අපට තිබෙන්නේ ලෝකයේ හොඳම කුළුබඩු වර්ග – ආචාර්ය එස්.ටී.ඩබ්ලිව්. කිරින්ද, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව නමින් වර්ෂ 1972 කාලයේ දි ආරම්භ කරලා 2024 වන විට වසර 52ක් සැපිරෙනවා. අද අපි මේ සොඳුරු කතා බහට සුදානම් වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරම්භක  සමාජිකයෙකු හා හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය එස්. ටි. ඩබ්. කිරින්ද මහතා සමගින්. එතුමා දෙපාර්තමේන්තුවේ ආරම්භක පුරෝගාමියෙක් වගේම අපේ රටේ ජනතාවට දැවැන්ත සේවයක් කරපු කෙනෙක්.

අධ්‍යක්ෂතුමනි, කොහොමද මේ දිනවල? ඔබතුමා  මෙහෙම  මුණගැහිම  හරිම සතුටක්

ඔව්, මම හොදින් මට දැන් වයස 90ක් වෙලත් මම ඉතා සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. දෙපාර්තමේන්තුවේ ආරම්භයේ හිටපු අයගෙන් මම හිතන්නේ දැනට ඉන්නේ මං විතරයි.

අධ්‍යක්ෂතුමනි, මං කැමති ඔබත් සමග දෙපාර්තමේන්තුව ආරම්භක කාලයට යන්න. අධ්‍යක්ෂවරයෙක් විදිහට දෙපාර්තමේන්තු ආරම්භක කාලය පිළිබඳව මොන වගේ මතකයක් ද  ඔබතුමාට  තියෙන්නේ ?

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අද තියෙන දෙපාර්තමේන්තුව 1972-1973 කාලයේ දී  තමයි ආරම්භ කළේ. නමුත් අපි ආරම්භ කළේ මේක සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව විදිහට. ඒකට හේතු ගොඩක් තිබුණා. විශේෂයෙන් තේ, පොල්, රබර් වලට සාපේක්ෂව බැලුවම ඉතා සුළු වශයෙන් තමයි කෝපි, කොකෝවා, කුරුඳු, ගම්මිරිස් වැනි දෙපාර්තමේන්තුවට අයිති මේ බෝග වගා කළේ. ඒ වගේම ලොකු වැවිලි බෝග වගා කළේ වතු සමාගම් හා ඉහළ අදායම් ලබපු අය. ඉතින් අපේ බෝග එහෙම නෙවෙයි. ඒවා වගා කළේ සුළු ආදායම් තිබුණු අය. ඉතා සුළු පිරිසක් තමයි මේ බෝග වගා කළේ. ඒ නිසා ඒවාට ලොකු සැලකිල්ලක් දැක්වුයේ නැහැ. නමුත් ඒවගේ නිෂ්පාදන අපනයනය කරන්න ඉස්සර ඉඳලම ලොකු ඉල්ලුමක් තිබුණා. ඒ නිසා තමයි මේ දෙපාර්තමේන්තුව පටන්ගත්තේ.

දෙපාර්තමේන්තුවේ ආරම්භය හා ආරම්භක පුරෝගාමින් පිළිබඳව මොනවාද ඔබතුමාට කියන්න තියෙන්නේ?

1970-72 විතර වෙන කොට ඵලදායිතාවය අඩු තේ ඉඩම්වල අතුරුබෝග වවලා තේ ඉඩම් විවිධාංගිකරණය කරන්න පටන් ගත්තා. මේ වැඩේට යොදා ගත්තේ කෝපි, කොකෝවා, ගම්මිරිස් වගේ සුළු අපනයන බෝග. මේකට UNDP සහ FAO කියන ආයතනවලින් මූල්‍ය සහයෝගය ලැබුණා. මුල් කාලේ, ඒ බෝග ගැන කටයුතු කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සුළු අපනයන බෝග අංශය කියල අංශයක් මගින්. මේ වෙනකොට  ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහත්තයා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස වැඩ කළා. එතුමාගේ සංකල්පයක් තිබුණා, සුළු අපනයන බෝග වලට අතහිත දීල, කෝපි, කොකෝවා, කුරුඳු, ගම්මිරිස් වැනි බෝග වගාව ප්‍රවර්ධනය කරන්න ඕන කියල. මොකද එතුමා කළුතර ප්‍රදේශයේ ග්‍රාමිය පරිසරයක් තුළ කුරුඳු වගේ බෝගත් එක්ක හැදී වැඩුණු කෙනෙක් නිසාත් මේ බෝගවලට අනාගතයේ හොඳ තැනක් ගන්න පුළුවන් කියල දැකපු නිසාත්, ගෙවතු මට්ටමින් වගේ මේවා වවල තියෙන සුළු ආදායම් ලබන අයගේ ආර්ථිකයට ශක්තියක් වෙන්න පුළුවන් නිසාත්, මේ බෝග වගාව ප්‍රවර්ධනය කරන්න ඕන කියන අදහසින් මේ දෙපාර්තමේන්තුව පිහිටුවන්න මූලිකත්වය ගත්තා. ඒ කාලේ දුම්කොළ නිෂ්පාදනයෙන් හොඳ ආදායමක් ලංකාවට ලැබුණා. ඒකේ  ප්‍රධානියා විදිහට වැඩ කළේ ආචාර්ය  ඊ. ජයනෙත්ති මහත්මයා. එතුමාගේ අංශය ඉතා හොඳන් ක්‍රියාත්මක  වුණා ඒ කාලේ. රජයට හොඳ ආදායමක් අරන් දුන්නා. ඒ නිසා සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව පටන්  ගන්න කොට එක කරගෙන යන්න කියල එතුමාට භාරදුන්නා. අන්න. එතනින් තමයි, දෙපාර්තමේන්තුව පටන් ගැන්ම ඇතිවෙන්නේ, 1972 ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ඇමතිතුමයි, ආචාර්ය ජයනෙත්ති මහතායි, එකතු වෙලා කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම දෙපාර්තමේන්තුව සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව විදියට ස්ථාපිත කළා. දෙපාර්තමේන්තුවේ ආරම්භක අධ්‍යක්ෂවරයා වෙන්නේ ආචාර්ය ජයනෙත්ති මහත්තයා. ඉන් පස්සේ 1975 මම අධ්‍යක්ෂවරයා විදියට පත්වෙලා 1987 විශ්‍රාම ලබන තෙක් ඒ තනතුරේ වැඩ කළා

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ම නිලධාරින් නේද මේ දෙපාර්තමේන්තුවේ මුලින්ම කටයුතු කරන්නේ ?

ඔව්… ඔව්. මුලින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සුළු අපනයන බෝග අංශය විදිහටනේ තිබ්බේ. පස්සේ තමයි මේ දෙපාර්තමේන්තුව ආරම්භ කරන්න කටයුතු කළේ. නමුත් ඇති වෙලා තිබුණ ප්‍රශ්නේ තමයි. මේ අංශය ආරම්භ කරන්න නිලධාරීන් කවුරුත් හිටියේ නැහැ. කවුරුවත් කැමති වුණේ නැහැ අලුතින් පටන් ගත්ත එකක වැඩ කරන්න. පහසුකම් මුකුත් නැහැ. වැහිලා යයිද කියල විශ්වාසයකුත් නැහැ. මම ඒ වෙන කොට හිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහඉලුප්පල්ලම පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ නිලධාරියෙක් විදියට. ඉතින් මට මහඉලුප්පල්ලම ඉඳල, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ප්‍රධාන කාර්යාලයට එන්න වෙනවා. ඉන් පස්සේ 1973 තමයි, මට සුළු අපනයන බෝග භාරව මේ අලුත් ම අලුත් දෙපාර්තමේන්තුවට ඇවිල්ලා වැඩ කරන්න කියල පැවරුවේ.

මේ විදිහට ආරම්භ කළ සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුවේ කටයුතු කොහොමද සිදු වුණේ ?

ඇත්තෙන්ම, දෙපාර්තමේන්තුව පටන් ගත්තට කවුරුත් නිලධාරීන් හිටියේ නැ. කාර්යාලයක් තිබුණෙත්  නැහැ. මේ බෝග සංවර්ධනය කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න හරියට මූල්‍ය ප්‍රතිපාදන මුල දී ලැබුණේ නැහැ. නාමිකව වගේ තමා දෙපාර්තමේන්තුව තිබුණේ. මුලින්ම කොළඔ කුලී නිවසක අපි මේ දෙපාර්තමේන්තුව පටන් ගත්තා. අයිතිකාරයෝ ඉල්ලන ඉල්ලන සැරේට අපි කුලී නිවාස කිහිපයකටම ගියා. ඒ වගේම දෙපාර්තමේන්තුවට මේස පුටු පවා තිබුණේ නැහැ. ඒවා අපි වෙන වෙන ආයතනවලින් තමයි ගත්තේ. මේ කාලේ මම පර්යේෂණ නිලධාරීයෙක් විදිහට වැඩ කළා වුණත් මේ දෙපාර්තමේන්තුව අලුතින් ගොඩනගලා සුළු අපනයන බෝග වගාව වැඩි කරන එක තමයි අපිට කරන්න වෙලා තිබුණේ. පහසුකම් නැති නිසා කවුරුත් මේ දෙපාර්තමේන්තුවට එන්න කැමති වුණේ නැහැ. මටත් හැමෝම කීවේ, මේකට යන්න එපා කියලා. ඒ වගේම ගොඩක් අය හිතුවා මේ දෙපාර්තමේන්තුව නැති වේවි කියලා. ඉතින් මේකේ වැඩ පටන් ගන්න එක අපිට ලොකු අභියෝගයක් වුණා. අපි අවුරුදු 2 ක් 3ක් මේ විදිහට හරියට තැනක් නැතිව හිටිය, එ්ත් එක්කම ඊළඟ අවුරුද්දේ ඇස්තමේන්තුව හදද්දී වැය ශීර්ෂයක් දා ගත්තා, ඉතින්  අපිට පුළුවන් වුණා ඒකට සල්ලි හොයල දාන්න.  ඒ වගේම මේක ටෝකන් වොට් එකක්. එ්කෙන් අපිට පොඩි ගානක් ලැබුණා. ඒකෙන් පුළුවන් වුණා සල්ලි ටිකක් එකතු කර ගන්න. ඉන් පස්සේ 1981 තමයි අපි දැනට දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය තියෙන තැනට දෙපාර්තමේන්තුව අරගෙන ආවේ.

මුලින්ම සුළු අපනයන බෝග අංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පටන් ගත්ත නිසා ඔවුන්ගෙන් ඉඩමක් හෝ කාර්යාලයක් ලැබුණේ නැද්ද?

අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පේරාදෙණියේ නිල නිවාසයක් ඉල්ලුවා. තවත් ආයතන කීපයක ගොඩනැගිලි බැලුවා. නමුත් ඒවා අපිට ලැබුණේ නැහැ. ඒ නිසා අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ රිසවේෂන් එකට අයත් ගැටඹේ කාර්යාලය තිබෙන ස්ථානයේ ඉඩම ලබාගන්න කටයුතු කළා. ඉඩම ලබාගන්නවත් එක්කම  අපිට ඉතා ඉක්මනින් ගොඩනැගිල්ලක් හදන්න අවශ්‍ය වුණා. අපි රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව එක්ක කතා කරල ගොඩනැගිල්ල හදන්න අවශ්‍ය සියලු කටයුතු සිදුකරල ගොඩනැගිල්ල හැදුවා. ඒ වගේම මාතලේ පර්යේෂණ මධ්‍යස්ථානයට ඉඩමක් ලැබුණට ලැබ් ටික දාන්න අපිට ගොඩනැගිලි තිබුනේ නැහැ. ඒකෙ තිබ්බ පරණ ගෙදරක තමයි මුලින් ම පර්යේෂණ වැඩ පටන්ගත්තේ. කොළඹ වාණිජ මධ්‍යස්ථානය කියල ආයතනයක් තිබ්බ ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඒ ගොඩනැගිලි කීපයක් හදාගත්තා.

මේ කුළුබඩු බෝග  වෙනුවෙන් ඇයි ඔබතුමාලා වෙනම දෙපාර්තමේන්තුවක් ගොඩනගන්න හිතුවේ?

ඇත්ත වශයෙන්ම, ගොඩක් කම්කටොළු මැද මේ වගේ දෙපාර්තමේන්තුවක් ගොඩනැගුවේ. ලංකාවේ අපේ මේ කුළුබඩු බෝග වගා කරන අඩු ආදායම් ලබපු අයට ලොකු සේවයක් කරන්න. ඒ වගේ ම ඒ බෝගවලින් රටට ලැබෙන ආදායම වැඩි කරන්න. ඇත්තටම ඒ කරපු දේවල් ගැන අද අපිට හරි සතුටුයි. විශේෂයෙන් ම ඒ කාලේ වුණත් මම අපේ ව්‍යාප්ති නිලධාරීන්ට උපදෙස් දුන්නේ, අපි කටයුතු කරන්නේ බහුවාර්ෂික බෝග එක්ක, ජීවිතේටම අපි වගා කරන්නේ එක පාරයි. ඒ නිසා අපිට වැරැද්දක් කරන්න බැහැ. නිවැරදි ක්‍රමේට වගා නොකළොත් ඒක ජීවිත කාලෙටම බලපානවා.  වැරදි බෝග තෝර ගෙන නිවැරදිව වගා කළත් නිවැරදි බෝග තෝරගෙන වැරදි ලෙස වගා කළත් වගාකාරුවාට ජීවිත කාලය පුරාම පාඩු ලබන්න සිදුවෙනවා. ඒ නිසා අපේ නිලධාරීන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඕන. අපිට තියෙන්නේ ලෝකේ හොඳම කුළුබඩු වර්ග, ඒ නිසා අපි මේවා තවත් දියුණු කරන්න ඕන.

ඒ කාලේ මේ කුළුබඩු බෝග  ජනතාව අතර ප්‍රචලිත කරන්න මොකක්ද තිබුණ වැඩපිළිවෙළ ?

දැන් වගේ ඒ බෝගවලට ඉල්ලුමක් නැති නිසා වගා ප්‍රචලිත කරන්න ඒ කාලේ ටිකක් අමාරුයි. මුලින්ම අපි වගා අධාරයක් දුන්නා රුපියල් 2500ක් වගේ. ඒක ඒ කාලේ ලොකු ගාණක්. ඉඩමේ අලුත් වගාවක් කරන කොට ඒ මනුස්සයට ඉඩමෙන් තිබ්බ ආදායම නැතිවෙනවනේ ටික කාලෙකට. අන්න ඒක කවර් කරගන්න තමයි ඒක දුන්නේ. ඉතින් ගොඩක් අය මේ නිසා අපේ වැඩසටහන් වලට ආකර්ෂණය වුණා. ඒ වගේම අපේ නිලධාරීන් ප්‍රයෝගිකව ක්ෂේත්‍රයේ වැඩ කළ නිසා එකත් හේතු වුණා දෙපාර්තමේන්තුව මිනිස්සු අතරට යන්න. වර්තමානයේ  අපේ  වැඩසටහන් එක්ක මං හිතනව අපේ දෙපාර්තමේන්තුවට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා.

අද දෙපාර්තමේන්තුව තියෙන තත්ත්වය ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ ?

ඇත්තටම, අද අපේ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර මට්ටමට දියුණු වෙලා තියෙනවා. ලංකාවේ තියෙන හොඳට වැඩකරන දෙපාර්තමේන්තුවක්. ඒ ගැන ලොකු සතුටක් වගේම ආඩම්බරයක් මෙම දෙපාර්තමේන්තුවේ හිටපු දෙවැනි අධ්‍යක්ෂවරයා විදිහට මට දැනෙනවා. මේ වන විට දෙපාර්තමේන්තුවට අවශ්‍ය බොහෝ පහසුකම් ලැබිල තියෙනවා. අපි ඒ කාලේ පටන් ගන්න කොට තාක්ෂණික උපකරණ මොනවත් තිබුණේ නැහැ. පළමු ටයිප් රයිටර් එක (යතුරු ලියනය) මට හම්බ වුණේ British Council එකෙන් තෑග්ගක් විදියට. නමුත් මුල් කාලේ අපේ නිලධාරීන් ඉතා උනන්දුවෙන් වැඩ කළා.

අද තාක්ෂණික දියුණුවත් එක්ක කුළුබඩු කර්මාන්තයේ විශාල වෙනසක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා ජනතාවට වැඩි සේවයක් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරලා තියෙන කැපවීම හා සේවය අගයන්න පුළුවන්.

සාකච්ඡාව සහ සටහන – අරුණ එස්. බී. දිසානායක සහ සමන් ජයවීර දිසානායක – මාධ්‍ය හා සන්නිවේදන අංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *