වී සහ සහල් නිෂ්පාදනය සහ මිල හැසිරීම පිළිබඳ විශ්ලේෂණාත්මක විමසුමක්

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දත්ත කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි.

අපේ රටේ ප්‍රධාන ආහාර බෝගය වන වී නිෂ්පාදනය වාර්ෂිකව සිදුවන ආකාරය පිළිබ අපට පැහැදිලි කරන්න පුළුවන්ද ?

වී සහ සහල් නිෂ්පාදනය සහ එහි මිල හැසිරීම පිළිබඳ කතා ‍කළොත් එය කාලීන මාතෘකාවකටත් වඩා සර්ව කාලීන මාතෘකාවක් විදියට හඳුන්වන්න පුළුවන්. වසරේ සෑම මසකම පාහේ අප මේ ප්‍රධාන ආහාර බෝගය සම්බන්ධ කරුණු කාරණා කතා කරනවා. වී  වගා කරන්න ගත්තු තැනේ ඉදන් පොහොර ලබා දීම, ජලය ලබා දීමේ සිට අස්වනු නෙළන කාල සීමාව දක්වා මෙය අදාළ වෙනවා. අස්වනු නෙළන කාලය තුළ රට තුළ විවිධ ප්‍රශ්න ඇති වෙනවා. අස්වනු අලෙවි කර ගැනීමේ ගැටලු, වෙළඳපොළට සහල් නිෂ්පාදනය කිරීමේ ගැටලු වගේ. සහල් වෙළඳපොළේ මිල හැසිරීම, මිල මට්ටම් ඉහළ පහළ යාම මේ කාරණා ගතහොත් වසරේ මාස 12 තුළම මේ පිළිබදව කතා කරන්න සිද්ධ වෙනවා.

එක පැත්තකින් මෙම බෝගය දේශපාලනීකරණය වූ බෝගයක් කියා හඳුන්වන්න පුළුවන්.කොයි පැත්තෙන් ගත්තත් පොහොර ටික අඩු වුණත්, පොහොර මිල වැඩිවුනත්,  වී විකුණාගත නොහැකි වුවත්,  අස්වැන්න අඩු වුවත්, වර්ෂාවෙන් හෝ නියගයෙන් බලපෑමක් ඇති වුනත්, සහල් මිල වැඩි වුවත් දේශපාලන ලෝකයේ කතා කරන මාතෘකාවක් බවට පත් වෙනවා.   ගොවිජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම ගොවි ජනතාවගේ ප්‍රධාන නිෂ්පාදනය මේක. පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත්තොත් තුන්වේල සහල් පරිභෝජනය කරන රටක් මේක. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය නිසා  පාරිභෝගිකයාගේ පැත්තෙන් මේක ඉතාම වැදගත්. ඒ නිසා මෙවැනි සර්ව කාලීන මාතෘකාවක් සාකච්ඡා කිරීම ඉතා වැදගත්.    වී නිෂ්පාදනයේ  වාර්ෂික හැසිරීම් රටාව ප්‍රථමයෙන් පැහැදිලි කළොත් ලංකාවේ ප්‍රධානතම දිස්ත්‍රික්ක පහක් ඉහළම නිෂ්පාදනයක් ලබාදෙන දිස්ත්‍රික්ක ලෙස හඳුනගන්න පුළුවන්. එම  ප්‍රධාන නිෂ්පාදන දිස්ත්‍රික්ක ලෙස අම්පාර, මඩකලපුව,  පොළොන්නරුව, අනුරාධපුර,  කුරුණෑගල යන දිස්ත්‍රික්ක  හඳුනා ගන්න පුළුවන්. මේ කියන දිස්ත්‍රික්ක ඇතුළත ලංකාවේ සමස්ත වී නිෂ්පාදනයෙන්   60%-70%ත් අතර ප්‍රමාණයක් සිදුවෙනවා.  වී නිෂ්පාදනය සිදුවන්නේ අපේ රටේ කාලගුණික දේශගුණික රටාවත් සමඟ   ඊශාන දිග, නිරිත දිග මෝසම එක්ක බද්ධ වුණු මේ යල මහ   කන්න රටාව සමඟ තමයි අපේ වසරක් තුළ මේ ප්‍රධාන වී නිෂ්පාදනය ලංකාව පුරා සිද්ධ වෙන්නේ.

ඔක්තොම්බර් 14 -15 වෙනකොට මාස් කන්නයේ වැඩ පටන් ගත්තට පස්සේ දෙසැම්බර් අවසානය තෙක් මහ කන්නයේ වී වගාකිරීම් කටයුතු සිද්ධවෙනවා.   ඉන්පසු ජනවාරි මාසේ 15 වනවිට තෛයිපොන්ගල් දිනයත් එක්කම අස්වැන්න නෙළන්න පටන් ගත්තොත් එහෙම අක්කරෛයිපත්තු, මඩකලපුව, සමන්තුරෙයි, කල්මුනෙයි උතුරු පළාතේ එම දිස්ත්‍රික්ක කිහිපෙකින් පටන් ගත්තොත් නෙළන අස්වැන්න අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවලින් පස්සේ අවසානයේ හම්බන්‍තොට දිස්ත්‍රික්කය දක්වා අස්වනු නෙළීමේ කාලසීමාව මාර්තු –  අප්‍රියෙල් මාසේ 15 වෙනකම් යනවා මාස් කන්නය.

අපේ කන්න දෙකින් වැඩිපුරම අස්වැන්නක් ලැබෙන කන්නය තමයි මාස් කන්නය. මාස් කන්නයෙන් ලැබෙන වර්ෂාවෙන් පෝෂණය වූ ජලාශවලින් තමයි යල කන්නයේ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. මහ කන්නයේ ලැබෙන සැලකිය යුතු වර්ෂාපතනයෙන් මාස් කන්නය වගා කරන්නා සේම යල කන්නයට අදාළ මහා පරිමාණ වැව් ටික අපි පුරවා ගන්නේ මහ කන්නයේ වර්ෂාවෙන්.  ඒ ජලයෙන් තමයි අපි යල කන්නයේ නිෂ්පාදනය සිදු කරන්නේ. යල කන්නය අපේ ප්‍රධාන කන්නයක් නෙවෙයි. විශේෂයෙන් ලොකුළූණු ඇතුළු අතිරේක ආහාර බෝග සහ අනෙකුත් බෝග තමයි වී වගාවට අමතරව යල කන්නයේ වගා කරන්නේ.  ඒක නිසා රටේ සමස්ත වාර්ෂික වී නිෂ්පාදනය ගතහොත් ඒ නිෂ්පාදනය 65%-70%ක්ම ලැබෙනුයේ මහ කන්නයෙනි.  ජනවාරි සිට අප්‍රේල් මස දක්වා අස්වැන්න නෙළන මහ කන්නයේ තමයි අපිට සමස්ත නිෂ්පාදනයේ 65 -70% අතර ප්‍රමාණයක් ලැබෙන්නේ.

වගාකරන බිම් ප්‍රමාණය ගතහොත් හෙක්ටයාර ලක්ෂ 7.5 – 8 අතර වෙද්දි අක්කරවලින් ගත්තොත් අක්කර ලක්ෂ 20ක ප්‍රමාණයක මහ කන්නයේ  කුඹුරු වගාකර වී නිෂ්පාදනය සිදුකරනවා. නමුත් යල කන්නය ගත්තොත් හෙක්ටයාර ලක්ෂ 4 – 4.5 අතර සාමාන්‍ය ප්‍රමාණයක් තමයි අපි වගා කරන්නේ. අක්කර ලක්ෂ 10ක් 12ක් ප්‍රමාණයක් අපි වගා කරනවා කන්න දෙකේ අස්වැන්න ලැබෙන ප්‍රමාණය ගතහොත් 65% මහ කන්නයේ ලැබෙනකොට 35% ක් යල කන්නයේ ලැබෙන්නේ.  මේ තමයි අපේ වාර්ෂික වී නිෂ්පාදනය. මහ කන්නයේ සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 28-30ත් අතර අස්වැන්නක් ලැබෙනවා.  යල කන්නයේ මෙට්‍රික් ටොන් 17-18 අතර ප්‍රමාණයක් ලැබෙනවා. වාර්ෂිකව ගත්තොත් මෙට්‍රික් ටොන් 45 ක් 48 ක් වගේ ප්‍රමාණයක් අපිට අවුරුද්දේ සමස්ත වී නිෂ්පාදනයෙන් යල මහ කන්න දෙකින්ම ලැබෙනවා. එයට සමානුපාතිකව තමයි මම කිව්වේ ලැබෙන ප්‍රමාණයෙන් 2/3 පමණ මහ කන්නයේ ලැබෙන්නේ. යල කන්නයේ ලැබෙන්නේ 35%ක් වගේ තමයි. මේක තමයි සාමාන්‍යයෙන් අපේ රටේ වී නිෂ්පාදන රටාව.

මෙම නිෂ්පාදන ධාරිතාව අපේ රටේ ජනතාවගේ සහල් ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ද?

සහල් ඉල්ලුම සාමාන්‍යයෙන් අපි ගණනය කරන්නේ අපේ ප්‍රධාන ආහාරය වන සහල් පරිභෝජන අවශ්‍යතාවය ගණනය කිරීමෙන්. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ගෘහ ආදායම් වියදම් සමීක්ෂණය හරහා එය ගණනය කරන්නේ. පවුල් 25,000ක් අරගෙන ලබා ගන්නා දත්ත හා තොරතුරු මත පදනම්ව හොයාගන්නවා සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙක්  දෛනිකව සහල් කොතරම් ප්‍රමාණයක් පරිභෝජනය කරනවාද කියලා. එක් පුද්ගලයෙකු දවසකට සහල් ග්‍රෑම් 300ක් විතර පරිභෝජනය කරනකොට මාසෙකට කිලෝ නමයක් විතර පරිභෝජනය කරනවා. එවිට අපි ගත්තොත් ලංකාවේ එක් පුද්ගලයෙක් වාර්ෂිකව කිලෝ 108-110 අතර ප්‍රමාණයක් සහල් පරිභෝජනය කරනවා.

විශේෂයෙන් දකුණු කොරියාව වගේ රටක් ගත්තොත් එහෙම අපි දැකලා තියෙනවා කිලෝග්‍රෑම් 40-45 ව‍ගේ  ප්‍රමාණයක් තමයි වාර්ෂික ඒකපුද්ගල සාමාන්‍ය සහල් පරිභෝජනය තියෙන්‍නේ. නමුත් ආසියාතික රටක් ලෙස ලංකාවේ තුන්වේලම සහල් සහ සහ සහල් ආශ්‍රිත නිෂ්පාදන  පරිභෝජනය කරන රටක් ලෙස  කිලෝ 110ත් 115 අතර ඉහළම ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට පරිභෝජනය කරනවා. ඒ ප්‍රමාණය අපි සමස්ත ජනගහනය එක්ක ගත්තොත් මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ වෙනවා. වාර්ෂික වශයෙන් ගතහොත් එය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක්.  වී වලින් ගතහොත් ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 36- 38ත් අතර වී ප්‍රමාණයක් වාර්ෂිකව අවශ්‍යයි. එතකොට මම කලින් සඳහන් කළා අපේ රටේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 45ක් 48 ක් ලැබෙන කොට පරි‍භෝජනය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 36 – 38ත් අතර ප්‍රමාණයක්. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක්නේ අපිට අවශ්‍ය වෙන්නේ මොකද ලැබෙන වී අස්වැන්නෙන් 10%ක් පමණ ලබන කන්නයේ බීජ ලෙසත් අපතේ යාම්වලටත් වෙන් කළ විට මෙට්‍රික් ටොන් ලක්ෂ 4 ක් 5 ක් අයින් කළ විට වී මො.ටො. ලක්ෂ ලක්ෂ 40ක් තිබුණත් ප්‍රමාණවත්. අපිට ලැබෙන යල සහ මහ කන්න දෙක හොඳ වර්ෂාපතනයක් එක්ක අනෙකුත් පොහොර හා කෘෂි රසායන ටික රජයෙන් පහසුකම් දීලා සිදු කරගන්න පුළුවන් වුණා නම් අපට ලැබෙන අස්වැන්න අපේ අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත්. දැන් අපි ගත්තොත් මෙවර 2023/24 මහ කන්නය සාර්ථක කන්නයක්. ඒවගේම මෙවර යල කන්නයටත් ප්‍රමාණවත් වතුර තිබෙන නිසා අනියත බියක් ඇති කර ගන්න ඕන නැහැ. අවම වශයෙන් අපට ඉහත පෙන්වූ සහල් මෙ.ටො. ලක්ෂ 40 ලබා ගන්න පුලුවන්. එතකොට අපිට සහල් අවශ්‍යතාවය සම්බන්ධයෙන් මෙම වසර තුළ කිසිදු ගැටලුවක් මතුවන්නේ නෑ. අපේ රටට අවශ්‍ය සහල් ඉල්ලුම සපුරා ගන්න පුළුවන්. නමුත් ගැටලුවක් ඇතිවුවහොත් ඇතිවෙන්නෙ පාරිභෝගික ඉල්ලුමට සරිලන සහල් වර්ග ප්‍රමාණවත් වේද යන්නයි. එනම් කීරි සම්බා සහ සම්බා වී පිළිබඳ මීට වඩා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විධිමත් වැඩපිලිවෙළක් එක්ක සැලසුම් සකස් කළයුතු වෙනවා. එනම් වෙළෙඳපොළ ඉල්ලුමට ගැලපෙන අවශ්‍යතාවය පවතින වී වර්ග වගාකරවීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා. නැතිනම් සම්බා සහ කීරි සම්බා වී සහ සහල් මිල මෙම වසර තුළත් ඉහළ අගයක් ගන්න පුළුවන්. මොකද එම වර්ග සඳහා මේ වනවිට ඉහළ ඉල්ලුමක් විශේෂයෙන් බස්නාහිර පළාත වගේම අනෙකුත් සංචාරක ප්‍රදේශයන්ගෙත් ඇති වී තිබෙනවා. ඊට හේතුව වන්නේ අද වනවිට ආනයනික බාස්මතී සහල් මිල ද ඉහළ අගයක තිබීමයි.

අපේ පරිභෝජන රටාව ගත්තොත් බස්නාහිර පළා‍තේ සහල් පරිභෝජන රටාව අනුව සම්බා සහ කීරි සම්බා කියන සහල් වර්ග තමයි ඉහළම ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ. රටේම මාසික සහල් පරිභෝජනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක්ම පරිභෝජනය කරන්නෙ බස්නාහිර පළාතේ.  නමුත් ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක ගත්තොත් වැඩිපුරම පරිභෝජනය කරන්නේ 90%ක් ම නාඩු සහල්. සහල් පිළිබද රුචිකත්වය, සහල් විශේෂ පිළිබඳව මේ තියෙන‍ සමතුලිතතාව කිසියම් ආකාරයකින් බිඳී ගියහොත් මිලෙහි අසමතුලිතාතාවක් ඇතිවෙන්න පුළුවන්.

සමස්තයක් ලෙස ලංකාවේ 70-75%ක් ම වගා කරන්නේ නාඩු වී වර්ගය. අනෙකුත් සම්බා සහ කීරි සම්බා  සහල් වර්ග 20%ත් 25%ත් අතර වගා කරන්නේ. යල මහ කන්න දෙකේ ලැබෙන වී නිෂ්පාදනය ගත්තොත් එහෙම වාර්ෂික සහල් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් කිව හැකිය. නමුත් බාස්මතී වැනි විශේෂිත සහල්  ගත්තොත් අපි තායිලන්තය වගේ රටකින් බාස්මතී සහල් ආනයනය කරනවා. මොකද සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල අවශ්‍යතාවය සපුරාලන්න. කෙසේ නමුත් 98%ක් පරිභෝජනය කරන සාමාන්‍ය සහල් ප්‍රමාණය දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සිදුවෙනවා.

අපේ රටේ ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් සහල් මෙරට නිෂ්පාදනයක් සිදුවෙනවා නම් ඇයි අපේ රටේ සහල් මිල වරින් වර ඉහළ යාම සිදුවන්නේ?

මම කලින් සදහන් කළා වසරේ මාස 12ටම අපි වී අස්වනු නෙළන්නෙ මහ කන්නයේ මාස තුනක වගේ කාලයක්. යල කන්නයේ ලැබෙන්නෙත් අගෝස්තු සැප්තැම්බර් වගේ මාස දෙකක් වැනි කාල සීමාවක්. මෙම බෝගය ධාන්‍යයක්. කෘෂිකාර්මික නිෂ්පාදනය අපි ‍අස්වැන්න නෙළලා, තොග රැස් කරලා ඉදිරි මාස කිහිපයක් සඳහා කල් තබා ගන්න ඕනේ. කල්තබා ගැනිමේ පිරිවැයක් තියෙනවා. කෘමිහානි ඇතිවෙනවා, බර අඩුවීම් ඇතිවෙනවා, බැංකුවලින් ණය අරගන්නවා ණය අරගෙන තමයි වී මිලදී ගැනීම සිදු කරන්නේ.

වී මිල දී ගෙන ගබඩා කර තැබීමේ දී අපතේ යාමක් සිදු වෙනවා. මේ අපතේ යාම සමානුපාතිකව ගතහොත් අස්වනු නෙළන කාල සීමාවට සාපේක්ෂව කිසියම් ආකාරයක මිල ඉහළ යාමක් තිබිය හැකියි. එය සාධාරණ මිල ඉහළ යාමක්. නමුත් අසාමාන්‍ය මිල ඉහළ යාමක් සිදුවන්නේ නම් කිසියම් වෙළඳපොළ කෘතිම ඒකාධිකාරයක් නිසා එසේ විය හැකියි. එහෙම නැතුව ගත්තොත් සාමාන්‍යයෙන් වාර්ෂිකව ජනවාරි, පෙබරවාරි මාර්තු, අප්‍රේල් මාසවල ගත්තොත් සහල් මිල අඩු මට්ටමක තියෙන්‍නේ අස්වනු නෙළීමත් සමඟ. මැයි, ජුනි, ජූලි ගත්තොත් සාපේක්ෂ මිල ඉහළ යාමක් තියෙන්නේ අ‍ගෝස්තු, සැප්තැම්බර් දෙකේ අඩුවීමක් සිද්ධ වෙලා. සාමාන්‍යයෙන් වැඩිපුරම සහල් මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ ඔක්තොම්බර් මාසේ 15න් පස්සේ ජනවාරි මාසේ මුල සතිය වෙනකම් වගේ සහල් මිල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි මම අර කලින් කීව සමස්ත නිෂ්පාදනයෙන් 65%ක් ලැබෙන්නේ මහ කන්නයේ වාගේම 35%ක් ලැබෙන්නේ යල කන්නයේ. එතකොට මේ මාස් කන්නයේ ලැබෙන නිෂ්පාදනය තමයි නිසි ප්‍රමිතියෙන් සකස් කර, ගබඩා වියදමක් දරා බැංකු පොළියක් දරා ‍ලොකු ආවස්ථික පිරිවැයක් දරා, ගබඩා කර තබාගෙන සහල් සඳහා භාවිතා කරන්නේ. අපිට ඒ වැයවෙන පිරිවැයට සමානුපාතිකව යන පිරිවැයක් තියෙනවා. ඒ නිසා තමයි වසරේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු වුණත් නිෂ්පාදනයන් ලැබෙන කාල සීමාවන් අනුව සහ බෝගය සහල් බවට පත් කිරීමේ දී යන වියදම යන කාරණා එක්ක තමයි සාමාන්‍ය මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ. ඒක   බෝගයට ආවේණික තත්ත්වයක්. ඒ හැරෙන්න අසාමාන්‍ය තත්ත්වයක් වෙනවා නම් මම හිතන්නේ රජය මැදිහත් වීම සිද්ධ විය යුතුයි. මිල මට්ටම් පිළිබ ද වාර්ෂික හැසිරීම තමයි මම ඒ පැහැදිලි කළේ.

මිල මට්ටම්වල අසාමාන්‍ය ඉහළ යාම පාලනය කරන්නේ කෙසේද? සඳහා රජය මැදිහත්විය යුත්තේ කෙසේදැයි ඔබ සිතන්නේ ?

මේ බෝගයේ අතිරික්ත අස්වනු මිලදී ගැනිම සඳහා දැඩි රාජ්‍ය මැදිහත්වීම් තිබිලා තියෙනවා. සමස්ත වී නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් රජය විසින් මිල දී ගෙන තියෙනවා. රජයේ ගබඩාවල ගබඩා කර තියෙනවා. රජය තමයි විශාල පිරිවැයක් දරලා ඒ දේ කරගෙන ගියේ. නමුත් අද වෙනවිට විවෘත ආර්ථිකය  සමග රජය ඒ කාර්යයන්ගෙන් ඉවත් වී රජය යටිතල පහසුකම් සපයන්නෙක් බවට පත් වී තිබෙනවා. තරගකාරී වෙළඳපොල රටාවත් සමඟ පෞද්ගලික අංශය තමයි අද වී සහල් වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වෙන්නේ. රජය විසින් ගබඩා කළ විශාල වී ප්‍රමාණයක් අදවන විට පෞද්ගලික අංශය විසින් තමයි ගබඩා කරන්නේ. ඒක තමයි සිදුවිය යුත්තේ. පෞද්ගලික අංශය විසින් සිදු කරන විට ඇත්තටම මිල පහළ යන්නේ ඔවුන්ගේ තිබෙන තරඟය සමඟයි. පිරිවැය අධික ‍නිසා රජය පැත්තෙන් එය සිදු කළ නොහැකියි. අපි දන්නවා වී ‍අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම සිදු කරන සෑම අවස්ථාවකම කෙනෙක් කියන්න පුළුවන් අලාභයි කියලා. නමුත් ගැටලුව ඇත්තේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ  රාජ්‍ය ආයතනයක් හරහා. ඒ තමයි වී අලෙවි මණ්ඩලය. ගොවියාගේ පැත්තෙන් ගොවියාව ආරක්ෂා කරන්න ගොවියාට ඉහළ මිලක් ලබා දෙන්න රජය විසින් තීරණය කරන සහතික මිල ක්‍රියාත්මක කිරීම තමයි ප්‍රධාන වශයෙන් සිදුවන්නේ. ඒ මිල දී ගැනීම වගේම සහල් ගත්තොත් සහල් සඳහා පාලන මිලක් තියෙනවා. ඒ මිල ක්‍රියාත්මක කරන්නත් රජයේ ආයතනයක් ලෙස වී අලෙවි මණ්ඩලය බැඳී ඉන්නවා ඇතැම් විට රජය විසින් ඉහළ මිලකට මිල දී ගත්තට අඩු මිලට සහල් විකිණීම සිදුකළ අවස්ථා ගණනාවක් අපි පසුගිය කාලයේ දැක්කා එවැනි අවස්ථාවල අලාභයන් සිදුවන්න පුළුවන්. මේ වනවිට රජය විසින් ප්‍රධාන සහල් වර්ග වන සම්බා කීරි සම්බා සහ නාඩු කියන වර්ගවලට සහල් සඳහා උපරිම මිලක් නියම කර තිබෙනවා.

වී වෙළඳ‍පොළ තුළ වී සඳහා සහතික මිලක් පනවනවා වගේම රජය පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පාරිභෝගික සුබ සාධනය පැත්තන් සහල් සඳහා පාලන මිලක් නියම කර තිබෙනවා. ඒක ඇත්තටම හොඳ කාරණයක්. වෘත්තීමය පර්යේෂකයෙක් හැටියට මම දැකලා තියෙනවා රජය මේ මිල පාලනයට මැදිහත් වෙන්න නම් අවම වශයෙන් මෙ.ටො ලක්ෂයකට ආසන්න ආරක්ෂිත  වී තොගයක් තිබිය යුතුයි. එවැනි වී තොගයක් තිබීම හරහා රාජ්‍ය අංශය සතුව වී තොග නැත්නම් සාමාන්‍යයෙන් සහල් මිල ඉහළයාම් සිදුවන වසරේ අවසන් මාසයන් තුළ ඔවුන් හිතන හිතන ආකාරයට මිල ඉහළ දැමීම සිදු කරන්න පෞද්ගලික අංශයට පුළුවන්. රජයේ ගබඩාවන්හි ආරක්ෂිත වී තොගයක් ඇත්නම් එවැනි ගැටලුවක් මතුවන්නේ නෑ. එවිට අසාමාන්‍ය මිල ඉහළ යාම්වලට යන්නේ නෑ. ඊළඟ  මාසයේ අස්වැන්න නෙළන නිසා තමන් සතුව තියෙන වී තොග සහ සහ සහල් තොග වෙළඳපොළට නිකුත් කරනවා. රජය සතුව වී සංචිතයක් නොමැති වෙන සෑම අවස්ථාවකම අපි දැකලා තියෙනවා මේ වී මිල ඉහළ දැමීම සිදු කරනවා. රජය කිසියම් පිරිවැයක් දරා හෝ  අලාභයක් දරමින් හෝ වී මෙට්‍රික් ටොන් 50,000ක් හෝ 100,000ක් රජයට තියාගන්න පුළුවන්නම් මිල ඉහළ යාමනිසා ආර්ථිකයට මෙන්ම සමස්ත ජනතාවටම සිදුවන විශාල බලපෑම අවම කර ගන්න පුළුවන්.  උදාහරණයක් ලෙස රු.175කට විකුණන්න තියෙන සහල් කිලෝ එක රජය සතු වී සංචිතයක් නැති නිසා රු.200, රු.225, රු.250 දක්වා ඉහළ යන්න පුළුවන්. නමුත් රජය සතුව වී සංචිතයක් හෝ සහල් සංචිතයක් තිබේ නම් අර වගේ මිල ඉහළ යන්නේ නෑ. මොකද කෝටි 2ක් ජනතාව සහල් පරිභෝජනය කරනවා. ඒ සියලුම දෙනා රු.225ට නම් අර රු.175ට ගන්න තියෙන් සහල් ගන්නේ ඒ තුළින් සමාජයට විශාල ආර්ථික බලපෑමක් සිදුවෙනවා.   ඒ නිසා එවැනි අවස්ථාවක කුමන හෝ රාජ්‍ය මැදිහත්වීමක් තිබිය යුතුයි කියන තැන තමයි මම පෞද්ගලිකව ඉන්නේ. අසාමාන්‍ය මිල ඉහළ යෑම් සිදුවන කාල සීමාවන්වල දී කිසියම් ආකාරයකට ආරක්ෂිත වී තොගයක් තියාගත්තොත් එහෙම එම වී තොගය එළියට දාලා සහල් කරලා මිල පාලනයක් සිදු කරන්න පුළුවන්. පාරිභෝගික අධිකාරිය විසින් මිල පාලනය හරහා පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න ක්‍රියාත්මක වනවා මෙන් ම මේ ආකාරයේ මැදිහත්වීමක් ද තිබිය යුතුයි. රාජ්‍යය සුබ සාධන සංකල්පයෙන් රජය ඈත්වෙලා යයි කෙනෙක් කිව්වොත් නෑ රජය ඈත් වෙලා නෑ. මොකද ගොවියාගේ පැත්තෙන් ගත්තොත් පොහොර සහනාධාරය ලබා දෙනවා, ජලය ලබා දෙනවා, අනික් පැත්තෙන් ගත්තොත් රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන, සහන පොළියට බැංකු ණය ලබා දීම, ගබඩා පහසුකම් ලබා දීම සමඟ රාජ්‍ය මැදිහත්වීමක් මෙම ක්‍රියාවලිය තුළ තියෙනවා. ඒ තිබිලත් ඒ රාජ්‍ය මැදිහත්වීමෙන් ඉවත් වුණොත්  කිසියම් ආකාරයකින් මේක පාරිභෝගික ජනතාවට දරාගන්න බැරි මට්ටමට පත්වෙන්න පුළුවන්. එබැවින් අපේ රටේ ප්‍රධාන ආහාරයට, ප්‍රධාන කෘෂි නිෂ්පාදන බෝගය වන වී සඳහා රාජ්‍ය මැදිහත්වීම තිබිය යුතුයි කියන දේ පැහැදිලිව කිව හැකියි.

සහල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරි ගමන්මග පිළිබඳ අප රටේ ඉදිරි සැලසුම් වෙනස් විය යුත්තේ කවරාකාරයෙන් ද?

මෙම ප්‍රධාන බෝගය පිළිබඳ ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී රජයේ අවධානය ලබා දිය යුතු ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි සම්ප්‍රදායික රටාවෙන් බැහැරව වී නිෂ්පාදනය කරනවා. හිතෙන හිතෙන වර්ග නිෂ්පාදනය කරනවා.  ඒ කියන්නේ ඇතැම් ප්‍රදේශවල සැපයුම් සිදුවන්නේ වෙළඳපොළ ඉල්ලුම අනුව නෙවෙයි. කිසියම් ප්‍රදේශයක අතිරික්ත වී සැපයුමක් තිබේ නම් ඔවුන්ට පුළුවන් කාබනිකව වගා කිරීම හෝ සම්ප්‍රදායික වී වර්ග වගා කිරීම වැනි දේකට යන්න මොක ද ඒ සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් මිලක් තියෙනවා. ඒ නිසා නිෂ්පාදන ප්‍රතිපත්ති සකස් කිරීමේ දී කිසියම් අතිරික්ත නිෂ්පාදනයක් මේ වසර තුළ එනවා කියලා දැනෙනවා නම් අපිට පුළුවන් නම් වගා කරන ප්‍රමාණය කිසියම් ආකාරයකට හෝ වෙනත් පැත්තකට යොමු කරන්න. විවිධ ප්‍රදේශවල විවිධ වී වර්ග වගා කිරීම පිළිබඳ සැලකිලිමත් විය හැකියි. යල කන්නයේ අතිරේක බෝග වගාවන්ට යනවා වගේම වී වගාවෙදිත් විවිධ ප්‍රදේශවල විවිධ වර්ග අනුව වගා කිරීම පිළිබඳ සැලකිලිමත් විය හැකියි. නිෂ්පාදකයා ආරක්ෂා කරන්න නිෂ්පාදන සඳහා උපරිම මිලක් ලබා දීලා, සහතික මිල ලබා දීලා පොහොර ටික ලබා දීලා, ජලය ලබා දීලා ඒ පැත්තෙන් කරනවා වගේ ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහාත් රජයේ පැත්තෙන් ආරක්ෂිත වී තොගයක් ගබඩා කර තබා ගැනීම,  එයට පාලන මිලක් නියම කරගනිමින් අසාමාන්‍ය මිල ඉහළ යාම් පාලනය කිරීම,  තත්ත්වයෙන් උසස් සහල් වෙළඳපොළට ලබා දීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතුය. පෞද්ගලික අංශය ගතහොත් ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඉස්සර රජය තමයි එම ක්‍රියාවලිය සිදු කළේ. නමුත් වර්තමානය වනවිට රජය සතු සහල් මෝල් නැහැ. මොකද රජයට  ඇත්ත වශයෙන් ම ව්‍යාපාර කළ නොහැකියි.

නමුත් පෞද්ගලික අංශය ගතහොත් දකුණු ආසියාවේ හොඳම තාක්ෂණය ලංකාවට ගෙනත් තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියෝ. සහල්වල තත්ත්වය පිළිබඳ සැලකුවොත් කලු ඇටයක්, ගල් ඇටයක්, බොල් හෝ වෙනත් අවපැහැති වී ඇටයක් තිබුණත් වෙළඳපොළ තුළ ඉබේම එම සහල් ප්‍රතික්ෂේප වෙනවා. පවතින තරඟකාරීත්වය සමග පෞද්ගලික අංශය දැඩි ආයෝජනයක් කරලා සිදු කරන මෙම ව්‍යාපාරය නිසා අපිට පරිභෝජනය කරන්න තත්ත්වයෙන් ඉහළ සහලක් ලැබිලා තියෙනවා. ඉතින් අපිට හැකියාව තිබිය යුතුයි අපේ රටේ අවශ්‍යතාවයට සරිලන තත්ත්වයෙන් ඉහළ මෙන්ම ගුණාත්මක සහල් අපේ රටේම නිපදවා ගන්න. මොකද එහෙම නැතිවුණොත් අපේ රටේ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් විදෙස් කරා ඇදී යනවා. අපට මතකයි පසුගිය සමයේ රජය ප්‍රතිපත්තියක් විදියට පොහොර ආනයනය නැවැත්වීම සමඟ මහ කන්නයේ 50%ක් පමණ අස්වැන්න අඩු වුණා.  එතනදි මෙට්‍රික් ටොන් ලක්ෂ හතක් විතර ආනයනය කරන්න සිද්ධ වුණා. එම රටවල් ආනයනය සීමා කිරීම් සිදුකිරීම නිසා ඒවාට මුහුණ දෙන්න සිදුවුනා.

ඩොලරය අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අවස්ථාවේ බෙහෙත් ටික ගේන්න, ඉන්ධන ගේන්න, වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්න වගේ අපට තිබ්බ ඩොලර් ප්‍රමාණය අපිට සහල් ආනයනය කරන්න පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඒවගේම තමයි කීරි සම්බා සහ සම්බා වී පිළිබඳ මීට වඩා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විධිමත් වැඩපිලිවෙළක් එක්ක සැලසුම් සකස් කළයුතුවෙනවා. එනම් වෙළෙඳපොළ ඉල්ලුමට ගැලපෙන අවශ්‍යතාවය පවතින වී වර්ග වගාකරවීමේ වගකීම ඔවුන්ට පැවරෙනව. නැතිනම් සම්බා සහ කීරි සම්බා වී සහ සහල් මිල මෙම වසර තුළත් ඉහළ අගයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉදිරියටත් අපට කාලගුණික දේශගුණික විපර්යාසයනුත් එක්ක තමයි මේ ගමන යන්න වෙන්නෙ. ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ දකුණු පළාත තුළ අධික නියගයක් වගේම වසර අවසානයේ දැඩි වර්ෂාපතනයක් ආවා, දැනටත් දිවයින පුරා දැඩි නියගයක් පවතිනව, ඒ නිසා අපට තිබෙන ලොකුම අභියෝගයක් තමයි විඩිමත් ජල කළමනාකරනයක් සමග කටයුතු කිරීම. ඒ වගේම වැඩි අස්වැන්නක් ලැබෙන අඩු වයස් වී ප්‍රභේදවලට යන්න වෙනවා අපිට මේ ආහාර සුරක්ෂිතතාවය අභියෝගය ඉදිරියේදී ජයගන්නනම්.

නිෂ්පාදනය පැත්තෙන් එසේ වනවිට වෙළෙදපොළ පැත්තෙනුත් විධිමත් වෙළෙදපොළ රටාවක් ඇතිකරවන ප්‍රතිපත්ති තීන්දු රජය ගතයුතු වෙනව. රජයක් හැටියට සහල් සඳහා ඒ ඒ සහල් වර්ගවලට (සම්බා, නාඩු, කැකුළු, කීරි සම්බා) පාලන මිල ගණන් ලබා දෙනවා, වගේම වී සඳහාද ඒ ඒ වර්ග සඳහා වෙන වෙනම සහතික මිල ගණන් ලබා දිය යුතු වෙනව. මොකද සියලුම වී වර්ග සඳහා එකම මිලක් දැම්මට සහල් සඳහා වී වර්ග අනුව විවිධ මිල ගණන් තිබෙනව, ලැබෙන අස්වැන්න වෙනස් , සහල් ප්‍රතිශතය‍ වෙනස්, වෙළෙදපොළ ඉල්ලුම නිෂ්පාදන වියදම වෙනස්. ඒ නිසා ඒ ඒ වී වර්ග සඳහා වෙන වෙනම මිල ගණන් ලබා දිය යුතුයි. නැතිනම් වෙළඳපොළ මිල විකෘතිතාවයන් ඇතිවිය හැකියි. ඒ නිසා රජය මෙම කරුණු පිළිබඳවත් මෙම ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. අවසන් වශයෙන් මම කියන්න කැමතියි වී සහ සහල්  පර්යේෂණ වෙළෙඳපොළ ක්ෂේත්‍රයන් පිළිබඳ සැලකීමේ දී විශේෂයෙන් සමාජ විද්‍යාඥයෝ හැටියට අපි සොයා ගත් පර්යේෂණවල ප්‍රතිඵල තියෙනවා. ලංකාව වී සහ සහල් පර්යේෂණ අතින් හොඳ තැනක තියෙනවා. මේවා අපි යොදාගෙන ඒවයේ ඇති ප්‍රතිඵල එක්ක ‍මේ ගමන ඉස්සරහට යනවා නම් මේ බෝගයත්, එයින් ලැබෙන නිෂ්පාදනයත්, වෙළඳපොළත් ආරක්ෂා කරගෙන නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගික ජනතාවටත් පරිභෝජනය සඳහා හොඳ සහල් දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

වසන්ති රාජපක්ෂ

ප්‍රවෘත්ති හා ප්‍රකාශන නිලධාරිනි
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *