ශ්‍රී ලංකාවේ සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තයේ විභවතා, බාධක හා අනාගත අපේක්ෂාවන්

කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ පවතින හිතකර දේශගුණික හා පාංශු තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රසවත් හා ඉහළ විවිධත්වයකින් යුත් නිවර්තන කලාපීය පලතුරු සහ එළවළු බෝග වගා කිරීමේ ඉහළ විභවතාවයක් ඇත. පලතුරු හා එළවළු සැකසුම් අංශය ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම් ක්‍ෂෙත්‍රයේ ඇති මූලික අංශයකි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය පුළුල් කිරීමට සහ විවිධාංගීකරණය කිරීමටත් දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා සැකසූ පලතුරු හා එළවළු නිෂ්පාදන සංවර්ධනය කිරීමටත් මෙම අංශය අතිශයින් වැදගත් වේ. දකුණු ආසියාතික කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව වර්තමානයේදී පලතුරු හා එළවළු නැවුම් ලෙස හා සැකසූ නිෂ්පාදන ලෙස අපනයනයේ සක්‍රීයව නිරත වී සිටීම ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙස දැක්විය හැකිය. එබැවින්, ශ්‍රී ලංකාවේ සැකසූ  පලතුරු හා එළවළු කර්මාන්තය නංවාලීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා දේශීයව සැකසූ පළතුරු සහ එළවළු අංශය සඳහා පවතින වත්මන්  තත්ත්වය, සැකසුම් විභවයන්, බාධාවන්, අලෙවිකරණ පද්ධතිය සහ පාරිභෝගික ඉල්ලුම විශ්ලේෂණය කිරීම යන ප්‍රධාන අරමුණ පෙරදැරිකර ගෙන 2023 වර්ෂයේදී හෙක්ටර් කොබ්බැකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් පර්යේෂණ අධ්‍යනයක් දියත් කරන ලදී.

මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තයේ විභවතා, බාධක හා අනාගත අපේක්ෂාවන් යන මැයෙන් ප්‍රකාශයට පත්  කරන ලද ප්‍රතිපත්ති සංක්ෂිප්තය ඔබට අප ආයතනයේ වෙබ් පිටුවට ( www.harti.gov.lk )  පිවිසීමෙන් ලබා ගත හැකිය. එම අධ්‍යනයේ සොයාගැනීම් ඇසුරෙන් මෙම ලිපිය සකස් කර ඇති අතර ශ්‍රී ලංකාවේ සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තයේ විභවතා, බාධක හා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ගත හැකි ක්‍රියාමාර්ග විග්‍රහ කිරීම මෙම ලිපියෙන් අදහස් කෙරේ.

පලතුරු හා එළවළු සකස් කිරීමෙහි ඇති වැදගත්කම

විටමින්, ඛනිජ ලවණ සහ ආහාරමය තන්තු වලින් බහුල පලතුරු හා එළවළු මානව පෝෂණයෙහි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් මෙම එළවළු හා පලතුරු වලින් බොහොමයක් දින කිහිපයක් හෝ පැය කිහියක් පමණක් කල් තබා ගත හැකි ඉක්මනින් දිරාපත් වන ද්‍රව්‍ය වේ. සමහර එළවළු හා පලතුරු ප්‍රභේද වගා කරනු ලබන්නේ ද ලෝකයේ විශේෂිත ප්‍රදේශ වල පමණයි. එලෙසම බොහොමයක් එළවළු හා පලතුරු අවුරුද්දේ කෙටි කාලයකට පමණක් සීමා වන බව අපිට දක්නට හැකිය. ලෝකයේ එක් ප්‍රදේශයකට පමණක් සීමා වන එළවළු හා පලතුරු නැවුම් ව වෙනත් දුර බැහැර ප්‍රදේශ වලට රැගෙන යාමේ දී  හා අස්වනු අධික කාල වල දී පසු අස්වනු හානි අපට දක්නට ලැබෙන සුලභ දසුනකි. අවාරයේ දී භාවිතයට ගැනිමට මෙන් ම හා පසු අස්වනු හානි අවම කර ගැනීමේ චේතනාවෙන් ශත වර්ෂ ගණනාවක් තිස්සේ විවිධ ගබඩාකර තබා ගැනීමේ සහ කල් තබා ගැනීමේ ක්‍රමෝපායන් උපයෝගී කර ගෙන තිබේ. අතීත ශ්‍රී ලංකාවේ ද එළවළු හා පලතුරු කල්තබා ගැනීම සඳහා විවිධ ක්‍රම උපයෝගී කර ගෙන ඇත. උදාහරණ ලෙස වැලි කොස් ඇට, අටු කොස්, අටු දෙල් සහ ලුණු දෙහි දැක්විය හැකිය.

පලතුරු හා එළවළු සකස් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ඉතා ඉක්මනින් නරක් වන නැවුම් එළවළු හා පලතුරු ඒවායේ රසය, වර්ණය සහ පෝෂණ ගුණය ආරක්ෂා වන අයුරින් ඒ්වා කල්තබා ගැනීමේ කාලය දීර්ඝ කිරීමයි‍‍‍‍. යම් කිසි පලතුරක් හෝ එළවළුවක් එහි ආරම්භක නැවුම් අවස්ථාවට වඩා වෙනස් නව නිෂ්පාදනයක් බවට පරිවර්තනය කිරිම එළවළු හා පලතුරු සකස් කිරීමේ ක්‍රියාවලියේ දී සිදු වේ. මෙම නව නිෂ්පාදන ඍජු පාරිභෝජනය සඳහා හෝ වෙනත් නිෂ්පාදනයක් සැකසීම සඳහා භාවිතයට ගනු ලබන අතරමැදි නිෂ්පාදනයක් ලෙස හෝ භාවිතා කළ හැකිය. උදාහරණ ලෙස විජලනය කරන ලද අඹ, අපට කෙටි ආහාරයක් ලෙස කෙළින්ම පාරිභෝජනය කළ හැකි අතර අඹ පල්පය වෙනත් නිෂ්පාදන වර්ග එනම් අඹ පානයන්, ජෑම් හෝ ජෙලි සැකසීම සඳහා යොදා ගත හැකිය.

පලතුරු හා එළවළු සකස් කිරීමේ කර්මාන්තයේ දී  විවිධ තාක්ෂණික ක්‍රම භාවිතයට ගනු ලබයි. මෙහි දී මෙම සෑම තාක්ෂණික සැකසුම් ක්‍රමයක් ම නිශ්චිත මූලධර්මයක් මත පදනම් ව ඇති බව අපට දක්නට හැකියි. තාක්ෂණික ක්‍රම වලට උදාහරණ ලෙස යුෂ නිස්සාරණය, ටින් කිරීම, කෑන් කිරීම, ශීත කිරීම, විජලනය වැනි ක්‍රම දැක්විය හැකිය.

වර්තමානය වන විට ලොව පුරා සංවර්ධිත මෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව ඖෂධීය ගුණයෙන් යුතු සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන බහුලව පාරිභෝජනය කිරීමේ ප්‍රවණතාවයක් අපට දක්නට හැකිය.

ශ්‍රී ලංකාවේ සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තයෙහි වත්මන් තත්ත්වය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තය වර්ධනය වෙමින් හා විවිධාංගීකරණය වෙමින් පවතින ක්ෂෙත්‍රයක් බවට අපට හඳුනා ගත හැකිය.

අප ආයතනය විසින් මෑතක දී සිදු කළ පර්යේෂණ අධ්‍යනයක කොළඹ, ගම්පහ හා නුවර දිස්ත්‍රික්ක වල සිදු කරන ලද වෙළෙඳපොළ සමීක්ෂණයේ දී දේශීය සුපිරි වෙළඳසැල් හා විශේෂිත වෙළෙඳසැල් තුළ සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන බොහොමයක් අපට දක්නට ලැබුණි. එම සැකසූ නිෂ්පාදන අතර දේශීය වෙළෙඳනාම 172 ක් හා විදේශීය වෙළෙඳනාම 110 ක් පමණ දක්නට තිබුණි.

ඊට අමතරව, දේශීය වෙළෙඳපොළ හා හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් දේශීය ව්‍යවසායකයන් විසින් නිෂ්පාදනය කරන ලද විවිධ වර්ගයේ අගය එකතු කළ නිෂ්පාදන දක්නට හැකිවුණි. උදාහරණ ලෙස,

  • පේර, කෙසෙල්, ගස්ලබු, කාමරංකා, වරකා, චීන ගොරකා, හා අනෝදා යොදා සකසන ලද ජෑම්.
  • නෙල්ලි, ලොවි, ජම්බු හා බිලිං යොදා සකසන ලද චට්නි.
  • දිවුල් චොකලට්, කරපිංචා චොකලට්.
  • මඤ්ඤොක්කා, දන්දීනල, කෙසෙල් හා වරකා යොදා සකසන ලද බිස්කට්.
  • මුරුංගා යොදා සකසන ලද තේ, ඉඳි ආප්ප, නූඩ්ල්ස් හා පැස්ටා.
  • කොස් යොදා සාදන ලද කොස් පිටි, කොස් ඇට පිටි, බයිට්ස්, නූඩ්ල්ස්, සීරියල්, බිස්කට්, කොස්පෝෂ හා වටලප්පන් දැක්විය හැකිය.

තවද එම අධ්‍යනයේදී වැඩිම නාගරික ජනගහනයක් සිටින කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල පාරිභෝගිකයන් 384 කින් සමන්විත නියැදියකින් ද දත්ත රැස් කරන ලදී. සමීක්ෂණයේ ප්‍රතිපල වලට අනුව නිතර පරිභෝජනය කරන සැකසූ පළතුරු සහ එළවළු නිෂ්පාදන වූයේ සෝස් සහ ජෑම් වේ. කුටුම්භවලින් බහුතරයක් දේශීය නිෂ්පාදනවලට කැමැත්ත පළ කළ අතර  25% දේශීය හා ආනයනික නිෂ්පාදන දෙවර්ගයටම කැමැත්තක් දැක්වීය. කුටුම්භවලින් අති බහුතරයක් සුපිරි වෙළඳසැල්වලින් සැකසූ පලතුරු සහ එළවළු මිල දී ගන්නා අතර තවත් සැලකිය යුතු ප්‍රතිශතයක් ජෑම්, චට්නි, අච්චාරු සහ සෝස් වැනි සකසන ලද නිෂ්පාදන තම නිවෙස්වල පිළියෙළ කරති. සැකසූ පලතුරු සහ එලවලු වල ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රධාන හේතු වූයේ පවුලේ සාමාජිකයින්ගේ රුචිකත්වය, පහසුව සහ රසයයි. ඇතැම් සැකසූ පලතුරු සහ එළවළු නිෂ්පාදන වර්ග මිලදී ගැනීම  වළක්වන ප්‍රධාන සාධක වන්නේ දියවැඩියාව වැනි බෝ නොවන රෝග සඳහා සුදුසු නොවන බවට පවතින විශ්වාසය සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය, කෘතිම වර්ණ සහ රසකාරක එකතු කිරීම හා සම්බන්ධ සෞඛ්‍ය අවදානම පිළිබඳ අවබෝධය යි.

ශ්‍රී ලංකාවේ සැකසූ පලතුරු හා එළවළු අපනයන කර්මාන්තයෙහි වත්මන් තත්ත්වය

ශ්‍රී ලංකාවේ නැවුම් එළවළු හා පලතුරු මෙන් ම වියළන ලද සහ සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන අපනයනයේ වසර ගණනාවක් මුළුල්ලේ සක්‍රීයව නිරත ව සිටී. අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාව සැකසූ පලතුරු, එළවළු හා යුෂ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 17.96 ක් උපයා ඇත.

උසස් තත්ත්වයේ ටින් කළ පලතුරු යුෂ, විශේෂයෙන් ම අන්නාසි යුෂ, පෙති කපන ලද අන්නාසි කෑලි, කුට්ටි සහ වීදුරු භාජන වල හෝ ටින් වල අසුරා ඇති මිශ්‍ර පලතුරු ශ්‍රී ලංකාවෙන් වැඩිම ඉල්ලුමක් ඇති සැකසූ පලතුරු නිෂ්පාදන සඳහා උදාහරණ වේ.

අනෙකුත් සැපයුම්කරුවන් හා සැසඳීමේ දී අද්වීතිය රසයෙන් යුක්ත බැවින් ශ්‍රී ලංකාව් නිවර්තන පලතුරු යුෂ උදාහරණ ලෙස පැෂන් ෆෘට්, අඹ, ගස්ලබු, අන්නාසි, අනෝදා, කොමඩු, පේර සහ මිශ්‍ර පලතුරු යුෂ, විදේශීය වෙළෙඳපොළ තුළ ඉහළ විභවතාවයක් පෙන්නුම් කරයි.

විජලිත පලතුරු හා එළවළු සඳහා මේ වන විට ලෝක වෙළෙඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විජලනය කරන ලද අන්නාසි, ගස්ලබු හා අඹ වැනි නිෂ්පාදන ප්‍රධාන වශයෙන් ම අපනයනය කරනු ලබන්නේ එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය හා මාල දිවයින වැනි රටවලට ය.

බ්‍රයින් ද්‍රාවණයේ හෝ විනාකිරි දමා සකස් කළ ගර්කින් සඳහා ලෝක ආහාර වෙළෙඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතී. එම නිෂ්පාදන සඳහා ප්‍රධානම අපනයන වෙළෙඳපොළ වන්නේ ජපානයයි. ඊට අමතර ව ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය හා තායිලන්තය වැනි රටවලට මෙම නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබනවා. මීට අමතර ව ශ්‍රී ලංකාවේ තක්කාලි පේස්ට් හා තක්කාලි පියුරි වැනි නිෂ්පාදන සඳහා ද ලෝක ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ඉහළ ඉල්ලුමක් ඇත. යුරෝපය, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට අධි ශීත කළ එළවළු නිෂ්පාදන වන බණ්ඩක්කා, මුරුංගා, මඤ්ඤොක්කා හා පොළොස් අපනයනය කරනු ලැබේ.  වර්තමානය වන විට කොස් ආශ්‍රිත විවිධ නිෂ්පාදන වන විජලිත කොස්, කොස් පිටි හා කොස් ඇට පිටි වැනි දෑ ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමේ ප්‍රවණතාවයක් අපට දක්නට පුළුවනි.

දේශීය සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තයේ ගැටලු

මෙම ක්ෂෙත්‍රයේ නිරත සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ ගැටලු, නීති හා රෙගුලාසි සම්බන්ධ ගැටලු, මූල්‍යමය ගැටලු, දේශීය හා විදේශීය වෙළෙඳපොළ ආශ්‍රිත ගැටලු හා මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ ගැටලු ලෙස විවිධාකාර වේ.

ප්‍රමිතියෙන් යුක්ත අමුද්‍රව්‍ය අඛණ්ඩව ලබා ගැනීමට නොහැකි වීම,  අමු ද්‍රව්‍ය මිල නිරන්තරයෙන් උච්ඡාවචනය වීම, ප්‍රමාණවත් තරම් යටිතල පහසුකම් නොමැති වීම, නවීන යන්ත්‍රෝපකරණ සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදු වීම, විදුලිය වැනි ශක්ති ප්‍රභව සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම, රසායනාගාර පහසුකම් ප්‍රමාණවත් නොවීම හා නියැදි පරීක්ෂාවන් හා තත්ත්ව සහතික ලබා ගැනීම සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම, නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ ප්‍රධාන ගැටලු වලට උදාහරණ වේ.

ඒවාගේ ම දැනට වෙළෙඳපොළ තුළ තිබෙන සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන පිළිබඳ ව පාරිභෝගිකයින්ගේ දැනුවත්භාවය අවම මට්ටමක පැවතීමත් ගැටලුවකි.

ගැනුම්කරුවන් හා උචිත වෙළෙඳපොළ සොයා ගැනීම සම්බන්ධ ගැටලු ඇති බව සමහර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපගේ පර්යේෂණ අධ්‍යයනයේ දී ද සඳහන් කරන ලදී.

ජාත්‍යන්තර වෙළඳපොලේ මේ වන විට ඉතා ඉහළ තරඟකාරිත්වයක් පවතී. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ම ඉන්දියාව, වියට්නාමය හා තායිලන්තය වැනි ආසියාතික රටවල් සමඟ තරඟ කිරීමට සිදු වේ. එම රටවල නිෂ්පාදන වියදම හා ශ්‍රම වියදම අපේ රටට සාපේක්ෂව අවම මට්ටමක පැවතීම නිසා අපට රටක් වශයෙන් සැකසූ පලතුරු හා එළවළු අපනයනයේ දී අභියෝග වලට මුහුණ දීමට සිදු වේ.

මීට අමතරව, අපනයනයේ දී මුහුණ පෑමට සිදුවන ගැටලු ලෙස අයහපත් විදේශ විනිමය අනුපාත, වෙළෙඳ බාධක, තීරු ගාස්තු, දැඩි නීති හා රෙගුලාසි දැක්විය හැකි ය.

ශ්‍රී ලංකාවේ සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තයේ ප්‍රගමනයට ගත හැකි ක්‍රියා මාර්ග

ගොවීන් හා සැකසුම්කරුවන් අතර සමීප සම්බන්ධතාවයක් ඇති කිරීම මගින් ගොවීන්ට නිශ්චිත වෙළෙඳපොළක් හා සාධාරණ මිලක් ලබා ගැනීමට හැකි වන අතර, සැකසුම්කරුවන්ට තම අමුද්‍රව්‍ය අඛණ්ඩව ලබා ගැනීමේ හැකියාව ලැබේ. මේ සඳහා පාර්ශ්වකරුවන්ගේ නිරන්තරයෙන් යාවත්කාලීන වන දත්ත කළමනාකරණ පද්ධතියක් තිබීමත් ඉතා වැදගත් ය.

ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති ලංකාවට සුදුසු ප්‍රභේද හිතකර දේශගුණික හා පාංශු තත්ත්වයන් ඇති ප්‍රදේශ හඳුනාගෙන වාණිජ මට්ටමින් වගා කිරීමට ගොවීන් හා සමාගම් දිරිමත් කළ යුතු ය. එවැනි ප්‍රදේශ වල අස්වැන්න අපතේයාම වැළැක්වීමට ශීතාගාර හෝ වෙනත් පහසුකම් සැපයිය යුතු ය. ආදර්ශයක්  ලෙස එවැනි ප්‍රදේශ වල සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමත් යෝග්‍යයි.

දේශීය වෙළෙඳපොළ තුළ මෙම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන් හා පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරිම ඉතා වැදගත් ය.

පාරිභෝගිකයාට ගුණාත්මක භාවයෙන් ඉහළ, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘත්‍රිම වර්ණක හා රසකාරක අඩංගු නොවන ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකස්කළ නිෂ්පාදන දැරිය හැකි මිලකට අලෙවි කිරීම සඳහා විශේෂිත වෙළෙඳපොළවල් තිබීම උචිත ය.

එළවළු හා පලතුරු සකස් කිරීමේ කර්මාන්තයට යොමු වීමට කැමති පුද්ගලයකු නිවැරදි අමුද්‍රව්‍ය තෝරා ගැනෘමේ සිට නිශ්චිත වෙළෙඳපොළ හඳුනා ගැනීම දක්වා නිවැරදි ව යොමු කිරීම සඳහා සැකසුම් ක්ෂෙත්‍රය හා සම්බන්ධ ආයතන සියල්ල එක්ව විධිමත් යාන්ත්‍රණයක් ගොඩ නැගීමත් ඉතා වැදගත් ය.

සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තයේ දී ප්‍රමිතිය ඉතා වැදගත් සාධකයකි. මෙම නිෂ්පාදන ප්‍රමිති ගත කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරිම ඉතා වැදගත් ‌වේ. ප්‍රමිති සහතික පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරිම සදහා පුහුණු හා ව්‍යාප්ති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් ය.

තව ද අපනයන විභවතාවයක් සහිත ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ කටයුතු කිරීමේ දී ඵලදායි අපනයන ප්‍රවර්ධන උපාය මාර්ග අනුගමනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

වර්තමානය වන විට ලෝකයේ හා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ගේ රුචිකත්වය හා කාර්ය බහුල දිවි පෙවෙතත් සමඟ පහසුවෙන් සාදා ගත හැකි පෝෂණීය හා ඖෂධීය වටිනාකමින් යුත් නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇත. එබැවින්, මෙවන් වටපිටාවක ශ්‍රී ලංකාවේ සැකසූ එළවළු හා පලතුරු කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා ඉහත සඳහන් කල ක්‍රියා මාර්ග ගැනීම කාලීන වශයෙන් ඉතා උචිත ය.

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *