අප
නයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ
- ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකි ද ?
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන බෝගවලින් එකක් ලෙස සැලකෙන පොල් කර්මාන්තය රටේ වැදගත් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවලින් එකක් වන අතර, දේශීය ආර්ථිකයට, විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකයට හා විදේශ විනිමය ආදායමට ප්‍රධාන දායකත්වයක් ලබා දෙනවා. පොල් වගා කරන මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 480,000ක් පමණ වන අතර එම වගා බිම් වලින් වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3000කට අධික අස්වැන්නක් ලබා දෙනවා. උදාහරණයක් ලෙස 2021 දී පොල් ගෙඩි මිලියන 3,120පමණ නිෂ්පාදනයක් ලැබුණ අතර 2022 දී පොල් ගෙඩි මිලියන 3391ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා.2023වර්ශයේදී පොල් නිශ්පාදනය ගෙඩි මිලියන 3169 ක් පමණ වූ නමුත් 2024 දී පොල් නිශ්පාදනය ගෙඩි මිලියන 2754 ක් දක්වා අඩුවිය. කාලගුණික හා දේශගුණය ත්තත්වය ඇතුළු සාධක කිහිපයක් වාර්ෂික පොල් නිෂ්පාදනයට බලපෑම් කරනවා. ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වන විශාලතම පොල් නිෂ්පාදනය කරන රට වන අතර, 2024 දී පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 864.3ක විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
- ඔබ සඳහන් කළා ශ්‍රී ලංකාව ලෝකයේ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර සිවුවන ස්ථානයේ සිටින බව. ශ්‍රී ලංකාවෙන් අපනයනය වන ප්‍රධාන පොල් ආශ්‍රිත නිෂ්පාදන මොනවාද ?
ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් පොල් මද නිෂ්පාදන (Coconut Kernel Products) සහ පොල් ආශ්‍රිත තවත් නිෂ්පාදන ගණනාවක් අපනයනය කරනවා. ඒ අතර වියළූ පොල්, කෑමට සුදුසු කොප්පර, පොල් වතුර / තැඹිලි වතුර, නෑඹුල් පොල්තෙල් / Virgin Coconut Oil, පිරිසිදු කළ, වර්ණය ඉවත් කළ, සුවඳ නැති කළ පොල් තෙල්, පොල් පිටි, පොල් බටර්, දියර පොල්කිරි , පොල්කිරි කුඩු, පොල් ආශ්‍රිත ආරක්කු සහ පොල් සීනි අපනයනය කරනවා. මීට අමතරව පොල් කෙඳි නිෂ්පාදන (Coconut Fiber Products) සඳහා ජාත්‍යන්තර වෙළෙඳපාළ තුළ විශාල අවස්ථාවක් තිබෙනවා. එමෙන්ම පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන (Coconut Shell Products) ලෙස සක්‍රිය කාබන්, පොල්කටු අඟුරු, පොල්කටු කැබලි සහ පොල්කටු කුඩු අපනයනය කිරීම සිදුවෙනවා.
- අපනයන සංවර්ධන මණ්ඩලයට අනුව පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනය කිරීම මඟින් වාර්ෂිකව උපයා ගන්නා ආදායම ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද?
පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන මඟින් ශ්‍රී ලංකාව වාර්ෂික ඩොලර් මිලියන 800 ක පමණ සාමාන්‍ය අගයකට විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගන්නවා. උදාහරණයක් ලෙස අපට 2022 – 2024 කාලය සලකා බැලිය හැකියි. අපි 2022 දී පොල් මද නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ඩොලර් මිලියන 407.01ක්, පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 244.86ක්, පොලි කටු නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 170.22ක් ලෙස ඩොලර් මිලියන 822.09ක ආදායමක් ලබා ගත්තා, 2023 දී පොල් මද නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 365.94ක්, පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 206.22ක් සහ පොල් කටු නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 142.95ක් ලෙස 2023 දී ඩොලර් මිලියන 715.11ක අපනයන ආදායමක් ලබා ගත්තා. 2024 දී පොල් මද නිෂ්පාදන අපනයනය ආදායම ඩොලර් මිලියන 458.25 දක්වාත්, පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඩොලර් මිලියන 239.83 දක්වාත්, පොල් කටු නිෂ්පාදන අපනයනය ඩොලර් මිලියන 166.22 දක්වාත් ඉහළ ගොස් 2024 දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය තුළින් ඩොලර් මිලියන 864.30ක ආදායමක් ලබා ගන්න පුළුවන් වුණා.
2025 ජනවාරි සිට ජූලි දක්වා ශ්‍රී ලංකාවේ පොල් අශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 660.62ක මුළු ආදායමක් උපයා ගෙන ඇති අතර එය 37.34% වර්ධනයකි. එමගින් පොල් මද නිෂ්පාදනවලින් මිලියන 379.92, පොල් කෙඳි නිෂ්පාදනවලින් මිලියන 167.83, සහ පොල් කටු නිෂ්පාදනවලින් මිලියන 112.87 ලබා ගෙන ඇත.එසේම ශ්‍රී ලංකාවේ පොල් අශ්‍රිත නිෂ්පාදන අපනයන සංඛ්‍යා දත්ත වලට අනුව 2024 ජූලි මාසයේ USD මිලියන 75.66 ලෙස වාර්තා වී ඇති අතර 2025 වසරේ USD මිලියන 123.97 ලබාගෙන පෙර වසරේ ජූලි මාසයට සාපේක්ෂව 63.85% වර්ධනයක් පෙන්වා ඇත.
- ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රධාන අපනයන වෙළඳපොළ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ශ්‍රී ලංකාව සිය පොල් නිෂ්පාදනවලින් වැඩි ප්‍රතිශතයක් අපනයනය කරන්නේ පොල් මද නිෂ්පාදනයි. පොල් මද අපනයනය කරන ප්‍රධාන රටවල් පිළිවෙළින්, එක්සත් ජනපදය, ජර්මනිය, නෙදර්ලන්තය, ඉන්දියාව, එක්සත් රාජධානිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය ලෙස ඉදිරියෙන් සිටිනවා. පොල් කෙඳි නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර, චීනය, මෙක්සිකෝ, මොරොක්කෝ, එක්සත් ජනපදය, ජපානය, පේරු සහ දකුණු කොරියාව සිටිනවා. පොල් කටු නිෂ්පාදන අපනයනය කරන රටවල් වන්නේ, එක්සත් ජනපදය, චීනය, දකුණු කොරියාව, රුසියානු සමූහාණ්ඩුව සහ ජර්මනියයි.
- පොල් අපනයන කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවාද ?
පොල් අපනයනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කෘෂිකාර්මික නිෂ්පාදනයක් වුවත් පොල් අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රධාන අභියෝග කිහිපයකට මුහුණ දෙනවා. ඒ අතර ප්‍රධාන අභියෝගය වන්නේ අමුද්‍රව්‍ය හිඟයයි. පසුගිය වර්ෂ කිහිපය තුළ පොල් නිෂ්පාදනය ආශ්‍රිත දත්ත පරිශීලනය කිරීම තුළින් ඔබට මේ ගැන යම් අවබෝධයක් ලබාගත හැකියි. උදාහරණයක් ලෙස 2020 දී පොල් ගෙඩි මිලියන 2,792ක් නිෂ්පාදනය කළ අතර 2021 දී එය පොල් ගෙඩි 3,120ක් දක්වා ඉහළ යනවා, 2022 දී එම අගය 3,391ක් දක්වා ඉහළ යනවා. ඒ අනුව වාර්ෂිකව පොල් අස්වැන්න සැලකිය යුතු ලෙස විචලනය වෙනවා. ඒ වගේම දේශීය ඉල්ලුම ඉහළ යාම ඇතුළු ගැටලු නිසා පොල් අපනයනකරුවන් අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටිනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට වෙළඳපොළ වෙත පිවිසීම සඳහා අවශ්‍ය සහතික ලබා ගැනීමේ අපහසුතාවත් ප්‍රධාන ගැටලුවක්, අභියෝගයක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය හඳුනා ගෙන තිබෙනවා. මීට අමතරව ජාත්‍යන්තර මට්ටමට නිෂ්පාදන සැපයීමේ අපහසුතාව සහ අමුද්‍රව්‍ය මිල නිතර වෙනස් වීම සහ ඉහළ යාම ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන අපනයනයට ඇති ප්‍රධාන අභියෝග සහ බාධා ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය විසින් හඳුනා ගෙන තිබෙනවා.
- මෙම අභියෝග අවම කර ගැනීම සඳහා හෝ ජය ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ?
අපනයන සංවර්ධන මණ්ඩලය මෙරට අපනයන සංවර්ධනයට අදාළ ගැටලු, අභියෝග සහ ඒ ආශ්‍රිත අනෙකුත් ගැටලු සහ අභියෝගවලට විසඳුම් සෙවීම සහ ලබාදීම වෙනුවෙන් කටයුතු කරනවා. ඒ අනුව පොල් අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග වලට විසඳුම් ලෙස, අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල රැස්වීම (EDCM) වෙත ගැටලු ඉදිරිපත් කිරීම, අපනයන කරුවන්ගේ සංසදය (Exporter’s Forum) හි ගැටලු සාකච්ඡා කිරීම, Online B2B රැස්වීම් සංවිධානය, වෙළඳ ප්‍රදර්ශනවලට සහභාගී වීම, අපනයන සංවර්ධනය වෙනුවෙන් නව අපනයනකරුවන් සංවර්ධන වැඩසටහන් (New Exporter Development Programme) ක්‍රියාත්මක කිරීම සහ අපනයනකරුවන් සමඟ සබඳතා සකස් කිරීම කරනවා. මේ හරහා අපි අදාළ ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීමට පියවර ගන්නවා.
- ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි අමුද්‍රව්‍ය අපනයනයට වැඩි බරක් තැබීම. අගය එකතු කිරීම වැනි අවස්ථා අඩු බවටත් චෝදනාවක් තිබෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම හා සම්බන්ධයෙන් ගත් විට පොල් ආශ්‍රිත නිෂ්පාදන අගය වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් මොනවාද ?
ඔව්, ඔබ ඉදිරිපත් කළ අදහස දීර්ඝ කාලයක සිට සාකච්ඡාවට ලක් වෙන කාරණයක්. ශ්‍රී ලංකාව සිය අපනයන ඉලක්ක ජයග්‍රහණය කිරීමට නම්, වැඩි අපනයන ආදායමක් ලබා ගැනීමට නම් අපගේ අපනයන විවිධාංගීකරණය වගේම අගය එකතු කිරීමත් කළ යුතුයි. එවැනි නිෂ්පාදන අපනයනය කිරීම තුළින් අපට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් වගේම නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීමටත් හැකියාව ලැබෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අගය එකතු කිරීම සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය Quality Certification වැඩසටහන් සහ තත්ත්ව සහතික ලබා ගැනීම සඳහා මූල්‍ය සහය ලබා දීම කරනවා.
- එක්සත් ජනපද තීරු බදු සහ නව ජාත්‍යන්තර ප්‍රවණතා අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොළේ තරඟකාරීත්වයට මුහුණ දී සිටිනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ජාත්‍යන්තර වෙළෙඳපොළ තරඟකාරීත්වය වැඩි කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරන තිබෙනවා ද ?
ඔව්, අපනයන සංවර්ධන මණ්ඩලය ඒ වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සහ උපාය මාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒවා අතර,විදේශ ගැනුම්කරුවන් සම්බන්ධ කිරීම සදහා වෙළද ප්‍රදර්ශනවලට සහභාගී කරවීමට අදාල කටයුතු සිදුකිරීම, වර්තමාන ප්‍රමාණයට වඩා අපනයන වැඩි කිරීම, ජාත්‍යන්තර තත්ත්වයේ නිෂ්පාදන සැකසුම වැඩි කිරීමට අපනයනකරුවන්ට සහාය, අගය එකතු කළ නිෂ්පාදන සංවර්ධනය, ජාත්‍යන්තර වෙළඳ දැන්වීම් සහ අලෙවි වැඩසටහන්, වෙළඳපොළ විවිධාංගීකරණය, GMP, ISO, Organic, Fair Trade, HACCP වැනි ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සඳහා මූල්‍ය සහන ලබා දීම කරනවා.
සංවාද සටහන – තුෂාල් විතානගේ

