවිජනතාවට සාධාරණ මිලක් සහ සහල් පාරිභෝගිකයින්ටත් සාධාරණ මිලක් ලැබෙන ආකාරයටයි. අපි මේ දෙපිරිස ගැනම අවබෝධයෙන් කටයුතු කරනවා.
එදා සහ අද වෙනස
මම සහල් ව්‍යාපාරයට පැමිණෙන විට මෙය කුඩා ව්‍යාපාරයක්. අපි වී මෝල් හිමියන් දෙතුන් දෙනෙක් තමයි මේ ව්‍යාපාරය කරගෙන ගියේ. ඒ කාලේ ඒ හැටි තාක්ෂණයක් තිබුණේ නැහැ. නමුත් අද සහල් සැකසුම් ව්‍යාපාරය කියන්නේ නවීන තාක්ෂණය සමග කටයුතු කරන දැවැන්ත ව්‍යාපාරයක්. අද සහල් පාරිභෝගිකයාට තියෙන්නේ මල්ලෙන් ගන්න සහල් ටික බත් හැලියට හෝ රයිස් කුකර් එකට දාලා තම්බා ගැනීම පමණයි. අද වන විට ලෝකයේ ඉහළම ප්‍රමිතියෙන් යුත් සහල් බවට අපේ රත්න සහල් පත්ව තිබෙනවා.
රත්න සහල් ව්‍යාපාරය ලංකාව පුරා පැතිරුණු ශක්තිමත් ව්‍යාපාරයක්. මේ තත්ත්වය තුළ රත්න සහල් ඩුබායි රාජ්‍ය ඇතුළු මැදපෙරදිග රටවල් වෙත අපනයනය කිරීමට අවශ්‍ය සියලුම පියවර මම මේ වන විට ගෙන තිබෙනවා. ඒ අනුව අපේ කාර්යාලයක් ඩුබාහි ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම ඒ රටේ නීතියට අනුව ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම නෛතික පියවර ගෙන තිබෙනවා. මේ වන විට අපේ නියෝජිතයෙක් ඩුබායි හි සේවය කරනවා. තවත් ඉතාම කෙටි කාලයකින් සහල් තොගයක් ඩුබායි වෙත අපනයනය කිරීමට පියවර ගන්නවා. ඩුබායි කාර්යාලය හරහා මැදපෙරදිග ඇතුළු සෙසු රටවල් සමග ද කටයුතු කර, ඔවුන්ගෙන් ලබා ගන්නා සහල් ඇණවුම් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර අපනයනය කිරීමයි අපේ සැලසුම වන්නේ. මේ ලිපිය පළවන විටත් රත්න සහල් ඩුබායි වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට හැකි වේවි.
වී වගාව ලාභයක් නැති ව්‍යාපාරයක් ද ?
මම මේ ගැන මීට මාස හයකට පමණ පෙර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කතා කළා. මගේ අදහස වන්නේ අපි වී වගා කළ යුත්තේ ජාතික අවශ්‍යතාව සහ සහල් පාරිභෝජනය ගැන නිසි අවබෝධයක් සහිතවයි. උදාහරණයක් විදිහට නාඩු 50%ක්, සම්බා 15%ක්, කීරි සම්බා 25%ක් සහ රතු සහල් 10%ක් වශයෙන් සහල් අවශ්‍යතාවක් තිබෙනවා. මේ ප්‍රතිශතය අනුව වී වගා කළොත් ගොවියට සාධාරණ මිලක් ලබාදීමට හැකි වෙනවා මෙන්ම සහල් පරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් මීලදී ගැනීමට අවස්ථාව ලැබෙනවා.
මේ ක්‍රියාවලිය ඒ ඒ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් හරහා මනාව සම්බන්ධීකරණය කළ හැකියි. මෙවැනි පූර්ව තාක්සේරුවක් නැති නිසා ගොවියෝ මේ කන්නේ ඉහළ මිලක් ලැබුණු වී වර්ගය ඊළඟ කන්නයේදී වගා කරනවා. අස්වනු නෙළන විට ඇතැම් වී වර්ගවල නිෂ්පාදනය වැඩියි. ඒ නිසා ඒ වී වලට සාධාරණ මිලක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා මම කියන්නේ අපි ජාතික අවශ්‍යතාව ගැන පූර්ව නිගමනවලට ඇවිත් වගා කරන වී වර්ගය දැඩිව කළමනාකරණය කළ යුතුයි.
මගේ අදහස අනුව ‘පෙර කන්න රැස්වීමේදී’ තමයි මේ ගැන සාකච්ඡා කර ගොවීන්ව දැනුවත් කළ යුත්තේ. රජය, ගොවියා සහ සහල් ව්‍යාපාරිකයින් මේ සාකච්ඡාවට සම්බන්ධ විය යුතුයි. ඔවුන් අතර ඇතිවන පොදු එකඟත්වයක් අනුව වී නිෂ්පාදනය, වී මිල සහ අවසානයේ සහල් මිල ගැන ස්ථාවර ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට හැකියාව තිබෙනවා. මම නැවත අවධාරණය කරනවා, වී ගොවියට සාධාරණ මිලක් සහ සහල් පාරිභෝගිකයාට දරාගත හැකි මිලක් ලැබීමට නම් වී නිෂ්පාදනය නිසි ලෙස කළමනාකරණය කළ යුතුමයි.
නිෂ්පාදන වියදම සහ යෙදවුම් මිල
සහල් නිෂ්පාදනයේ දී වී මිල සහ සහල් නිෂ්පාදනයට යන විදුලිය, වැටුප් ඇතුළු යෙදවුම් මිල ගණන් තීරණාත්මකයි. ඒ සියල්ල අතර වී තමයි තිරණාත්මක වෙන්නේ. මීට පෙර අපිට සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වුණේ වී කිලෝ 1.2ක් වාගේ ප්‍රමාණයක්. ඊට පස්සේ සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට වී කිලෝ 1.5ක් අවශ්‍ය වුණා. ඊට පස්සේ 1.6ක් අවශ්‍ය වුණා. දැන් සහල් කිලෝවක් නිෂ්පාදනය කරන්න වී කිලෝ 1.8ක් පමණ අවශ්‍ය වෙනවා. මේකට හේතුව දැන් තියෙන වී වල ප්‍රමිතිය බාලයි. මේක ගොවියට කරන චෝදනාවක් නොවෙයි. දැන් අපට ලැබෙන වී වල අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩියි. අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි නිසා සහල් නිෂ්පාදනයට වැඩි වී ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ අනුව සහල් මිල ඉහළ යාම ස්වභාවිකවම සිදුවෙනවා. වෙළදපොළ වී මිලදී ගන්නා ගැනුම්කරුවන්ගේ තරගකාරීත්වය තුළ මීට වඩා පිරිසිදු භාවයෙන් යුතු වී ගොවියා විසින් වෙළදපොළට ලබා දෙනවානම් වෙළදපොළෙහි සහල් සහ වී වල මිල පරතරය ළංව පවත්වා ගෙන යෑමට පුළුවනි. වර්තමානයේ අපට එය පාලනය කළ නොහැක්කේ සරලව කිවහොත් ‘පිරිසිදු වී’ නොලැබීම නිසයි. මේ ආකාරයෙන් අපිරිසිදු වී වෙළද පොළට ලැබෙන්නේ තාක්ෂණික උපකරණ භාවිතයෙන් අස්වැන්න නෙළීමතුලින් සිදුවන යම් යම් තත්ත්වයන් හේතුවෙනුයි. ඉස්සර වාගේ වී කපලා, පාගලා, හුළං කරලා, බොල් වී අයින් කිරීමක් අද සිදුවන්නෙම නැහැ. මැෂිම වෙළට දාලා ගොයම් කපනවා, ඒ එක්කම ඒවා ගෝනිවලට අසුරනවා. බොල් වී, කාටුව වාගේ හැම දෙයක්ම වී ගෝනියට යනවා. ඒ වගේම දැන් ලැබෙන වී වල තෙතමනයත් වැඩියි. ඒ අනුව නිෂ්පාදන වියදම ඉහළ යාම තුළි සහල් මිලෙහි ඉහළ යාම ව්‍යාපාරිකයාට වළක්වාලිය නොහැකියි.
නවීන තාක්ෂණය අවශ්‍යයි
මම සාම්ප්‍රදායික තාක්ෂණය වගේම නවීන තාක්ෂණයත් දැක්ක, ඒක භාවිත කළ කෙනෙක්. ඒ නිසා මට මේ ගැන මනා වැටහීමක් තිබෙනවා. මම කියන්නේ අපි නවීන තාක්ෂණය වෙත යොමුවිය යුතුමයි. ඒකට හේතු රැසක් තිබෙනවා. විශේෂයෙන් කෘෂි කම්කරුවන්ගේ හිඟය බරපතළ ලෙස තිබෙනවා. ඒ වගේම තරුණ පරපුර කෘෂිකර්මාන්තය සහ වී වගාව වෙත යොමුවීම ඉතා අඩුයි. ඒ නිසා නවීන තාක්ෂණය වෙත අපට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවෙනවා.
තවත් වැදගත් කරුණක් තමයි අපේ රටේ සමස්තයක් ලෙස වී නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවට ප්‍රමාණවත් නැහැ. නිෂ්පාදනය වැඩි දියුණු කිරීම අවශ්‍ය වුණත් වගා බිම් ප්‍රමාණය පුළුල් කළ නොහැකියි. තවත් වැදගත් කරුණක් වන්නේ යල මහ දෙකන්නයට අමතරව අතරමැදි කන්නයක් සඳහා වී ගොවියා උනන්දු කරවීමයි. මේ සඳහා ඉතා කෙටිකාලීනව අස්වැන්න නෙළිය හැකි, මාස 2 ½ කින් පමණ අස්වනු ලබා ගත හැකි වැඩි දියුණු කළ බීජ වී වර්ගයක් අදාළ පර්යේෂණ ආයතන මගින් නිසි පරිදි හඳුන්වා දී, ගොවියා අතරමැදි කන්නයක වගා කටයුතු සඳහා යොමු කරවීමට අදාළ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් මැදිහත් වී කටයුතු කරන්නේ නම් ඉතා වැදගත් බව මෙහිදී සඳහන් කිරිමට කැමතියි. මේ තුළින් වගා කන්න තුනකට යන්න පුළුවන් නම් ජාතික වී නිෂ්පාදනය ඉහළ දැමීමට මෙන්ම ගොවීන්ට අතිරේක ආදායමක් ලබා ගැනීමටත් පුළුවන් ඒ වගේම අතිරිත්තය අපනයනය කිරීමටත් පුළුවන්. ඒ වගේම වී මිලෙහි සහ සහල් මිලෙහි යම් පාලනයක් පවත්වා ගනීමින් අතිරිත්තය අපනයනය කිරීමටත් පුළුවන්.
ගැටලු රැසක්
සහල් ව්‍යාපාරිකයින් ගැටලු කිහිපයකට මුහුණ දෙනවා. ඇත්තටම අපිව ‘බිත්තයට හේත්තු කරලා’ තිබෙන්නේ. ඒ කියන්නේ වී මිලදී ගත යුතු මිලකුත්, සහල් අලෙවි කළ යුතු මිලකුත් රජය විසින් නියම කර තිබෙනවා. අපි මේ නීති අනුව කටයුතු කළ යුතුයි. ගොවියට වැඩි මිලක් ලබාදීමට නම් අපි සහල් මිල ඉහළ දැමිය යුතුයි. නමුත් සහල් මිල වැඩි කළ විට සහල් පාරිභෝගිකයින්ට එය ගැටලුවක් වෙනවා. මේක සැලකිය යුතු සංකීර්ණ ගැටලුවක්.
ඒ වගේම තමයි පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට සහල් ආනයනය කරනවා නම් සහල් ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්න කියලා අපි ජනාධිපතිතුමාටත් කියලා තිබෙනවා. විශේෂයෙන් ‘කීරි සම්බා’ කීරි සම්බා කියලා ජාතියක් වෙන රටවල නැහැ. නියම රසයක් තිබෙන කීරි සම්බා තියෙන්නේ ලංකාවේ පමණයි. නමුත් විවිධාකාරයෙන් කීරි සම්බා කියලා සහල් ආනයනයට ඇතැම් පිරිසි පියවර ගන්නා බව අපි දන්නවා. අපි කියන්නේ කීරි සම්බා පමණක් නොවෙයි කිසිම සහල් වර්ගයක් ආනයනය නොකළ යුතුයි. අපේ ගොවීන්ට අවශ්‍ය පොහොර ටික, වතුර ටික නිසි වේලාවට දුන්නොත් අපනයනය කිරීම තරම් ප්‍රමාණවත් අස්වැන්නක් අපිට ලබාගත හැකියි.
මම කියන්නේ ජනමාධ්‍ය අපව කැඳවලා අපෙන් අදහස් ලබාගත යුතුයි. මම චෝදනා කරනවා නෙමෙයි, ජනමාධ්‍ය වැඩි උනන්දුවක් දක්වන්නේ ‘රටේ ජනතාව අහන්න කැමැති කතා, වචන’ කියන්න. ඒවට තමයි ජනමාධ්‍ය ප්‍රමුඛතාව දෙන්නේ. දුර දක්නා ව්‍යාපාරිකයෙක් ‘තනි ව්‍යාපාරයක්’ කරන්නේ නැහැ. ඒකේම රැදිලා ඉන්නේ නැහැ. ඔහු විවිධ ව්‍යාපාර සොයා ගෙන කරනවා. ඔහු තීන්දු ගන්නේ ඔහුගේ දැක්ම සහ අවස්ථාවන් අනුව. මේ ගැන මගේම උදාහරණයක් දුන්නොත් මම මේ දින වල රට පුරා වැසී ගොස් තිබෙන හෝටල් සහ අනෙකුත් ව්‍යාපාර මිලදී ගන්නවා. මට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් රටට විදේශ විනිමය උපයා දීමට අවශ්‍ය්‍යි. තරුණ – තරුණියන්ට රැකී රක්ෂා ලබාදීමට අවශ්‍යයි. මම විශ්වාස කරන්නේ සංචාරක හෝටල් ඇතුළු පහසුකම් දියුණු කිරීම තුළින් අපේ රටේ සංචාරක ව්‍යාපාරය ගැන ලෝකයට යහපත් සංඥාවක් ලබාදිය හැකියි. ඒක ඍජුවම සංචාරක ව්‍යාපාරයේ දියුණුවට හේතු වෙනවා. මම කටයුතු කරන්නේ ඒ දැක්ම අනුවයි. මම කියන්නේ රජය මීට වඩා අප වෙනුවෙන් ප්‍රමාණවත් ලෙස නිසි මැදිහත්වීමක් සිදුකර අදාළ සහයෝගය ලබා දෙන්නේ නම් අප සතු සම්පත් සහ කළමනාකරණ හැකියාව අනුව මීටත් වඩා විශාල දායකත්වයක් රටේ සංවර්ධනයට ලබා දෙන්න පුළුවන්.
ප්‍රමාදය ගැටලුවක්
ව්‍යාපාරිකයින් ලෙස අපිට ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීමේදී ගැටලු සහ අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. උදාහරණයක් විදිහට මගේ වැලිකන්ද සහල් මෝලට විදුලිය ලබා ගන්න මාස හතක් ගත වුණා. මෙවැනි ගැටලු ඉතාම පහසුවෙන් ලිහාගත හැකියි. අලුතින් ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයින් මුහුණ දෙන ගැටලු සහ සේවා අවශ්‍යතා ගැන සොයා බලා කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් නිලධාරියෙක් පත් කළ හැකිනම් ඉතා වැදගත්. ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදාළ සියලු සේවා කටයුතු එකම ස්ථානයකින් ඉටුකර දීමට ද වගබලා ගත යුතුයි. මේකට සුදුසුම තැන තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එහි ව්‍යාපාර සංවර්ධන හා සම්බන්ධීකරණය වෙනුවෙන්, ඔවුන් මුහුණ දෙන ගැටලු සහ අභියෝගවලට පිළියම් යෙදීම වෙනුවෙන් ලේකම්වරයෙක් සිටිය යුතුයි. ඔහු හරහා මේ කටයුතු ඉටුකර ගැනීමට හැකියාව ලබාදිය යුතුයි. මේ සඳහා කොළඹ වරාය නගර සංවර්ධන කටයුතු උදාහරණයට ගත හැකියි.
රත්න සමූහ ව්‍යාපාරය මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගත් ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තෝරාගත් පවුල්වලට කුකුළු පැටවුන් 100 බැගින් නොමිලේ ලබාදීමට පියවර ගන්නවා. මේ හරහා අදාළ ප්‍රතිලාභීන්ට සැලකිය යුතු දෛනික ආදායමක් ලබාගත හැකියි. එසේම මෙම වැඩසටහන මගින් රටේ බිත්තර අවශ්‍යතාව සපුරා ගැනීමට සහයෝගයක් හිමිවන බව වගේ විශ්වාසයයි. මම කියන්නේ ගොවිජනතාව සමග ව්‍යාපාර වල නියෙලෙන අපට මේ ආකාරයේ වැඩසටහන් ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ක්‍රියාත්මක කළ හැකියි. ඒත් ගැටලුවකින්, බාධාවකින් හෝ ප්‍රමාදයකින් තොරව මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපට අවශ්‍ය සහයෝගය රජයේ මැදිහත්වීම තුළින් ලබාදිය යුතුයි.
කෘෂි ව්‍යවසායකත්වය
මම හිතන විදිහට, මගේ අත්දැකීම අනුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ මැදිහත් වීම තුළින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් අපි අවශ්‍ය බෝග තෝරාගත යුතුයි. ප්‍රාදේශීය ලේකම්තුමාගේ හෝ තුමියගේ අධීක්ෂණය හෝ මගපෙන්වීම මත අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වී වගා කරන කුඹුරු ඉඩම් හැර, වගා නොකරන සෙසු ඉඩම් තෝරා ගෙන ඒ ඒ භූමියට ගැළපෙන බෝගය හෝ බෝග වර්ග වගා කිරීමට ගොවියා උන්නදු කරවීමට පියවර ගත යුතුයි. ඒ අනුව කවුපි, මිරිස්, උදු , මුං ආදි ආර්ථික වටිනාකම වැඩි, රටට අවශ්‍ය බෝග වගාව සිදුකළ හැකියි. ඒත් මෙහිදී වැදගත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව අපි ගොවියට නිසි උපදෙස් ලබාදීමක් සහ මග පෙන්වීමක් කළ යුතුයි.
කෘෂිකර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන, ප්‍රාදේශීය මට්ටමින් පත්කර ඇති සියලුම නිලධාරීන් ගොවීන් වෙත යා යුතුයි. ඔවුන්ට නිසි මාර්ගෝපදේශ ලබාදිය යුතුයි.
මෙහිදී ‘ඉදිරි වෙළෙඳ ගිවිසුම් සමග කටයුතු කළ හැකියි. මිල ගැන තීන්දුව ගන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා. එතුමාගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ හෝ ආසන්නයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ආරම්භ කළ හැකියි. ඒ හරහා එකතු කරන බෝග අවශ්‍යතාව අනුව රටපුරා බෙදා හැරීමට පුළුවන්. එහෙම කළොත් ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින්, අපේ පාරිභෝගික ජනතාවට අවශ්‍ය ආහාර දැරිය හැකි මිලකට ලබා දෙමින් ආනයනය සඳහා යන දැවැන්ත විදේශ විනියම ප්‍රමාණයත් පහසුවෙන් රට තුළ රඳවා තබාගත හැකියි. මේක මම කියනවා වාගේ පහසු කටයුත්තක් නොවුණත් උත්සාහය සහ කැපවීම තිබෙනවා නම් මෙය ඉටුකර ගත හැකියි.
තරුණ සහභාගීත්වය
තරුණයෝ කෘෂිකර්මාන්තය වෙත යොමු නොවීම කාලයක් පුරා පවතින ගැටලුවක්. ඒත් මගේ අදහස අනුව තරුණයෝ කෘෂිකර්මාන්තය තුළ රඳවා තබා ගැනීමට හෝ ඊට යොමුකර ගැනීමට නම් කෘෂිකර්මාන්තය තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත හැකි බවට ඔවුන් තුළ ‘විශ්වාසය’ තහවුරු කළ යුතුයි. තමන්‌ගේ ශ්‍රමයට, ආයෝජනයට ලැබෙන ලාභය ගැන ඔවුන් තුළ තෘප්තිමත්භාවයක් තිබිය යූතුයි. මේ වගේ තරුණයින් ද ඇතුළත්ව ගොවිජනතාව දිරිමත් කරන තිරසර, ඵලදායී වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. මගේ අදහස අනුව මෙය කළ යුත්තේ තමන් රාජකාරී කටයුතු කරන ප්‍රදේශය ගැන, එහි සම්පත් සහ ගැටලු ගැන මනා අවබෝධයක් තිබෙන, කුඩා ප්‍රදේශයක පරිපාලන කටයුතු කරන ප්‍රාදේශීය ලේකම්තුමා හෝ ලේකම්තුමියයි. ඔහු හෝ ඇය විසින් ගොවියා තුළ විශ්වසය සහ තෘප්තිමත්භාවය ඇතිකළ යුතුයි. ඒක කරන්න පුළුවන් දෙයක් බව මගේ හැඟීම හා විශ්වාසයයි. එය ජනමාධ්‍යවලින්, රැස්වීම් වලින් කළ නොහැකියි. ඔහුට දැනෙන ආකාරයෙන් දැනුවත් කිරීමකුයි සිදුවිය යුත්තේ. මෙය කළ යුත්තේ ගොවීන් සහ තරුණයින් සමග සමීපව, ඍජුව කටයුතු කරමින්. ගම්මට්ටමින් සිදුවන සංවාදයකින්, සාකච්ඡාවකින්, ගොවීන් සමග සිදුකරන සංවාදයකින් එය කළ හැකි බව මගේ විශ්වාසයයි. ඒ සමග ගොවීන්ට සහ තරුණ ගොවීන්ට අවශ්‍ය සහන ද ලබාදිය යුතුයි. ඒක ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම වගාවෙන් ලැබෙන ලාභය ගැන ඔහුට පැහැදිලිව වටහා දීමක් කළ යුතුයි. ඒ හරහා තමයි තරුණ ගොවියා තුළ විශ්වාසය සහ සතුට සහ තෘප්තියක් ඇති වෙන්නේ.
අනාගත දැක්ම
අපේ රටේ අනාගතය තිබෙන්නේ කෘෂිකර්මාන්තය මතයි. අපි ස්වභාවික සම්පත්වලින් පරිපූර්ණ රටක් වන අතර ස්වභාව ධර්මයෙන් ද අපට හැම දෙයක්ම ලබාදී තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ හා කෘෂිකර්ම ඇමැතිතුමාගේ සිට ගොවියා දක්වා පහළට නිසි කළමනාකරණයක් හා නායකත්වයක් ලැබුණොත් අපට ඉතාම කෙටි කාලයකින් සියලුම ආහාර සහ අනෙකුත් කෘෂි බෝග අවශ්‍යතා හමුවේ ඇති අභියෝග ජයගත හැකි වනවා වගේම දේශීය කිරි වලින් ස්වයංපෝෂිත විය හැකියි. නිසි පරිදි රාජ්‍ය මැදිහත්වීමක් සහ මග පෙන්වීමක් සිදුවන්නේ නම් සියලුම අවශ්‍යතාවලින් ස්වයංපෝෂිත වීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවේ.