ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් ලෙස ස්ථාන ගත වී ඇති පැල්වත්ත කිරි සමාගම, මේ වන විටත් ලංකාව දේශීය කිරිවලින් ස්වයංපෝෂිත කරන ගමනේ අඛණ්ඩව ඉදිරියට ගමන් ගන්නා අතරම, කිරි නිෂ්පාදන සඳහා වෙනත් රටවලට ගිය විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළම ඉතිරි කිරීමට ඔවුන් දක්වන දායකත්වය ද අතිමහත් ය. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම, ලංකාවේ නිෂ්පාදිත කිරි නිෂ්පාදන සැපයීම මගින් රටේ ජාතික ආර්ථිකය සවිමත් කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වේ.
දිනෙන් දින තරගකාරී වන වෙළඳපොළ හමුවේ නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින්, තවදුරටත් දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස වැජඹීමට මෙන්ම, නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳව ද පැල්වත්ත කිරි සමාගම දැඩි අවධානයක් යොමු කර තිබේ.
පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා සහ පැල්වත්ත කිරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා විසින් දැක්වූ අදහස් අනුව, පැල්වත්ත කිරි සමාගම ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම සහ ඒ හරහා රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් වීම යන භාර ධූර කාර්ය තම අරමුණ කර ගෙන ඉදිරියටම ගමන් කරන බව පැහැදිලි විය.
යෝජිත කුරුණෑගල කර්මාන්ත ශාලාව ඉදි කළ පසුව නිෂ්පාදන ධාරිතාව 80% කින් ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇති බවත් සැලසුම් කළ කර්මාන්තශාලාවේ වැඩ අවසන් වූ පසුව, දේශීය අවශ්‍යතාව සඳහා පමණක් නොව, විදේශ අපනයනය සඳහා ද කිරි නිෂ්පාදන කටයුතු සිදු කරන බව ඔවුහු අවසන් වශයෙන් කියා සිටියෝය.
මේ වන විට පැල්වත්ත කිරි සමාගම යටතේ ස්ථිර ලෙස ලියාපදිංචි වූ කිරි ගොවීන් 30,000 ක් පමණ පිරිසක් රටේ කිරි අවශ්‍යතාව වෙනුවෙන් සමාගම වෙත තම සේවය ලබා දෙනු ලබයි. පැල්වත්ත කිරි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජාතියේ කිරි අවශ්‍යතාව සංතෘප්ත කරන සියලුම කිරි ගොවියන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දීම සඳහා පුළුල් විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ස්ථාපනය කරන ලදි. පැල්වත්ත කිරි සමාගම විසින් කිරි ගොවීන් සඳහා හඳුන්වා දුන් මෙම නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ඔස්සේ, ගොවීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට ද සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමි වනු ඇත.
කිරි ගොවීන් විශ්‍රාම ගැනීමෙන් පසුවත්, ඔවුන්ට අඛණ්ඩවම විශ්‍රාම වැටුපක් හිමි වන නිසා, ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වනු ඇත. මෙය ග්‍රාමීය මූල්‍ය සුරක්ෂිතභාවයේ යෝධ පිම්මක් ලෙස ද සැලකිය හැකිය. මීට අමතරව, කිරි ගොවීන්ගේ පවුල්වල ආරක්ෂාව, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි කාරණාවල දී, මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ඔවුන් හට විශාල පිටිවහලක් වනු ඇත.
මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා, රටේ ජාතික කිරි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ජීවිතය කැප කළ කිරි ගොවියන් හට තම ජීවිතයේ සැඳෑ කාලය ගෞරවාන්විතව ගත කිරීමට මෙන්ම, තම පවුල ගැන හිතේ බරකින් තොරව සැහැල්ලුවෙන් යුතුව තම ජීවිතය ගත කිරීමට ද අවස්ථාව හිමි වනු ඇත.
දේශීය කිරි ගොවීන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ගනු ලැබූ මෙම තීන්දුව, ශ්‍රී ලාංකේය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇති බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති, ආරියශීල වික්‍රමනායක මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ, අක්මාල් වික්‍රමනායක මහතා තම අදහස් ප්‍රකාශ කරනු ලැබූහ. තවදුරටත් අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කර සිටියේ, “ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ක්ෂේත්‍රයට දායක වූ ගොවි ප්‍රජාව රැක ගැනීම, අපට ඇති ආයතනික වගකීමක් වේ. තිරසාර කිරි නිෂ්පාදනයට මෙන්ම, ග්‍රාමීය සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා ගොවීන්ගේ දිගුකාලීන සුබසාධනයට දායක වීම අත්‍යාවශ්‍ය බව අප හඳුනා ගෙන සිටිමු.” ලෙසිනි.
මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය කීරිපිටි ආනයනය කරන විවිධ බහුජාතික සමාගම් හා කරට කර තරග කරමින්, පැල්වත්ත සමාගම වෙතින් එන කිරිපිටි ඇතුළු අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදන මේ වන විටත් වෙළඳපොළ ස්ථාවරත්වයක් හිමි කර ගෙන තිබේ. ඒ වගේම බටර් සහ අයිස්ක්‍රීම් වැනි නිෂ්පාදන විදේශ රටවල් වෙත අපනයනය කිරීම ද මේ වන විටත් සිදු වෙමින් පවතී.
දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් දියත් කරන මෙම නිෂ්පාදන හරහා, පැල්වත්ත කිරි සමාගම විසින් කිරි ගොවීන් වෙත ගෙවීම් ලෙස මාසිකව රුපියල් මිලියන 2,000 කට අධික ප්‍රමාණයක් සිදු කරනු ලබයි. මීට පෙර කිරි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා විදෙස් රටවලට ඇදී ගිය ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් රටට ඉතිරි කර දීමට පැල්වත්ත කිරි සමාගම සමත් වී තිබේ.
පැල්වත්ත කිරි සමාගම විසින් දිගටම දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය වර්ධනය කරමින්, තවදුරටත් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම තම ජාතික වගකීම බවට පත් කර ගෙන, අඛණ්ඩවම ඉදිරියට ගමන් කරනු ඇත.