කිරි ගව පාලනයේදී වාර්තා තබා ගැනීමේ වැදගත්කම: ඔබ මේ කරුණු දැන සිටියා ද ?

කිරි ගව පාලනය යනු හුදෙක් සතුන් ඇති කිරීමක් පමණක් නොවඑය ක්‍රමවත් කළමනාකාරිත්වයක් මත පදනම් වූ සාර්ථක වාණිජ ව්‍යාපාරයකි. ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය වන්නේ එහි දත්ත සහ තොරතුරු පදනම්ව ගන්නා නිවැරදි තීරණ මතය. නිවැරදි වාර්තා තබා ගැනීම මගින් ගොවිපළේ ලාභය වැඩිකර ගැනීමට පමණක් නොවඅනාගතයේදී මුහුණ දීමට සිදුවන අවදානම් කලින් හඳුනාගෙන ඒවාට සාර්ථකව පිළියම් යෙදීමට ද මග පාදයි.

වාර්තා තබා ගැනීම යනු කුමක්ද?

වාර්තා තබා ගැනීම යනු ගොවිපළේ සිදුවන එදිනෙදා ක්‍රියාකාරකම්, සතුන්ගේ තත්ත්වය, නිෂ්පාදන දත්ත සහ මූල්‍ය ගනුදෙනු ක්‍රමවත් ලෙස පොතක හෝ පරිගණක මෘදුකාංගයක සටහන් කර තබා ගැනීමයි.

නිවැරදි වාර්තා තබා ගැනීමක ඇති වැදගත්කම

  • සතුන්ගේ ප්‍රගතිය හඳුනා ගෙන ඒ හරහා වැඩිම කිරි අස්වැන්නක් ලබා දෙන සතුන් සහ ලාභදායී නොවන සතුන් වෙන්කර හඳුනා ගැනීමට හැකි වීම.
  • සත්ව රෝග පාලනය සහ සෞඛ්‍ය කළමනාකරණයට අදාලව සතුන්ට එන්නත් ලබාදුන් දින, ලෙඩ රෝග සහ ප්‍රතිකාර පිළිබඳ දත්ත මගින් සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ හැකි වීම
  • සතුන් මදයට (Heat) එන දින, කෘතිම සිංචනය කළ දිනයන් සහ පැටවුන් ලැබෙන දින නිවැරදිව ගණනය කර නිවැරදි අභිජනන වැඩ සටහනක් අනුගමනය කිරීමට හැකි වීම.
  • ගොවිපළේ වියදම සහ ආදායම සසඳා බලා ව්‍යාපාරය ලාභ ලබනවාද යන්න තීරණය කිරීමට හැකිවීම.
  • දත්ත මත පදනම්ව සතුන්ගේ ආහාර වේල් වෙනස් කිරීම හෝ සතුන් ඉවත් කිරීම වැනි විද්‍යාත්මක තීරණ ගැනීමට හැකිවීම ආදී ප්‍රතිලාභ ගණනාවක් නිවැරදි වාර්තා තබා ගැනීමක් හරහා ලබා ගත හැක.

ගොවිපළක පවත්වා ගෙන යනු ලබන වාර්තා වර්ග

  • සතුන් හඳුනාගැනීමේ වාර්තාව (Identification Records)

සෑම සතෙකුටම අනන්‍ය අංකයක් හෝ නමක් තිබිය යුතුය. සතාගේ අංකය/නම, උපන් දිනය, වර්ගය (Breed), මව සහ පියාගේ විස්තර මෙම වාර්තාව තුළ ඇතුලත් වෙයි.

  • සිංචන දින දසුන (Breeding Calendar)

කිරි ගව පාලනයේ ප්‍රධානතම ඉලක්කයක් වන්නේ සෑම දෙනකගෙන්ම වසරකට එක් පැටවෙකු බැගින් ලබා ගැනීමයි. මේ සඳහා “සිංචන දින දසුනක්” සකස් කර ගැනීම ඉතා වැදගත් වේ. සාර්ථක නිෂ්පාදනයක් සඳහා ගව දෙනකගේ වසරක කාලය පහත පරිදි  බෙදා වෙන්කර ගෙන කළමණාකරනය කළ යුතුය.

සිංචන වාර්තා ලේඛනය

ඔබේ ගොවිපළේ සෑම දෙනකගෙන්ම වසරකට එක් පැටවෙකු බැගින් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට, පහත දැක්වෙන ආකාරයේ වාර්තා ලේඛනයක් (Breeding Record Sheet) පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ.

මෙම වගුව මගින් එක් එක් සතාගේ ප්‍රජනන ක්‍රියාවලිය කුමන මට්ටමක පවතින්නේද යන්න ඔබට එකවර බලා ගත හැකිය.

කිරි නිෂ්පාදන වාර්තාව (Milk Production Records)

මෙය දිනපතා නඩත්තු කළ යුතු වාර්තාවකි. නිෂ්පාදන වාර්තා පවත්වාගෙන යාමේදී පහත කරුණු සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය වේ:

  • කිරි දෙනගේ අංකය: එක් එක් සතා වෙන් කර හඳුනා ගැනීමට.
  • කිරි මුරය: දෙනගේ කීවෙනි කිරි මුරය (Lactation period) ද යන්න.
  • දිනපතා නිෂ්පාදනය: සෑම දිනකම ලැබෙන මුළු කිරි ප්‍රමාණය.
  • මාසික සාමාන්‍යය: මාසයේ සාමාන්‍ය කිරි නිෂ්පාදන මට්ටම.
  • ගුණාත්මකභාවය: කිරිවල අඩංගු මේද ප්‍රමාණය සහ මේද රහිත ඝන ද්‍රව්‍ය (SNF) ප්‍රමාණය.
  • වේලාවන් අනුව වාර්තා: උදේ සහ හවස ලබා ගන්නා කිරි ප්‍රමාණ වෙන වෙනම ලියා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වේ.

මෙම වාර්තා මගින් කිරි අස්වැන්න අඩු වැඩි වීමට හේතු සහ කිරිවල මේද ප්‍රමාණය වෙනස් වීමට හේතු වටහා ගත හැකිය. එම දත්ත ඇසුරින් වඩාත් ලාභදායක ලෙස කිරි ගවයා පාලනය කිරීමට ගොවියාට අවස්ථාව ලැබේ.

ගොවිපළ සත්ව සෞඛ්‍ය වාර්තාව (Farm Animal Health Records)

කිරි ගව ගොවිපළක සතුන්ගේ නිරෝගීභාවය සහ උපරිම නිෂ්පාදනය සහතික කරන ප්‍රධානතම මෙවලමක් වන්නේ ගොවිපළ සත්ව සෞඛ්‍ය වාර්තාවයි. සතුන් රෝගී වීම වැළැක්වීමට සහ රෝගයක් පැමිණි විට නිවැරදි ප්‍රතිකාර ලබා දීමට මෙම දත්ත පද්ධතිය අත්‍යවශ්‍ය වේ.

ගොවිපළේ සිටින සෑම සතෙකුටම වෙන් වෙන් වශයෙන් වාර්තා පිටුවක් පවත්වා ගැනීම මෙහිදී ඉතා වැදගත් වේ. එමගින් එක් එක් සතාගේ ප්‍රතිශක්තිකරණ මට්ටම සහ රෝග ඉතිහාසය පහසුවෙන් හඳුනාගත හැකිය.

ගිණුම් වාර්තා

කිරි ගව පාලනය වාණිජමය වශයෙන් සාර්ථක ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට නම් ගොවිපළේ මූල්‍ය කටයුතු පිළිබඳ ක්‍රමවත් වාර්තා තබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

ගොවිපළක ගිණුම් වාර්තා පවත්වාගෙන යාම මගින් පාලකයාට අත්වන වාසි රැසකි. ඒවා නම්, යම් ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී නිවැරදිව දැන ගැනීමට හැකි වීම, ගනුදෙනුවලදී කිසියම් අතපසුවීමක් සිදු වී ඇත්නම් එය පහසුවෙන් දැන ගැනීමට හා එයට පිළියම් සෙවීමට හැකි වීම, ආදායම් බදු හෝ වෙනත් ගෙවීම් කටයුතුවලදී ගෙවිය යුතු නිවැරදි ප්‍රමාණයන් තීරණය කර ගැනීමට හැකි වීම, යම් යම් නීතිමය ප්‍රශ්න පැන නැගුණු අවස්ථාවලදී එම කරුණු පිළිගත හැකි පරිදි හා පහසුවෙන් ඔප්පු කිරීමට හැකි වීම, ගොවිපලට යම් විපතක් සිදු වූ අවස්ථාවක රක්ෂණ සහන ලබා ගැනීමට මෙම වාර්තා උපකාරී වීම, බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් හා විශ්වාසදායී ලෙස ණය ලබා ගැනීමට මග පෑදීම, ව්‍යාපාරයේ ලාභ හෝ පාඩු තත්ත්වය හඳුනාගෙන, ඒ අනුව අනාගත ව්‍යාපාරික කටයුතු වඩාත් සාර්ථකව සැලසුම් කිරීමට හැකි වීම, ව්‍යාපාරය ලාභදායක ලෙස පවත්වාගෙන යාමට නම් සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ තීරණ ගැනීමට හැකි වීම.

ගොවිපළේ මූල්‍ය කටයුතු වාර්තා කිරීමට ප්‍රධාන වශයෙන් පොත් වර්ග දෙකක් භාවිත වේ.

  1. ගොවිපළ ගනුදෙනු සටහන් කරන දිනපොත.
  2. මුදල් පොත හෝ මුදල් විශ්ලේෂණ පොත.

මුදල් පොත (Cash Book)

ගොවිපළේ සිදුවන සියලුම මුදල් ගනුදෙනු සටහන් කරන්නේ මුදල් පොතෙහිය. සාමාන්‍ය මුදල් පොතක ආකෘතිය පහත පරිදි වේ.

කිරි ගව පාලනය යනු හුදෙක් සතුන් ඇති කිරීමක් පමණක් නොව, එය විද්‍යාත්මක පදනමක් සහිත කළමනාකරණයකි. ඉහත සාකච්ඡා කළ පරිදි, නිවැරදි සිංචන සැලසුම්, සෞඛ්‍ය වාර්තා සහ ගිණුම්කරණ ක්‍රමවේද පවත්වා ගැනීම ගොවිපළක පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධක වේ.

බොහෝ දෙනා වාර්තා තබා ගැනීම අමතර වෙහෙසක් ලෙස සැලකුවද, එය ඇත්ත වශයෙන්ම ඔබේ ගොවිපළේ අනාගතය සුරක්ෂිත කරන හොඳම ආයෝජනයයි. නිසි දත්ත මගින් ඔබව ‘ගොවියෙකුගේ’ සිට ‘සාර්ථක ව්‍යාපාරිකයෙකු’ දක්වා ඔසවා තැබීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙයි.

එබැවින්, අදම ඔබගේ ගොවිපළේ දෛනික කිරි අස්වැන්න, සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ මූල්‍ය ගනුදෙනු ලියා තැබීමට පුරුදු වන්න. අද ඔබ තබන සටහන, හෙට දිනයේ ඔබේ ගොවිපළේ දියුණුව මනින මිනුම්දණ්ඩ වනු නිසැකය.

සාගරිකා හිටිහාමුජේෂ්ඨ පර්යේෂණ නිලධාරිනී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *