“කුළුබඩු රජු” ලෙසින් හඳුන්වන ගම්මිරිස් මේ වන විට ජාත්‍යන්තර කුළුබඩු වෙළදාමේ විශාල ඉල්ලුමක් ඇති කුළුබඩු අතරට එක්වී ඇත. ගම්මිරිස් ප්‍රධානව නිපදවන හා අපනයනය කරන රටක් ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකාවේ මාතලේ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර හා මොණරාගල වැනි ප්‍රදේශවල මෙම වගාව බහුලව ව්‍යාප්තව පවතී.
ගම්මිරිස් බහු වාර්ෂික ආරෝහකයක් වන අතර සජීවි හෝ අජීවී ආධාරක උපයෝගී කර ගනිමින් තනි හෝ මිශ්‍ර වගාවක් ලෙස මෙන්ම ගෙවතු වගාවන්හිද දක්නට ලැබෙන බෝගයකි. පඳුරු ගම්මිරිස් වගාව වාණිජ වගාවක් ලෙස උචිත නොවුවත්, නගරබද පෙදෙස්වල බඳුන්ගත වගාවක් ලෙස තම නිවසේ දෛනික ගම්මිරිස් අවශ්‍යතාවය සපුරා ගත හැකි මගක් ලෙස හඳුන්වා දිය හැක. මෙහි වාසිය වනුයේ අඩු ඉඩක් තුළ වගා කළ හැකිවීම හා වර්ෂය පුරාම අස්වැන්න ලබා ගත හැකිවීමයි. මෙම වගාව ගෙවතු අලංකරණය සඳහා ද යොදා ගත හැකිය.
සාමාන්‍යයෙන් ගම්මිරිස් වැලක් සකසා ගැනීම සඳහා නිරෝගී ගම්මිරිස් වැලකින් ලබාගත් පා වැල්, මුදුන් රිකිලි භාවිතා වේ. නමුත් පඳුරු ගම්මිරිස් පැළයක් සකසා ගැනීමේදී නිරෝගී ගම්මිරිස් වැලකින් ලබා ගත් හරස් අතු කැබැල්ලක් භාවිතා කරනු ලබයි. මෙය ප්‍රධාන කඳෙන් දෙපසට විහිදුනු, වැලෙහි කරල් හටගන්නා, ගැට වලින් මුල් හට ගැනීමක් දක්නට නොලැබෙන ශාක කොටස් වේ. මෙම අතු පාර්ශවික අතු ලෙස හැඳින්වේ. මෙලෙස තෝරාගත් හරස් අත්තේ වර්ධන රටාව හේතු කොටගෙන එය ඉහළට වැලක් මෙන් වර්ධනය නොවී පඳුරු ආකාරයට වර්ධනය වීම සිදු වේ.
මෙහි දී ගැට 03 ක්, පුරුක් 02 ක් සහිත එමෙන්ම මධ්‍යම ප්‍රමාණයට මේරූ පත්‍ර තුනක් පමණ ඇති අත්තක් තෝරා ගැනීම සුදුසු වේ. මෙම කැබලි වෙන් කර ගැනීමේදී සිටුවන කැපුම් පෘෂ්ඨය ඇලව කපා ගැනීම සිදු කළ යුතුය. මෙම අතු කැබලි කපා ගැනීමේදී කැපුම් පෘෂ්ඨය ඇලව කපා ගැනීමෙන් මුල් හට ගැනීමට ඇති පෘෂ්ඨික ප්‍රමාණය වැඩි වී සාර්ථකව පැළවීමට ඇති හැකියාව ලැබේ.
එසේ කැබලි වෙන් කරගත් පසු පාදස්ථයේ සිට ප්‍රථම පත්‍රය සම්පුර්ණයෙන් හා දෙවෙනි පත්‍රයෙන් අඩක් ඉවත් කර ජල බඳුනක ගිල්වීම සිදු කළ යුතුය. එමඟින් කැපුම් මූණතින් වාතය ඇතුල්වීම වැළකීම තුළින් වැඩි සාර්ථක පැළ ගණනක් ලබා ගත හැකිවීම මෙන් ම අත්ත වියළීමෙන් වළක්වා ගත හැක.
මෙම අතු කැබලි සිටුවීමේදී බඳුන් මිශ්‍රණය ලෙස මතුපිට පස්, ගංඟා වැලි, ගොම පොහොර හා කොහුබත් සමාන අනුපාත වලින් මිශ්‍ර කරගනු ලැබේ. ඉන්පසු අඟල් 8*10 ප්‍රමාණයේ ගේජ් 250 කළු පොලිතීන් බඳුනකට මෙම පස් මිශ්‍රණය පොලිතීන් බෑගය රැළි නොවැටෙන සේ හොඳින් පුරවා ප්‍රමාණවත් පරිදි ජල සම්පාදනය කරනු ලැබේ. නිර්දේශිත බඳුන් මිශ්‍රණයෙන් පුරවන ලද පොලිතීන් බඳුනෙහි මධ්‍යස්ථයෙහි, මොට කූරක ආධාරයෙන් වලක් සාදා කපා ගත් අත්තේ පාදස්ථයේ සිට දෙවෙනි ගැටේ මට්ටමට වන තුරු පසට යටවන සේ අත්ත සිටවනු ලැබේ. එහිදී දණ්ඩෙහි කැපුම් මුහුණත බඳුන් මිශ්‍රණය සමග හොඳින් ස්පර්ශ වනසේ තද කළ යුතුය. එසේ කිරීමෙන් හොඳ මූල මණ්ඩලයකින් යුත් පැළ ලබා ගත හැකිය.
ඉන්පසු සිටුවා ගත් බඳුන් ආර්ද්‍රතා කුටීරයක තබනු ලැබේ. මෙහිදී ගේජ් 250 පාරදෘශ්‍ය පොලිතීන් කවරයකින් ආවරණය කර වායු රෝධක තත්වයට පත් කරගැනීමෙන් “ආර්ද්‍රතා කුටීරයක්” බවට පත් කර ගනු ලැබේ. පොලිතීන් කවරයෙන් ආවරණය කිරීමට පෙර බඳුන්වලට ජලය හොඳින් සම්පාදනය කරනු ලැබේ. මෙසේ ආර්ද්‍රතා කුටීරයේ තැන්පත් කළ පැළ දින 28 කින් පමණ පිටතට ගැනීමෙන් අනතුරුව සෙවණ සහිත ස්ථානයක තබනු ලැබේ. මෙලෙස සිටුවා ගත් පැළ ස්ථීර බඳුන් ගත කිරීමට පෙර මාස තුනක් පමණ කාලයක් පැළ ක්‍රම ක්‍රමයෙන් හිරු එළියට නිරාවරණය කිරීමෙන් පැළ දැඩි කිරීම අනිවාර්යෙන්ම කළ යුතුය.
මෙම පැළ ස්ථීර බඳුනක බඳුන්ගත කිරීමේදී අඩි 1 ½ පළල හා අඩි 1 ½ ගැඹුර බඳුනක් තෝරා ගැනීම මඟින් වගා නඩත්තු කටයුතු පහසු කිරීම හා වැඩි කාලයක් වගාව පවත්වා ගැනීම සඳහා උපකාරී වේ. මුලින්ම බඳුන පතුලට ගඩොල් කැබලි තට්ටුවක් ජලය බැස යෑම පහසු කරවීමට එක් කරනු ලැබේ. ඉන්පසු කපා ගත් පොල් ලෙලි කැබලිද, ඉතිරිය ඉහත සඳහන් පස් මිශ්‍රණයෙන් පුරවමින් පැළය බඳුන් ගත කිරීම සිදු කරනු ලැබේ. ඉන්පසු ප්‍රමාණවත් පරිදි ජලය යෙදීම හා වසුනක් යෙදීම සිදු කළ යුතුය.සිටුවා මාස හයකට පසු පළමු පොහොර යෙදීම සිදු කරයි. එමෙන්ම පොහොර යොදන අවස්ථාවේදී ඩොලමයිට් ස්වල්පයක් යෙදීම මගින් මැග්නීසියම් ඌනතාවය මග හැරීම මෙන්ම පොහොර උරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරනු ලැබේ. හොඳින් දිරාපත් වු ගොම පොහොර, කොම්පොස්ට් වැනි කාබනික පොහොර මෙන්ම රසායනික පොහොර යෙදීමද සිදු කළ හැක. නමුත් ගෙවතු වගාවේදී කාබනික පොහොර යෙදීම වඩාත් සුදුසු වන අතර වසරකට සිව් වතාවක් පමණ පොහොර යෙදීමට කටයුතු කිරීමෙන් හොඳ වර්ධනයක් සහ ඉහල අස්වැන්නක් සහිත ගම්මිරිස් පඳුරක් සකසා ගැනීමට ඔබට හැකිවේ.
සටහන – ප්‍රසංගි මධුශානි ද සිල්වා, සහකාර අධ්‍යක්ෂ ( සංවර්ධන), අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලය – කොළඹ