කුඩා ව්‍යාපාරයක් සාර්ථක කර ගන්නේ කෙසේද ?: න්‍යායික හා ප්‍රායෝගක දැනුම ලබා ගනිමු

කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සිදුවන ව්‍යාපාර අතර බහුතරයක් කුඩා ව්‍යාපාර බව හඳුනා ගෙන තිබෙනවා. එය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු තත්ත්වයක්. මේ නිසා කුඩා ව්‍යාපාර සාර්ථක කර ගැනීමට මේ සියලු  රටවල රජයන් සහ අදාළ ආයතන විශේෂ අවධානයක් යොමු කරනවා. මොකද කුඩා ව්‍යාපාරවල සංවර්ධනයකින්, දියුණුවකින් තොරව රටක ආර්ථික හා සමාජයීය තිරසරභාවය පවත්වා ගෙන යාම දුෂ්කරයි. අනෙක් අතට හෙට, අනාගතයේ දී රටත් දිනා ගෙන ලෝකයත් ජය ගන්නා දැවැන්ත ව්‍යාපාර බවට පත්වන්නෙත් මේ කුඩා ව්‍යාපාරම තමයි.

කුඩා ව්‍යාපාරවල ස්වභාවය, ආර්ථික තත්ත්වය හා අරමුණු අනුව ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට විවිධතා තිබෙනවා. ඒත් පොදුවේ මේවා තුළ සුලභ ලක්ෂණ කිහිපයක් දැකගත හැකියි.

  1. රුපියල් මිලියන 15ට අඩු ප්‍රාග්ධනයක් ආයෝජනය කර තිබීම.
  2. සේවයේ යොදවා ඇති සේවකයින් සංඛ්‍යාව සාමාන්‍යයෙන් 15ක් හෝ ඊට අඩුවීම
  3. මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර නොතිබීම.
  4. වෙළෙඳපොළ සීමාසහිත වීම

මෙවැනි ලක්ෂණවලින් සමන්විත, ස්වාධීන අයිතිය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර ඒකකයක් ‘කුඩා ව්‍යාපාරයක් ‘ලෙස හඳුනා ගන්නවා.

මේ සම්බන්ධයෙන් වඩාත් ප්‍රකට අදහස් දැක්වීමක් තිබෙනවා.

‘වෙළෙඳපොළෙහි පවතින කුඩා ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ව්‍යවසායකයින් කුඩා ව්‍යාපාරවලට ඇතුළු වේ. මෙවැනි කුඩා ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ උනන්දු නොවෙති. කුඩා ව්‍යාපාරවලින් ඔවුන්ගේ ආයෝජනවලට සාපේක්ෂව ප්‍රමාණවත් ප්‍රතිලාභ නොලැබීම ඊට හේතුවයි‘

දැන් ඔබට කුඩා ව්‍යාපාරයක් ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි. ඔබට මේ ගැන තවත් අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබගේ නිවසේ ඇති භාණ්ඩ ගැන සුළු අවධානයක් යොමු කරන්න. එවිට ඔබට කුඩා ව්‍යාපාර හා එහි අගය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි.

මෙහිදී අප ප්‍රථමයෙන්ම කුඩා ව්‍යාපාරිකයා හෙවත් ‘ව්‍යවසායකයා / Enterpreneur ‘ යනු කවුරුන්දැයි හඳුනා ගත යුතුයි.

‘ව්‍යවසායකයෙක් යනු කිසියම් ප්‍රතිලාභයක් ළගාකර ගැනීම සඳහා යමක් කිරීමේ නව මාර්ග උත්පාදනය කරන්නෙකි. ව්‍යවසායකයෝ සෑමවිටම තමා අවට පරිසරය ගවේෂණය කරමින්, විශ්ලේෂණයේ යෙදෙමින්, සිතා බලමින් නව අදහස්, නව අවස්ථා බවට පත් කරන්නෝය. ඔවුහු කිසියම් ක්‍රියාවලියක් උත්පාදනය කරමින් තම අභිමතාර්ථ මුදුන්පත් කර ගන්නෝය. විස්මිත දෑ එළිදක්වන්නෝය‘

‘අලුත් සහ වඩා වැඩි වටිනාකමක් ඇති ක්‍රම සංවිධානය කිරීමට උත්සාහ දරන සහ ප්‍රතිඵල සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගන්නා වූ කිසියම් තැනැත්තෙකු ව්‍යවසායකයෙකු වේ‘ යනුවෙන් වඩාත් සරල සහ නිරවුල් හැඳින්වීමක් තිබෙනවා.

ව්‍යවසායකයා (Enterpreneur) යන වචනය ප්‍රංශ බසින් උකහා ගත් වචනයක්. මිලර්ට අනුව ව්‍යවසායකයා යනු ආරම්භ කිරීමට, පවත්වා ගැනීමට හා අවශ්‍ය විටදී ව්‍යාපාරික වස්තුවක් ඵලදායි ලෙස හා කාර්යශූර ලෙසින් විසුරුවා දක්වන අයෙකි.

ශාස්ත්‍රඥ රොබට් රීච් විසින් නායකත්වය යනු කළමනාකරණයේ පොදු හැකියාව ‍බවත්, කණ්ඩායම් ගොඩනැඟීම ව්‍යවසායකයෙකු තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයක් බවත් සලකා තිබෙනවා.

ව්‍යවසායකත්ව පුද්ගල චරිත අතර ව්‍යාපාරිකයා, විදුහල්පතිවරයා, වෛද්‍යවරයා, විනිසුරුවරයා, පූජකවරයා ආදීන් හඳුනා ගත හැකිය. ඒ අනුව ගොවිපොළ, පාසල, රෝහල, පන්සල ආදී සෑම තැනකදීම ඔබට ව්‍යවසායකයින් දැකගත හැකිය.

නමුත් ව්‍යවසායකත්වය වඩාත් කැපී පෙනෙන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේය. ව්‍යාපාරික අවස්ථා හඳුනා ගෙන මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා නව්‍යතා සම්පාදනය හා අවදානම් අවස්ථා කළමනාකරණය කරන්නා ‘ව්‍යාපාරික ව්‍යවසායකයෙකි. නව ව්‍යාපාරයක් ආරම්භ කොට සාර්ථකව පවත්වා ගෙන යාමට ඔහුට හැකියාව ඇත.

ව්‍යවසායකයින් කුඩා ව්‍යාපාර වෙත නැඹුරු වීමට හේතු

  1. ව්‍යවසායකයින්, නැතහොත් ව්‍යාපාරිකයින් කුඩා ව්‍යාපාර වෙත යොමු වීමට හේතු කිහිපයක් තිබෙනවා. ඒවා අතර,
  2. පහසුවෙන් ආරම්භ කළ හැකිවීම
  3. ආරම්භ කිරීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවීම
  4. ගනුදෙනුකරුට සමීප වීමේ හැකියාව වැඩිවීම
  5. උසස් තාක්ෂණික උපක්‍රම අවශ්‍ය නොවීම
  6. මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර භාවිතා නොවීම
  7. මිනිස් සම්පත් උපරිම වශයෙන් යොදා ගත හැකිවීම
  8. රජයෙන් ලබා දෙන ව්‍යාපාර දිරි ගැන්වීමේ සහන ලබාගත හැකිවීම
  9. තම සහජ දක්ෂතාවයන්, පාරම්පරිකව උරුම වූ ශිල්ප පහසුවෙන් ප්‍ යෝජනයට ගැනීමට හැකිවීම

කුඩා ව්‍යාපාර මගින් රටට හිමිවන ප්‍රතිලාභ

ඉහත සඳහන් පුළුල් හා බහුවිධ අරමුණු සහිත ව්‍යවසායකයින් විසින් ආරම්භ කරන කුඩා ව්‍යාපාර නිසා රටකට ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ රැසක් හිමිවේ. ඒවා අතර,

  • දේශීය නිෂ්පාදන දියුණු වීම
  • රැකියා අවස්ථා වැඩිවීම ( දියුණුරටල පවා රැකියාවලින් 90%ක් ම උත්පාදනය කරනුයේ කුඩා ව්‍යාපාර මගිනි)
  • ආර්ථිකයේ සියලු අංශ අතර සමබර වර්ධනයක් ඇතිවීම.
  • ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම.
  • නොදියුණු ප්‍රදේශ දියුණු වේ.
  • ප්‍රාදේශීය සම්පත් ප්‍රයෝජනයට ගැනීම තුළින් ආදායම් තත්ත්වය ඉහළ යයි.
  • ග්‍රාමීය ප්‍රදේශ වල කුඩා ව්‍යාපාර දියුණු වීමෙන් රැකියා අපේක්ෂිත තරුණ පිරිස් නගරයට ඇද ඒව අවම වේ. මේ නිසා නාගරික ජන පීඩනය වැඩි වීමෙන් ඇතිවන පාරිසරික, සෞඛ්‍ය ගැටලු ආදී විවිධ ගැටලු අවම වේ.

ව්‍යාපාරයක් ආරම්භ කළත් එය සාර්ථක කර ගැනීම කොතරම් අසිරු ද, අභියෝගාත්මක ද යන්න ඔබට පහසුවෙන් වටහා ගත හැකියි. එනිසා ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වා ගෙන යාමට බලපාන සාධක ගැන ද ඔබ නිසි පරිදි දැනුවත් විය හැකියි.

  • ව්‍යාපාරයේ සාර්ථකත්වයට බලපාන සාධක හඳුනා ගැනීම
  • එම සාධක ව්‍යාපාරයට අදාළ කර ගැනීම
  • තමා සතු සම්පත් ඵලදායී ලෙස යොදා ගැනීම
  • නව තාක්ෂණික වෙනස්වීම් හඳුනා ගෙන ඒවාට අනුගත වීම
  • තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දෙමින් නව ව්‍යාපාර අවස්ථා මතුකර ගෙන ක්‍රියාත්මක කිරීම

මෙම කාර්යයන් නිසි ලෙස අවබෝධ කර නොගන්නා ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර බොහෝ විට අසාර්ථක වන අතර එසේ නොවීමට නම් ඉහත කරුණු ගැන ඔබ යළි යළිත් අවධානයට ගත යුතුයි.

ව්‍යාපාරයක සාර්ථකත්වයට බලපාන සාධක

ව්‍යාපාරයක් ආරම්භ කිරීම පහසු වුණත් එය සාර්ථකත්වය කරා ගෙන යාම ඇත්තෙන්ම අභියෝගාත්මක හා දුෂ්කර කාර්යයක්. එනිසා ඔබ ව්‍යාපාරයක සාර්ථකත්වයට බලපාන ප්‍රමුඛ සාධක ගැන නිසි අවබෝධයක් ලබාගත යුතුයි.

ව්‍යාපාරයක සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධක 06ක් තිබෙනවා. ඒවා නම්,

  1. මුදල්, ශ්‍රමය හා වෙනත් සම්පත්
  2. තාක්ෂණික දැනුම
  3. තොරතුරු
  4. වෙළෙඳපොළ
  5. ශක්තිය
  6. අවස්ථා
  7. මුදල්, ශ්‍රමය හා වෙනත් සම්පත්

ව්‍යාපාරිකයෙකුට විවිධ කටයුතු වෙනුවෙන් මුදල් අවශ්‍ය වේ. ඒවා අතර, අමුද්‍රව්‍ය හෝ තොග මිලදී ගැනීමට, තොග පවත්වා ගෙන යාමට, ණය හිමියන්ට මුදල් ගෙවීමට, ගෙවල් කුලී, විදුලි බිල්, දුරකථන බිල්, වරිපනම් ගාස්තු, ප්‍රවාහන වියදම් වැනි දෛනික වියදම් හා ස්ථාවර වත්කම් මිලදී ගැනීම ආදිය ප්‍රමුඛ වේ.

බොහෝ ව්‍යාපාර අසාර්ථක වීමට සහ දියුණුව මන්ගාමී වීමට මුදල්, ශ්‍රමය වැනි කරුණු ප්‍රමුඛ වන නිසා මෙම කටයුතු සුදුසු පරිදි ඇස්තමේන්තු කර සැලසුම් සකස් කළ යුතුය. ව්‍යපාරික අයවැය, ආදායම් හා වියදම්, නිෂ්පාදන පිරිවැය සඳහා කලින් ඇස්තමේන්තු කර මුදල් ලබා දීමෙන් මුදල් ඵලදායී මාර්ගවල යෙදවිය හැකිය. එසේම ව්‍යාපාර සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඒවායේ ගුණාත්මකභාවය, ප්‍රමිතිය හා විවිධ මිල ගණන් විමසා බලා සසඳා ව්‍යාපාරයට වාසිදායක වන සේ ඒවා ලබාගත යුතුය.

මුදල් සම්බන්ධයෙන් පමණක් නොව ශ්‍රමය සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් හා විනයක් පවත්වා ගත යුතුය. විශේෂයෙන් සේවක අවශ්‍යතා හඳුනා ගැනීම හා තීරණය කිරීම පිළිබඳව ද ව්‍යවසායකයාට විශාල වගකීමක් පැවරේ.

පුහුණු හා නුපුහුණු ශ්‍රමය යොදවන ආකාරය සෑම විටම ව්‍යාපාරයේ ඵලදායීතාවය ඉහළ නැංවෙන පිරිදි සැලසුම් සකස්කර ක්‍රියාත්මක කළ යුතු අතර සේවක ඵලදායීතාවයට සාපේක්ෂව ඔවුනට ගෙවන වැටුප් ද ආකර්ෂණීය විය යුතුය. එමෙන්ම ඔවුන් දිරිගැන්වීම සඳහා ද උපාය මාර්ග යෙදීම ව්‍යාපාරිකයා සතු වගකීමකි.

ශ්‍රමයට අමතරව ව්‍යාපාරයට යොදවන අනෙකුත් සියලු සම්පත් ඵලදායී ලෙස යෙදවීමට ඔබ සමත් විය යුතුය.

2 තාක්ෂණික දැනුම

තමාගේ ව්‍යාපාර කටයුත්ත පිළිබඳව ගැඹුරට අවබෝධ කරගෙන කටයුතු කිරීමේදී ඒ සඳහා වඩාත් අවශ්‍ය වන්නේ ඔබ සතු තාක්ෂණික දැනුමයි. භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී නව ප්‍රවණතා හඳුනා ගැනීමේ හැකියාව, භාණ්ඩවල ගුණත්මක බව වැඩි දියුණු කිරීම, පිරිවැය අවම කර ගැනීම හා නව නිෂ්පාදන ක්‍රම යොදා ගැනීම පිළිබඳව තාක්ෂණ දැනුම කුඩා ව්‍යාපාරිකයාගේ කටයුතු සාර්ථකත්වයට දැඩි ලෙස හේතු වේ.

  1. තොරතුරු

භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට පූර්ව අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත්වන තුරු ව්‍යාපාරිකයෙකුට තොරතුරු අවශ්‍ය වේ. භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට පෙර අවශ්‍ය සැලසුම් සකස් කිරීම, සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු සහාය කර ගැනීම සිදුවේ.

මේ සඳහා උදාහරණ ලෙස, විවිධ වෙළෙඳපොළ අවශ්‍යතා පිළිබඳ තොරතුරු, අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු, අමුද්‍රව්‍ය මිල ගණන් පිළිබඳ තොරතුරු, භාණ්ඩවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පිළිබඳ තොරතුරු, තරගකරුවන්ගේ තොරතුරු, භාණ්ඩ බෙදා හැරීමේ ජාල පිළිබඳ තොරතුරු, මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ තොරතුරු ආදිය දැක්විය හැකිය.

4 වෙළෙඳපොළ

වෙළෙඳපොළ යනු යම් නිෂ්පාදනයක් මිලදී ගැනීමට කැමැත්තක් හා හැකියාවක් ඇති ගනුදෙනුකරුවන් සමූහයකි. කුඩා ව්‍යාපාරිකයා ඉලක්ක කරනු ලබන්නේ කුඩා ප්‍රදේශයක සීමිත වෙළෙඳපොළක් බැවින් තොරතුරු ලබා ගැනීම පහසුය. කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යවසායකයෙකු තමා නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත භාණ්ඩය හෝ සේවාවට අදාළ වෙළෙඳපොළක් තිබේද ? යන්න වෙළෙඳපොළ සමීක්ෂණයක් මගින් සොයා බැලිය යුතුය.

5 ශක්ති

සාර්ථකව කුඩා ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා පහත දැක්වෙන ශක්තීන් වැදගත් වේ.

  • ව්‍යවසායකයා සතු විශේෂ දක්ෂතා හා විශේෂ හැකියාවන්
  • ව්‍යාපාරයේ සිටින දක්ෂ පුහුණු ශ්‍රමිකයින්
  • ප්‍රශස්ත මට්ටමේ පවතින සම්පත්
  • ව්‍යාපාරයේ වාසිදායක පිහිටීම
  • සාර්ථකව ව්‍යාපාර තරගකාරීත්වයට මුහුණු දීමට ඇති හැකියාව
  • තම ව්‍යාපාර කටයුතුවලට නව තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව
  • උසස් කීර්තිනාමය හා හොඳ වෙළෙඳපොළක් සකස්ව තිබීම

6 අවස්ථා

බාහිර පරිසරයේ ඇති යම් යම් වාසිදායක තත්ත්ව තම ව්‍යාපාරයේ දියුණුවට යොදා ගැනීමට ඇති හැකියාව ‘අවස්ථා‘ නමින් හැඳින්වේ. කුඩා ව්‍යාපාර ආරම්භ කරන ව්‍යවසායකයින්ට ව්‍යාපාර සාර්ථක කර ගැනීමට බලපාන වාසිදායක අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

  • වෙළෙඳපොළක් පැවතීම
  • තරගකරුවන් නැතිවීම හෝ අඩුවීම
  • සම්පත් බහුලව තිබීම
  • පුහුණු ශ්‍රමය තිබීම
  • රජයේ හිතකර ප්‍රතිපත්ති
  • ආර්ථික මට්ටමින් උසස් ක්‍රය ශක්තියක් ඇති පාරිභෝගිකයින් කොටසක් සිටීම
  • ආර්ථික ස්ථාවරත්වය

සාර්ථක ව්‍යවසායකයෙකු සතු ලක්ෂණ

විවිධ අංශවල, විවිධ පුද්ගලයින් සාර්ථක අන්දමින් ව්‍යවසායකත්වයේ යෙදෙන ආකාරය අපට දැකගත හැකිය. මේ සෑම ව්‍යවසායකයෙකු තුළම දැකගත හැකි පොදු ව්‍යවසායකත්ව ගත් ලක්ෂණ 07කි. ඒවා නම්,

  1. නායකත්වය
  2. නවොත්පාදනය
  3. කැපවීම
  4. වගකීම
  5. තීරණ ගැනීම
  6. අවදානම් දැරීම
  7. ගැටලු විසඳීමේ හැකියාව

1 නායකත්වය –  අන් අයගේ සේවය ලබා ගනිමින් කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව නායකත්වයයි. කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, අධීක්ෂණය කිරීම, පසු විපරම් කර බැලීම හා අන් අයගේ අදහස් ලබා ගනිමින් අභිමතාර්ථ ඉටුකර ගැනීමට ක්‍රියා කිරීම නායකත්වයේ භූමිකාවයි.

කණ්ඩායමක් සමග වැඩ කිරීමේදී නායකත්ව ලක්ෂණ ඉතා වැදගත් වේ. කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ට සුහදශීලී ලෙස ඇහුන්කන් දීම, ඉවසීම, කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කිරීම ආදි ගුණාංග ප්‍රදර්ශනය කරමින් ක්‍රියාවෙන් තම සාමාජිකයින්ගේ හෝ සේවාලාභීන් තුළ පිළිගැනීමට ලක්වන්නා හොඳ නායකයෙකි.

හොඳ නායකයෙක් වීමට බලය සහ පිළිගැනීම යන අංග දෙකම අවශ්‍ය වේ.

  1. නවෝත්පාදනය – අලුත් අදහස් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි තත්ත්වයකට පත් කිරීම නවොත්පාදනයයි. කෙනෙකුගේ නිර්මාණශීලී හැකියාව ක්‍රියාවට නංවන්නේ නවොත්පාදනය යි.

නවෝත්පාදන සිදුකළ හැකි ආකාර දෙකකි.

  1. කිසියම් සමාජ අවශ්‍යතාවක් ඉටු කිරීම සඳහා අලුත් නිමැයුමක් හඳුන්වාදීම
  2. පවතින භාණ්ඩයකට නවාංගයක් එකතු කිරීම

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අපට බහුලව නවොත්පාදන දැකිය හැකිය. දැනුම පුපුරා යන නූතන ලෝකයේ අලුත් සොයා ගැනීම් දිනපතා සිදුවේ. ව්‍යවසායකයන් තම නිර්මාණශීලී හැකියාවන් ක්‍රියාවට නංවමින් විස්කම් දක්වන ආකාරයට ඔබට පහසුවෙන් දැකගත හැකිය.

3 කැපවීම – අරමුණක් ඉටුකර ගැනීමට යොදන උපරිම හා අඛණ්ඩ උත්සාහය කැපවීම ලෙස සැලකේ. බාධක, කම්කටොලු, තර්ජන, උවදුරු, පාඩු ආදිය ගැන කම්පා නොවී නොපසුබට උත්සාහයෙන් ක්‍රියාකිරීම ද කැපවීම නම් වේ. ව්‍යාපාරිකයෝ සාර්ථකත්වය තමා වෙත සමීප කර ගැනීමට දිව රෑ, අව්වැසි නොබලා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ම ඇපකැප වේ. එවැන්නෝ පහසුවෙන් ජයග්‍රහණය කරා යති.

4 වගකීම – තම පාලනය තුළ සිදුකරන කාර්යයන් පිළිබඳ හේතුකාරකත්වය භාර ගැනීමට ඇති ස්වයං පෙළඹවීම ‘වගකීම‘යි.  තමාට පැවරී ඇති කාර්යය අවබෝධ කර ගනිමින් තම පාලනය යටතේ ඇති සියලු පාර්ශ්වයන්ට අවංකව, සාධාරණව කටයුතු කිරීමට ඇති බැදීම ද වගකීම ලෙස හැඳින්විය හැකිය.

5 තීරණ ගැනීම කල් පසු නොවී අවශ්‍ය තැන්වල දී සුදුසු තීරණ ගැනීමේ හැකියාව මින් අදහස් කෙරේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියක් ඇත. අවසාන තීරණය ගැනීමට පෙර විකල්ප විසඳුම් මාර්ග සොයා බැලිය යුතුය. දෙවනුව ඒ එක් එක් විකල්ප විසඳුම් මාර්ගවල වාසි අවාසි පිළිබඳ තොරතුරු සොයා බලා ඒවා සංසන්දනය කරමින් වඩාත් සුදුසු විසඳුම තෝරා ගැනීමේ නිවැරදි තීරණය ගැනීමේ ප්‍රතිලාභ අත්කර ගත හැකිය.

6 අවදානම් දැරීම – ක්‍රියාත්මක කරන කටයුතු අසාර්ථක වීමේ ඉඩකඩ ඇති බව වටහා ගෙන අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත හා හැකියාව අවදානම් දැරීමයි. ව්‍යවසායකයා වෙනස් කිරීම්වල යෙදෙන විට සිදුවිය හැකි වාසි – අවාසි මැන බලමින් අවාසි අවම වන සේ තීරණ ගෙන අවදානම් දරයි. ඒ අනුව දක්ෂ ව්‍යවසායකයා අවදානමට නොබියව මුහුණ දේ. ඒ අවදානම් මැන බැලීමට ඔහු දක්ෂයෙකු වන බැවිනි.

7 ගැටලු විසඳීමේ හැකියාව – තමාට ඉදිරිපත් අවශ්‍යතා හා අභියෝග භාර ගෙන විසඳුම් ලබාදීමේ හැකියාව ගැටලු විසඳීමේ හැකියාවයි. සෑම ගැටලුවකටම විසඳුමක් පවතින බැවින් වඩාත් වාසිදායක විසඳුම තෝරා ගැනීම වැදගත් වේ.

මෙහිදී ගැටලු විසඳීමේ ක්‍රියාවලිය ගැන ද ව්‍යවසායකයා නිවැරදිව දැනුවත් විය යුතුය.

ගැටලු විසඳීමේ ක්‍රියාවලිය

  • ගැටලුව
  • ගැටලුව හොඳින් අවබෝධ කර ගැනීමට අවශ්‍ය තොරතුරු සෙවීම
  • විකල්ප විසඳුම් මාර්ග සෙවීම
  • එක් එක් විකල්ප විසඳුම් මාර්ගයේ ඇති වාසි අවාසි සොයා විශ්ලේෂණය කිරීම
  • වඩාත් වාසිදායක විසඳුම තෝරා ගැනීම

ව්‍යවසායකයෙකු වීමේ අරමුණු සහ සව්තක්සේරුව

ව්‍යවසායකයෙකු වීමේ අරමුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

  1. නව නිර්මාණ එළිදැක්වීම
  2. ව්‍යාපාර ක්ෂේත්‍රයන්ට නවාංග එකතු කරමින් ලාභ උපරිම කරඑ ගැනීම
  3. ශුභසාධන හා සමාජ සේවා කටයුතු ඉටු කිරීම
  4. රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම
  5. රැකියා උත්පාදනය කිරීම
  6. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම

ස්වතක්සේරුව

වෙනත් කෙනෙකුට සාපේක්ෂව තමා ඇගයීමට භාජනය කිරීම ‘ස්වතක්සේරුවයි’. කිසියම් නිර්ණායක කිහිපයක් පදනම් කර ගනිමින් මෙය සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස තව කෙනෙකු නායකත්ව භූමිකාව ඉටුකරන ආකාරය දෙස බලා තමාට එම අවස්ථාව ලැබුණහොත් තෝරා ගත් අයට සාපේක්ෂව තමා තුළ කොතරම් දුරට නායකත්ව ගති ලක්ෂණ පවතී දැඩි මැන බැලිය හැකිය. එවැනි මැන බැලිය හැකි නායකත්ව ගති ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

  • සැලසුම් සහගතව වැඩ කිරීමේ හා මනා සංවිධාන හැකියාව
  • කණ්ඩායම් සමග වැඩ කිරීමේදී ඔවුන්ගේ පිළිගැනීමට ලක්වන පරිදි සුහදව වැඩ කිරීමේ හැකියාව
  • ඉවසීමේ හා අන්‍ය අදහස්වලට අහුන්කන් දීමේ ගුණය
  • කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කිරීම

ඉදිරි පුවත්පතින් – කුඩා ව්‍යාපාරයක් සාර්ථකව පවත්වා පසු විපරම් කරමු

ප්‍රායෝගික තාක්ෂණික කුසලතා, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව,2017

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *