එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
දේශගුණික විපර්යාස පෘථිවිවාසී සැමට සැබෑ සහ ප්‍රතික්ෂේප කළ නොහැකි තර්ජනයක් බව නොරහසකි. එමෙන්ම ලෝකය පුරා දේශගුණික විපර්යාස Climate Change මත සිදුවන කෙටිකාලීන තද වර්ෂාපතන, ගංවතුර, නියඟ, සුළි කුණාටු, ලැව්ගිනි, උෂ්ණත්ව ඉහළයාම, ගොඩබිම සහ සාගරයේ තාප තරංග වැනි ආන්තික දේශගුණික සිදුවීම් Extreme Climate Events හි වාර ගණන වැඩි වෙමින් පවතින ආකාරය නිරතුරුවම අපට මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබේ. උද්ගතවන මෙවැනි විපර්යාස ඇතිකරවන කම්පන එක තැකට හෝ කලාපයකට පමණක් සීමා නොවේ. එය සෑම රටකම සෑම පුරවැසියෙකුහටම යම් ප්‍රමාණයකින් බලාත්මක වන්නකි.
එවැනි සිද්ධිදාම උදෙසා පෘථිවි ගෝලයේ ගොඩබිම හා සාගර තත්ත්වයන් සමඟ වායුගෝලයේ හැසිරීම, සහ ඒවායෙහි අන්තර්ක්‍රියා හේතුවන බව කාලගුණ විද්‍යාඥයින් බොහෝ කාලයක සිටම ප්‍රකාශ කරමින් සිටියි. කෙසේ වුවද එවැනි ව්‍යසනයන් පැන නැගීමට පෙර ඒ පිළිබඳව කල්වේලා ඇතිව අදාල භූමි ප්‍රදේශයන්හි වෙසෙන ප්‍රජාව වෙත සන්නිවේදනය කිරීම ඔස්සේ අපට ඔවුන්ගේ ජීවිත සහ වත්කම් බොහෝවිට රැකදීමට අවස්ථාව සලසා දිය හැකිවේ.
අනපේක්ෂිත දේශගුණික විපර්යාස
එවැනි යාන්ත්‍රණයක් ඔස්සේ පැය 24ක් ඇතුළත පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කළහොත් ව්‍යසනයකින් සිදුවන හානිය 30%කින් අඩු කළ හැකිබව ගණනය කර තිබේ. ඒ අනුව දූපතක් වන අප රටට බලපෑ හැකි, ආන්තික සහ අනපේක්ෂිත දේශගුණික විපර්යාස පිළිබඳව දැන ගැනීමට, පූර්ව අනතුරු ඇඟවීම පද්ධති Early warning systems කිහිපයකම අවශ්‍යතාවය වැදගත් නොවන්නේ යැයි පැවසිය නොහැකිය. මක්නිසාදයත්, ඒ ඔස්සේ, ඉදිරියේදී ඇති විය හැකි උපද්‍රව හා අවදානම් හඳුනා ගැනීමට, ඒවායේ තීව්‍රතාවය නිරීක්ෂණය කිරීමට හා පුරෝකථනය කිරීමට අවස්ථාව සැලසී තිබෙන හෙයිනි. ඒ අනුව උද්ගතවිය හැකි ආපදාවන් හමුවේ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ආපදා කළමණාකරන කාර්ය මණ්ඩල හා ප්‍රජාවන් මෙහෙයවීමට අවස්ථාව සැලසෙනු ඇත.
පසුගිය වසර 50 ක කාලයක් තුළ ලෝකය පුරා වාර්තා වී ඇති සියලුම ව්‍යසනයන්ගෙන් 50%ක්ම, කාලගුණය හා දේශගුණය මත උද්ගත වූ ජල උවදුරුවලට සම්බන්ධවී පවතින බව අනාවරණය කරගෙන තිබීමෙන්ම එහි බැරෑරුම්කම අපට පහසුවෙන් අවබෝධකරගත හැකිවේ. (World Meteorological Organization – wmo.int/topics/early-warning-system)
මෙවැනි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපනය උදෙසා අරමුදල් සපයන මූල්‍ය යාන්ත්‍රණය The Climate Risk and Early Warning Systems initiative විසින් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කුඩා දූපත්, සංවර්ධනය වෙමින් පවතින සහ ඌන සංවර්ධිත රාජ්‍යයන් තුල ඇමරිකානු ඩොලර් මිලියන 100 කට වඩා ආයෝජනය කරමින් පසුගිය වසර කිහිපය තුළ එම පද්ධති ස්ථාපිත කිරීම සඳහා දායකවී තිබේ. (crews-initiative.org) ඒ උදෙසා එක් එක් රාජ්‍යයන්ගේ කාලගුණ විද්‍යා සහ ජල විද්‍යාත්මක සේවාවන් සමග ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන් මෙන්ම බැංකු වල සහයෝගීතාව පිළිබිඹු කෙරෙන ඒකාබද්ධ ප්රවේශයන් මෙහිදී අපට දැකගත හැකි වේ.අ
පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති
ප්‍රධාන වශයෙන් ඌන සංවර්ධිත රටවල සහ සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන්හි, හෙවත් ලෝකයේ ජනගහනයෙන් තුනෙන් එකක් තවමත් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිවලින් ආවරණය වී නොමැත. 2022 මාර්තු මාසයේදී, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, Early Warnings for All (EW4A) Initiative ස්ථාපිත කරමින් නිවේදනය කළේ; එක්සත් ජාතීන්ගේ සංවිධානය පෘථිවියේ සෑම පුද්ගලයෙකුම ඉදිරි වසර පහ ඇතුළත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති භාවිතය ඔස්සේ ආරක්ෂා කරන බව සහතික කිරීම සඳහා COP27 හි අර්ථ දක්වා ඇති ක්‍රියාකාරී සැලැස්ම සමඟ නව ක්‍රියාමාර්ගයකට නායකත්වය දෙන බවයි. (itu.int/en/ITU-D/Emergency-Telecommunications/Pages)
වර්ෂ 2024 වන විට, ලෝකයේ රටවල් 108 ක් බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති Multi-Hazard Early Warning Systems සඳහා යොමුවීම ඔස්සේ එහි වැදගත්කම සනාථ කෙරේ. ඒ අනුව මෙම පද්ධති භාවිත නොකරන රටවල ආපදා ආශ්රිත මරණ අනුපාතය සාපේක්ෂව හය ගුණයකින් පමණ ඉහළ බව පෙන්වා දෙයි. ගෝලීය උණුසුම ඉහළයාම පිළිබඳ වූ ග්ලාස්ගෝ හි COP29 සමුළුවේදී, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් එළිදක්වන ලද වාර්තාවකින් මේ බව තවදුරටත් සනාථ කෙරේ. (library.wmo.int/records/item/69085-global-status-of-multi-hazard-early-warning-systems-2024)
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ අනෙකුත් සංවිධාන හා ආයතන සමග පරිසරයේ ආරක්ෂාව සහ යහපැවැත්ම Safety and Wellbeing of Environment වෙනුවෙන් මෙම කටයුතු ප්‍රජාව අතරට ගෙනයාමට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සමග ඒ ඒ රටවල කාලගුණ විද්‍යාව හා සහසම්බන්ධ ආයතන ක්‍රියාකරන ආකාරය අපි පැසසිය යුත්තෙමු. එම අරමුණු පෙරදැරිව වාර්ෂිකව ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරීමට තත්කාලීන කාලගුණය, දේශගුණය හෝ ජල ප්‍රභව ආශ්රිත ගැටළු පිළිබඳව තේමාවක් පාදක කර ගැනේ. ඒ අනුව 2025 වර්ෂයට අදාලව ලෝක කාලගුණ විද්‍යා දිනයේ තේමාව වූයේ “පූර්ව අනතුරු ඇඟවීමේ පරතරය එක්ව වසා දැමීම Closing the early warning gap together”යන්නයි. (cma.gov.cn/en/special/20250323/)
ආන්තික කාලගුණික සිදුවීම්
මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද? ආන්තික කාලගුණික සිදුවීම් සහ කාලගුණික රටාවන්හි අනපේක්ෂිත වෙනස්වීම් කෘෂි හා වැවිලි බෝග, සත්ව පාලනය, ධීවර කටයුතු, හා පානීය ජල සම්පාදනය කෙරෙහි මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට තර්ජන එල්ල කරන බව නොවේද? මේ අනුව දේශගුණය සහ ස්වභාවික පරිසර පද්ධති Ecosystems කෘෂි, වැවිලි හා සත්ව පාලන කර්මාන්ත කෙරෙහි දැඩි ලෙස බලපෑම ඇති කරවන බව අවිවාදාත්මකව පිළිගැනීමට අපට සිදුවේ. කෙසේ වුවද දශක ගණනාවක් ඔස්සේ ලෝකය පුරාම ජෛව විවිධත්වයේ Biodiversity සහසම්බන්ධතාවයට එරෙහිව කරන ලද ක්‍රියාදාම හේතුවෙන් පෙර නොවූ විරූ ලෙසින් අර්බුද රැසකට දැන් අප මුහුණපා සිටින ආකාරය මින් පිළිබිඹු වේ.
පසුගිය කාලයේ චීනය සහ කෙන්යාව ජීවමාන මතකයේ දරුණුතම නියඟය අත්විඳිමින් සිටි ආකාරය එයට එක් නිදසුනකි. මෑත අතීතයේ ලෝකයේ උතුරු අර්ධගෝලයේ, ඉංදියාවේ උතුරු ප්‍රදේශයේ හා ජපානයේ පැතිර ගිය තාප තරංග උණුසුම් තවත් උදාහරණයකි. එමෙන්ම ගල්ෆ් කලාපයට අයත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ඕමානයේ ඇතිවූ ක්ෂණික වර්ෂාපතනය හා ගංවතුර ආපදා තත්වයන් මෙන්ම නැගෙනහිර ආසියාවේ චීනය හා ජපානය තුල ඇතිවූ ක්ෂණික වර්ෂාපතනය හා ගංවතුර ආපදා තත්වයන් යටතේ වූ නායයෑම් එම රටවලට මහත් විනාශයක් ගෙන ඒමට සමත්වූ ආකාරය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට දැකගත හැකිවිය. මේ අතර නිරිතදිග පැසිෆික් කලාපයේ පැපුවා නිව්ගිනියා හි ඇතිවූ ගංවතුර හා නායයාම මෙන්ම ආසියාවේ පාකිස්ථානය, ඉංදියාව, ලංකාව, බංග්ලාදේශය හා ඉංදුනිසියාව ඇතුළු බොහෝ රටවල පරිසර උෂ්ණත්වය ඉහළ යාම, ක්ෂණික ගංවතුර හා නායයාම් ඒ පිළිබඳව අපට වඩාත් පැහැදිලි නිදසුන් සපයයි.
භයංකර තත්ත්වය
මෙහි භයංකර තත්ත්වය වන්නේ දේශගුණික විපර්යාස ලොව පුරා කෘෂිකර්මාන්තය කෙරෙහි ඇතිකරවන බලපෑමයි. නිදසුනක් වශයෙන් උෂ්ණත්වය, වර්ෂාපතනය සහ හිම වලින් තොර දින ගණන වෙනස්වීම් දිගු සෘතු වලට හේතු සාධක බව අනාවරණය වෙමින් පවතී. එවැනි තත්වයන් යටතේ සමහර කලාප වල බෝග වර්ධනයට සහ අස්වැන්න පරිණතවීම උදෙසා දිගු කාලයක් ගතවීමට ඇති ප්‍රවණතාව වැඩි වේ. එසේම උණුසුම් කාලය දිගුවීම හා උෂ්ණත්වය ඉහළයාම මත බෝග වර්ධනයවන සමයේ සම්පාදනය කළයුතු ජල ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය විය හැකිය. උෂ්ණත්වය සහ වෙනස් වන වර්ෂාපතනය මත බෝගයන්හි මල්හට ගන්නා අවධියේ මී මැස්සන් සහ සමනලුන් වැනි පරාග වාහකයන් ජනිතවන හා සංචරණය කරන කාලසීමාවන් අතර නොගැලපීම් ඇති වුවහොත් ස්වාභාවිකව සිදුවන බෝග පරාගණයට බලපෑම් එල්ලවීමට ඇති ඉඩකඩ ඉහළ යනු ඇත.
එමෙන්ම ඉහළ උෂ්ණත්වයන් හමුවේ තාප ආතතිය ගොවිපල සේවකයින්ගේ ආරක්ෂාවට සහ ඵලදායිතාවට බලපාන හෙයින් එය ඔවුන්ගේම සේවා කාර්යක්ෂමතාව කෙරෙහි බලපෑම වැලැක්විය නොහැකි ය. මේ අතර අධික වර්ෂාව නිසා ශාක පෝෂ්‍ය පදාර්ථ, පොහොර සහ භාවිත පළිබෝධනාශක අපජලය විසින් ඇල, දොල, ගංගා හා වැව් මෙන්ම සාගරය වෙත රැගෙන යාමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතී. ඒ හේතුවෙන් ජලයේ ගුණාත්මකභාවයට ද හානි පැමිණේ. එමෙන්ම ග්ලැසියර් හා හිම දියවීමෙන් මුහුදු ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ වෙත තර්ජන ඇති කරයි. විශේෂයෙන්ම ගංගා හා වෙරළ ආශ්රිත වගුරු බිම් වෙත සාගර ජලය ගලා ඒමෙන් ලවණ ජලය ගොඩබිම ජල මූලාශ්‍ර වෙත කාන්දුවීමේ ප්‍රවණතාව වැඩිවනු ඇත.
අහිතකර බලපෑම්
උදාවිය හැකි මෙවැනි තත්වයන් යටතේ, ශ්‍රී ලාංකික ජනගහනය පෝෂණය කිරීමට සහ දරිද්‍රතාවය අඩුකිරීම සඳහා අප කටයුතු කළ යුත්තේ කෙලෙසින්ද යන්න පළමුව අවබෝධ කරගත යුතුවේ. නැතහොත් නිෂ්පාදන කටයුතු අඩපණවීම සහ නිමි නිෂ්පාදන මිල ගණන් ඉහළ යාම තුළින් සමස්ත ප්‍රජාව කෙරෙහිම එහි දැඩි අහිතකර බලපෑම් එල්ලවීම වළකාගත නොහැකිවනු ඇත.
එහෙයින් යම් තරමකට හෝ මෙම තත්වයන් වළකා ගැනීමට හෝ ඒ සඳහා ආමන්ත්‍රණය කිරීම උදෙසා අප කළ යුත්තේ කුමක්ද යන්න පැහැදිලි වේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය, හෝ පලාත් සීමා වලින් බැහැරව දේශීය කෘෂිකර්මාන්තයට සහ ආහාර සුරක්ෂිතතාවය අරභයා කාලගුණික හා දේශගුණික ව්‍යසනවලට එරෙහිව පූර්ව ක්‍රියාමාර්ග ගැනීමට සහ ආපදා අවදානම් අවම කිරීම උදෙසා බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති අතර අන්තර් සම්බන්ධතාවන් ගොඩනගා ගැනීමට කටයුතු කිරීම නොවන්නේද?. මක්නිසාදයත් කෘෂිකර්මික කළමනාකරණ ප්‍රතිපත්ති සැලසුම්කර ක්‍රියාත්මක කිරීමට සහ අධීක්ෂණය කිරීම සඳහා අදාල ප්‍රජාව වෙත අවදානම් දැනුම් දීමට මෙම පද්ධති අතර සහයෝගීතාවයන් ජනනය කළ හැකිහෙයිනි. (fao.org/in-action/kore/webinar-archive/)
එහෙයින් කෘෂිකාර්මික කටයුතු වලදී ඔරොත්තු දීමේ හැකියාව සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ක්ෂේත්රයේ නිරත වූවන්ගේ විශේෂඥ දැනුම දායක කර ගනිමින්, අවදානම් දැනුම ජනනය කිරීමට සහ කෘෂිකාර්මික කටයුතු වලට හා ආහාර සුරක්ෂිතතාවයට එරෙහි දේශගුණික කම්පනවල බලපෑම අවම කිරීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ඇසුරුකර ගැනීමට අපි වැඩි වැඩියෙන් නැඹුරු විය යුතුබව පෙන්වා දෙමු. එවැනි පද්ධති මෙන්ම මාර්ගගත කාලගුණ උපදේශන Online Weather Advisory Services සහ පුරෝකථන සේවා Forecasting Services ඔස්සේ ගොවීන් හා කෘෂි වෙළඳ ප්‍රජාව වෙත ඔවුන්ගේ කටයුතු කළමනාකරණය කරගැනීමට සහායවීම ඒ උදෙසා සාර්ථක විසඳුමක් ලෙස පෙන්වා දිය හැකි ය.
දුරකථන යෙදවුම් භාවිතය
එමෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන සැපයුම් හා බෙදාහැරීම සඳහා සහාය විය හැකි දුරකථන යෙදවුම් භාවිතය ප්‍රචලිත කිරීමට අපි යොමුවිය යුත්තෙමු. එලෙසින්ම දුරස්ථ සංවේදන Remote Sensing තාක්ෂණික ක්‍රම ඔස්සේ කෘෂිකර්මික ඩ්‍රෝන භාවිතයෙන් වගා ක්ෂේත්‍ර අධීක්ෂණය සහ රෝග විනිශ්චය කිරීම හා ඉඩම් පරිහරණය සැලසුම් කිරීම Land-Use Planning වැඩිදියුණු කළ හැකි වේ. එමෙන්ම ගොවීන්හට ප්‍රවේශ වියහැකි සහ දැරිය හැකි මිලකට ශීතාගාර හා ගබඩා පහසුකම් රටතුල ප්‍රාදේශීය වශයෙන් ගොඩනැගීම තවත් ඉදිරි පියවරක් වනු ඇත. උදාහරණයක් ලෙස ආහාර නිෂ්පාදන ගබඩාකිරීම උදෙසා විවිධ දේශගුණික සාධක වලට ඔරොත්තු දෙන Climate-Resilient වන සයිලෝ Silos වැනි ව්‍යුහ ගොඩනැගීම, කුලියට හෝ බදුදීම පෙන්වා දිය හැකිවේ. ඒ සමගම ස්වභාවික සම්පත් ඒකාබද්ධ කිරීම හා කළමනාකරණය වැනි ප්රවේශයන් හරහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ක්‍රියාමාර්ග ඔස්සේ ආහාර නිෂ්පාදන සැකසීමට එකී ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරීමද වැදගත් වනු ඇත.
එමෙන්ම මිරිදිය හා සමුද්‍රීය සහ පරිසර පද්ධති සංරක්ෂණය කිරීම හෝ පුනරුත්ථාපනය කිරීම හෝ කෘත්‍රිම පරිසර පද්ධතිවල Artificial Ecosystems ස්වභාවික ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමට යොමුවිය හැකි වේ. ඒ යටතේ ප්‍රජා පාදක කෘෂි වන වගාව, කඩොලාන වගාව හා වෙරළාශ්‍රිතව කොරල්පර ජනිත කරවීම කෙරෙහි අවධානය යොමුකිරීම ඉතා කාලෝචිත වේ. දැඩි ලෙස පාංශු ඛාදනයට නතුවූ මෙන්ම පාංශු හායනයට යටත්වූ ප්‍රදේශ තෘණබිම් වගාවට නතු කිරීම සහ ජල පෝෂක ප්‍රදේශයන්හි වන ගහනය වැඩි කිරීම වඩාත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලෙස පෙන්වා දියහැකි වේ. ඒ උදෙසා ප්‍රජාව උත්තේජනය කරන කෘෂි ව්‍යාපෘති අරභයා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අරමුදල් සම්පාදනය විධිමත් ආකාරයෙන් පුළුල් කිරීම ද යුගමෙහෙවරක් වනු ඇත.
ආහාර සැපයුම් දාම
මෙම සියලු ක්‍රියාදාම සාර්ථකකර ගැනීම අරබයා මුළු දිවයිනම ආවරණය වන පරිදි ආහාර සැපයුම් දාම Food Supply Chain උදෙසා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට අප කඩිනමින් ක්‍රියාකළ යුතු ද වේ. ඒ සමගම ජාතික මට්ටමින් කෘෂි ආහාර සැපයුම් දාම පිටුපස සැඟවී සිටින ව්‍යාපාරික සමාගම් අතලොස්සකගේ ක්‍රියාකලාප රජය අවබෝධකරගත යුතුය. එයටම ඈදී ඇති දේශපාලනික සම්බන්ධතාවන් සහිත තක්කඩි ව්‍යාපාරිකයින් අත පවතින ආහාර නිෂ්පාදන එක්රැස් කිරීම, ආනයනය කිරීම, ගබඩා කිරිම හා බෙදාහැරීමේ පද්ධතියේ කුප්‍රකට බලපරාක්‍රමය බිඳ දැමීමේ ක්‍රමවත් යාන්ත්‍රණයක් රජය ගොඩනැගීමට ක්‍රියාකළ යුතු ද වේ.
කෙසේ වුව ද මෙරට වරින්වර මතුවෙමින් යට යන ආහාර ද්‍රව්‍ය හිගවීම හා මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් ගුණාත්මක ආහාර සඳහා ප්‍රවේශයක් නොමැති වීමේ තත්ත්වය Food Insecurity දශක ගණනාවක් පුරා දේශපාලන බලඅධිකාරිය සමග රාජ්‍ය යාන්ත්‍රණයේ අරක්ගත් අනුවණයින් අනුගමනය කල ප්‍රතිපත්තිමය තීරණයන්හි ප්‍රතිඵලයක් බව ගොවීන් හා ඇතැම් ව්‍යාපාරිකයින් පැවසීම හාස්‍යට ලක් නොකළ යුතු කරුණකි. මෙවැනි තත්වයක් යටතේ වත්මන් රජයේ, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ ආකාරයට තවදුරටත් බලා සිටින්නේ ඇයිද යන්නත් ගැටලඅවකි.
ලාංකිකයෙකු ලෙස මහ පොළොවේ ජීවත්වන සෑම කෙනෙකුටම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ යහපත් පරිසරයක් සඳහා ප්‍රවේශයක් ඇති බවට සහතික කරන්නේ කවුද? දරුවන්හට බලපාන ආහාර හිඟය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලෙහි පිරිවැය සපුරාලීම සඳහා ඔවුන්ගේ දෙමව්පියන්ගේ ආදායමෙන් කෙතරම් මුදලක් වැය කිරීමට සිදුවනු ඇතිද? මෙම සංකීර්ණ ගැටළු ඔස්සේ සමාජය තල්ලුවන්නේ කොතැනකටද?. කෙසේ වුවද ඉතා වේගයෙන් ඉහල යන ජීවන වියදම Cost of Living හමුවේ දුර්වල ආහාර වේලෙහි ගැටළු පුද්ගලයන්ගේ පාමුල පමණක් නොපවතින අතර මෙරට ගොවි නිෂ්පාදන සූරාකන ව්‍යාපාරිකයාගේ සිට මහ බැංකුවේ සිටින රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මහජන නියෝජිතයින් වෙතද දැඩි අභියෝගක් නුදුරේදීම එල්ලවිය හැකිබව නම් පැහැදිලි වේ.
සටහන – එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