
ගංවතුරට කඩාගෙන ගිය ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කර පළමු දියවර නිකුත් කිරීම ඊයේ (30) සිදු කෙරිණි. පසුගිය දිනවල ඇතිවුණ දිට්වා සුළි කුණාටුව හමුවේ ඇළහැර අමුණ බිදී ගොස් මහත් ව්‍යවසනයකට ලක් වුණි. ඒ ආපදා තත්ත්වය හේතුවෙන් එම ඇළහැර අමුණ බිදී යාමෙන් ගොවීන් 7514කට බලපාන ලෙස කුඹුරු හෙක්ටයාර් 6807කට ජලය සපයා ගැනීමට නොහැකි විය.
ඇළහැර අමුණ තුළින් නිකුත් කෙරෙන මහා දියදඹ ඇළහැර යෝධ ඇල ඔස්සේ මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල මෙන්ම කන්තලේ දක්වා ගොවි බිම් කෙත්වතු පෝෂණය කරන්නට සමත් විය. සුළි කුණාටුවෙන් ඇළහැර අමුණ බිඳී යාම ඒ ගොවීන්ගේ දහසක් වූ අනාගත බලාපොරොත්තු සුනු විසුණු කරන්නට සමත් විය. එම නිසාවෙන්ම ඇළහැර අමුණ දින 14ක් තුළ යළි ගොඩනගන්නට අප තීරණය කළෙමු. නමුදු යළි යළිත් ඇතිවුණු වර්ෂාපතනය හමුවේ දින 29ක් ගත වූ කළ යුධ හමුදාවේ ද, මහවැලි නිලධාරීන්ගේ ද, ගොවි සංවිධානවල ද, ගම්වාසීන්ගේ ද සහයෝගය ඇතිව යළි ගොඩනගන ලදි.
මේ සඳහා මිලියන 44ක් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබුණ ද ඉහත සැමගේ අපරිමිත ශ්‍රම දායකත්වය මත රුපියල් මිලියන 25ක් පමණක් වැය කර ඉදිකිරීම් අවසන් කරන ලදි.

