ආර්ථික බිඳවැටීමෙන් පසුව බොහෝ නිවෙස්වල ආහාර ලැයිස්තුවෙන් කිරි ඉවත්වූයේ කිරි බීමට කැමැත්ත හා අවශ්‍යතාව වෙනස් නොවූව ද දිනපතා කිරි පරිභෝජනය කළ හැකි මට්ටමේ ආර්ථික තත්ත්වයක් නොමැති නිසයි. වත්මන් ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කරන්නේ සැමට සුවපහසු ආර්ථිකයකි. සුවපහසු දිවියක ඉහළින්ම ඇති ආහාර අතර කිරි ප්රමුඛ වෙයි. ඉහළ ප්‍රමිතියකින් යුතුව කිරි මෙන්ම කිරි ආහාර පාරිභෝගිකයා වෙත සාධාරණ මිලකට ලබාදීමේ ජාතික වගකීම දරන ආයතනය වන්නේ මිල්කෝ ආයතනයයි. එහි සභාපති ජී.වී.එච්. ගෝඨාභය සමඟ කළ සංවාදයකි.
කිරිවලින් ස්වංපෝෂිත වීමට ඇති බාධක මොනවා ද?
අපේ රටේ කිරි නිෂ්පාදනය ඒකාකාරී මට්ටමක පැවතෙන්නේ නෑ. කිරි අස්වැන්න වැඩි සහ අඩු කාල වශයෙන් වසරකට අවස්ථා කිහිපයක් උදාවෙනවා. අස්වැන්න වැඩි කාලයටත්, අඩු කාලයටත් කිරි මිලදී ගනිමින් කිරි ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට මෙන්ම අපගේ පාරිභෝගිකයාට කිරි නිෂ්පාදන සාධාරණ මිලකට ලබාදීමටත් ජාතියේ කිරි නිෂ්පාදකයා ලෙස අපි බැඳී සිටිනවා. කෙසේ වෙතත් අපේ කිරි කර්මාන්තය එක තැන පවතින තත්ත්වයක් කලක් තිස්සේ පැවතී තිබෙන්නේ. ඉන්දියාවේ තත්ත්වය මීට වෙනස්.
ඉන්දියානු කිරි ගොවීන් සංස්කෘතිකව ගව පාලනය සමඟ බද්ධ වී සිටියත් නිරන්තරයෙන් අලුත්වන නවීන තාක්ෂණික දැනුම ඔවුන්ගේ කර්මාන්ත සඳහා බද්ධ කරගැනීමට සමත් වී තිබෙනවා. ඒ නිසාම කිරි හරකුන්ට පෝෂ්‍යදායී ආහාර ලබාදීමේ අවශ්‍යතාව, හොඳ කිරි අස්වැන්නක් යනු පෝෂ්‍යදායී ආහාර වේලක් සේම නිරෝගී එළදෙනකගෙන් ලබාගත හැකි සම්පතක් බව ඔවුන් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසාම එක් එළදෙනකගෙන් ඉහළම අස්වැන්නක් ලබාගැනීමට ඔවුන් සැලසුම්සහගතව කටයුතු කිරීමට හුරුවී තිබෙනවා. කිරි සමිති ඔස්සේ නූතන දැනුම පුහුණුවීම් මෙන්ම ආකල්ප වෙනසත් ඔවුන් ඇතිකර තිබෙනවා. නමුත් අපේ තත්ත්වය තාමත් වෙනස් වී නෑ. බොහෝවිට එක් එළදෙනකගෙන් දිනකට ලබාගන්නේ කිරි ලීටර් 2.5ක් පමණි. නමුත් නියම තත්ත්ව පාලනයන් යටතේ එළදෙනකගෙන් කිරි ලීටර් 40ක් පමණ ලබාගත හැකියි තහවුරු වි තිබෙනවා.
කිරි නිෂ්පාදන බහුල කිරීමට නම් ප්‍රමාණවත් කිරි නිෂ්පාදනයක් පැවතිය යුතු බව ද ඔබ පවසන්නේ?
රටක් වශයෙන් පනහේ දශකයේ සිට අපි මේ කිරි ගැටලුවට මුහුණදෙනවා. කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා වත්මන් ආණ්ඩුව විශේෂ වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා. මිල්කෝ ආයතනය විදිහට අපේ අරමුණ මේ සඳහා සහාය දැක්වීමයි.
කිරි නිෂ්පාදනය ඉහළ දැමීම රටේ පෝෂණ අවශ්‍යතාව වැදගත්. ආයතනයක් ලෙසට කිරි නිෂ්පාදන අපේ ආයතනයට බෙහෙවින්ම වැදගත්. අප ආයතනයේ සියලුම කිරි නිෂ්පාදන දේශීය කිරි ගොවියා වෙතින් මිලදී ගන්නා කිරිවලින්ම පමණයි. එසේ ආඩම්බරයෙන් කිවහැකි එකම සමාගම Milco පමණයි. පසුගිය වසරේ මෙරට කිරි අවශ්‍යතාව වෙනුවෙන් ආනයනය කරන ලද පිටි කළ කිරිපිටි ප්‍රමාණය කිරි මෙට්‍රික් ටොන් 64000ක් පිටි කළ කිරි එතරම් ප්‍රමාණයක් මිලදී ගැනීමට සිදුව ඇත්තේ පාරිභෝගිකයාට කිරි ලබාදිය හැකි ලාභම ක්‍රමය එය නිසයි. මේ ආනයනික කිරි මිල ඉහළයාම යම් ප්‍රමාණයකින් පාලනය වෙන්නේ අප ආයතනය නිෂ්පාදනය කරන “Highland” සන්නාමයෙන් නිපදවන පිටිකිරි නිසයි. එසේම දියර කිරි, යෝගට් ආදී බොහොමයක් කිරි ආහාරවල මිල තීරකයා වෙන්නේ අපයි. තරගකාරී සමාගම් බොහොමයක් දේශීය කිරි මෙන්ම ආනයනික පිටිකිරි නිෂ්පාදන සඳහා යොදා ගන්නවා. මාසයකට පෝෂණය ඉවත්කළ කිරි රොඩ්ඩ ටොන් 500ක් පමණ ආනයනය කෙරෙනවා. ඒවා බොහෝදුරට යෝගට් වැනි නිෂ්පාදන සඳහායි යොදා ගැනෙන්නේ. මෙසේ නිෂ්පාදන යම් ප්‍රමාණයකට කෘත්‍රිමව සිදුකිරීමට සිදුව ඇත්තේ රටේ අවශ්‍යතාවට සරිලන නිෂ්පාදනයක් නොමැති නිසයි. කෙසේ වෙතත් අපගේ අරමුණ 2026 වනවිට දැනට වාර්ෂිකව මිලදී ගන්නා කිරි ලීටර් එක්ලක්ෂ අසූදහස (180,000) වෙනුවට කිරි ලීටර් (250,000) බවට පත්කර නිෂ්පාදන ප්‍රමාණය වැඩිකිරීමයි.
MILCO ආයතනය තවමත් පාඩු ලබන ආයතනයක් ද?
පසුගිය ආණ්ඩු සමයේ MILCO පාඩු ලබන තත්ත්වයකට පත්කර ඇති බවයි පෙනී යන්නේ. දිගින් දිගටම බැංකු අයිරාවන් මඟිනුයි ආයතනය පවත්වාගෙන ගොස් තිබුණේ. බිලියන 1.8ක්ව පැවති බැංකු අයිරාව අප විසින් භාරගැනීමෙන් අනතුරුව මාස 07ක පමණ කාලයක දී මිලියන 3500 අඩු කිරීමට හැකි වුණා. අප පාලනය භාරගන්නා විට MILCO නිෂ්පාදනය ගබඩාවල ගොඩගසා තිබුණා. නමුත් ඒ වනවිටත් වෙළෙඳපොළේ අපගේ නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් තිබුණා. නමුත් බෙදාහැරීම විකිණීම වැනි කාරණා ඉතාමත් මන්දගාමී ආකාරයකිනුයි සිදුවී තිබුණේ. ඒ තත්ත්වයන් මැනවින් හඳුනාගෙන සෑම අංශයකම දුර්වලතා මඟහැරීමට පියවර ගත්තා. කිරි මිලදී ගැනීම, ශීත කිරීම, කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කිරීම අදාළ කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් සැකසීම, ගබඩා කිරීම හා බෙදාහැරීම යන අප කර්මාන්තය පැතිරී ඇති සෑම අංශයක්ම ශක්තිමත් කිරීමට කඩිනම් පියවර ගත්තා. නමුත් තවදුරටත් එම අංශ ශක්තිමත් කළ යුතු වෙනවා.
කිරි සමිති කිරි මධ්‍යස්ථාන ලෙස ගොඩනැඟීමට අපේක්ෂා කරන බව සඳහන් වුණා?
කිරි ගොවියාගෙන් කිරි මිලදී ගැනීමට වැඩි සබඳතාවක් ඔහු හා පැවතිය යුතුයි කියා අපි අපේක්ෂා කරනවා. ගවයින්ට පෝෂ්‍යදායි ආහාර ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳව දැනුම්වත් කිරීම, ගවයින්ගේ ලෙඩ රෝග පිළිබඳව, කෘත්‍රිම සිංචනයට පහසුකම් ලබාදීම, කිරිවල තත්ත්වය නිවැරදිව මැනීම ආදී කිරිගොවියාට අවැසි සියලු සේවාවන් එකම ස්ථානයකින් ලබාදිය හැකි මධ්‍යස්ථානයක් ලෙස කිරි මිලදී ගැනීමේ ස්ථාන ගොඩනැඟීමයි මින් අරමුණු කරන්නේ. දැනටමත් කිරි මිලදී ගැනීම් සිදුවෙන්නේ කිරි සමිති හරහායි. ඒවා වෙත මෙම පහසු කම් ලබාදීමයි ඉදිරි සැලසුම.
Highland කිරිහල් ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරනවා ද?
ඔව්, ඒවා වැඩි කිරීමට මෙන්ම ඒවා විවිධාංගීකරණය කරමින් රජයේ සමාගම්වල නිෂ්පාදනය කරන නිෂ්පාදන භාණ්ඩත් මේ නවීකරණය වූ අවන්හල්වලින් පාරිභෝගිකයාට ලබාගැනීමට හැකි වාතාවරණයක් හදනවා. කඩාවැටී ඇති සෑම අංශයක්ම ශක්තිමත් කර ගොවියාට, පාරිභෝගිකයාට මෙන්ම අප ආයතනවල සේවකයින්ට හොඳ අනාගතයක් සැකසීම අපේ අරමුණයි.
බුද්ධිකා බ්‍රාහ්මණගේ – උපුටා ගැනීම – දිනමිණ පුවත්පත