DevPro සහාය ලබා දෙන ‘අපනයන බෝග වගා කරන ගොවීන්ගේ‘ සාර්ථක කතා

DevPro සමාගම ශ්‍රී ලංකාව පුරා  සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි කෘෂි ව්‍යවසායකයින් නඟාසිටුවන ලාබ නොලබන ස්වාධීන සංවිධානයකි. මේ මඟින් ලංකාවේ තෝරාගත් ප්‍රදේශවල අගය දාම ඉහළ නැංවීමේ ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී. සබරගමු පළාතේ ෘැඩඡරද ප්‍රාදේශීය ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන කැලුම් වඩුමෙස්ත්‍රිගේ මහතා සිය කාර්යභාර්ය පිළිබඳ “ගොවිමිණ” සමඟ අදහස් දැක්වීය.

DevPro මඟින් සබරගමුව පළාතේ සිදු කරන අගයදාම ව්‍යාපෘති පිළිබඳ සඳහන් කළොත්?

DevPro කියලා කියන්නේ OXFAM එක්ක ලංකාවෙ හදපු සංවිධානයක්. ඒක හදලා තියෙන්නෙ OXFAM එකේ කරගෙන ආපු වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න. OXFAM 2018 ඉඳලා සබරගමුව පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල අගයදාම සංවර්ධන වැඩසහන් (Value Chain Development Programs) දෙකක් කරනවා. ඒ කියන්නේ ගම්මිරිස් සහ කුරුඳු වගාවන් ආශ්‍රිතව ගුණාත්මය වැඩි කිරීම් තමයි මේ අගය දාම සංවර්ධන වැඩසටහන් තුළදි සිදු වෙන්නේ. එතකොට මූලිකවම ගම්මිරිස් අගය දාමය ගත්තහම මේ වෙනකොට කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙකේම ගොවීන් සම්බන්ධ වෙලා ඉන්නවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වෙන කොට අපි ගම්මිරිස් සහ කුරුඳු ගොවීන් 454 දෙනෙක් එක්ක වැඩ කරනවා. ඒ 454න් 170ක් ඉන්නෙ කුරුඳු ගොවීන්. ඒගොල්ලො සම්බන්ධ වෙන්නෙ රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ.

අනිත් සියලු දෙනා ගම්මිරිස් ගොවීන්. අරනායක, රඹුක්කන, මාවනැල්ල කියන ප්‍රදේශවලට තමයි ඒ අය අයත් වෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ අපි වැඩ කරන්නේ ඇඹිලිපිටිය සහ කොළොන්න කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ. ඒකේ ගොවීන් 338 දෙනෙක් එක්ක අපි වැඩ කරනවා. එතනින් ගම්මිරිස් ගොවීන් ඉන්නේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. ඒ ප්‍රමාණය 78 දෙනෙක්. අනෙක් සියලු දෙනාම කුරුඳු ගොවීන්. ඒ අය ඇඹිලිපිටිය සහ කොළොන්න කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ විසිරිලා ඉන්නවා.

ගම්මිරිස් හා කුරුඳු අගයදාම සංවර්ධනය යටතේ සිදු කරන වැඩපිළිවෙළ මොන වගේද?

අපි එයාලගෙ අගය දාමය සංවර්ධනය කරන්න මොනවද කරන්නේ කියලා ගත්තොත් විශේෂයෙන් ම ඔවුන්ට තාක්ෂණික දැනුමේ අඩුවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගම්මිරිස් වගාවේදී ගම්මිරිස් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට වගේම වැඩි මිලක් ලබා ගැනීමට අවශ්‍ය කරන කරුණු කාරණා මොනවාද? ඒ දේවල් ගොවියන් දන්නවද කියලා බැලුවහම අපිට දැණුනා ඒ ගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් සංවර්ධනය කිරීමක් අවශ්‍යයයි කියලා. එතනදී අපි ඒ ගොල්ලන්ට අවශ්‍ය දැනුම, ගම්මිරිස් සහ කුරුඳු වගා කරන තැන මුල ඉදලා කොහොමද හොඳ ගම්මිරිස් වගාවක් කරන්නේ? කොහොමද හොඳ කුරුඳු වගාවක් කරන්නේ කියන එක පුහුණු කිරීම් සිදු කරනවා.

ඉහළ ගුණාත්මයකින් යුත් නිෂ්පාදන සැකසීම සඳහා DevPro මඟින් ලබාදෙන තාක්ෂණික සහය ගැන විස්තර කළොත්?

විශේෂයෙන් ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා අවශ්‍ය තාක්ෂණික දැනුම අපි ඒ ගොවියන්ට ලබා දෙනවා. එතනදී තාක්ෂණික දැනුම කියලා කියන්නේ බිම් සකස් කිරීමේ ඉදලා අස්වැන්න නෙළන තැනටත් ඒ වගේම අස්වැන්න ගත්තට පස්සේ ඒක ගැණුම්කරුවන්ට නොදී ඒකෙන් අගය එකතු කරන නිෂ්පාදනයක් සකස් කරලා ඒක වෙළඳපළට යවන්න පුළුවන් කියන එක දක්වා ගොවියන් දැනුවත් කරලා තියෙනවා. ඒවගේ අගය එකතු කිරීමේ නිෂ්පාදන සකස් කිරීමේ පුහුණු වැඩසටහනුත් අපි ක්‍රියාත්මක කරමින් යනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක එකතුවෙලා තමයි අපි ඒකත් කරන්නේ. එතනදී විශේෂයෙන් අපි ‘පසුඅස්වනු නෙළීමේ තාක්ෂණය‘(Post Harvesting Technologies) සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ගම්මිරිස් ගත්තොත් හොඳ ගම්මිරිස් නිෂ්පාදනය කරන්න අවශ්‍ය අනෙකුත් කාරණා මොනවද? භූමිය පාවිච්චි කරන්නේ කොහොමද? එතනින් නතර වෙන්නේ නැතුව GAP Certificate එක ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.

GAP තත්ත්ව සහතිකය කියන්නේ?

GAP කියන ඉංග්‍රීසි වචනයේ අදහස තමයි ‘යහපත් කෘෂිකාර්මික පිළිවෙත්‘ කියන එක. (Good Agricultural Practices) යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දීලා ඊට අවශ්‍ය සහතිකේ ලබා ගන්න අපි කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට ගොවීන් 30කට අධික ප්‍රමාණයකට GAP Certificate එක ලැබිලා තියෙනවා. මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ අරමුණ අඩුම වශයෙන් 250ස් දෙනෙකුට GAP Certificate ලබා දෙන එක. මොකද GAP Certificate එක තියෙන එක ගොවීන්ට වැදගත් වෙනවා වෙළඳපළට නිෂ්පාදන ඉදිරිපත් කරද්දී. GAP Certificate එක තියෙන ගොවියෙක්ගෙන් අස්වැන්න ගත්තහම අපනයනය කරන සමාගමක වුණත් ඒක වැඩි මිලකට අපනයන වෙළඳපළට යොමු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොවීන් ඒ මට්ටමට දියුණු කිරීම සිද්ධ කරනවා.

ගොවීන්ගේ නිෂ්පාදන දේශීය මෙන් ම විදේශීය වෙළඳපළට ගෙනයාමේ වැඩපිළිවෙළක් DevPro මඟින් සිදු කරනවා නේද ?

අපි ගොවීන්ට ගෝලීය වෙළඳපළට ඉදිරිපත් කරන්න අවශ්‍ය ගුණාත්මක නිෂ්පාදනයක් සකස් කරලා එයාලට අවශ්‍ය ගැණුම්කරුවො ගොවීන් ළඟට ගෙන්වා දීම සිදු කරනවා. මොකද අපි මේ ගොල්ලන්ගේ සමාජ හදලා තියෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ගොවීන්ගේ සමාජයක් හදලා තියෙනවා. ඒ ගොවීන් ඉන්න ප්‍රමාණය අනුව කොට්ඨාස මට්ටමින් හෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්. ඒ සමාජවල ඉන්න ගොවීන්ගේ එකතු කළ අස්වැන්නක් ලබා ගන්නවා. එතකොට අස්වැන්න ලොකු ප්‍රමාණයක් එකතු වන නිසා අපිට ගැණුම්කරුවෙකුට හඳුන්වාදෙන්න පුළුවන්. එතනදී අපි නිෂ්පාදකයාට ගැණුම්කරු මුණගස්වලා තියෙනවා. අපි ඒකට කියනවා Producer to Buyer කියලා. ගුණාත්මක නිෂ්පාදනයක් නිසා බය නැතුව වෙළඳපළට ඉදිරිපත් කරන්න පුළුවන්. පහුගිය දවස්වල පැවති සාකච්ඡාවලදි ගැණුම්කරුවන් එකඟ වුණා වෙළඳපළේ තියෙන අනිත් නිෂ්පාදනවලට වඩා වැඩි මිලක් අපේ ගොවීන්ට ලබාදෙන්න. ඒ වගේම දිගටම මේ ගොල්ලන්ගේ සම්බන්ධතාවය තියාගෙන ගියොත් ගොවියන්ට තිරසර ආදායමක් ලබාගැනීමේ හැකියාව තියෙනවා. ඒ අතරේ අපි මේ අගය දාමයේ තියෙන අඩුපාඩු හඳුනාගෙන ඒ අඩුපාඩු වලට අවශ්‍ය ධාරිතා සංවර්ධනය  එහෙම නැත්නම්  මූල්‍යමය විසඳුම් / Capacity Development අපි ක්‍රියාත්මක කරනවාග ඊට අමතරව අපි පහුගිය කාලේ අපනයන ව්‍යාපාර සංවර්ධන (Export Business Development) පුහුණු වැඩසටහනක් සංවිධානය කළා.

ඒකෙන් අපි විශේෂයෙන් ම ගැණුම්කරුවන් එකතු කරලා එයාලගෙ ප්‍රමාණය කොහොමද හදාගන්නේල අපනයන වෙළදපළට ගිහිල්ලා ගැණුම්කරුවෙක් සම්බන්ධ කරගන්නේ කොහොමද රෑ කියන කාරණා සම්බන්ධයෙන් පුහුණු නිලධාරීන් ගෙනල්ලා මේ අයට පුහුණු වැඩසටහනක් කළා. ඒ වැඩසටහන එතනින් නතර වෙන්නේ නෑ. ඒ කියන්නේ පුහුණුව ලබාදීලා නතර වෙන්නේ නෑ. එයාලට අවශ්‍ය මඟපෙන්වන්නන් ලබා දෙනවා. අපි ඒකට විශාල වියදමක් දරනවා ඒ අවශ්‍ය නිලධාරීන්ගේ සහය ලබාගන්න. ඒකෙදී අපේ අවසාන අරමුණ තමයි කෑගල්ල ප්‍රදේශයේ නැත්නම් සබරගමුව පළාතෙන්  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (Small and medium-sized enterprises – SME) ගොවීන් 5-6 දෙනෙක් අපනයන මට්ටමට සංවර්ධනය කරන එක.

ඡායාරූපය – සබරගමුව පළාත් DevPro ප්‍රාදේශීය ව්‍යාපෘති සම්බන්ධීකාරක කැළුම් වඩුමෙස්ත්‍රිගේ

ප්‍රාදේශීය මට්ටමෙන් පිහිටුවා ඇති ගොවි සමාජවලට DevPro ලබාදෙන සහයෝගය කොහොමද?

ඒ සමාජවලට අපි සකස් කිරීමේ මධ්‍යස්ථාන සහ පුහුණු කිරීමේ වැඩසටහන් ලබාදීලා තියෙනවා. ඒ අයට නිකන් ම නිෂ්පාදන වෙළඳපළට ඉදිරිපත් කරනවට අමතරව ඒ අයට යම් කිසි ගුණාත්මක මට්ට්මකට නිෂ්පාදනය කරන ලද නිෂ්පාදනයක් වෙළඳපළට ඉදිරිපත් කරන්න පුළුවන්. ගොවීන් 30-40 ක් ඉන්න සමාජයකට ඒ වගේ සකස් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් අපි හදාගෙන යනවා. ඉස්සරහට තවදුරටත් ඒවා දියුණු කරන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මේ ගොල්ලන්ව අපි විවිධ ප්‍රදර්ශන සඳහා යොමු කරනවා. ඒ හරහා සේවාදායකයන් සමග ගනුදෙනු කරන්නේ කොහොමද? අලෙවි කරන්නේ කොහොමද? සම්බන්ධතා හදාගන්නේ කොහොමද? වගේ කාරණා සම්බන්ධයෙන් යම් දැනුමක් ලබා ගැනීමට වැදගත් වන වැඩපිළිවෙල් අපි ක්‍රියාත්මක කරගෙන යනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් ගැණුම්කරුවන්ට යම් ගැටලුවක් තියෙනවා ඒ දේවල් හරියට සකස් කරගන්නේ කොහොමද කියන එක. ඒ අවස්ථාවෙදි අපි ඒ ගොල්ලොත් එක්ක කතා කරලා එයාලට අවශ්‍ය බැංකු සම්බන්ධ කරලා දෙනවා අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබාගන්න. ඒ අතර අපිට පුළුවන් සහයෝගය ලබා දෙනවා. මොකද අපි SME මට්ටමට සංවර්ධනය කරපු ගොවීන් පිරිසකුත් ඉන්නවා. ඒ වගේම අපේ ගොවීන් නොවන SME මට්ටමේ ඉන්න එකතු කිරීමේ නිලධාරීන්, සකස් කරන්නන් අපිත් එක්ක වැඩ කරනවා. ඒ ගොල්ලන් එක්ක එකතුවෙලා අපි විවිධ වැඩසටහන් සිදු කරනවා.

SME මට්ටමේ ගොවීන්ට විතරක් අපි අවධානය යොමු කරන්නේ නෑ. අගය දාමයේ ඊළඟ පිරිස මිලදී ගන්න අයනේ. ඒ අය එකතු කරන්නන්. ඒ අය එහෙම ම එකතු කරලා අපනයනය කරුවන්ට හෝ නිෂ්පාදනය කරන ආයතනවලට දෙන අය ඉන්නත් පුළුවන්. ඒ වගේම මේවා එකතු කරලා සකස් කරන අය ඉන්නත් පුළුවන්. අගය වැඩි කරන අය ඉන්නත් පුළුවන්. සකස් කරලා දේශීය වෙළඳපළට දාන අය ඉන්නත් පුළුවන්. අපනයනය කරන අය ඉන්නත් පුළුවන්. ඒ අය තමයි SME මට්ටම කීවේ. මේ අය රැකියා කිහිපයක් උත්පාදනය කරන අය. කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසාය Small Medium Enterprises කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට මේ අය ව්‍යාපාරිකයන්. ඒ අයවත් අරමුණු කරගෙන අප ආයතනය යටතේ වැඩසටහන් සිදු කරනවා. ඒ අයට අවශ්‍ය ව්‍යාපාරික පුහුණුව, එයාලට අවශ්‍ය තත්ත්ව සහතික ලබා දෙන්න අපි කටයුතු කරනවා. එයාලට අවශ්‍ය මූල්‍යමය සහය, පුහුණු වැඩපිළිවෙළවල් අපි සිදු කරනවා.

ගොවීන් මුහුණපාන ගැටලු සඳහා DevPro මැදිහත්වීම ගැන කීවොත් ?

අපි අගය දාම තුළ පවතින දුර්වලතා හඳුනාගෙන ඒවට විසඳුම් ලබා දෙනවා. කුරුඳු අගය දාමයේ අපි හඳුනා ගත්තා කුරුඳු නිෂ්පාදනය කරන්න සේවකයෝ අඩුයි කියලා. එතනදී පුහුණු සේවකයින් අඩු නිසා අපිට අස්වැන්න නියමිත වේලාවට ලබාගන්න නොහැකිව අත ඇරලා දාන්න සිද්ධ වෙනවා. එතකොට ගොඩක් පුහුණු සේවකයෝ ඉන්නේ දකුණු පළාතේ. කොස්ගොඩ, බලපිටිය, අම්බලන්ගොඩ ප්‍රදේශවල අය තමයි මේ ප්‍රදේශවලට ඇවිල්ලා කුරුඳු සකස් කිරීම සිදු කරන්නේ. එතකොට පුහුණු සේවකයන්ගේ හිඟයක් තියෙන නිසා අපි කරන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා කුරුඳු සකස් කරන්න කාන්තා සේවකයෝ පුහුණු කරනවා. මේ වෙන කොට 90කට අධික පිරිසක් අපි එම පුහුණුව දීලා පුහුණු කරලා තියෙනවා. මාතර තියෙනවා කුරුඳු පර්යේෂණ ආයතනය. ඒ මධ්‍යස්ථානයට මේ කට්ටිය එක්කගෙන ගිහිල්ලා දින පහක නේවාසික පුහුණුවක් ලබා දෙනවා. ඒ නිසා මේ ගොවීන්ට හැකියාව ලැබිලා තියෙනවා ඒ අයගෙම අස්වැන්න, එයාලගෙම භූමිවල ඉදලා සකස් කර ගන්න.

තව අපට ඉල්ලීම් ඇවිත් තියෙනවා දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඒ ප්‍රදේශවල දැනට රැකියා වියුක්තික ප්‍රජාව කුරුඳු සකස් කිරීම සඳහා පුහුණු සේවකයන් ලෙස යොදාගන්න කියලා. ඒකටත් අපි මේ වෙනකොට වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව රුවන්වැල්ල, දෙහිඕවිට ප්‍රදේශවල තෝරාගත් ගොවීන් දහ දෙනෙකුට සකස් කිරීමේ මධ්‍යස්ථාන Processing Unit හදන්න සැලසුම් කරලා තියෙනවා. කෘෂිකර්ම අපනයන දෙපාර්තමේන්තුව යටතේ ඊට අදාළ නිර්ණායක සහ ඊට අදාළ කාරණා දක්වලා තියෙනවා. ඉතින් ඊට අනුව තමයි සැකසුම් මධ්‍යස්ථාන 10ක් හදන්නේ. ඒ මධ්‍යස්ථාන හදන්න අපි මූල්‍යමය වශයෙන් සහයෝගය ලබා දෙන්න සූදානම්.

Cross Cutting ප්‍රශ්න අරමුණු කරගෙනත් DevPro කටයුතු කරනවා. උදාහරණයක් ගත්තොත් ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ගොවීන්ගේ ගැටලු තියෙනවා. සමහර අවස්ථාවල පිරිමි ගොවීන් වැඩකරන අවස්ථාවල කාන්තාවන් වැඩ කරන්න කැමති නෑ. ඒ ප්‍රශ්නයේදී අපි කාන්තාවන් වැඩි වශයෙන් සේවයේ යොදවන්න කටයුතු සිදු කරනවා. ඒ කියන්නේ කාන්තාවන්ටත් ආදායමක් ලබන්න පුළුවන් විදිහට. එහිදීත් සකස් කිරීමේ පුහුණු සේවකයන් හැටියට මේ අය පුහුණු කරනවා. ඊට අමතරව කාන්තාවන් විසින් කරන වැඩ කටයුතු පිළිබඳව ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් කරනවා. ඒක එක ක්‍රදි ක්‍මඑඑසබට ගැටලුවක්. ඒකට විසඳුම් ලබා දීලා තියෙනවා. ඊට අමතරව ළමා ආරක්ෂණ මූලධර්ම ගැන අපි වැඩ කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පුහුණු වැඩසටහන් සිදු කරනවා විවිධ පාර්ශ්ව සම්බන්ධ කරගෙන. ඒ වැඩසටහන් ටික තමයි අපි මේ වෙනකොට සිදු කරගෙන යන්නේ.

DevPro ව්‍යාපෘති සමග සම්බන්ධ වෙලා ජීවිතය ජයගත්ත ගොවි මහතෙක් තමයි සිසිර කුමාර ගොවි මහතා. ඔහු මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, මොරතොට ප්‍රදේශයේ අක්කර 50ක පමණ රබර්, කුරුඳු, ගම්මිරිස්, පොල් ආදී බෝග බොහොමක් සාර්ථක ලෙස වගා කරන්නෙක්. සිය නිෂ්පාදන කටයුතු සඳහා DevPro දායකත්වය පිළිබඳ සිසිර කුමාර මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

“මම වසරක පමණ කාලයක සිට DevPro ආයතනය සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරමින් සිටිනවා. දැනටත් ඔවුන්ගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඇත්තටම DevPro ආයතනය සුළු අපනයන බෝග නිෂ්පාදන කටයුතුවලට ඒ කියන්නේ කුරුඳු, ගම්මිරිස්, කුළුබඩු බෝග නිෂ්පාදනයට තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඔවුන් සම්බන්ධ වෙලා ලොකූ කාර්යභාර්යයක් ඉටු කළා. ඒ ගොල්ලන්ගේ ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබුණා නිෂ්පාදන කටයුතු ඉහළ නංවන්න. ක්‍රමවත් වැඩ පිළිවෙළක් කියන්නේ ගොවියන්ගේ අවශ්‍යතාවය හඳුනාගෙන ඔවුන් වැඩ කළා. සමහර ගොවියන්ට දැනුම නෑ. අපිටත් එහෙම අඩුපාඩු තිබුණා, ඒ ගොල්ලෝ ඊට අවශ්‍ය දැනුම ලබා දුන්නා.

මම DevPro සමඟ විවිධ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වුණා. මම දැන් මගේ බෝග අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කරලා තමයි වෙළඳපළට දාන්නේ. ඒකෙන් වැඩි ආදායමක් ගන්න පුළුවන්. ඊට අමතරව DevPro ආයතනය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් තත්ත්ව සහතිකේ ගන්න උදව් කරගෙන යනවා. කුරුඳුවල තැලුම් බඩුවල ඇති අඩුපාඩුකම් ඔවුන් සකස් කරලා දුන්නා. කුරුඳු තැලුම්කරුවන් නැති ප්‍රශ්නයකට දැන් මුහුණපාලා තියෙනවා. ඒකටත් ඔවුන් මේ වෙන කොට විසඳුම් හොයා ගෙන යනවා. දැනටත් ඔවුන් සුළු අපනයන බෝග සම්බන්ධයෙන් නිෂ්පාදන කටයුතුවලට උදව් කරනවා.”

සංවාද සටහන – නදීෂා විජේරත්න

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *