ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් Eric Walsh සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් අමාත්‍යාංශයේදී පවත්වන ලදී.
මේ සඳහා කැනඩාවේ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහ අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සම්බන්ධ විය.
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබා දීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්වූ අතර, මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, කැනේඩියානු රජය මඟින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලබා දුන් දායකත්වය තවදුරටත් ලබාදෙන බවත්, නව රජයේ අරමුණු අනුව සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට ඔවුන් සූදානම් බවත්ය.
එසේම පසුගිය වසරේ දේශගුණික සුහුරු ව්‍යාපෘතිය හරහා දේශගුණික වෙනස්වීම් හමුවේ කෘෂිකර්මාන්තය සිදු කරන ආකාරය සහ එය කලමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශවල ගොවි ජනතාවට අවශ්‍ය දැනුම මෙන්ම කෘෂිකාර්මික බෝග සඳහා අගයදාමයන් එකතුකර වෙළඳපොළ වර්ධනය කර ගැනීම පිළිබඳ අවශය දැනුම සහ පුහුණු කිරීම් ලබා දීම සිදු වූ බව පැවසීය. ඉදිරියේදී ශ්‍රී ලංකාවට මෙවැනි ව්‍යාපෘති ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින බව මහකොමසාරිස්වරයා ප්‍රකාශ කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූමි ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා බවත්, එම නිසා නව තාක්ෂණය භාවිත කිරීම මෙන්ම නිෂ්පාදන ඵලදායීතාවය වැඩිකර ගනිමින් පිරිවැය අඩු කර ගැනීමට නොහැකි වී ඇති බවත්ය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පසුගිය ආණ්ඩු විසින් ගොවියාගේ ඉඩම් හිමිකම ලබා ගෙන පෞද්ගලික ආයතනවලට ලබා දී විශාල ආයතන බිහි කිරීමට අවශ්‍ය කටයුතු සැලසූ බවයි. නමුත් නව රජයේ අරමුණ වන්නේ, ගොවිබිම්වල හිමිකම ඒ ආකාරයෙන්ම ගොවියාට හිමිව තිබියදී ගොවීන් එකතු වී ඔවුන්ගේම මහා පරිමාණ කෘෂිකාර්මික සමාගම් නිර්මාණය කිරීම තුළින් පෞද්ගලික ආයතන හා තරඟකාරී ලෙස වෙළඳපොළට අවශ්‍ය නිෂ්පාදන සැපයීමයි. එමඟින් හැමදාම දුප්පත්ව සිටි ගොවියා කෘෂි ව්‍යවසායකයින් ලෙස ආර්ථික හා සමාජයීය වශයෙන් ඉදිරියට ගැනීම වර්තමාන රජයේ අරමුණ බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. එසේම මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා ඉදිරියේදී කැනඩාවේ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලෙස ද අමාත්‍යවරයා කැනේඩියානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින ලදී.
එසේම ශ්‍රී ලංකාව තුළ පැවති තිස් අවුරුදු යුද්ධය නිසා උතුරු නැගෙනහිර පළාත්වල වාරිමාර්ග පද්ධති විනාශ වී ගොස් කෘෂිකාර්මික වගා භූමි විනාශයට ගොස් ඇති බවත්, මේවා සංවර්ධනය කිරීම සඳහා වර්තමාන රජය ප්‍රමුඛතාවය දෙන බවත්, ඒ සඳහා කැනේඩියානු රජයට ලබා දිය හැකි දායකත්වය පිළිබඳව සලකා බලන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. කෘෂිකාර්මික ක්ෂේත්‍රය පමණක් නොව උතුරු නැගෙනහිර ප්‍රදේශවල පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳව ද වර්තමාන රජය සැලකිලිමත්ව කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.
මෙයට පිළිතුරු වශයෙන් කැනේඩියානු මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, කැනඩාවේ ද කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ඉතා විශාල සංවර්ධනයක් ළඟා කර ගත්තේ කුඩා ගොවීන් එකතු කර සමුපකාර මට්ටමින් සාදා ගන්නා ලද ගොවි සමාගම් හරහා බවත් ඒවා ගොවිතැනෙන් ඔබ්බට ගොස් අගයදාමයන් එකතු කර අපනයන ක්‍රියාවලිය දක්වා සංවර්ධනය කිරීමෙන් බවත්ය.
එසේම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආයෝජනය කිරීම සඳහා කැනඩාව බලාපොරොත්තුවෙන් සිටින බවද මහකොමසාරිස්වරයා ප්‍රකාශ කරන ලදී. එසේම කැනඩාවේ සම්ප්‍රදායික බෝගයක් නොවුණත් Ginseng කැනඩාවේ අපනයනය කරන ප්‍රධානම බෝගයක් වන අතර, ලෝකයේ බොහෝ රටවලට Ginseng සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරමින් විශාල වෙළඳපොළ පංගුවක් අත්පත් කරගෙන ඇති බව පෙන්වා දුන් මහකොමසාරිස්වරයා ලංකාවේ කුරුඳු සහ මුරුංගා පවුඩර් සහ ටැබ්ලට් ආකාරයෙන් විදේශ වෙළඳපොළට යැවිය හැකි බව ද පෙන්වා දුන්නේය. එසේම විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව ඔවුන් හඳුනා ගෙන ඇති බවද මහකොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙහිදී මහකොමසාරිස්වරයාගේ ප්‍රගතිශීලී අදහස් පිළිබඳව සහ සහයෝගීතාවය වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් විශේෂ ස්තූතියක් පුද කළ අතර, දෙරට අතර කෘෂිකාර්මික අදහස් හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහා වැඩපිළිවෙලක අවශ්‍යතාවය පෙන්වා දෙමින් ඉදිරියේදී ඉතා ඉක්මනින් හමු වීමේ බලාපොරොත්තුව ඇතිව මෙම හමුව අවසන් කරන ලදී.