ඉන්දියාවේ ‘පෑඩ් මෑන්’ කෙනකු ගැන අපි අසා ඇත්තෙමු. ඔහු නමින් අරුණාචලම් මුරුගනන්තම්ය. දිනක් තම බිරිය ඔසප් කාලයේදී අපිරිසුදු රෙදි කැබැල්ලක් භාවිත කරනු දැක ඒ ගැන විමසා ෆාමසියකට යන්නේ ‘සනීපාරක්ෂක තුවායක්’ මිල දී ගැනීමටයි. ෆාමසියේ තිබෙන සනීපාරක්ෂක තුවා මිලෙන් අධික වීම හේතුවෙන් ඒවා භාවිතයට ගැනීමට වත්කමක් නැති බව ඔහු අවසානයේ තේරුම් ගන්නේය. එතැන් පටන් ඔහුගේ අරමුණ තම රටේ දුප්පත් කාන්තාවන්ට අඩු මුදලින් සනීපාරක්ෂක තුවා සෑදීමය.
අඩු පිරිවැයකින් සනීපාරක්ෂක තුවායක් නිෂ්පාදනය කිරීමට ඔහු උත්සාහ ගත්ත ද ඔහුට බාධක බොහොමයකට මුහුණපාන්නට සිදුවිය. අවසානයේ බිරිය පවා ඔහුව හැර යන්නීය. උත්සාහය අත්නොහරින ඔහු අවසානයේ සහන මිලට සනීපාරක්ෂක තුවා සාදන යන්ත්‍රයක් ද සාදා ඉන්දියාවේ මෙන්ම මුළු ලෝකයේම ‘පෑඩ් මෑන්’ නමින් ප්‍රසිද්ධියට පත් වන්නේය.
‘විස්කම්’මඟින් අද කියන්නට යන්නේ ද අපේ රටේ ‘පෑඩ් මෑන්’ කෙනකු ගැනය. ඔහු නමින් තනුජ චන්ද්‍රසේකර වන අතර පදිංචිව සිටින්නේ ගාල්ල ප්‍රදේශයේය. ශ්‍රී ලංකාව තුළ දැනට කෙසෙල් කෙඳි පමණක් භාවිත කර රෙදි නිෂ්පාදනය කරන එකම ව්‍යවසායකයා තනුජ ලෙස හැඳින්වුවොත් නිවැරදිය. කෙසෙල් කෙඳිවලට අමතරව නෙළුම්, ජපන් ජබර, ගහල, හබරල, නියඳ වැනි ශාකවලින් ගන්නා කෙඳිවලින් ද රෙදි නිෂ්පාදනය කිරීමට ද ඔහු උපන් හපනෙකි.
තනුජගේ මේ ගමන ඇරඹෙන්නේ විශේෂ සිදුවීමකිනි. දිනක් ඔහු දේවාලයක තිබෙන කෙසෙල් කෙඳිවලින් සෑදූ කොඩියක් දැක ඒ ගැන විස්තර සොයා යෑමෙනි. එම කොඩිය වසර 1400ක් පමණ පැරණි එකක් බවට සඳහන්ව තිබෙන අතර අදටත් එය හොඳින් පැවතීම ගැන තනුජගේ අවධානය යොමු වන්නේය. ඔහු කෙසෙල් කෙඳි භාවිතයෙන් රෙදි නිෂ්පාදනය ගැන සෙවීම මුලින්ම අරඹන්නේ ඉන් පසුවය. ඒ මීට වසර 14කට පමණ පෙරය. ඒ තනුජගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයයි.
ඉන්පසු කෙසෙල් කෙඳි භාවිතයෙන් සනීපාරක්ෂක තුවා නිපදවීමට උත්සාහ කළ ද එය ලෙහෙසු පහසු දෙයක් වී නැත. වසර ගණනක් පරීක්ෂණ කර සෞඛ්‍ය තත්ත්වවලට ඔරොත්තු දෙන ආකාරයෙන් ඉතා සාර්ථක සනීපාරක්ෂක තුවායක් නිපදවා වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ පසුගිය ඔක්තෝබර් 30 වැනිදාය.
ඒ ගැන තනුජ විස්තර කළේ මෙසේය.
“මම මේ සනීපාරක්ෂක තුවාය “නාරි” නමින් තමයි හඳුන්වා දී තිබෙන්නේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ 100%ක් ස්වාභාවික පරිසර හිතකාමී නිෂ්පාදනයක් වීමයි. ඒ වගේම රු. 150 සිට 190 වැනි අඩු මිල ගණන්වලට අප මෙය පාරිභෝගිකයන්ට දෙනවා. මොකද අප රටේ සනීපාරක්ෂක තුවායක් ගන්න බැරි බොහෝ අය සිටිනවා. දැනට මේ සඳහා අවශ්‍ය විවිධ තත්ත්ව සහතික පවා අපි අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මම මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති සාරංග අලහප්පෙරුම සහ හම්බන්තොට හිටපු දිසාපති ප්‍රියන්ත සුමනසේකර යන මහත්වරුන්ට ස්තූතිවන්ත වෙනවා. මේ ගමන එන්න ඔවුන් මට ලොකු ශක්තියක් වුණා.”
“ඇත්තටම මේ නාරි සනීපාරක්ෂක තුවා භාවිත කිරීමේදී සමෙහි ආසාදන ඇති වීමක් සිදු වෙන්නෙ නෑ කියල පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම මේවා ඉක්මනින් දිරාපත් වන නිසා පරිසරහිතකාමී දෙයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. අපි මේ නිෂ්පාදන මිල අඩුවට දෙන නිසා විවිධ තර්ජන පවා දැන් එල්ල වෙනවා. ඒවට අපේ ගමන නවත්තන්න බෑ.”
හම්බන්තොට, තිස්සමහාරාමය ආදී ප්‍රදේශවල කෙසෙල් වගාව බහුලව සිදු කෙරේ. කෙසෙල් කැන් කැපීමෙන් පසු ඒවා ප්‍රයෝජනයක් නොගෙනම ඇතැම් විට විනාශ වී යනු ඇත. ඒවායින් අපට මුළු ලෝකයටම සනීපාරක්ෂක තුවා සාදා විකිණීමට හැකි නම් ඩොලර් ඕනෑ තරම් සෙවිය හැකිය. සිදු විය යුත්තේ මෙවැනි ව්‍යවසායකයන් තව තවත් ඉදිරියට ගෙන යෑමට අදාළ අංශවල අවධානය යොමු වීමය.
ගයාන් සංජය – දිනමිණ ඇසුරිනි