කිරෙන් පොහොසත් සාරවත් රටක් වෙනුවෙන් මිල්කො කිරි ගොවි අභිමන්

කිරෙන් පොහොසත් සාරවත් රටක් වෙනුවෙන් මිල්කො කිරි ගොවි අභිමන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී   (02) පැවැත්විණ. මෙහිදී මිල්කො ආයතනය වෙත කිරි සපයන කිරි ගොවීන් වෙනුවෙන් ප්‍රසාද දීමනා පිරිනැමීම මෙන්ම මිල්කො ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇගයීම ද සිදු විය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් පළ කළේය.

“කිරි ගොවීන් නැත්නම් කිරි කර්මාන්තයක් නැහැ. ඒ නිසා කිරි කර්මාන්තය තුළ වැදගත්ම සාධකය වෙන්නේ කිරි ගොවීන්. කිරි කර්මාන්තයේදී විවිධ ප්‍රශ්න පැන නඟිනවා. තණබිම් නැතිකම, වතුර නැතිකම වගේම සෞඛ්‍ය ප්‍රශ්න මතුවෙනවා. අපිට විශාල හරක් රංචු නිදැල්ලේ යවමින් ඒගොල්ලන්ට තණකොළ හොයාගන්න ඉඩ සලස්වමින් තව වැඩි කාලයක් මේ කර්මාන්තය කරන්න බැහැ. තණබිම් ඉල්ලුවට එහෙම දෙන්න බැහැ. සැලකිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි අපිට කිරි කර්මාන්තයේ නව තාක්ෂණික යුගයක් අවශ්‍ය වෙන්නේ. සත්ව ආහාර පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සත්තුන්ට ප්‍රමාණවත් වතුර ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය ප්‍රශ්න අතර කුර රෝග තියෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ ලොකු අභියෝගයක් තියෙනවා. පශු සම්පත් ක්ෂේත්‍රයට අපි මේ ඊයේ පෙරේදාත් බඳවා ගැනීම් සිදු කළා. බොහෝ නිලධාරීන් මේ තනතුරුවල ඉන්නේ නැහැ. එක්කෝ ටික කාලයකින් රට යනවා. ඔවුන්ට ලැබෙන වැටුප් ඇතුළු වරප්‍රසාද ප්‍රමාණවත් නොවන නිසා මේ රැකියා අතහැර දමනවා. නිලධාරීන්ට යන්න වාහන නැහැ. ක්ෂේත්‍රය ගැන හිතනවාට වඩා තමන් ගැන හිතන ප්‍රමාණය වැඩියි. ඒ ගැන දොස් කියන්න බැහැ.

අපි මිල්කො එකට යෝජනා කරනවා NLDB එකත් සම්බන්ධ කරගෙන මේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුමක් හොයන්න ඕනේ. නැත්නම් ඔය කියන 2030 ඉලක්කවලට යන්න බැහැ. අපි උත්සාහ කරනවා. ප්‍රධානම ප්‍රශ්නය තණකොළ. තණකොළයි, බඩඉරිඟුයි මේකට අත්‍යවශ්‍යයි. බඩඉරිඟු නිෂ්පාදනය ගත්තොත් අපි නිෂ්පාදනය කරන්නේ 50%යි. තව බඩඉරිඟු වවන්න ඉඩම් නැහැ. ඒ නිසා අපිට අඩු සත්තු ප්‍රමාණයකින් වැඩි කිරි ප්‍රමාණයක් ලබාගන්න යන්න වෙනවා තාක්ෂණය එක්ක එකතු වෙලා. අපි මේ සඳහා Dairy Hub නමින් වැඩසටහනක් හදලා තියෙනවා.

මිල්කො ආයතනය ඉන්දියාවට විකුණන්න තිබුණේ. නමුත් අපි ඉන්දියාව එක්ක කතා කරලා ඒක නවත්තගත්තා. මම මේ අවස්ථාවේ ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා. එයාලා අපේ ප්‍රතිපත්තිය පිළිඅරන් මේ සඳහා එකඟත්වය පළ කළා.

අපි ඉස්සර කිව්වා රට වටේටම මුහුද තිබුණට ටින්මාළු ගේන්නේ රටින් කියලා. නමුත් දැන් අපි ටින්මාළු පිටටරටින් ගෙන්වන්නේ නැහැ. දැන් රටේ ආහාර සුරක්ෂිතතාවය තියෙනවා.

දැන් මිල්කො ආයතනය ගොවිජනතාවගේ කොටස් හිමි ආයතනයක් බවට පත්වෙලා තියෙනවා.

මෙහිදී කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද අදහස් පළ කළේය.

“මිල්කො ආයතනය ඉතාමත් අඩු මුදලකට විකුණන්න ගිය ආයතනයක්. ගොවීන්ට සෘජු හා වක්‍ර ණය විශාල ප්‍රමාණයක් ගෙවන්න තිබුණා. නමුත් එය අද වෙද්දි ලාභ ලබන ආයතනයක් බවට පත්වෙලා තියෙනවා.  2030 වසරේ අපේ ඉල්කකය දෛනික කිරි නිෂ්පාදනය කිරි ලීටර් ලක්ෂ 30 දක්වා ඉහළ නැංවීමයි.”

මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයා වශයෙන් එක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා, මිල්කො සභාපති හේමජීව ගෝඨාභය මහතා අදහස් පළ කළේය. මෙම අවස්ථාවට ඇගයීමට ලක් වූ කිරි ගොවීන් විශාල ප්‍රමාණයක් ද සහභාගී විය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *