
කිසිම ගොවියක් තමන්ගේ කෙතේ වල් හට ගන්නවාට වගේම වල් නෙළීමටත් කැමති නැහැ. නමුත් ඔහුට වල් පැළෑටි සමඟ නිරන්තර අරගලයක යෙදීමට සිදුවෙනවා. ගොවියට සාර්ථක අස්වැන්නක් නෙළා ගන්න ලැබෙන්නේ වල් පැළෑටි එක්ක කරන මේ සටනින් ජයග්‍රහණය කළහොත් පමණයි. ඒත් ප්‍රශ්නය තවත් දුරට යනවා. වල් මර්දනයට කෘත්‍රිම වල් නාශක ආදිය නිරන්තරයෙන් යෙදීමට සිදුවෙනවා. ඒකට විශාල මිලක්, කාලයක් යනවා. ඒ වගේම මේ කෘත්‍රිම වල් නාශක පරිසරයට හානිකරයි. ගොවියට හානිකරයි. මේ කෘත්‍රිම වල් නාශක පරිසරයට,
නමුත් නව තාක්‍ෂණය ලොව පුරා ගොවීන්ට වඩාත් කාර්යක්ෂම හා පරිසර හිතකාමී ආකාරයෙන් වල් පැලෑටි වලට මුහුණ දීමට උපකාරී වෙමින් සිටිනවා. මේ ඒ ගැන අලුත්ම කතාව. එක්සත් ජනපදයේ ගොවි උපකරණ නිෂ්පාදනයේ හා අලෙවියේ දැවැන්තයෙකු වන ජෝන් ඩියර් (John Deere) හි නිෂ්පාදන සහ නිරවද්‍ය කෘෂිකර්ම නිෂ්පාදන පද්ධතිවල උප සභාපතිවරිය වන කොවර් මහත්මිය පවසන්නේ තම සමාගම විසින් නිර්මාණය කළ නව ට්‍රැක්ටරයෙන් අදින වල් ඉසින යන්ත්‍රය මගින් වල් නාශක භාවිතය තුනෙන් දෙකකින් අඩු කළ හැකි බවයි. See & Spray Ultimate ලෙස හැඳින්වෙන පද්ධතිය සාමාන්‍ය ක්ෂේත්‍ර ඉසින යන්ත්‍රයක් මෙන් දිස්වෙනවා. එහි දිගු අත් දෙකක් ට්‍රැක්ටරයේ දෙපසට ඇලී ඇති අතර ඒවායේ යටි පැත්තේ වල් නාශක ඉසින මෙවලම් සවිකර තිබෙනවා. මෙම ඉසින යන්ත්‍රය වඩා උසස් තාක්‍ෂණික උපකරණයක් බවට පත් කරන්නේ එහි කැමරා 36ක් සවි කර තිබීමයි. මේවායින් තමන් ඉදිරියෙන් ඇති පැල නිරන්තරයෙන් පරිලෝකනය කරමින් බෝගය කුමක්ද සහ වල් පැළෑටිය කුමක්දැයි ක්ෂණිකව හඳුනා ගැනීම සිදුවෙනවා.
කෘත්‍රිම බුද්ධි (Artificial intelligence -AI) මෘදුකාංග පද්ධතියකින් පාලනය වන, සම්බන්ධිත විදින යන්ත්‍ර මගින් සම්පූර්ණ කෙත තෙමීමට වඩා තනි තනි වල් පැලෑටි මත වල් නාශක ඉසිනවා.
“අපගේ පද්ධතියට තත්පරයකට පික්සල මිලියන දෙකක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. එමගින් කරන නිරීක්ෂණ හා හඳුනා ගැනීම් සමග යන්ත්‍රය තම වැඩ කොටස ඉටුකරනවා‘ කොවර් මහත්මිය පවසයි.
මෘදුකාංගයට වල් පැලෑටි හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා ජෝන් ඩියර් දත්ත ගබඩාවක පින්තූර 300,000 කට වඩා තිබෙනවා. මෙම පද්ධිය දැනට බඩ ඉරිඟු, සෝයා බෝංචි සහ කපු වගාවන් හි වල් නාශක ඉසීමට භාවිත කළ හැකිය. ඒ අතර මෙම යන්ත්‍රය මිලදී ගැනිමට හැකිවන්නේ ද එක්සත් ජනපදයේ දී පමණය.
රටවල් කිහිපයක සමාගම් විසින් සමාන ආකාරයේ ස්මාර්ට් වල් නෙළීමේ තාක්ෂණයන් (Smart-weeding technologies) දියුණු කර තිබෙනවා. ජර්මානු සමාගමක් වන Bosch BASF Smart Farming මේ අතර සුවිශේෂයි. එහි කැමරා පරිලෝකන වල්නාශකය Smart Spraying Solution ලෙස හැඳින්වේ. ගොවිපළ වල් නෙළීමේ යන්ත්‍ර ගණනාවක් තනි තනි වල් පැළෑටි ඉලක්ක කර ගැනීමට කැමරා සහ මෘදුකාංග පද්ධති භාවිතා කරයි.
“ගොවිතැනේ ඇති ලොකුම අභියෝගය වන්නේ අවකාශය, පෝෂ්‍ය පදාර්ථ සහ ජලය සඳහා බෝග වල් පැළෑටි සමග තරඟ කරන්නේ කෙසේද යන්නයි” කෘත්‍රිම බුද්ධියේ බලයෙන් ක්‍රියාත්මක වන නිරවද්‍ය වල් නෙළීමේ පද්ධති නිෂ්පාදකයෙකු වන Greeneye Technology හි ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ Nadav Bocher පවසයි.
එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ශීත ඍතු තිරිඟු වලට වල් පැළෑටි මගින් කරන වාර්ෂික බලපෑම ඩොලර් බිලියන 2.2ක් බව අධ්‍යයනයක් මගින් හෙළිකර ගෙන ඇත. එය Nadav Bocherගේ කතාවෙන් යළි ප්‍රතිරාවය වෙයි.
“පසුගිය දශක කිහිපය තුළ [අධික වල් නාශක භාවිතය හේතුවෙන්] ගොවිතැන සිදු කර ඇති ව්‍යසනකාරී හානිය කුමක්දැයි සිතා ගැනීමට අපහසුයි.” Greeney’s පද්ධතියට වල් නාශක භාවිත මට්ටම් 80% කින් අඩු කළ හැකි බව පවසන Bocher පවසයි.
“වල් පාලනයට අප විසින් භාවිත කරන විවිධාකාර වල් නාශක සමස්ත පරිසර පද්ධතියටම හානි කරනවා” ඔහු චෝදනා ස්වරයෙන් කියයි.
අධි තාක්‍ෂණික වල් නෙළීමේ ක්‍රම මිල අධික වන නමුත් මෙම යන්ත්‍ර භාවිතය සමග වල් නාශක පිරිවැය අඩුවීම සහ වගාවෙන් ලැබෙන ඉහළ අස්වැන්නක් හේතුවෙන් Greeney වැනි ඉහළ තාක්ෂණ මෙවලම් භාවිතය වාසිදායක බව ද ඔහු පෙන්වා දෙයි.
‘මේ නිසා කන්න දෙකකදී මේ යන්ත්‍රයක මිල ගෙවා අවසන් කළ හැකියි‘Bocher වැඩිදුරටත් පවසයි.
“කෘත්‍රිම බුද්ධිය යනු ගොවිතැනේ පරිණාමයේ එතරම් තියුණු වෙනසක්. එය ගවයෙකුගෙන් ට්‍රැක්ටරයකට යාමක් වැනියි” වල් නාශක ඉසින ද්‍රාවණයක් සඳහා කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණය ඇතුළත් කරන Precision AI නම් සමාගමට නායකත්වය දෙන ඩැනියෙල් මැකාන් පවසයි.
නමුත් මෙම තාක්ෂණයේ පෙරළියක් සමඟ ඔහුගේ සමාගම වල් පැලෑටි ඉලක්ක කර ක්ෂේත්‍ර හරහා පියාසර කිරීමට ඩ්‍රෝන භාවිතා කරයි.
Precision AI සමාගම ඔවුන්ගේ දත්ත ගබඩාව තුළ ඡායාරූප බිලියන දෙකක් ඇතුළත් කර ඇත. මෙතරම් ඡායාරූප සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට හේතු මැකාන් පැහැදිලි කරයි. මැකාන් පවසන්නේ එකම බෝගයම වුවත් වැස්ස, අව්ව, පස ආදි සාධක සමග සසඳන විට ඒවා එකිනෙකට බෙහෙවින් වෙනස් ලෙස පෙනෙනු ඇති බවයි.
Bosch BASF Smart Farming හි තාක්ෂණය John Deere ගේ තාක්ෂණයට සමාන ආකාරයකින් ක්‍රියා කරයි
පොළොවේ සිට අඩි 10ක් පමණ ඉහළින් පියාසර කරමින්, නිරවද්‍යව ඉසින ඩ්‍රෝන යානාවලට දිය හැකි බව මැකන් මහතා පවසයි. “අපි දැන් ජීවත් වන්නේ වෙළඳපල ඔවුන්ගේ ආහාරවල ඇති දේ ගැන වැඩි වැඩියෙන් දැනුවත් වන අතර ඔවුන්ගේ පලතුරු සහ එළවළු සහ අනෙකුත් සියල්ල සඳහා අඩු රසායනික ද්‍රව්‍ය ඉල්ලා සිටින ලෝකයකයි.”
නමුත් උසස් ඉසීමේ ක්‍රමය කුමක් වුවත්, ගොවීන් තවමත් වල් පැලෑටි වලට එරෙහිව සටන් කරයි.
“සමහර වල් පැලෑටි බෝගයට සමාන වන පරිදි පරිණාමය වන අතර ඒවා සොයා ගැනීම දුෂ්කර විය හැකියි” යනුවෙන් කෝනෙල් විශ්ව විද්‍යාලයේ SIPS ශාක අභිජනන සහ ජාන විද්‍යා අංශයේ මහාචාර්ය මයිකල් ගෝර් පවසයි.
“ජීව විද්‍යාව බොහෝ විට අවසානයේ ජයග්‍රහණය කරනවා. නමුත් නිරන්තරයෙන් පරිණාමය වන මෙම මෙවලම් සමඟ සමාගම් එළියට එන ආකාරයට මම කැමතියි.”
මෙම නව වල් නෙළීමේ තාක්ෂණයන්හි අධික පිරිවැය සැලකිල්ලට ගෙන ඇත. මෙම යන්ත්‍ර මිලදී ගැනීමට ගොවීන්ට තම රජයෙන් මූල්‍ය ආධාර ලබා දෙනු දැකීමට කෘෂි විද්‍යාඥයින් කැමැත්තක් දක්වති.
‘රජය මෙවැනි මූල්‍යාධාරයක් ලබා දුන්නොත් නව තාක්ෂණයට කැමැති ගොවීන්ට පහසුවෙන් ඒවා මිලදී ගැනීමට හැකියි. නැතිනම් එය අසීරු විය හැකියි‘මහාචාර්ය මයිකල් ගෝර් පවසයි
“ඩිජිටල් තාක්‍ෂණවල පිරිවැය-ඵලදායීතාවයේ ආරම්භක හිඟය මඟහරවා ගැනීමට ගොවීන්ට උපකාර කළ හැකි සැලකිය යුතු මූල්‍ය සහනාධාර අවශ්‍යයි” යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති විශ්ලේෂකු වන මහාචාර්ය මිහාලිස් ක්‍රිටිකෝස් පවසයි.
මේ අතර තාක්ෂණය තව දුරටත් වර්ධනය වී නව මානයන් සොයා ගෙන ඇත. වල් නාශක ඉසීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන එක් වල් නෙළීමේ නවෝත්පාදනයක් කෘත්‍රිම බුද්ධිය සහිත කැමරා මගින් වල් පැලෑටි හඳුනා ගත් පසු ඒවා කපා දමන අධි බලැති තාප ලේසර් භාවිතා කරයි.
LaserWeeder ලෙස හැඳින්වෙන එය Carbon Robotics නම් සමාගම විසින් නිපදවා ඇත. මෙම ලේසර් තාක්ෂණ උපකරණය ට්‍රැක්ටරයකින් ඇදීමේදී පැයකට වල් පැලෑටි 100,000ක් පමණ ඉවත් කළ හැකි බව එම සමාගම ප්‍රකාශ කරයි.
LaserWeeder එහි නමට අනුව සිදු කරයි – එය ලේසර් භාවිතයෙන් වල් පැලෑටි පුළුස්සා දමයි
‘ලේසර් මගින් වල් පැලෑටි ක්ෂණිකව විනාශ වන අතර පිළිස්සුණු කොටස් නැවත පසට එක්වෙනවා‘ Carbon Robotics හි ප්‍රධාන විධායක පෝල් මයික්සෙල් පැහැදිලි කරයි.
කැලිෆෝනියා, වොෂින්ටන් සහ ඉඩාහෝ වැනි එක්සත් ජනපද ප්‍රාන්තවල අර්තාපල්, ළූණු සහ සුදුළූණු වගා බිම්වල ක්‍රමය භාවිතා කර ඇත.
මයික්සෙල් පවසන්නේ පසුගිය වසරේ නිකුත් කරන ලද පළමු ඒකක විකිණී අවසන් වූ අතර එය දැන් එක්සත් ජනපද සහ කැනේඩියානු වෙලඳපොළවල් සඳහා වැඩිපුර නිෂ්පාදනය කරන බවයි.
ලේසර් මගින් වල් පැලෑටි විනාශ කිරීම ගොවීන්ට වල් නාශක ඉසීමේදී සිදුවිය හැකි සෞඛ්‍යමය හානි වළක්වා ගැනීමට ඉඩ සලසයි. ඉලක්කය හැකි තරම් නිවැරදි වුවද. “ඔබ පිටතින් යමක් ඉසිනවා නම් එය සෑම විටම යම් ආකාරයකින් ඔබට සෞඛ්‍ය හානි ගෙන එනවා” මයික්සෙල් මහතා පවසයි.
මෙම තාක්ෂණය ලංකාවට කවදා පැමිණේදැයි අපට සිතාගත නොහැකිය. නමුත් මෙවැනි තාක්ෂණයන් ගැන දැනුවත්ව සිටීම ද අපේ ගොවිමහතුන්ට වැදගත්විය හැකිය.
මූලාශ්‍රය – https://www.bbc.com/news/business-64742513