එස්.එම්. සමන් පාලිත බණ්ඩාර – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී අලෙවි මණ්ඩලය
2025 යල කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ආණ්ඩුව පවසන්නේ තමන් විසින් වී සඳහා නියම කළ අවම මිල ගණන් හේතුවෙන් වී ගොවීන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. එසේම පසුගිය මහ කන්නයට සාපේක්ෂව වී අලෙවි මණ්ඩලය ද සක්‍රීය කාර්භාරයක් ඉටුකර තත්ත්වය තුළ වී මිල පාලනය කිරීමට සහ ගොවීන්ට උපරිම වාසියක් ලබා ගැනීමට අවස්ථාව හිමිවී ඇති රජයේ අදහසයි. එහෙත් ඇතැම් ගොවීන් සහ ගොවි සංවිධාන පසුගිය දිනවල වී මිල පහළ යාම සහ මෝල් හිමියන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් මැසිලිවි නැගුවේය. මේ පසුබිම තුළ යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතුවල ගැටලු, සාර්ථකත්වය ඇතුළු ප්‍රවණතා පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.එම්. සමන් පාලිත බණ්ඩාර මහතා සමඟ ‘ගොවිමිණ ’ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් කළේය.
+ + + + +
වී අස්වනු නෙළීම ආරම්භ වන සෑම කාලයක දීම මුලින්ම කියවෙන නමක් වන්නේ ‘වී අලෙවි මණ්ඩලයයි’. මේ කාලයට වී ගොවීන් නොවන සාමාන්‍ය ජනතාව ද වී අලෙවි මණ්ඩලය ගැන, ඔවුන් කියන කරන දේ ගැන විමසිලිමත් වෙති. වී අලෙවි මණ්ඩලය ආරම්භ කරන්නේ 1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත මඟිනි. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ සංකල්පයකට අනුවය.
වී සහ සහල් මිලට ගැනීම, ගබඩා කිරීම, සැකසීම සහ අලෙවි කිරීම පිළිබඳ ප්‍රමුඛ රාජ්‍ය මැදිහත්කරු වශයෙන් කටයුතු කිරීම වී අලෙවි මණ්ඩලයේ ‘දැක්ම’ වූ අතර නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම තෘප්තිමත් වන අයුරින් වී සහ සහල් මිලට ගැනීමේ, ගබඩා කිරීමේ, සැකසීමේ හා අලෙවි කිරීමේ ක්‍රියාවලිය දැනුමෙන් හා කුසලතාවයෙන් පරිපූර්ණ වූ කාර්ය මණ්ඩලයක් තුළින් සාර්ථකව ඉටු කිරීම වී අලෙවි මණ්ඩලයේ ‘මෙහෙවර’ විය.
- ආරම්භක යුගයේ කාර්යභාරය
1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත අනුව වී අලෙවි මණ්ඩලයට ප්‍රධාන කාර්යභාරයන් හතරක් තිබුණා. වී සහ සහල් මිලදී ගැනීමේ, අලෙවි කිරීමේ, සැපයීමේ සහ බෙදා හැරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම, වී සහ සහල් කෙටීමේ, පෑහීමේ සහ සකස් කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම, ඉහත අරමුණු දෙක සාක්ෂාත් කර ගැනීම සඳහා අනුෂංගික වන හෝ ඉවහල් විය හැකි වෙනත් යම් ව්‍යාපාරික කටයුත්තක් පවත්වා ගෙන යාම සහ මණ්ඩලය අදහස් කරන පරිදි ව්‍යාපාරික කටයුතු නියමිත ආකාරයෙන් පවත්වා ගෙන යාමට අවශ්‍ය යැයි හැගෙන සියලුම කාර්යයන් ඉෂ්ඨ සිද්ධ කිරීම, යන අරමුණු හතර ඉටුකර ගැනීම වෙනුවෙන් මුල් යුගයේ දී වී අලෙවි මණ්ඩලය පියවර ගත්තා’ සාකච්ඡාවට ප්‍රවේශයක් ගනිමින් වී අලෙවි මණ්ඩලයේ වත්මන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) එස්.එම්. සමන් පාලිත බණ්ඩාර මහතා සඳහන් කළේය.
“වී ගොවියට සාධාරණ මිලක් ලබා දීම සඳහා, වී මිල දී ගැනීමේ රාජ්‍ය ඒකාධිකාරියක් පවත්වා ගෙන යාම අරමුණු කර ගෙන තමයි වී අලෙවි මණ්ඩලය ස්ථාපිත කර තිබෙන්නේ. ඒ කාලයේ වී අලෙවි මණ්ඩලයේ අවසරයකින් තොරව කිසිම කෙනෙකුට වී මිල දී ගන්න බැහැ. සේවයෝ 2000ක් පමණ ඉන්න, රට පුරා ව්‍යාප්ත ගබඩා ජාලයක් සමඟ 71-77 කාලයේ වී අලෙවි මණ්ඩලය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙලා තිබෙනවා. නමුත් 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ වී අලෙවි මණ්ඩලයේ අරමුුණු, කාර්යභාරය වෙනස් වුණා. ඊට පසුව ජනතාකරණය ආරම්භ වූ කාලයේ දී වී අලෙවි මණ්ඩලය ඈවර කිරීමේ සූදානමක් තිබුණත් ඒ යෝජනාව එවකට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොහොම වුණත් වී අලෙවි මණ්ඩලය කාලයක් තිස්සේ ‘නමට’ පමණක් සීමා වෙලා තිබුණා” සමන් පාලිත බණ්ඩාර මහතා වී අලෙවි මණ්ඩලයේ ඉතිහාසය හා ආ ගමන් මග පැහැදිලි කරමින් සඳහන් කළේය.
“1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයට පත් වුණාට පස්සේ කෘෂි අලෙවි අධිකාරිය කියලා නව ආයතනයක් ස්ථාපිත කළා. ඒ අනුව වී මිලදී ගැනීමට මණ්ඩලය යළි මැදිහත් වුණා. ඊට පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2008දී යළි වී අලෙවි මණ්ඩලය ස්ථාපිත කරලා වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කළා. ඒ අනුව 2008 සිට අපි වී මිලදී ගැනීමේ කටයුතු කරනවා“ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා තව දුරටත් පැහැදිලි කළේය.
- මේ වන විට මණ්ඩලයේ අරමුණු සහ කාර්යභාරය වෙනස් වෙලා ද ?
ඔව්, 2008 පමණ වන විට වී අලෙවි මණ්ඩලය ස්ථාපිත කිරීමේ අරමුණු සැලකිය යුතු ලෙස වෙනස් වෙලා තිබුණා. වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට පෞද්ගලික අංශයට ඇතුළත් වීම, ඔවුන් විසින් දැවැන්ත ආයෝජනයක් කිරීම, නවීන තාක්ෂණය සහ කළමනාකරණ ක්‍රම හඳුන්වා දී ආදිය කරුණු ගණනාවක් නිසා තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස් වුණා. මේ වන විට රජයේ අවශ්‍යතාවය සහ ගොවි ජනතාව සහ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් ප්‍රධාන අරමුණු දෙකක් මත මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා.
- ඒ අරමුණු පැහැදිලි කළ හැකි ද ?
