ශ්‍රී ලංකාවේ ගොවිජන පුනරුදයට ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවය: භාවිතය සහ අභියෝග

එම්.ඩී. සුසිලා ලූර්දු, අධි පර්යේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය වර්තමානයේ තීරණාත්මක සන්ධිස්ථානයක පවතී. දේශගුණික විපර්යාසයන් හි තීව්‍රතාවයේ ඉහළ යාම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය, ශ්‍රම හිඟය, වෙළඳපොළ අවිනිශ්චිතතාවයන් සහ සම්පත් සීමාවන් ගොවීන්ගේ ජීවනෝපායන්හි තිරසාරභාවයට අභියෝග කරමින් සිටී. ඒ සමඟම, ඩිජිටල් තාක්ෂණයේ වේගවත් දියුණුව කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා ශක්තිමත් කිරීමට සහ ගොවීන්ට කාර්යක්ෂම හා වඩා හොඳ,  නිවැරදි තීරණ ගැනීමට සහාය වීමට නව අවස්ථා නිර්මාණය කරයි. මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ දිගුකාලීන තිරසාරභාවය වැඩිදියුණු කිරීම සඳහා උසස් මට්ටමේ ප්‍රායෝගික මාර්ගයක් ලෙස ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා මතු වී තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු  පර්යේෂණ හා පුහුණුකිරිමේ ආයතනය විසින් මෑතක දී කරන ලද පර්යේෂණ අධ්‍යයනයකින් ජනනය කරන ලද සාක්ෂි මඟින් ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවයේ භාවිතය සහ අභියෝග ඉස්මතු කරන ආකාරය ගැන මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

තිරසාර කෘෂිකර්මාන්තය සඳහා පදනමක් ලෙස ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්තිය

කෘෂිකර්මාන්තයේ දිගුකාලීන තිරසාරභාවය ඉහළ අස්වැන්නක් ලැබීම මඟින් පමණක් තවදුරටත් අර්ථ දැක්වීම ප්‍රමාණවත් නොවේ. ස්වාභාවික සම්පත් සංරක්ෂණය කරමින්, දේශගුණික අවදානම්වලට ප්‍රතිචාර දක්වමින් සහ ගොවිපළ ආදායම් තිරසාරව පවත්වා ගනිමින් ගොවිතැන් පද්ධතිවලට ඵලදායීව සිටීමට ඇති හැකියාව මෙම අර්ථ දැක්වීම් තුළ අන්තර්ගත විය යුතු වේ. කෘෂිකාර්මික තිරසාරභාවය පිළිබඳ මෙම පුළුල් අවබෝධයට සඳහා  ගොවීන්ට අවශ්‍යවන කාලෝචිත, විශ්වාසදායක සහ ස්ථාන-නිශ්චිත තොරතුරු සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමට ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා සෘජුවම සහය වේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු  පර්යේෂණ හා පුහුණුකිරිමේ ආයතනය විසින් ගෘහස්ථ ආහාර බෝග අංශයේ ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවය පිළිබඳ කුරුණෑගල දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් සිදුකරන ලද අධ්‍යයනයෙන් (2024 වර්ෂයේ) අනාවරණය කරන්නේ ඩිජිටල් වේදිකා සාම්ප්‍රදායික ව්‍යාප්ති ප්‍රවේශයන්ට වඩා වැදගත් අනුපූරකයක් බවට පත්වෙමින් පවතින බවයි. අධ්‍යයන ක්ෂේත්‍රය තුළ, ගොවීන්ගෙන් සියයට 74ක් සහ අදාළ ප්‍රදේශයේ සියලුම ව්‍යාප්ති නිලධාරීන්ට ස්මාර්ට්ෆෝන් හිමි අතර, ගොවීන්ගෙන් සියයට 65ක් දැනටමත් කෘෂිකාර්මික තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා අවම වශයෙන් එක් ඩිජිටල් ව්‍යාප්ති මෙවලමක් හෝ භාවිතා කර ඇති බව අධ්‍යයන විසින් පෙන්වා දෙයි. වගා උපදෙස්, පොහොර සහ පළිබෝධ සහ රෝග කළමනාකරණ මාර්ගෝපදේශ සහ තත්‍ය කාලීන කාලගුණ තොරතුරු ලබා ගැනීම සඳහා මෙම මෙවලම් බහුලව භාවිතා කර ඇත. මේ අයුරින් වර්ධනය වන ඩිජිටල් සම්බන්ධතාවය ගොවීන්ට වගා පිළිවෙත් වඩාත් නිවැරදිව හා නිවැරදි වේලාවට පිළිපැදිය හැකි වන අතර එමඟින් නිෂ්පාදන අවදානම් අඩු කර අනවශ්‍ය යෙදවුම් භාවිතය වළක්වා ගත හැකිය.

ඩිජිටල් උපදේශන සේවා හරහා දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම

තිරසාරභාවය සඳහා ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවන්හි වඩාත්ම වැදගත් දායකත්වයක් වන්නේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමයි. අනපේක්ෂිත වර්ෂාපතන රටා, දිගු වියළි කාලගුණය සහ හදිසි ආන්තික කාලගුණික සිදුවීම්වලට වර්තමානයේ ගොවීන් වැඩියෙන් මුහුණ දෙනු ලබයි. මෙහිදී ඩිජිටල් වේදිකා මඟින් (WhatsApp වැනි) පූර්ව අනතුරු ඇඟවීම්, දේශගුණික උපදේශන සහ අනුවර්තනය වීමේ නිර්දේශ, ව්‍යාප්ති නිලධාරීන්ට ගොවීන්ගේ ජංගම දුරකථන වෙත කෙලින්ම බෙදා හැරීමට හැකියාව සලසයි.

අධ්‍යයන සොයාගැනීම්වලින් පෙනී යන්නේ අධ්‍යයන ප්‍රදේශය තුළ ජංගම දුරකතන හරහා ලබාදෙන උපදේශන සේවා, මාර්ගගත සහ සමාජ මාධ්‍ය නාලිකා සමඟ ඒකාබද්ධව, අහිතකර කාලගුණික තත්ත්වයන් යටතේ බෝග කළමනාකරණයට අදාළ තොරතුරු වේගවත් ලෙස සංසරණය කිරීමට හැකියාව ලබා දී ඇති බවයි. ඊට අමතරව, ජංගම දුරකතන හරහා බෝගයන් හි රෝග විනිශ්චය, තත්‍ය කාලීන පාංශු විශ්ලේෂණ යෙදුම් සහ නිරවද්‍ය වාරිමාර්ග ආධාරක පද්ධති වැනි නව තාක්ෂණික මෙවලම් දේශගුණයට අදාළ බෝග පාඩු අවම කිරීමට, ජල භාවිත කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ වෙනස්වන දේශගුණික තත්ත්වයන් යටතේ අස්වැන්න ස්ථාවර කිරීමට ශක්තිමත් විභවයක් ලබා  දී ඇත. මෙම තාක්ෂණික දැනුම, ගොවීන්ට තම වගාවන්ට සිදු වන අහිතකර තත්ත්වයන්ගෙන්  වැළකී සිටිමින් ගොවිපල කළමනාකරණයට හිතකර තත්ත්වයන්ට දෙසට ගමන් කිරීමට ඉඩ සලසයි, එය දිගු කාලීන කාෂිකාර්මික තිරසාරභාවය සඳහා අත්‍යවශ්‍ය වේ.

සම්පත් කාර්යක්ෂමතාව සහ පාරිසරික තිරසාරභාවය වැඩි දියුණු කිරීම

ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා පොහොර, පළිබෝධනාශක සහ ජලය වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට සහාය වීමෙන් පාරිසරික තිරසාරභාවයට ද දායක වේ. ඩිජිටල් උපදේශන පණිවිඩ, උපදේශන වීඩියෝ සහ අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් වේදිකා හරහා, ගොවීන්ට නිර්දේශිත යෙදුම් අනුපාත, ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණ පිළිවෙත් සහ ක්ෂේත්‍ර මෙහෙයුම්වල සුදුසු වේලාවන් පිළිබඳ මනා මග පෙන්වීමක් සිදු කරනු ලැබේ.

HARTI විසින් සිදු කරනු ලැබූ පර්යේෂණ අධ්‍යයනය මගින් අවධාරණය කරන්නේ අධ්‍යයන ප්‍රදේශය තුළ ගොවීන් විසින් පොහොර කළමනාකරණය, පළිබෝධ සහ රෝග පාලනය පිළිබඳ ප්‍රායෝගික නිර්දේශ බෙදා ගැනීමට ඩිජිටල් මෙවලම් හි සහය වැඩියෙන් භාවිතා කරන බවයි. එවැනි මඟ පෙන්වීමක් නිවැරදිව යෙදූ විට, එය අධික රසායනික භාවිතය අඩු කරයි, නිෂ්පාදන පිරිවැය අඩු කරයි සහ පස හා ජල සම්පත් කෙරෙහි ඍණාත්මක බලපෑම් සීමා කරයි. මේ ආකාරයෙන්, ඩිජිටල් ව්‍යාප්තිය සුහුරු දේශගුණික සහ පාරිසරික වශයෙන් හිතකර ගොවිතැන් පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් මෙවලමක් බවට පත්වන බව පැහැදිලි කරයි.

දැනුම වෙත ප්‍රවේශය පුළුල් කිරීම සහ තොරතුරු පරතරයන් අඩු කිරීම

කෘෂිකාර්මික දැනුම ලබාගැනීමට ගොවි ප්‍රජාවන් තුළ සමාන ප්‍රවේශයක් සහතික කිරීම තිරසාර සංවර්ධනයේ මූලික ඉලක්කයකි. විශේෂයෙන් භූගෝලීය වශයෙන් විසිරී ඇති සහ සම්පත් සීමා සහිත ග්‍රාමීය ප්‍රදේශවල සාම්ප්‍රදායික මුහුණට මුහුණ ව්‍යාප්ති සේවය ලබාදීමේ දීමේ දි ඇතිවන සීමාවන් බොහොමයක් ජය ගැනීමට ඩිජිටල් ව්‍යාප්ති සේවය වඩාත්උපකාරී වේ. පර්යේෂණ අධ්‍යයනය සිදු කළ කුරුණෑගල දිස්ත්‍රික්කය වැනි භුමි වපසරිය විශාල ප්‍රදේශයන් හි මෙම ඩිජිටල් ව්‍යාප්ති සේවය ඉතා වැදගත් වී ඇත. අධ්‍යයනයට අනුව, යූ ටියුබ්, වට්ස්ඇප් සමූහ සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වේදිකා මෙන්ම වෙබ් පාදක කෘෂිකාර්මික ගුවන් විදුලි සේවා ගොවි ප්‍රජාවන් අතර ඉතා ජනප්‍රිය වී ඇත. ව්‍යාප්ති නිලධාරීන් විසින් වීඩියෝ, සජීවී උපදේශන සැසි සහ අත්දැකීම් බෙදා ගැනීමේ වැඩසටහන් ලබා දීම සඳහා මෙම වේදිකා වැඩි වැඩියෙන් භාවිතා කර ඇත. මෙමගින් පුහුණු සැසිවලට සහභාගී වීමට නොහැකි දුරබැහැර ගොවීන්ට උපදේශන සේවාව ලබාගැනීමට සහ සම වයසේ ගොවීන් සහිත ඉගෙනුම් ජාල සමඟ සම්බන්ධව සිටීමට හැකියාව ලබා ඇත. සාපේක්ෂව අඩු මෙහෙයුම් පිරිවැයක් සහිතව මේ සඳහා ප්‍රවේශය පුළුල් කිරීමෙන්, ඩිජිටල් ව්‍යාප්ති සේවා හරහා කෘෂිකාර්මික දැනුම ව්‍යාප්තිය සිදු කිරීම සහ එහි අඛණ්ඩතාව ශක්තිමත් කිරීමේ හැකියාව පවතින අතර එමඟින් ව්‍යාප්ති පද්ධතියේම සමාජිය තිරසාරභාවයට සහාය වේ.

තරුණ සහභාගීත්වයට සහ ගොවිතැනේ අනාගතයට සහාය වීම

කෘෂිකාර්මික තිරසාරභාවය රඳා පවතින්නේ කෘෂිකාර්මික අංශයට තරුණ ප්‍රජාව ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට ඇති හැකියාව මත ය. ග්‍රාමීය තරුණ ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයන් සහ මාර්ගගත ඉගෙනුම් වේදිකා කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බව අධ්‍යයනයෙන් සනාථ වේ. පාසල් මට්ටමේ කෘෂිකාර්මික අධ්‍යාපනය සහ තරුණ පුහුණු වැඩසටහන් සඳහා ඩිජිටල් කෘෂිකාර්මික මෙවලම් ඒකාබද්ධ කිරීම කෘෂිකර්මාන්තය වඩාත් ආකර්ශනීය, නව්‍ය සහ අනාගත අපේක්ෂාවන්ට නැඹුරු කිරීම සඳහා උපායමාර්ගික කාර්යභාරයක් ලෙස භාවිතා කළ හැකි වේ. එසේම ගොවිතැන ඩිජිටල් තාක්ෂණයට නැඹුරු කරවීම තරුණ කණ්ඩායම් හරහා සිදු කිරීමේ හැකියා ද ඉහළ යනු ලබයි. තවද, ඩිජිටල් ව්‍යාප්ති මෙවලම් සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා තරුණයින් සම්බන්ධ කර ගැනීම නව ඩිජිටල් ව්‍යාප්ති වේදිකා මඟින් ප්‍රායෝගිකව ගොවි ක්ෂේත්‍රයන් හි යථාර්ථයන් පිළිබිඹු කරන බවත් ඊළඟ පරම්පරාවේ ගොවීන්ගේ සහ කෘෂිකාර්මික ව්‍යවසායකයින්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන බවත් සහතික කිරීමට එම තත්ත්වය උපකාරී වේ.

ඩිජිටල් ව්‍යාප්ති සේවය භාවිතයේ දී විසඳුම් සෙවිය යුතු අභියෝග

අධ්‍යයන ප්‍රදේශයේත් සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළත්  ‍ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා භාවිතයට ගොවිප්‍රජාව තුළ පැහැදිලි විභවයන් සහ සාර්ථකත්වයන් තිබියදීත්, ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවන් හි වඩාත් තිරසාර බලපෑමක් කාෂිකාර්මික ක්ෂේත්‍රයට ලබා දීමට නම් ආමන්ත්‍රණය කළ යුතු වැදගත් ගැටලු සහ සීමාවන් කිහිපයක් ද ආයතනය විසින් සිදු කළ අධ්‍යයනය මගින් හඳුනා ගෙන ඇත. ඒවා නම්, ග්‍රාමීය කාෂිකාර්මික ප්‍රදේශවල සීමිත සහ විශ්වාසවන්ත අන්තර්ජාල සම්බන්ධතාවයන් අවම වීම, ඩිජිටල් උපාංග වෙත ප්‍රවේශ වීමේ විෂමතා, දැරිය නොහැකි සහ ප්‍රවේශයට බාධක වන කරුණු සහ ඩිජිටල් සාක්ෂරතාවයේ හිඩැස් ප්‍රධාන අභියෝග ලෙස පවතී. ඊට අමතරව, යල් පැන ගිය යෙදුම් සහ අක්‍රමවත් තොරතුරු යාවත්කාලීන කිරීම් නිසා ඩිජිටල් උපදේශන තොරතුරවල නිරවද්‍යතාවය සහ විශ්වසනීයත්වය පිළිබඳ ගොවීන් සහ නිලධාරීන් තුළ අපැහැදීමක් මතු කරයි. මෙම සීමාවන් නිසා ගොවීන් ඩිජිටල් වේදිකා කෙරෙහි ඇති විශ්වාසය දුර්වල විය හැකි අතර ඵලදායී භාවිතය අඩු විය හැකිය. එබැවින් ඩිජිටල්කරණය කෘෂිකාර්මික අංශය තුළ පවතින අසමානතාවයන් පුළුල් නොකරන බව සහතික කිරීම සඳහා මෙම අභියෝගවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වේ.

ග්‍රාමීය කෘෂිකාර්මක අංශය තුළ තිරසාර ඩිජිටල් ව්‍යාප්තිය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛ ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවන්හි තිරසාර බලපෑම ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ක්‍රියාමාර්ග යෝජනා කිහිපයක් ද මෙම පර්යේෂණ අධ්‍යයනය මඟින් ඉස්මතු කෙරේ. පළමුව, ව්‍යාප්ති නිලධාරීන් සඳහා ක්‍රමානුකූල ධාරිතා සංවර්ධනයට ප්‍රමුඛතාවය දිය යුතුය. ඩිජිටල් උපදේශන සේවාවන්හි ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා කෘෂිකර්ම උපදේශක නිලධාරින්, තාක්ෂණික සහායකයින් සහ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර (කෘ. ප.නි.ස.) කාර්ය මණ්ඩලය අතර ඩිජිටල් කුසලතා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සමඟම, ඩිජිටල් මෙවලම් භාවිතා කිරීමේදී විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා ගොවීන් සඳහා ප්‍රායෝගික සහ භාවිතා කරන්නන් ඉලක්ක කරගත්(පරිශීලක – නැඹුරු) පුහුණු වැඩසටහන් සිදු කිරීම අවශ්‍ය වේ.

දෙවනුව, ඩිජිටල් උපදේශන පද්ධති,  ජංගම දුරකතන හරහා රෝග විනිශ්චය, නිරවද්‍ය වාරිමාර්ග සහාය සහ තත්‍ය කාලීන පාංශු සහ කාලගුණ තොරතුරු සේවා වැනි සුහුරු දේශගුණික තාක්ෂණයන් සඳහා ඒකාබද්ධ කළ යුතුය. ඒ හරහා පාරිසරික අවදානම් අඩු කරන අතරම ඵලදායිතාව වැඩි දියුණු කිරීමට මෙම මෙවලම් සෘජුවම දායක කරගත හැකි වේ. තෙවනුව, ඩිජිටල් වේදිකා පුළුල් කිරීම, තාක්ෂණික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් අන්තර්ගතයන්(දැනුම සහ තොරතුරු) අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහතික කිරීම සඳහා ශක්තිමත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් අවශ්‍ය වේ. එවැනි හවුල්කාරිත්වයන් මෙහෙයුම් පිරිවැය අඩු කිරීමට සහ ඩිජිටල් සේවා සැපයීමේ නවෝත්පාදනයන් වැඩි දියුණු කිරීමට ද උපකාරී වේ.

අවසාන වශයෙන්, සිංහල භාෂාවෙන් සහ දේශීය ගොවිතැන් පද්ධතිවලට ගැලපෙන පරිශීලක-හිතකාමී ඩිජිටල් යෙදුම් (Digital App) සංවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රාදේශීය කෘෂිකාර්මික උපදේශන ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවීම පිළිබඳව ගවේෂණය කිරීම, විශ්වාසදායක උපදේශන සේවාවන් සඳහා ඇතුළත් ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ග්‍රාමිය කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා තිරසාර ඩිජිටල් මාවතක්

මෑත කාලීන පර්යේෂණ අධ්‍යයන්හි සොයා ගැනීම් පැහැදිලිව පෙන්නුම් කරන්නේ ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා තවදුරටත් විකල්ප නවෝත්පාදනයක් නොව, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ තිරසාරභාවය සඳහා උපායමාර්ගික අවශ්‍යතාවයක් බවයි. දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ප්‍රජාවට අවශ්‍ය දැනුම ලබාගැනීමට සාධාරණ වන පරිදි ඒ සඳහා ප්‍රවේශය පුළුල් කිරීම සහ ග්‍රාමීය තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීම මගින්, ඩිජිටල් ව්‍යාප්ති සේවාව වඩාත් ඵලදායී සහ පාරිසරික වශයෙන් වගකිවයුතු කෘෂිකර්මාන්තයකට සෘජුවම සහාය වේ. ඩිජිටල් යටිතල පහසුකම්, මානව ධාරිතාව සහ ආයතනික හවුල්කාරිත්වයන්හි සම්බන්ධීකරණය සමඟින්, අද දින අභියෝගවලට සහ හෙට දවසේ අවස්ථාවන්ට ඵලදායී ලෙස ප්‍රතිචාර දක්වන සහ ඔරොත්තු දෙන සහ තිරසාර ගොවිතැන් අංශයක් ගොඩනැගීම සඳහා ප්‍රබල උත්ප්‍රේරකයක් ලෙස ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවන් උපයෝගී කර ගත හැකි වේ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *