ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන, පර්යේෂණ මධ්‍යස්ථාන හතර අතරින් ප්‍රධාන ස්ථානයක් උසුලයි. දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, පළොල්පිටිය, තිහගොඩ, අක්කර 22ක භූමි භාගයක මධ්‍යගතව පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය, කුරුඳු භෝගය සඳහා වෙන්කර ඇති ලොව එකම පර්යේෂණ ඒකකය ලෙස සැළකේ.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, පර්යේෂණ අංශයෙහි අධ්‍යක්ෂවරයෙක් ගේ අධීක්ෂණයෙන් පවත්වාගෙන යන ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයෙහි, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයට අයත් නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂවරුන් යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ අංශ හතරක් සහ පුහුණු අංශයක් පවතී.
ශෂ්‍ය විද්‍යා හා භෝග වැඩිදියුණු කිරීමේ අංශය මඟින් නව කුරුඳු ප්‍රබේද අභිජනනය කිරීම, තවාන් පාලනය පිළිබඳව සහ කුරුඳු බෝගයේ ශෂ්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කිරීම ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. කුරුඳු බෝගයෙහි දැනට ශ්‍රී ලංකාවෙහි පවතින විශාලතම සහ ප්‍රමුඛතම ජාන එකතුව පවත්වාගෙන යාමද මෙම අංශයෙන් සිදු කෙරේ. එසේම ශ්‍රී ගැමුණු සහ ශ්‍රී විජය යන මෑතක දී හඳුන්වා දුන් නව කුරුඳු ප්‍රබේද දෙකෙහි පැල නිෂ්පාදන කටයුතු ද මෙම අංශය යටතේ ක්‍රියාත්මක වන තවාන මඟින් සිදු කෙරේ.
පාංශු විද්‍යා සහ ශාක පෝෂණ අංශය මඟින් කුරුඳු වගාවට අදාළ සියළු පාංශු විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති සිදු කෙරෙන අතර, නව පොහොර වර්ග සහ කාබනික කුරුඳු වගාවට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම ද ප්‍රමුඛ ලෙස සිදු කෙරේ. අවස්ථානුකූලව කුරුඳු ඉඩම් පරීක්ෂාව සහ පාංශු තත්ත්වයන් පිළිබඳ නිර්දේශ ලබා දීම සහ පස් හෝ පොහොර සාම්පල පරීක්ෂා කර වාර්තා ලබා දීම ද සිදු කරයි. ශාක ආරක්ෂණ අංශය මඟින් වගාවට හානි කරන පළිබෝධ සහ රෝග පිළිබඳ පර්යේෂණ සිදු කිරීම, ක්ෂේත්‍ර පරීක්ෂා සිදු කිරීම, නව පළිබෝධ මර්ධන නිර්දේශ ලබා දීම, රෝග සහ පළිබෝධ හඳුනාගැනීම සහ ඒ පිළිබඳ වාර්තා සැපයීම සිදු කෙරේ.
කුරුඳු භෝගයෙහි පසු අස්වනු විභවය ඉතා විශාල බැවින් සහ අගය එකතු කළ කුරුඳු නිෂ්පාදන සඳහා අධික ඉල්ලුමක් මෙරට සහ විදේශ වෙළඳපොළෙහි පවතින බැවින්, ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයෙහි පසු අස්වනු තාක්ෂණ අංශයෙහි කාර්යභාරය ඒ කෙරෙහි ඉතා වැදගත් ය. නිවැරදි තාක්ෂණයෙන් යුතුව අස්වනු ලබා ගැනීමේ සිට, අස්වැන්න සකස් කිරීම, ගබඩා කිරීම, අගය එකතු කළ නිෂ්පාදන, තෙල් වර්ග නිස්සාරණය, අපනයනය සඳහා අවශ්‍ය ප්‍රමිතින් සහ සහතිකකරණය, පුහුණු කිරිමේ කටයුතු සඳහා දායකත්වය ලබා දීම ආදිය ප්‍රධාන වශයෙන් මෙම අංශයෙහි කාර්යභාරයන් යටතට වැටේ. ඊට අමතරව මෙම අංශය සතුව ඇති ප්‍රතීතණය කර ඇති
රසායනාගාරය මඟින් කුරුඳු සහ එහි නිෂ්පාදන සඳහා සංඝටක විශ්ලේෂණය ඇතුළු බොහෝ පර්යේෂණ වාර්තා ලබා ගැනීමේ හැකියාව ඇත.
ජාතික කුරුඳු පර්යෂණ හා පුහුණු මධ්‍යස්ථානය යටතේ අංග සම්පූර්ණ කුරුඳු තෙල් නිස්සාරණ ඒකකයක් ක්‍රියාත්මක වන අතර, එය පුහුණු කටයුතු සඳහා සහ බාහිර පාර්ශවයන් සඳහා කුරුඳු පොතු සහ තෙල් නිස්සාරණය කිරීම සඳහා ගෙවීමේ පදනම යටතේ ලබා දීම සිදු කෙරෙයි. ඊට අමතරව, පුහුණු අංශයෙහි පිහිටුවා ඇති කුරුඳු කැපුම් යන්ත්‍රය සහ කුරුඳු කැබලි කිරීමේ යන්ත්‍රය ද ඒ ආකාරයටම බාහිර පාර්ශවයන් සඳහා යම් ගෙවීමක් යටතේ භාවිත කිරීමේ හැකියාව ලබා දී ඇත.
ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය මඟින් පවත්වාගෙන යන සංචාරක බංගලාව, දකුණු පළාතෙහි සහ මාතර දිස්ත්‍රික්කයෙහි පවතින ඉතාම අංග සම්පූර්ණ සහ නවීන පහසුකම් යටතේ පවත්වාගෙන යන රජයේ දෙපාර්තමේන්තු බංගලා අතරින් එකකි. එය පේරාදෙණිය, ගැටඹේ පිහිටා ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය හරහා වෙන් කර ගත හැක.
මෙම පර්යේෂණ මධ්‍යස්ථානයට අනුබද්ධව පිහිටුවා ඇති පුහුණු මධ්‍යස්ථානය සහ නේවාසිකාගාරය, කුරුඳු කර්මාන්තයෙහි අභිවෘද්ධිය සඳහා මධ්‍යස්ථානය මඟින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නිරන්තරයෙන් කාර්යබහුල වී ඇත. කුරුඳු භෝගයෙහි මූලික අවධියේ සිට අපනයනය දක්වා ඕනෑම සහ සියළුම අවස්ථා සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් 15ක් පමණ මේ වන විට ක්‍රියාත්මක වේ. එසේම 2022 වසරෙහි පමණක් පුහුණු වැඩසටහන් 90ක් ක්‍රියාත්මක කර පුහුණුලාභීන් 2000කට අධික සංඛ්‍යාවක් ක්ෂේත්‍රයට බිහි කර ඇත.
පුහුණු මධ්‍යස්ථානයෙහි පැවැත්වෙන යහපත් කෘෂිකාර්මික කළමණාකරණය යටතේ කුරුඳු අස්වනු සකස් කිරීමේ පස් දින්ම නේවාසික පුහුණු වැඩසටහන, දිවයින පුරා ඕනෑම අයෙක් සඳහා විවෘත, නොමිලේ පැවැත්වෙන පාඨමාලාවකි. කාන්තා හෝ පිරිමි වයස් භේදයකින් තොරව මෙම වැඩසටහන සඳහා සම්බන්ධ විය හැකි අතර, මෙම පුහුණුව අවසානයෙහි ඉහළ අගයකින් යුතු කුරුඳු කූරක් තමා විසින්ම විද්‍යානුකූල සහ නිවැරදි ක්‍රමවේදයට අනුකූලව සෑදීමට හැකියාව ලබා දේ. එසේම පසු අස්වනු තාක්ෂණය සහ රෝග පළිබෝධ කළමණාකරණය පිළිබඳ දේශන දෙකක් ද, කුරුඳු කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය වෙනත් ප්‍රායෝගික හැකියාවන් ද මෙම පස් දින වැඩසටහන මඟින් පුහුණු ලාභියා හට ප්‍රගුණ කෙරේ. එම වැඩසටහනෙන් අනතුරුව, නියමිතකාලසීමාවක් සඳහා එම කර්මාන්තයෙහි නිරත වී සිටින්නෙකු හට RPL (සේවාස්ථ ඉගෙනීම ඇගයීමේ ක්‍රියාවලිය) හරහා ජාතික ආධුනිකත්ව පුහුණු ආයතනය මැදිහත් වීමෙන් NVQ – iii සහතිකය හිමිකර ගැනීමේ අවස්ථාව ද ලබා දී ඇත.
මීට අමතරව, ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයෙහි පුහුණු අංශයට වඩාත් ම ඉල්ලුමක් සහිත පුහුණු වැඩසටහන ලෙස, කූරුඳු අගය එකතු කිරීමේ පුහුණු වැඩසටහන් මාලාව හඳුන්වා දිය හැකිය. පසු අස්වනු තාක්ෂණ අංශයෙහි පූර්ණ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ සිදු කෙරෙන මෙම තුන් දින වැඩසටහන් පෙළ මඟින් කුරුඳු ආශ්‍රිත නව අගය එකතු කිරීමේ නිෂ්පාදන රැසක් ප්‍රායෝගිකව නිෂ්පාදනය කර ආදර්ශනය කිරීම, ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීම, ඒවායේ වෙළඳපොළ විභවය හඳුන්වා දීම, කැපූ කුරුඳු සහ කුරුඳු කුඩු නිෂ්පාදනය, කුරුඳු ශ්‍රේණි කිරීම සහ සල්ෆර් ධූමකරණය, කුරුඳු නිෂ්පාදන සඳහා අවශ්‍ය තත්ත්ව සහතික පිළිබඳ දැනුවත් කිරීම සහ තෙල් නිස්සාරණය හා විද්‍යාගාරයේ ගුණාත්මක තත්ත්ව පරීක්ෂා සිදු කිරීම ආදී විෂයයන් න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ඉගැන්වීම සිදු කෙරේ.
පසුගිය කොරෝනා වසංගත සමයෙහිදී, මෙකී ඇතැම් වැඩසටහනක්, අධික ඉල්ලීම් හේතුවෙන් මාර්ගස්ථ ක්‍රමයට පැවැත්වීමට සිදු විය. එසේම ඉදිරියේදී, පුහුණු ලාභීන් තිහගොඩ පිහිටි මෙම පුහුණු මධ්‍යස්තානයට ගෙන්වා පුහුණුව ලබා දීම වෙනුවට, ආයතනයෙහි පුහුණු කරුවන් සහ සම්පත් දායකයින් ග්‍රාමීය මට්ටමට ගොස් පුහුණු ලාභීන් හට ලඟා වී අංග සම්පූර්ණ පුහුණුව ලබා දීම සඳහා ජංගම පුහුණු ඒකකයක් ද ස්ථාපණය කර ඇත.
වාර්ෂිකව ඉතා විශාල පිරිසක් ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය වෙත නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වී, තම සේවා අවශ්‍යතා සපුරා ගනී. විශ්ව විද්‍යාල සහ කෘෂිකර්ම විද්‍යාල ආදී උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම ආයතනයෙහි ප්‍රායෝගික සහ සේවාස්ථ පුහුණු වීම් සහ පර්යේෂණ කටයුතු වල නිරත වෙති. වෙනත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් කුරුඳු ආශ්‍රිත තම කර්මාන්ත සඳහා හෝ නව කර්මාන්ත ඇරඹීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමටත්, ආයතනයෙහි පුස්තකාලය පරිශීලනය කිරීමටත්, ආයතනයට පැමිණ හෝ දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වෙයි. ආයතනයෙහි පර්යේෂකයින්, ඉතා දුර බැහැරින් පවා ලැබෙන ඉල්ලීම් අනුව කුරුඳු වගා භූමි වෙත ගොස් වගාව වැඩි දියුණු කිරීමට හෝ පවත්නා වගාවෙහි ගැටළු විසඳා දීමට අවශ්‍ය උපදෙස් ලබා දෙයි. දැනට පවත්නා තත්ත්වය යටතේ ප්‍රවාහන පහසුකම් දුෂ්කර හෙයින් දුරකතනය හෝ වෙනත් තාක්ෂණික ක්‍රම මඟින් ගොවිපල පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා දීමට කටයුතු කෙරේ.
මෙම පර්යේෂණ මධ්‍යස්ථානයෙහි පර්යේෂණ මඟින් උත්පාදනය වන නව දැනුම, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි සංවර්ධන අංශය හරහා ගොවි ජනතාව වෙත සම්ප්‍රෂණය කිරීම හෝ සන්නිවේදන අංශයෙහි ප්‍රකාශන හරහා හෝ ගුවන් විදුලි, රූපවාහිනී සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත ලබා දීම නිරන්තරයෙන් සිදු කෙරේ.
ඒ අනුව ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ කුළු බඩු ක්ෂේත්‍රයෙහි ප්‍රධාන තැන උසුලන කුරුඳු භෝගයෙහි උන්නතිය සඳහා පර්යේෂණ සහ පුහුණු හා වෙනත් අංශවලට අදාලව ඉහළ ගුණාත්මක බවින් යුතු සේවයක් එම ක්ෂේත්‍රයෙහි දියුණුව සඳහා සිදු කරගෙන යන බව සඳහන් කළ හැකිය.