අපේ පළමු වැනි අරමුණ තමයි ගොවියාට සාධාරණ මිලක් ලබා දීම, මෙහි අරමුණ වෙන්නේ ගොවියගේ ජීවන තත්ත්වය උසස් කිරීම, දෙවැනි අරමුණ වන්නේ, වෙළෙඳපොළ තුළ (සාමාන්‍යයෙන් ඔක්තෝබර් සිට ජනවාරී දක්වා) සහල් හිඟයක් හෝ මිල ඉහළ යාමක් වාර්තා වෙන කාලයට සහල් හිඟයක් ඇති වීම වැළැක්වීමට හෝ මිල ඉහළ යාම පාලනය කිරීමට අවශ්‍ය සහල් තොග පවත්වා ගෙන ගොස් වෙළඳපොළට නිකුත් කිරීමයි. අපි දෙවැනි අරමුණින් බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාට දරා ගත හැකි මිලකට සහල් මිල දී ගැනීමට සුදුසු වෙළෙඳපොළ පරිසරයක් නිර්මාණය කිරීමයි. මෙහි දී වැදගත් කරුණක් ද සඳහන් කළ යුතුයි, වී මිල දී ගැනීම සඳහා රජය අපට මුදල් ලබා දීමක් කරන්නේ රට තුළ ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගෙන යාම අරමුණු කර ගෙනයි.
- වී අලෙවි මණ්ඩලය මේ විෂය හා සම්බන්ධ සෙසු රාජ්‍ය ආයතන සමඟ අන්තර් සම්බන්ධතාවක් පවත්වා ගෙන යනවද ?
ඔව්, වී වගාව හා සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතන තුනක ප්‍රධානීන් වී අලෙවි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරනවා. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කියන ප්‍රධාන ආයතන තුනේ ප්‍රධානීන් වී අලෙවි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරනවා. ඒ වගේම මහා භාණ්ඩාගාරයෙන් ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් පත් වෙන අතර විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රවීණයින් දෙදෙනකු පත් කරනවා.
- වී මිල තීරණය කිරීම සෑම කන්නයක දීම දැඩි ආන්දෝලනයට ලක් වෙනවා. වී මිල තීරණය කරන්නේ කොහොමද ?
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා තමයි අදාළ කන්නයේ රජය වී මිල දී ගන්නා මිල තීරණය කරන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී මිල ගණනය කරන අංශයක් තිබෙනවා. ඒ අංශය තමයි අදාළ කන්නයේ වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට වැය වන මුදල ගණනය කරන්නේ. ඒ වියදමට යම්කිසි ලාභ ප්‍රතිශතයක් එකතු කරලා තමයි වී මිලදී ගන්න අවම මිල තීරණය කරන්නේ.
- මේ යල කන්නයේ මිල තීරණය කරන විට ගොවියාට ලාභය වශයෙන් කොපමණ ප්‍රතිශතයක් නියම කළා ද ?
මෙවර අපි නිෂ්පාදන වියදමට අමතර 30%ක ප්‍රතිශතයක් එකතු කරලා තමයි වී මිල දී ගන්නා මිල තීරණය කළේ. මේ මිල නියම කිරීම අනුව වී කිලෝවක් අලෙවි කළ විට ගොවියට 30%ක ලාභයක් හිමි වෙනවා.
- ලංකාවේ වී වෙළෙඳපොළේ ස්වභාවය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
වී වෙළෙඳපොළෙන් 10%ක් පමණ දෛනිකව වී කොටන කුඩා මෝල් හිමියන් අතේ තිබෙනවා. 33%ක් ප්‍රධාන වී මෝල් 200ක් අතර බෙදී යනවා. ඉතිරි 57% සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතු වෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් කන්න දෙකක් තිබෙනවා. ප්‍රධාන කන්නය වන මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් පමණ නිෂ්පාදනය කරන අතර යල කන්නයේ සාමාන්‍යයෙන් වී කිලෝ මෙට්‍රික් ටොන් 200,000ක් පමණ නිෂ්පාදනය කරනවා.
- මහ මෝල්, මහ මෝල් මාෆියාව කියලා සංකල්පයක් බිහිවෙලා තිබෙන්නේ කොහොමද ?
ඔබ ඔය කියන ඇතැම් මහා පරිමාණ වී මෝල් හිමියෝ කිහිප දෙනෙක් ජනමාධ්‍ය තුළ ප්‍රසිද්ධයි. ඒ වගේම මේ මෝල් හිමියන් කිහිප දෙනාට ශක්තිමත් ජාලයක් සහ ශක්තීන් ගණනාවක් තිබෙනවා, වී ගබඩා කිරීමට අවශ්‍ය තරම් පහසුකම් තිබෙනවා. විශේෂයෙන්ම අස්වනු වෙළෙඳපොළට වැඩියෙන් පැමිණෙන විට ස්වභාවයෙන්ම මිල අඩු වීමක් සිදුවෙනවා, මේ අවස්ථාවේ මහා පරිමාණ මෝල් හිමියන්ට තොග රැස් කිරීමට හැකියාවක් හා ශක්තියක් තිබෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ට පහසුවෙන් අදාළ මුදල් සපයා ගැනීමේ හැකියාව තිබෙනවා.
මෙහිදී වැදගත් කරුණක් සිහිපත් කළ යුතුයි, ලංකාවේ වී මෝල් විශාල ප්‍රමාණයක් තිබුණත් ගොයම් කැපෙන කාලයට අස්වනු රැස්කර ගැනීමට ඔවුන්ගෙන් විශාල පිරිසකට හැකියාවක් නැහැ.
- ඇයි එවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ ?
මූල්‍යමය හැකියාව ගබඩා ධාරිතාවය තමයි ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ. ඒ නිසා අස්වනු නෙළන සමයේ සාපේක්ෂව අඩු මිලට වී මිලදී ගන්න ඔවුන්ට සැලකිය යුුතු දුෂ්කරතාවක් තිබෙනවා. මේ නිසා තමයි ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් ‘මහ මෝල් හිමියෝ’ අන්වර්ථ නාමයෙන් ප්‍රචලිත වෙලා තිබෙන්නේ.
- ඔබ ඔය කියන්නේ ‘මහ මෝල් හිමියෝ’ කියන්නේ ජනමාධ්‍ය විසින් කළ නිර්මාණයක් කියලද ?
ඒ ගැන නිශ්චිතව කියන්න බැහැ. නමුත් මහා පරිමාණ මෝල් වල වෙළෙඳපොළ කොටස 33%ක් පමණයි. මේ 33%ක ප්‍රමාණය මෝල් 200ක් අතර බෙදී යනවා. මේ අතරිනුත් කිහිප දෙනකුට දේශපාලන බලය, මුදල් ලබා ගැනීමේ බලය වැඩිපුර තිබෙනවා.
- වී අලෙවි කිරීමේදී ගොවියා තීරණාත්මක ලෙස සලකා බලන සාධක මොනවද ?
වී ගොවියා මේ අවස්ථාවේදී එක සාධකයක් නොවෙයි සාධක කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනවා. මිල ඒ අතර ඉදිරියෙන්ම තිබෙනවා, ඊට පසු ඔහු සතු සම්පත් (ට්‍රැක්ටර්, කොළ මඩින යන්ත්‍ර ආදි) තීරණාත්මකයි. කාලයකට පෙර සාමාන්‍යයෙන් කුඹුරු අක්කර පහ හයක් වගා කරන ගොවියෙකුට අත්ට්‍රැක්ටරයක්, කුඩා කොළමඩින යන්ත්‍රයක් ආදි පහසුකම් තිබුණා. ඔහු ඒවා භාවිතා කරමින් තමන්ගේ අස්වැන්න නෙළා ගත්තා, අස්වැන්න කළමනාකරණය කර ගත්තා. නමුත් වර්තමානයේ විශාල යන්ත්‍ර පැමිණීමත් එක්ක තත්ත්වය වෙනස් වෙලා තිබෙන්නේ. සියලු කටයුතු යන්ත්‍රවලට පවරන තත්ත්වයකයි වත්මන් ගොවියා ඉන්නේ. මේ යාන්ත්‍රීකරණය මහා පරිමාණ ගොවීන්ට වාසිදායක වුණත් සුළු ඉඩම් හිමි ගොවීන්ට වාසිදායක නැහැ, ඒක ඔවුන්ට උචිත ක්‍රමවේදයක් නොවන බවයි මගේ අදහස.
- ඔබ කියන්නේ යාන්ත්‍රීකරණය කුඩා ඉඩම් හිමි ගොවීන්ට අවාසිදායක බව ද ?
හානිදායකයි කියලම කියන්න බැහැ, නමුත් ඔවුන්ට වැඩි වියදමක් දරන්න වෙනවා. ඒක හරියට යතුරුපැදියක් පාවිච්චි කරන්න ආදායම ඇති කෙනෙක් මෝටර් රථයක් ගත්තා වාගේ වැඩක්. මේ සියලු අනවශ්‍ය වියදම් සමස්ත නිෂ්පාදන වියදමට ඇතුළත් වෙනවා.
- වත්මන් ආණ්ඩුව පසුගිය මහ කන්නයේදී වී අලෙවි මණ්ඩලය ගැන ලොකු විශ්වාසයක් තබා තිබුණා, නමුත් අපේක්ෂිත ප්‍රතිඵල නො ලැබුණු බවයි අපේ විශ්වාසය. මෙවර යල කන්නයේ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ?
වී අලෙවි මණ්ඩලය රජයෙන් මුදල් ලබා දුන් අවස්ථා ගණනාවක් තිබෙනවා. ඇතැම් අවස්ථාවල වී මිලදී ගන්න මුදල් සොයා ගත්තේ බැංකුවලින් පොළියට අරන්. 20%ක පොළියට ණය ගත්ත අවස්ථා තිබුණා. නමුත් වත්මන් ආණ්ඩුව අපිට රුපියල් මිලියන 6000ක් දුන්නා, ඒක ණයක් නොවීමයි වැදගත්. ඒක වර්තමාන රජයේ විශේෂ තීන්දුවක්. ඒ වගේම අපේ ගැටලු ගැන නිතර සොයා බලනවා.
- දැන් වී ගබඩා වල තත්ත්වය කොහොමද ?
දැන් වී මිල වැඩියිනේ, අපිට මුදල් තිබෙන නිසා වී විශාල ප්‍රමාණයක් මිලදී ගන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තනි නිලධාරියෙකුට අදාළ ගබඩා කළමනාකරණය කර ගන්න නොහැකි තත්ත්වයක් තිබෙනවා. මේ නිසා අමාත්‍යාංශයෙන් අමතර සංවර්ධන නිලධාරියෙක් අනුයුක්ත කරලා තිබෙනවා. ඒ වගේම අපේ ගබඩා අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුවෙන් ලබා දුන්නා. මේ අවුරුද්දේ රුපියල් මිලියන 175ක් පමණ වැය කරමින් ගබඩා නවීකරණය කරනවා. යුද්ධ හමුදාවේ සහයෙන් ගබඩා අලුත්වැඩියා කරන්න අවශ්‍ය පහසුකම් ලබාදීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ අනුව මණ්ඩලය සතු වී ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීමක් සහ නවීකරණයක් මේ වන විට සිදුවෙනවා.
- මේ වන විට වී අලෙවි මණ්ඩලයේ ධාරිතාවයෙන් කොපමණ ප්‍රතිශතයක් ක්‍රියාත්මක වෙනව ද ?
රජයට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3.25ක් පමණ මිලදී ගැනීමේ ධාරිතාවය තිබෙනවා. මේ වෙනුවෙන් සතොස, මහවැලිය, ආහාර දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සතු ගබඩා පහසුකම් ලබා ගන්නවා. වර්තමානයේ දී වී මෙට්‍රික් ටොන් 2,25,000ක් පමණ කිසිම ගැටලුවක් නැතිව මිලදී ගෙන ගබඩා කිරීමේ හැකියාව තිබෙනවා. ඉදිරියේ දී එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 300,000ක් පමණ ඉලක්කයක් බවට පත් කරනවා.
- වත්මන් යල කන්නය ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
මෙවර යල කන්නය සරු වුණ බවට වාර්තා තිබෙනවා. මෙට්‍රික් ටොන් මිලියන දෙකකට ආසන්න නිෂ්පාදනයක් අපේක්ෂා කරනවා. ඒ වගේම පසුගිය වසරවලට සාපේක්ෂව ගොවීන්ට වාසිදයක මිලකුත් ලැබිලා තිබෙනවා. අපි වේලපු නාඩු වී කිලෝවක් රුපියල් 120 බැගින් මිලට ගන්නවා.
- මේ සම්බන්ධයෙන් ගොවීන්ගේ අදහස කුමක්ද ?
ගොවීන්ගේ මතයක් තියෙනවා රජයේ වී මිල අනුව තමා වෙළෙඳපොළේ වී මිල හැදෙන්නේ කියලා. මේ අවස්ථාවේ රජයේ මිලට වඩා රුපියල් පහක් හෝ හයක් අඩුවෙන් තමයි පුද්ගලික අංශය වී මිලදී ගන්නේ.
- තෙත වී සම්බන්ධයෙන් යම් අර්බුදයක් තිබෙනවා නේද ? ඇතැම් ගොවීන් සහ ගොවි සංවිධාන මේ සම්බන්ධයෙන් චෝදනා කරන ආකාරයක් අපි දකිනවා. මෙහි ඇත්ත තත්ත්වය කුමක්ද ?
කවුරු කළත් තෙත වී කිලෝවකින් හොඳ මට්ටමේ වියළි වී කිලෝවක් ගන්න රුපියල් 15ක් පමණ වැය වෙනවා. කවුරු හරි වේලපු වී කිලෝවක් රුපියල් 120ට ගන්නවා නම් ඔවුන් තෙත වී කිලෝවක් ගන්නේ ඊට වඩා රුපියල් 15ක් පමණ අඩුවෙන්. මේ රුපියල් 15 තුළ වී වේලීමට යන පිරිවැය, ප්‍රවාහන වියදම්, ඇසුරුම් කිරීම ආදිය තිබෙනවා. මේක ලොකු වියදමක් ලෙස සැලකිය හැකියි.
- මේ යල කන්නයේදී සහ පොදුවේ වී ගොවියට දෙන්න පණිවුඩයක් තිබෙනවා ද?
මම මෙහිදී කරුණු දෙකක් ගැන අවධානය යොමුකරවන්න කැමතියි, අපේ රටේ ජනතාවට ආහාර සැපයීම සම්බන්ධයෙන් ගොවියා විශාල වගකීමක් දරනවා, ඒක අපි කවුරුත් පිළිගන්නවා. මෙහිදී රජය පැත්තෙන් ගත්තොත් රජයට වෙළෙඳපොළට මැදිහත් වන අවස්ථා දෙකක් තිබෙනවා. අතිරිත්තයක් වෙළෙඳපොළට ආවොත් අපි ඒක මිලදී ගන්න කටයුතු කරමින් ගොවියට සාධාරණය ඉටුකරනවා. අනික් අතට මේ රටේ පාරිභෝගික ජනතාව ඉන්නවා, ඔවුන් අපේ ගොවිජනතාව නිෂ්පාදන කරන සහල් තමයි ආහාරයට ගන්නේ. ඒත් ඔවුන්ටත් ප්‍රශ්න තිබෙනවා, විශේෂයෙන් අවුරුද්දේ අවසාන මාස කිහිපය ළං වෙන කොට සහල් මි ඉහළ යනවා කියලා ඔවුන් චෝදනා කරනවා. මේකට හේතු කිහිපයක් තිබෙනවා. එහිදී මූලික කරුණක් වෙන්නේ සහල් වෙළෙඳපොළෙන් 57%ක් පාලනය කරන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී හිඟ වීම, ඔවුන් සහල් වෙළෙඳපොළ තුළ විශාල කොටසකට හිමිකම් කිව්වත් අවුරුද්ද පුරාම සහල් සපයන්න ප්‍රමාණවත් තරම් වී තොග නැහැ, ඒකට හේතුව තමයි ඔවුන් ගබඩා කර ගන්නේ සීමිත වී ප්‍රමාණයක්. මේ අවස්ථාවේ තමයි රජය මැදිහත් වෙන්නේ. මේ සුළු හා මධ්‍ය පරිමාණ මොල් වලට අවුරුද්ද පුරාම අඛණ්ඩව සහල් සැපයුමක් කරන්න නම් රජය තමන් සතු වී තොග මුදා හැරිය යුතුයි. රජය එම පියවර ගත්තොත් පමණයි සුළු හා මධ්‍ය පරිමාණ මොල් වලට වසර පුරාම අඛණ්ඩව සහල් සැපයුමක් කරන්න පුළුවන් වෙන්නේ.
වී ගොවියෝ රජයට, වී අලෙවි මණ්ඩලයට වී නොදුන්නොත් මේ අඛණ්ඩ සැපයුමට බාධා වෙනවා. ඔවුන් එක එක හේතු ඉදිරිපත් කරමින් රජයට වී අලෙවි නොකළොත් සමස්ත ජනතාවම අර්බුදයට යනවා, සහල් පාරිභෝගිකයා පීඩාවට පත් වෙනවා, විදේශ විනිමය වැය කරමින් සහල් ආනයනය කරන්න සිද්ධ වෙනවා. මේ සම්බන්ධයෙනුත් අවධානය යොමු කරන ලෙස අපි ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම අපි නිතර කියන්නේ තෙත වී දෙන්නේ නැතිව නියමිත ප්‍රමිතියට 14 -16%ට වේලපු වී ලබා දෙන්න. අපේ රටට හොඳට හිරු එළිය ලැබෙනවා, විශේෂයෙන් මහා පරිමාණයෙන් වී වගා කරන පළාත්වලට ප්‍රමාණවත් තරම් හිරු එළියක් ලැබෙනවා. මේ හිරු එළියෙන් උපරිම ප්‍රයෝජන අරං වී ටික වේල ගන්න. කාට දුන්නත් හොඳින් වේලපු වී අලෙවි කරන්න. ඔබ තෙත වී අලෙවි කළොත් අපි කාට වුණත් ඒ තෙත වී නියමිත ප්‍රමිතියට වේලන්න සිද්ධ වෙනවා. ඒත් ඒක කරන්න වෙන්නේ විදුලි බලය වැය කරලා. මේ විදුලිය නිෂ්පාදනය කරන්නත් අපිට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුවෙනවා. ඒවටත් යන්නේ අපේ රටේ සල්ලි. ඒත් ගොවියට පුළුවන් නම් හිරු එළියෙන් තමන්ගේ වී ටික නිසි ප්‍රමිතියට වේල ගන්න ඔහුට වගේම රටටත් යහපත් වෙනවා.
අනෙක් අතට තෙත වී කාලයක් ගබඩා කරන්න බැහැ, වී මිලදී ගත්ත ගමන් සහල් බවට පත් කරන්නත් බැහැ, ඒකට සැලකිය යුතු කාලයක් යනවා. ඔබ නිසි ප්‍රමිතියෙන් යුතු වී ලබා දුන්නොත් පමණයි අපට මේ ක්‍රියාවලිය සාර්ථකව කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම මම යළිත් අවධාරණය කරන්නේ අවුරුද්දේ අවසාන මාස කිහිපය තුළ සහල් මිල පාලනය කර ගන්න නම් ගොවියෝ අනිවාර්යයෙන්ම වී අලෙවි මණ්ඩලයට වී ලබා දිය යුතුයි. රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති වෙන්නේ ඔබ අපට වී අලෙවි කළොත් පමණයි.
සටහන – තුෂාල් විතානගේ