මහා පරිමාණ කර්මාන්තකරණයක් ආරම්භ කළා යැයි මෙතෙක් කළක් රජයන් ගණනාවක් උදම් අනා කටයුතු කළත් එවැන්නක් සාර්ථකව සිදුනොවී ඇති රටක නව රජය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීමට සුළුවෙන් හෝ පටන් ගෙන ප්‍රතිඵලදායි කාර්යසාධනය මුල්කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සම්මේලනයේ (Confedaration of micro, small and medium industries – COSMI) සභාපති නවාෂ් රජාබ්දීන් මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වේගවත් සංවර්ධනයක් ඇති කරලීම සඳහා සුවිශල් බලාපොරොත්තු සහිතව පත් කර ගත් නව රජය කටයුතු කිරීමේදී සැබෑ ලෙසම ඔවුන්ගේ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීම කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.
මේ ආකාරයට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නොවිසඳුණු ගැටලුවලට එකිනෙක විසඳුම් ලබා දෙමින් රට පුරා ව්‍යාප්ත වූ කර්මාන්තකරණ ජාලයක් ගොඩනැංවීම කළ යුතු වෙයි. එහිදී මහා පරිමාණ මෙගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවට රජය, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ ජනතා සහභාගිත්වය සහිතව PPPP ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා යැයි පැවසීම ද අගය කළ යුතුය.
ශ්‍රී ලංකාවේ කර්මාන්තකරණය දියුණු කිරීම සඳහා අනිවාර්යෙන්ම කළ යුත්තේ නව පර්යේෂණ සහ සොයා ගැනීම්වලට වැඩි බරක් තබා කටයුතු කිරීමය. උදාහරණයක් ලෙස අපට දේශීය වශයෙන් අවශ්‍ය කජු පිළිබඳව අවධානය යොමු කරමු. අද දවසේ
කජු පැළයක් රෝපණය කළහොත් එහි අස්වැන්න නෙලා ගැනීමට වසර දහයක් පහළොවක් තරම් දිගු කාලයක් වැය වේ. නමුත් නව ප්‍රභේද සහ නව සොයා ගැනීම් ඔස්සේ වැඩි දියුණු කළ කජු බීජ වගා කර ඇති රටවල් ලොව ඇත. විශේෂයෙන් ඉන්දියාවේ කේරළයෙහි වසර පහකින් අස්වැන්න නෙළා ගන්නා කජු බීජ සොයාගෙන ඇත. අප ද නව පර්යේෂණ සොයා ගැනීම් ඔස්සේ එවැනි කෙටිකාලීනව අස්වැන්න නෙළා ගැනීමට හැකි බීජ සොයා ගෙන වාණිජ වශයෙන් කජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගත යුතුව ඇත. මෙහිදී රජයේ ඉඩම් අක්කර පන්සියය, හයසියය මහා පරිමාණ කර්මාන්තපුර ආරම්භ කරනවාට වඩා ඉඩම් අක්කර පහ, දහය, පහළොව ලෙස කුඩා ඉඩම් කැබලි සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබාදීමට සැලසුවහොත් ඉන් ලැබෙන ප්‍රතිලාභය ඉහළ යනු ඇත.
දැනට අප රටේ එළවළු පලතුරු අස්වැන්න නෙළා ගැනීමේදී බොහෝ සෙයින් ඒවා ප්‍රවාහනයේදී සහ අතරමැදිකරණයේදී නාස්ති වෙයි. විශේෂයෙන් එළවළු නිෂ්පාදනය කරන භූමියේ සිට කොළඹ වෙළෙඳ පොළ දක්වා රැගෙන ඒමේදී 30%ක නාස්තියක් සිදු වෙයි. මෙම නාස්තිය අවම කර ගැනීමට ප්‍රවාහනය සහ අනෙකුත් ක්‍රියාකාරකම්වලදී අපි හැකි තරම් නව තාක්ෂණය සහ නව සොයා ගැනීම් යොදා ගත යුතුය. ඒ සඳහා වැය කරන මුදල වැය බරක් නොව ආයෝජනයක් ලෙස සිතිය යුතුය. 30%ක නාස්තිය 20% කින් හෝ 10%කින් අඩු කර ගතහොත් අපගේ භාණ්ඩවල මිල අඩු කර ගත හැකිය. මෙය ජීවන වියදම අඩු කර ගැනීමට ඍජුව බලපාන කරුණකි. මේ පිළිබඳව සිතා බලා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තමන්ගේ ව්‍යාපාර කර්මාන්තකරණය යොමු කර ගැනීමට ආණ්ඩුව යටිතල පහසුකම් දියුණු කර දිය යුතුය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය මෙරට කර්මාන්තකරණය වැඩි දියුණු කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දියුණුව ඇතිකරලීම සඳහා පුළුල් දැක්මක් ඇතිව කටයුතු කරන බව දැනටමත් ප්‍රකාශ කර හමාරය. එය ඉතාමත් වැදගත් ප්‍රකාශයකි.
අස්වනු නෙළන කාලයේදී අඩු මිලක් ද, අවාරයේදී වැඩි මිලක් ද ගෙවීමට සිදුවන වෙළෙඳ පොළ ක්‍රමයක් අප රටේ බොහෝ එළවළු හා පලතුරු ආශ්‍රිතව පවතී. නමුත් මෙය වෙනස් විය යුතුය.
උදාහරණයක් ලෙස දෙහි වාරයට එක් කිලෝවක මිල රුපියල් 100ත් 150ත් අතර වේ. නමුත් අවාරයට මෙහි කිලෝවක මිල රුපියල් 1500ත් 2000ත් අතර ඉහළ යයි. මෙලෙස අවාරයට මිල වැඩිවීම මෙන්ම වාරයට මිල අඩුවීම සමනය කිරීම සඳහා දෙහි තොග රැස්කර වෙළෙඳ පොළට නිදහස් කර ගැනීමට හැකි නව මංපෙත් පිළිබඳව අපට සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පර්යේෂණ සහ නව සොයා ගැනීම් සිදුකොට ව්‍යාපෘති ලෙස එය ක්‍රියාවට නැංවීමට හැකිනම් වඩාත් යහපත්ය.
ඒ වගේම අප නවීකරණය වූ කෘෂිකර්මාන්තයක් වෙත යා යුතුය. ගෘහ ආශ්‍රිතව හරිතාගාර ගොවිතැනට අපේ ගොවියන් ප්‍රවේශ කළ යුතුය. ඒ හරහා ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. මෙවැනි ගෘහ කර්මාන්ත නැවත ආරම්භ කිරීමට රජය පහසුකම් සැලසිය යුතුය.
නව පර්යේෂණ, ඇසුරුම්කරණය, වෙළෙඳපොළ, ප්‍රමිතිය, ඵලදායිතාවය, කාර්යක්ෂමතාවය සෑම ආර්ථික ක්‍රියාකාරකමකටම යොදා ගනිමින් ඉතා වේගයෙන් සුළුවෙන් ආර්ථිකය වැටී ඇති තත්ත්වයෙන් ඉහළට එසවීමට වැඩපිළිවෙළ දියත් කළ යුතුය. මෙහිදී රජය ඒ සඳහා දක්වන උනන්දුව සහ කැපවීමට සමානම ධෛර්යයක් හා වුවමනාක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සිත්වල ඇති කරලීම සහා ඔවුන්ට දිරිදීම අප සම්මේලනයේ ඒකායන අරමුණ වී තිබේ. මේ ආකාරයට රජයත් පෞද්ගලික අංශයේ සියලු දෙනාත් නැගී සිටීමට අවශ්‍ය යැයි තිර අධිෂ්ඨානයෙන් යුතුව සෑම කටයුත්තක්ම සිදුකරනවා නම් ඉතා කෙටි කලකින් අපේ රටට යෝධ ආර්ථික පිබිදීමක් ළඟා කර ගත හැකිය.
දිනමිණ ඊ පුවත්පත ඇසුරිනි