R.K.W. රන්කෙත් කුඹුර, අධ්‍යක්ෂ (සංවර්ධන) III, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කුරුඳු කියන්නේ අවුරුදු 75-100ක් විතර හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් බෝගයක්. නමුත් බොහෝ කුරුඳු වගාකරුවන් මේ ගැන නිසි සැලකිල්ලක් දක්වන බවක් පේන්නෙ නෑ. සමහර වගාකරුවන් හිතනවා කුරුඳු කොහේ කොහොම හැදුවත් හැදෙනවා කියලා. කුරුඳු අක්කරයකින් අවුරුද්දකට කිලෝ 600ක් විතර ගන්න පුළුවන්. නමුත් ඇත්තටම ලංකාවෙ අය ගන්නේ සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝ 250ක් විතර. ඉතින් මේක, ගන්න පුළුවන් අස්වැන්නෙන් ½ටත් වඩා අඩුයි (අක්කරයකින් වසරකට අහිමිවන ආදායම 600Kg-250Kg =350Kg (350xරු.3500/= රු. 12,25,000) (වසර 75 පාඩුව 12 25 000/= x 75 = රු.91,875,000) ඒ කියන්නේ කුරුඳු අක්කරයකින් ලැබෙන්න තියෙන රුපියල් කෝටි 9 කටත් වැඩිය අපිට අහිමි කරගන්නවා නේද?
දැන් ගන්න ආදායමෙන් තමයි, අපි සියලුම වියදම් දරන්නේ. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් සම්පූර්ණ ආදායම (50%ක් ලාභය) තමයි, මේ විදිහට අපි මේ නැති කර ගන්නේ. කුරුඳු වගාවක් අවුරුදු 75-100 තියෙනවා. මේකට භූමිය හදන්නේ එක පාරයි. මේකේ කාණු කපන්නෙ එක පාරයි. මේකෙ ගල්වැටි දැම්මොත් එක පාරයි. කුරුඳු පැළ හදන්නෙ එකපාරයි. ඒක නිසා මේ එකපාරක් කරන අවුරුදු 75-100ක් අස්වැන්න ගන්න කරන්න ඕන දේ අපි හරියට කරොත් අපිට එකෙන් අවුරුදු 75-100ක් විතර හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්.
අපි කරන පුංචි පුංචි නොසලකාහැරීම් නිසා අවසානයේ අපට ගන්න පුළුවන් අස්වැන්න විශාල ප්‍රමාණයක් අඩු වෙනවා. මුලින් හරියට ඉඩම හදාගත්තෙ නැත්නම්/ මුලින් හරියට වගාව කළේ නැත්නම් අපිට ගන්න පුළුවන් අස්වැන්න නැති වෙන්නේ එක අවුරුද්දක් නෙවෙයි. කුරුඳු වගාව තියෙනකම් අවුරුදු 75-100ක් නැති වෙනවා.
ආදායම අහිමි වෙන්නේ කොහොමද? මේ අහිමිවන ආදායම අපි නිසි පරිදි ලබා ගන්නේ කොහොමද?
පළවෙනි කාරණය තමයි ඉඩම සකස් කිරීමේදී අනවශ්‍ය ආකාරයට පස බුරුල් කිරීම.වර්තමානය වන විට බොහෝ අය ඉඩම් සකස් කර ගැනීම සඳහා බැකෝ යන්ත්‍ර පාවිච්චි කරනවා. මතුපිට පස් තට්ටුව තමයි හියුමස් බහුල සාරවත් පසක් තියෙන්නේ. මේක බැකෝ පාවිච්චි කරලා ගස් ගලවල, සුද්ද කරල, කාණු කපනවා. මතුපිට සාරවත් පස් තට්ටුව අනවශ්‍ය ආකාරයට බුරුල් කරලා පස නිරාවරණය කරනවා. එතකොට වැස්සත් එක්ක අවුරුදු දහස්ගානක් හැදුන තිරසාර වගාවක් දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට උපකාර වන මතුපිට සාරවත් පස් තට්ටුව සම්පූර්ණයෙන් හෝදගෙන භූමියෙන් ඉවත් වෙනවා. සාරවත් පස් කොටස පළමුවෙන්ම අයින් කරලා දැම්මට පස්සේ අපිට සාරවත් වගාවක් ඒකෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඉතිං සාරවත් පස් තට්ටුව නැවත ස්ථාපනය කරන්නත් ලේසි නෑ. ඒ නිසා පසට අවම හානියක් වන ආකාරයට බිම් සකස් කළ යුතු යි.
සෙවන ශාක ඉවත් නොකිරීම
වගා කරන්න යන බොහෝ ඉඩම් වල මොනවා හරි ගස් කොළන් තියෙනවා. ඉඩම් සකස් කර විට මේකෙ තියෙන සමහර ගස් ඉවත් කරන්න ලෝභයි. ඒවා ඉතුරු කරනවා. සමහර වෙලාවට සෑහෙන ගස් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. කුරුඳු කියන්නේ ආලෝකය ප්‍රිය කරන ශාකයක්. ඒ නිසා ආලෝකය ප්‍රමාණවත් නැති වූ විට කුරුඳු ගස් හරියට හැදෙන්නෙ නෑ. මහත වෙන්නෙ නෑ. උස යනව විතරයි. පොත්ත ඝනකම් වෙන්නෙත් නෑ. පඳුර හරියට හැදෙන්නෙත් නෑ. කපන්න යන කාලයත් ගොඩාක් වැඩි වෙනවා. කුරුඳු කැපුවම අලුතින් රිකිලි දාන එකත් අඩු වෙනවා. ලෙඩ රෝගත් වැඩී. ඒ වගේම අර ඉතුරු කළ ගස් කපනකොට මුළු වගාවම පොඩි වෙලා විනාශ වෙනවා. ගහේ මිලට වඩා කුරුඳු වගාවට වන හානිය වැඩියි. ඒ නිසා සෙවන ශාක වලින් සිදුවන පාඩුව අති විශාලයි. එහෙනම් කුරුඳු වගාවෙන් ඉහළ අස්වැන්නක් ගන්න නම් සෙවන අනිවාර්යයෙන්ම ඉවත් කරන්න.
ගැලවූ මුල්, ශාක අවශේෂ වගා බිමේ ගොඩ ගැසීම හා කුඩා ගල් ආදිය ගලවා ඉවත් නොකිරීම
වගා භූමියෙන් උපරිම අස්වැන්නක් ගන්න නම් එහි සිටුවිය හැකි සම්පූර්ණම පැළ ප්‍රමාණයම සිට විය යුතුයි. ඉහත හේතු නිසා ඉඩමේ සිටවිය හැකි පැළ ප්‍රමාණය අඩු වෙනවා. අක්කරයක කුරුඳු පැළ 3600ක් සිටවන්න පුළුවන්. ඉතින් ඉහත හේතු වෙනුවෙන් ඉඩම අපතේ ගියොත් එම පැළ ප්‍රමාණය හිටවන්න බෑ. අපි හිතුවොත් පැළ 3000 යි හිටවන්න පුළුවන් කියලා, ඉඩමෙන් ගන්න පුළුවන් අස්වැන්න 1/6ක් පැළ සිටවන අවස්ථාවේම අඩු කරගෙන ඉවරයි. ඒ වගේම පාළු/හිදැස් තියෙන නිසා වල් හා වැල් වර්ධනය වැඩි වෙනවා. කුරුඳු ගස් නැමෙනවා. ගුණාත්මක කෝටුවක් ගන්න බැරි වෙනවා. නඩත්තු වියදම් වැඩි වෙනවා. මෙය ද කුරුඳු වගාව පවතිනතාක් කල් වාර්ෂිකව ගත හැකි ආදායම අඩුවන බැවින් ගැලවිය හැකි ගල්, මුල් ආදිය ගලවා ඉවත් කර සම්පූර්ණ භූමියම වගා කල හැකිවන ලෙස ඉඩම සකස් කරගත යුතුයි. සමහර විට මේ සඳහා එක්වරක් පමනක් යන වියදම එක වසරක අහිමි වන ආදායමට වඩා අඩුවිය හැකියි.
නිසි පරතරයට වගා නොකිරීම
ගොඩලි, වළවල් හා ගල් තිබීම නිසා අඩි 4 x 3 පරතරයට පැළ සිටවන්න බැරි වෙනවා. එවිට ඉඩමේ සිටුවිය යුතු පැළ ගණන සිටුවන්න බැරි වෙනවා. ඒ වගේම එකාකාර පරිසරයක් හැම පැළයකටම ලැබෙන්නෙ නෑ. ඒ නිසා එකාකාර ශාක වර්ධනයක් නැති වෙන්න පුළුවන්. අපි දැකලා තියෙනවා තේ වගා කරන කොට ගොවීන් කොහොමද භූමිය හදන්නේ කියලා. ඒ වගේ භූමිය හදාගෙන එකාකාර විදිහට මේක වගා කර ගත්තොත් ඔබට ඉතා සාර්ථක කුරුඳු වගාවක් හදාගන්න පුළුවන්. ඒ නිසා භූමිය සකස් කරද්දී උස් පහත් තැන් නැතිව ගල් මුල් තියෙනව නම් ඒවා ගළවලා අයින් කරලා එක පේළියකට කුරුඳු පැළ අඩි 4×3 පරතරයට හදන්න පුළුවන් වෙන විදියට, නැත්නම් අක්කරයකට පැළ 3600 ම හදන්න පුළුවන් වෙන විදිහට අපි ඉඩම හදාගන්න අවශ්‍ය වෙනවා. කුරුඳු පැළ අඩි 4×3 පරතරයට හදන්න ඕන. නමුත් මේක බොහෝ අය ඇහේ මට්ටමට අරගෙන අඩි 4×3 කියලා හිතා ගෙන හදනවා. නමුත් මේකෙන් නියම පරතරයට අනුව හැදෙන්නෙ නෑ. හදන පැළ ප්‍රමාණය වෙනස්වීමට ඉඩ තියෙනවා. ඒ නිසා සමෝච්ඡ ක්‍රමයට පේළි සකස් කර (අඩි 4 හා 3 මිම්මක් ගෙන) කූඤ්ඤ ගසා සූදානම් කල යුතුයි. නිසි පරතරයක් නොමැතිවිට හා පැළ සංඛ්‍යාව අඩු වූ විට සිදු වන දේ ඉහතින් විස්තර කරල තියෙනවා.
සංරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම (කාණු ගල් වැටි සකස් නොකිරීම)
මෙයින් බලාපොරොත්තු වන්නේ පසේ මතුපිට පස් තට්ටුව සෝදා භූමියෙන් ඉවත්වීම පාලනය කිරීමයි. නමුත් බොහෝ ගොවීන් මෙම අරමුණ ඉටුවන ලෙස කාණු, ගල් වැටි සකස් කරන්නේ නෑ. ඒනිසා හියුමස් පස් තට්ටුව/මතුපිට පස් තට්ටුව අයින් වෙනවා. ඒනිසා පස නිසරු වෙනවා. ආම්ලිකතාවය වැඩි වෙනවා. එවැනි පසකට රසායනික පොහොර කොච්චර දැම්මත් වැඩක් නෑ. අස්වැන්න අඩු වෙනවා.
ප්‍රමිතියෙන් යුතු පැළ තෝරා නොගැනීම
කුරුඳු පැළ 5-8 දක්වා ප්‍රමාණයක් බඳුන පුරා විසිරී ඇති, අවම වශයෙන් පත්‍ර යුගල් 03ක වර්ධනයක් ඇති නීරෝගී පැළ, සිටවීම සඳහා තෝරා ගත යුතුයි. මාස 05ක්වත් පරිණත පැළ නම් ඉතා හොඳයි. ප්‍රධාන ලෙස කුරුඳු බීජ එන්නේ ජූනි-ජූලි මාස වල. ඒ නිසා නියම වර්ධනයක් සහිත පැළ එන්නෙ ඔක්තෝබර් අවසානයේ සිට. ඇතම් වසරවල මෙය ඔක්තෝබර් මුල් කලයේ සිට විය හැකියි. බඳුනකට බීජ යොදා පත්‍ර යුගලත් සහිත පැළ අඩු මුදලකට විකුණන දැන්වීම් සමාජ මාධ්‍ය වල දකින්න පුළුවන්. නමුත් ඒවා සිටුවීමට සුදුසු මට්ටමට වර්ධනය වෙලා නැහැ. ඒනිසා නිසි ප්‍රමිතියෙන් යුත් සුදුසු පැළ පමණක් ලබා ගන්න.
වසරේ මුල් මාසවල කලින් වසරේ පැළ තියෙනවා. මේවා වර්ධනය වැඩි පැළ නිසාත් යල කන්නයට සිටවිය හැකි නිසා හොඳින් ක්ෂේත්‍රයේ ස්ථාපනය කර ගන්න පුළුවන්. නමුත් මේ පැළ තෝරා ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මාස 5-6ක් යන විට කුරුඳු පැළ වල මුදුන් මුල බදුනේ යටින් පිටතට පැමිණ පොළවට සම්බන්ධ වෙනවා. සමහර විට බදුනේ පැළයක් 2ක් මෙහෙම වෙන්න පුළුවන්. මේ පැළ අනෙත් පැළ වලට වඩා වේගයෙන් වර්ධනය වෙනවා. ඒනිසා බැලූ බැල්මට ඉතා හොදින් ලස්සනට පේනවා. මේ පැළ, තවානෙන් ගළවා ඉවත් කරන විට මුදුන් මුල කැඩෙන නිසා එම පැළ මිය යෑමේ හැකියාව වැඩී. එහෙම උනොත් පඳුරේ පැළ ප්‍රමාණය 5කට වඩා අඩු වුණොත් එය අස්වැන්න අඩුවෙන්න හේතුවක් වෙනවා. මෙය පාලනය සඳහා සමහර තවාන්කරුවන් බිමට පොලිතීන් යොදනවා, මාස 6න් විතර පැළ බඳුන් ස්ථානය වෙනස් කරනවා (කඩනවා). මේ පිළිබඳව ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතුමයි.
එක් ස්ථානයක සිටවන පැළ ප්‍රමාණය අඩුවීම
අනිත් කාරණය තමයි වගා කරන්න පුළුවන් හොඳ කුරුඳු පැල හොයාගන්න එක. අපි කියන්නේ එක ස්ථානයක කුරුඳු පැල 5-8 අතර ප්‍රමාණයක් තියන බඳුන් පැළ හිටවන්න කියලා. අපි ගන්න කුරුඳු පැළ බඳුන්වල කුරුඳු පැල 5ට වැඩිය නැත්නම්, අපි හිතමු එක තැනක තියෙන්නේ තුනයි කියලා. එතකොට අපි හිටවන අවස්ථාවේම පහක් තියෙන්න ඕන තැන තුනයි කියන්නේ. ඒ කියන්නේ හදන විටම අස්වැන්න 40% විතර අඩු කරගෙන ඉවරයි. ඉතින් මේක අපිට නැවත හදාගන්න අවුරුදු අටක් දහයක් විතර යනවා. ඒත් අමාරුයි. ඒ නිසා කුරුඳු පැළ තෝරා ගැනීමේදී පැළ පහට වැඩියෙන් තියෙන බඳුන් අනිවාර්යයෙන්ම තෝරාගත යුතු වෙනවා. ඒ නිසා එක ස්ථානයක පැළ පහක් අටක් අතර ප්‍රමාණයක් තියෙන බඳුන් පැළ හිටවන්න ඕන.
රෝග හෝ පළිබෝධ හානි සහිත පැළ සිටුවීම
සමහර ගොවීන් මේවට තියෙන ලෙඩ රෝග මොනවද, ලෙඩක් තියෙනවද නැද්ද කියලවත් දන්නේ නෑ. තවානට ගියාම එයාලා දෙන පැල අරන් යනවා. කුරුඳු පැළ හැදුවට පස්සේ ලේසියෙන් කුරුඳු පැළයක් මැරෙන්නේ නැහැ. නමුත් ලෙඩ රෝග තියෙනවා නම්, ඒ වගේම වෙන හානියක් තියනවනම් වර්ධනය බාල වෙනවා. කාලයට අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙන්න නෑ. එතකොට ක්‍රමානුකූලව වගාවක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා අපි පැළ තෝරා ගැනීමේදී ලෙඩ රෝග වලින් තොර හොඳ කුරුඳු පැළ තෝරා ගත යුතුයි. වැරදිලාවත් මේකේ රෝග ලක්ෂණ හෝ පිළිබෝධ හානියක් තියෙනවා නම් හිටවන්න කලින් අනිවාර්යෙන්ම එකට ප්‍රතිකාර කරලා සිටවිය යුතුයි. විශේෂයෙන් පැළ මැක්කාගේ හානිය හා පත්‍ර ගැටිති නිසා නිසි පරිදි වර්ධනය නොවන ඉඩම් දකින්න තියෙනවා. ඹබ මෙම රෝග හෝ පළිබෝධ හානි පිළිබදව පැළ ලබා ගැනීමට පෙර දැනුවත් විය යුතු යි.
වගාවේ පාළු
ඊළඟ කාරණය තමයි, පැළ හදලා ඉවර වුණාට පස්සේ පාළු ඇති වෙනවා. මේවා හැකි පළවෙනි අවස්ථාවෙම නැවත සිටුවිය යුතුයි. ඒක නිසා ක්ෂේත්‍රයේ කුරුඳු පැල සිටුවන කොටම, පුළුවන් නම් ඒ සමාන පැළ ටිකක් අඟල් 10-12 බඳුන් වල නඩත්තු කරලා තියාගන්න. එවිට වගාවේ වර්ධනයට සමාන පැළ ටිකක් අපිට හදාගන්න පුළුවන්. ඒවා පාළු ඇතිවන අවස්ථාවලදී හදන්න පුළුවන්. එවිට එකාකාර වගාවක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් වගාව ලොකු වුණාට පස්සේ නැවත පාළු හදලා ඒ තත්ත්වෙට ගන්න අපිට අමාරුයි. ඒක නිසා පැළ මැරුනොත් මැරුණ සැනින් එතන අලුත් පැළ සිටුවන්න. ඉඩමේ නියමිත පැළ ප්‍රමාණයය හදා ගත්තොත් විතරයි උපරිම අස්වැන්නට යන්න පුළුවන්.
ගොවිමිණ කෘෂිකර්ම ජාතික පුවත්පත ඇසුරිනි