
මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ගොවි ජනතාවට අඛණ්ඩව පොහොර සැපයීම තහවුරු කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බවත්, පවතින පොහොර සංචිත බෙදා හැරීමේ යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීමට සහ පොහොර ආනයනය සඳහා පවතින බාධා සැලකිල්ලට ගනිමින් ඒ පිළිබද ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඊට අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.
මේ වන විට පවතින පොහොර සංචිත සහ බෙදා හැරීමේ යාන්ත්‍රණය පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් ගොවි ජනතාවට පොහොර බෙදා හැරීමේ කටයුතු නිසි කළමනාකරණයකින් යුතුව සිදු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.
මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඇතැම් ව්‍යාපාරිකයන් පොහොර සඟවා ගැනීම සහ වැඩි මිලට පොහොර අලෙවි කිරීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා විය.
එලෙස සඟවා ගෙන තිබී සොයා ගත් පොහොර තොග ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට භාර දුන් බවත්, පවතින තත්ත්වය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ආරක්ෂිත සංචිත ලෙස පොහොර තොග පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් නිලධාරීහූ සඳහන් කළහ.
යුදමය තත්ත්වයන් නොමැති රටවල් සමඟ සාකච්ඡා කර විකල්ප ක්‍රමවේද ඔස්සේ පොහොර ආනයනය කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ටී.සී.ඩබ්ලිව්.සේතුගේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ යන මහත්වරුන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, පොහොර ආනයන සමාගම්වල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

