ශ්‍රී ලංකාවේ වී වගාවේ පළිබෝධනාශක භාවිතය අවම කිරීම සහ එ් හා සම්බන්ධ අව භාවිතාවන් අවම කොට තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ගොවීන් හා බැඳුණු සාධක හඳුනා ගැනීම හරහා සාර්ථක නීති රීති සහ නියාමන ක්‍රමෝපායන් සම්පාදනය කිරීම සඳහා ඉවහල් වන බිම් මට්ටමේ තොරතුරු ලබා ගැනීම මෙම අධ්‍යයනයේ මූලික අරමුණයි. මෙම අධ්‍යයනය සඳහා නියැදිය වශයෙන් ප්‍රධාන කෘෂි පාරිසරික කලාප නියෝජනය වන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වී වගා කරනු ලබන දිස්ත්‍රික්ක හතරක් වන අනුරාධපුරය, අම්පාර, කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කයන්ගෙන් ගොවීන් 240ක් තෝරා ගන්නා ලද අතර මේ සඳහා මහවැලි H හා මහවැලි C කලාපයන්හි ගොවීන් ද ඇතුළත් කර ගන්නා ලදී.
අධ්‍යයනයේ සොයා ගැනීම්
කිසිම පළිබෝධයක් හෝ රෝග ලක්ෂණයක් ඇති වීමට පෙර ආරක්ෂාකාරී පිළිවෙතක් ලෙස පළිබෝධනාශක යෙදීමට බහුතරයක් ගොවීහු පුරුදු වී සිටිති. වී ගොවීන්ගෙන් 77% ක් පමණ වී වගාවේ වල් මර්දනය සඳහා වගාව ආරම්භයේ සිට නියමිත කාලයන් තුළ වල්නාශක යෙදීම සිදුකරනු ලබයි. නියැදි ගොවීන්ගෙන් 30%ක් පමණ රෝග ලක්ෂණ ඇතිවූ විට පමණක් පළිබෝධනාශක යොදයි.
වී ගොවීහු බොහොමයක් පළිබෝධනාශක භාවිතය සම්බන්ධ එහි ලේබලයේ අන්තර්ගත උපදෙස් සහ නිර්දේශ පිළිනොපදින අතර නිර්දේශිත ප්‍රමාණයට වැඩි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් වගාවට යොදති. අධ්‍යයනයේ සොයාගැනීම්වලට අනුව 33%ක් පමණ ගොවීහු නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩියෙන් පළිබෝධනාශක යොදනු ලබන මෙලෙස නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩිපුර යෙදීමට හේතුව ලෙස 37%ක් ගොවීන් දක්වා සිටියේ දැනට වෙළඳපොළෙහි ඇති පළිබෝධනාශක එහි ලේබලයේ දක්වා ඇති තරම් පළිබෝධ විනාශකිරීමෙහි ප්‍රබලතාවයක් නොමැති බව තම අත්දැකීම් අනුව දන්නා බැවින් වැඩිපුර යෙදිය යුතු බවය. ගොවීන් සතු මෙම අනවබෝධයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විවිධ පළිබෝධනාශක සතු විවිධ ක්‍රියාකාරිත්වයන් සහ ඒවා පළිබෝධ විනාශ කිරීමට වෙන වෙනස් කාල පරාසයන් ගන්නා බවට ගොවීන් නොදැනුවත් වීමය.
පළිබෝධනාශක යෙදීමට පෙර ගොවීන් සියල්ලන්ම පාහේ ලේබලයේ අන්තර්ගත කාලය ඉකුත් වීමේ දිනය, විෂභාවය, යෙදිය යුතු ආකාරය සහ යෙදිය යුතු සාන්ද්‍රණය යන කරුණු පිළිබදව අවධානය යොමු කරන බව පැවසුවද ඒවා පිළිපැදීම ඉතාම අවම මට්ටකම පවතියි. කෘෂිකාර්මික නිර්දේශයන්, ගැටලු සහ පළිබෝධ පාලනය පිළිබදව නිවැරදි තොරතුරු ලබාදීමට රජයෙන් පත් කරන ලද නිලධාරීන් වන කෘෂිකර්ම උපදේශක සහ කෘෂිකර්ම නිලධාරී යන පුද්ගලයන්ගෙන් උපදෙස් ලබා ගැනීම ගොවීන් තුළ 27%ක් පමණ අවම මට්ටමක පැවතුණි. අනෙකුත් බහුතරය එම තොරතුරු සදහා පළිබෝධනාශක අලෙවි නියෝජිතයන්, අසල්වැසි ගොවීන් සහ තම අතීත අත්දැකීම් මත යැපෙනු දක්නට ලැබුණි.
පළිබෝධනාශක යෙදීම හෝ නොයෙදීම තීරණය කිරීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක ලෙස දත්ත විශ්ලේෂණයේදී සොයා ගනු ලැබුවේ පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව, වී වගාව සම්බන්ධ පෙර අත්දැකීම්, ජල සම්පාදන ක්‍රමය හා පළිබෝධ පාලනය සම්බන්ධව ලැබූ පුහුණුව යන සාධකයන්ය. පළිබෝධනාශක යොදනු ලබන ප්‍රමාණය කෙරෙහි ගොවියගේ වයස, වගා බිම් ප්‍රමාණය, ඉඩමේ අයිතිය, වී මිල, ජල සම්පාදන ක්‍රමය හා පළිබෝධ පාලනය සම්බන්ධව ලැබූ පුහුණුව යන සාධකයන් කැපී පෙනෙන බලපෑමක් ඇති කරනු ලබන බව සොයා ගන්නා ලදී.
අධ්‍යයන නිර්දේශයන්
පළිබෝධනාශක පරිහරණය සහ යෙදීමේදී ඇතිවන අවදානම අවම කරගැනීම සහ රසායනික පළීබෝධනාශක මත අධික ලෙස යැපීම වෙනුවට පරිසර හිතකාමී සුරක්ෂිත පළිබෝධනාශක වෙත ගොවීන් යොමු කරවීම සිදුකළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රධාන ක්‍රමවේදයන් සහ ක්‍රියාකාරකම් වන්නේ; නීති රෙගුලාසි, ආරක්ෂාකාරී ක්‍රමවේදයන් සහ පළිබෝධනාශක ප්‍රචලිත කිරීම, අධ්‍යාපනය, පුහුණුව සහ දැනුවත්කිරීම්, අධීක්ෂණය සහ පසුවිපරම, තොරතුරු හුවමාරුව, ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කිරීම සහ පර්යේෂණ සහ සංවර්ධන සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමය.
පර්යේෂණය මගින් තහවුරු වුයේ පළිබෝධනාශක හා සම්බන්ධ ගොවි මට්ටමේ බොහෝ ගැටලු දැනුවත් වීම මඳකම, වැරදි ආකල්ප සහ හැසිරීම් මෙන්ම කෘෂි ව්‍යාප්ති සේවයේ දුර්වලතා නිසා ඇති වී තිබෙන බවය. එම නිසා ගොවීන්ට, පළිබෝධනාශක බෙදා හරින්නන්ට සහ ව්‍යාප්ති නිලධාරින්ට පලිබෝධනාශක භාවිතය සම්බන්ධ අවම මට්ටමේ හෝ නිසි පුහුණුවක් ලබා දීමට සහ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සහ මැදිහත් වීම රජය මගින් ලබා දිය යුතුය. පළිබෝධනාශක භාවිතය සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම සදහා ජනමාධ්‍යන් ට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කභ හැකිය. එහිදී පළිබෝධනාශක භාවිතයේදී පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රමෝපායන්, සුරක්ෂිත ගබඩා කිරීම, පළිබෝධනාශක අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම, නිවැරදි පළිබෝධනාශක යොදන ක්‍රම සහ නිවැරදි රසායනික ද්‍රව්‍ය භාවිතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.
මෙම අධ්‍යයන සොයාගැනීම් මත පදනම්ව පළිබෝධනාශක අධික ලෙස භාවිතා කරන ප්‍රදේශයන් හි නව පළිබෝධ විශේෂ හඳුනාගැනීම සහ ගොවීන් දැනුවත් කිරීම සඳහා නියමිත කාල පරාසයන් තුළ ක්‍රමානුකූලව පළිබෝධ සායන පැවැත්වීම නිර්දේශ කරයි. දැනුවත්භාවයක් නොමැතිකම, ඒ පිළිබඳව විශ්වාසයක් නොමැතිකම, ක්ෂණික ප්‍රතිපල අත්කර ගැනීමට නොහැකිවීම සහ අවදානමක් ගැනීමට ඇති අකමැත්ත නිසා ගොවීන් ඒකාබද්ධ පළිබෝධ පාලනයට යොමු වීමට මැලිකමක් දක්වයි. නමුත් යාය ක්‍රමය, වල් මර්දන යන්ත්‍ර, පැරෂුට් ක්‍රමය වැනි තාක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කළ ගොවීන් ප්‍රකාශ කර සිටියේ එමඟින් සාර්ථක ප්‍රතිපල අත්කර ගත හැකි බවය. එම නිසා එම තාක්ෂණයන් ගොවීන් අතර ප්‍රචලිත කිරීම සඳහා කෘෂි ව්‍යාප්ති සේවය හරහා මීට වැඩි මැදිහත්වීමක් අවශ්‍යව පවතියි.