කෑගල්ලේ පොල් ලදාවට රිළවුන්ගෙන් හානි – ප්‍රදේශවාසීන්ගෙන් මැසිවිලි

මිනිස් ජනගහනයට වඩා රිළවු ප්‍රමාණය වැඩි වීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල් ගස්වල ගෙඩි කා දැමීමෙන් පොල් හිඟය නිසා වෙළෙඳපළේ පොල් මිල අහස උසට නැඟ ඇති බව ගොවියෝ චෝදනා කරති. මේ වන විට නිවෙස් පමණක් නොව පාසල්, රාජ්‍ය ආයතන බොහොමයක වහලවල සෙවිලි තහඩු පවා විනාශ කර ගොඩනැඟිලි තුළට එන රිළවුන් ආහාර ද්‍රව්‍ය මෙන්ම වෙනත් දේපළද රැගෙන යන බවත් ජනතාව කියති.

ගොවි මහතකු වන පරුස්සැල්ලේ එල්.ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.

“ඉස්සර කඩෙන් පොල් අරගත්තෙ නැහැ. අපි ගෙදර පරිභෝජනයට අරගෙන වැඩි ටික වික්කා. දැන් අපිට කන්නත් පොල් නැහැ. මේ ප්‍රදේශයේ දැන් රිළව් බෝ වෙලා. පොල් ගස්වල බොඩ පවා කනවා. ගෙවල්වලට පැනලා බත් මුට්ටි අරගෙන යනවා.ගෙවත්තෙ හැදෙන කෙසෙල් කැන්, ගස්වල ගොබ පවා කනවා.මේ උවදුර නැති කළේ නැත්නම් තව කාලෙකදි මනුෂ්‍යයන්ට ජීවත් වෙන්න බැරි වෙනවා”

යටියන්තොට ගොවිජන සේවා කාරක සභා සභාපති එල්. අනුර පෙරේරා මහතාගෙන් මෙම උවදුර පිළිබඳව විමසීමක් කළ විට ඒ මහතා පැවසුවේ,

“මෙය මේ ප්‍රදේශයට තියෙන බරපතළ ගැටලුවක්.අපි හැම රැස්වීමකදීම රිළවුන් නිසා වන හානිය ගැන කතා කරනවා. සාර්ථක පිළියමක් තවම ලැබිලා නැහැ. ජනමාධ්‍ය මඟින් දැනගන්න ලැබුණා පසුගිය කාලයේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ රිළවුන්ට වන්ධ්‍යාකරන වැඩසටහන් කරන්න යනව කියලා. ඒ වගේ පිළියමක්වත් ලැබෙනවා නම් හොඳයි ”

සමන් එස්. රත්නායක – දිනමිණ 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *