වගා කන්න රැස්වීම සහ සුළු වාරිමාර්ග නඩත්තුව කියන්නේ අපේ ගොවි මහතුන්ගේ සහභාගීත්වයෙන් සහ මැදිහත්වීමෙන් සිදුවන අතිෂය වැදගත් කාර්තව්‍යයක් ලෙස සැලකිය හැකියි. එහෙත් අපේ ගොවි මහතුන්ගෙන් වැඩි පිරිසකට මේ ගැන නිසි හා නිවැරදි අවබෝධයක් නැහැ. ඒකට හේතු ගණනාවක් තිබිය හැකියි. ඒ නිසාම ‘ගොවියා කෘෂිකර්ම පුවත්පත’ තීරණය කළා වගා කන්න රැස්වීම් හා සුළු වාරිමාර්ග නඩත්තුව’ ගැන අපේ ගොවි මහතුන්ට නිවැරදි හා නිල දැනුමක් ලබා දෙන්න. මේ වෙනුවෙන් අපි පදනම් කර ගන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ ‘වගා කන්න රැස්වීම් හා සුළු වාරිමාර්ග නඩත්තුව’ නම් ග්‍රන්ථයි. එය කිසිදු සංස්කරණයකින් තොරව කොටස් වශයෙන් ඔබ වෙත ගෙන ඒමට අපි මෙම කලාපයේ සිට පියවර ගන්නවා.
පසුබිම
‘දුර්වල නඩත්තුව හා වැරදි තීරණ ගැනීම නිසා ගබ්බද වැව් කැඩී බිඳී යාම හා දුර්වල වීම නොවැළැක්විය හැකි අතර, එසේ බිඳී යන හා දුර්වල වන වැව්, අමුණු නැවත ප්‍රතිසංස්කරණ කිරීම සඳහා වාර්ෂිකව රජයට දැරීමට සිදුවන වියදම අති මහත් වේ. එසේ වියදම් දැරුව ද, මෙම ගැටලුවට එයින් විසඳුමක් නොලැබෙන්නේ, ගැටලුවට මුල් වූ ප්‍රධානතම හේතුව වන දුර්වල මෙහෙයුම් හා නඩත්තුව සඳහා ඉන් විසඳුමක් නොලැබෙන බැවිනි.
සැලසුම්කරණය සඳහා කාර්යක්ෂම ලෙස හා ප්‍රතිඵලදායක ලෙස ප්‍රතිලාභීන් සහභාගී කර ගැනීමෙන්, ස්වයං කළමනාකරණ මූලධර්ම යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකි වූ ලොව එක් විරල උදාහරණයක් ලෙස මෙම ‘වගා කන්න රැස්වීම’ හඳුන්වා දීම නිවැරදි වනු ඇත.
1957 වසරේ ඇති වූ මහා ගංවතුරින් උතුරු මැද පළාතේ මහ වැව් 28ක් හා සුළු වැව් 1300ක් පමණ බිඳී යෑමේ කතාන්දරය කියාපාන්නේ එවැනි සිදුවීමක් නැවත වරක් ඇති වීමට වුව ද ඉඩකඩ ඇති බවයි. පූර්ව ක්‍රියාකාරී සැලසුම් මගින් පමණක් මෙම අභියෝගය විසඳා ගත හැකි බව හෙළිදිව මහා වාරි වික්‍රමය සිදුකළ අපේ ආදී මුතුන් මිත්තන්ගෙන් අපට උගත හැකි පාඩමයි’ – ද.දි. ප්‍රභාත් විතාරණ, ඉංජිනේරු / ජල කළමනාකරණ අංශ ප්‍රධානී, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
වගා කන්න රැස්වීමේ පරමාර්ථ
වගා කන්න රැස්වීමේ පරමාර්ථ
වගා බිම් හා බෝගය/බෝග තීරණය කිරීම
වගා කාලසටහන පිළියෙළ කිරීම
නඩත්තු ලේඛන හා නඩත්තු ක්‍රමවේදය අනුමත කිරීම
පංගු ලැයිස්තුව අනුමත කිරීම
සාම්ප්‍රදායික නීති සම්මත කිරීම
තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයෙකු පත්කර ගැනීම (යාය නියෝජිත)
තීරණ කඩන්නන් සඳහා වන දණ්ඩන තීරණ කිරීම
යාය නියෝජිත සඳහා වන දීමනාව (සුහංදිඑම්, සලාරිස් ආදී නම් යොදා තීරණය කිරීම
වගා කන්න රැස්වීම
වගා කන්නය
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වගා කන්න දෙකක් පවතින අතර, ඒ සඳහා පදනම වී ඇත්තේ වර්ෂාපතන රටාවයි. සමයකට ආසන්නයේ පිහිටීම, විශාල භූමි ප්‍රදේශයක් ආවරණය කරන ඉන්දියානු උප මහද්වීපයට ආසන්නව හා ඊට යටින් පිහිටීම හා එහි පිහිටි සීතල හිමකඳු සහිත හිමාල වනාන්තරය, ඊසාන දෙසින් පිහිටි බෙංගාල බොක්ක, ඉන්දියන් සාගරයේ පිහිටි මධ්‍ය කඳුකරයක් සහිත කුඩා දිවයිනක් වී ආදි ලක්ෂණ, ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ආකාරයට තීරණය කරන ප්‍රධානතම සාධක වේ.
ඔක්තෝබර් මස සිට මාර්තු මස දක්වා ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් හමන ඊසාන දිග මෝසම් වැසි නිසා මහ කන්නය තීරණය වන අතර, මෙරට වියළි හා අන්තර් කලාපවලට වැසි ලැබෙන ප්‍රධානතම කාලවකවානුව මෙය වේ. ඊසානදිග මෝසම් බලපෑම අඩු වියළි කලාපීය ප්‍රදේශ වන අනුරාධපුර, කුරුණෑගල මෙන් ම මොනරාගල දිස්ත්‍රික්ක වල කුඩා වැඩ් විශාල ප්‍රමාණයක් පිහිටා තිබීම මේ අනුව තේරුම් ගත හැකි වේ.
අප්‍රේල් මස සිට මාර්තු මස දක්වා වැසි ලැබෙන කාල වකවානුව ‘යල කන්නය’ වන අතර, ශ්‍රී ලංකාවට නිරිත දිගින් හමන නිරිත දිග මෝසම් සුළඟින් ඇති වන වැසි පහත රට තෙත් කලාපයට මෙන්ම, මධ්‍ය කඳුකරය දක්වා ද ව්‍යාප්ත වේ. අධික වැසි සහිත තත්ත්වයන් යටතේ පහත රට තෙත් කලාපීය ප්‍රදේශනල පිහිටි තැනිතගා ජලයෙන් යටවීම නිසා මෙම
කන්නය තුළ වගා කටයුතු සිදු කිරීම බොහෝ විට අපහසු වන අතර, ගංවතුර තත්ත්වය පහව ගිය විට වගාවන් ආරම්භ කිරීමට බොහෝ ගොවීහූ පුරුදුව සිටිති.
එසේම මෙම වගා කන්න දෙක අතර පිහිටි ‘අතරමැදි කන්නයක්’ හඳුනා ගැනීමට ද ඇතැම් විට ගොවීහූ පෙළඹී සිටිති. ප්‍රධාන ශිඛර දෙකකින් සමන්විත ‘ද්විතුණ්ඩාකාර’ හැඩයකින් යුතු මෙරට වර්ෂාපතන රටාව අනුව එහි ප්‍රධාන වගා කන්න දෙක නිර්මාණය වී ඇති අතර, බෝග ජල අවශ්‍යතාව හැකිතාක් දුරට වර්ෂා ජලයෙන් පිරිමසා ගැනීමත්, බෝගයේ අවසාන කාලය තුළ අවශ්‍ය ජල අවශ්‍යතාවය හැකිතාක් දුරට වර්ෂා ජලයෙන් පිරිමසා ගැනීමටත් සුළු වාරිමාර්ග ආශ්‍රිත ගොවියන්නේ සම්ප්‍රදාය වේ. සුළු වාරිමාර්ග ආශ්‍රිතව වගා කරනු ලබන වී ඇතුළු අනිකුත් කෙටිකාලීන ආහාර බෝග සඳහා තරමක් විශාල බෝග ජල අවශ්‍යතාවක් පවතින බැවින්, එම බෝග අදාළ වගා කන්නය තුළ පමණක් වගා කිරීමට පෙළඹී සිටින බැවින්, එවැනි බෝග ‘කන්න බෝග’ ලෙස හැඳින්වේ.
ගම්බද වැවක් යනු වියළි කලාපයේ ග්‍රාම නිර්මාණයේ පදනමයි. ‘ගමත්, වැවත් යනු දෙකක් නොව එකකි ’ යන කියමන සැබෑ කරමින් සෑම ගමකටම, එම ගමේ නම දරණ වැවක් පිහිටා ඇති අතර, වැව නොමැතිව ගමක් පවත්වා ගෙන යාම දුෂ්කර වනු ඇත. ගමේ ජීවත් වන සියලුම ගැමියන් සඳහා වැව යටතේ වගා බිම් හිමිවන අතර, මෙම ඉඩම් යාය කිහිපයක් තුළ විසිරී පැවතීම සාමාන්‍ය තත්ත්වයයි. උදාහරණයක් ලෙස, උඩවෙල, මැදවෙල, පහළවෙළ, අක්කරවෙල ආදි වෙල් පන්ති හතරක් පවතී නම්, නීතියක් ලෙස නොව එහෙත් බොහෝ අවස්ථාවලදී එක් ගොවි මහතෙකු සඳහා වෙල් පන්ති හතරේම කුඹුරු ඉඩම් හිමිව පැවතීම සුවිශේෂී ලක්ෂණයකි. මෙවැනි තත්ත්වයක් යටතේ ගම්බද වැවක් යටතේ සිදුවන වගා කටයුතු සාමූහික ගොවිපොළක ලක්ෂණ දරණ අතර, එක ම කාල සටහනකට අනුව වගා කටයුතු කිරීමෙන් පමණක් සාර්ථක අස්වනු නෙළාගත හැකි වනු ඇත. මෙම සාමූහික උත්සාහය සඳහා ගොවීන් පෙළඹවීමේ උපාය මාර්ග රාශියක් මෙරට ග්‍රාමීය ජන සමාජය තුළ දක්න ඇති අතර, ‘වගා කන්න රැස්වීම’ ඉන් ප්‍රධාන තැනක් ගනී.
නෛතික පසුබිම
ශ්‍රී ලංකාව තුළ වගා කන්න රැස්වීම පැවැත්වීම සඳහා ප්‍රධාන නෛතික ප්‍රතිපාදන 02ක් හඳුන්වා දිය හැකි වේ.
අ. මහා වාරිමාර්ග යටතේ ‘පෙර කන්න රැස්වීම’ හා කන්න රැස්වීම 1994 අංක 13 දරණ වාරිමාර්ග (සංශෝධන) පනතේ පස්වන වගන්තිය යටතේ දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදුකළ යුතුය.
ආ. සුළු වාරිමාර්ග ( වගා බිම් ප්‍රමාණය අක්කර 200 දක්වා වූ වාරි කර්මාන්ත) යටතේ කන්න රැස්වීම (ඉඩම් හිමි ගොවීන්ගේ සහ බුක්තිකරුවන්ගේ රැස්වීම) පැවැත්වීම 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ (vii) වන වගන්තිය යටතේ පවත්වනු ලබන අතර, ඒ පිළිබඳ වගකීම ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරේ. මේ පිළිබඳව සැකසූ 2011/08 දරණ දෙපාර්තමේන්තු චක්‍රලේඛයෙහි සුළු වාරිමාර්ග යටතේ වගා කන්න රැස්වීම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ උපදෙස් රාශියක් ලබාදී ඇත.
වගා කන්න රැස්වීමේ පරමාර්ථ
සුළු වාරිමාර්ග යටතේ වගා කන්න රැස්වීම පැවැත්වීමේ ප්‍රධාන පරමාර්ථ 08ක් ඇති අතර ඒවා පහත දැක්වේ.
- වගා බිම් හා බෝගය/බෝග තීරණය කිරීම
- වගා කාලසටහන පිළියෙළ කිරීම
- නඩත්තු ලේඛන හා නඩත්තු ක්‍රමවේදය අනුමත කිරීම
- පංගු ලැයිස්තුව අනුමත කිරීම
- සාම්ප්‍රදායික නීති සම්මත කිරීම
- තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයෙකු පත්කර ගැනීම (යාය නියෝජිත)
- තීරණ කඩන්නන් සඳහා වන දණ්ඩන තීරණ කිරීම
- යාය නියෝජිත සඳහා වන දීමනාව (සුහංදිඑම්, සලාරිස් ආදී නම් යොදා ගැනේ) තීරණය කිරීම
වගා බිම් තීරණය
ජලය ප්‍රමාණවත් ලෙස ලැබෙන ප්‍රධාන වගා කන්නය තුළ වී වගා කිරීම පිළිගත් සම්ප්‍රදාය වන අතර, සෑම වැවක් හෝ අමුණක් යටතේ ම මාස් කන්නය තුළ වී වගා කළ හැකි මුළු බිම් ප්‍රමාණය බොහෝ විට ගොවීහූ අත්දැකීමෙන් දනිති. තාක්ෂණික වශයෙන් මෙම අගය නිශ්චිතව ගණන් බලා ගැනීමට නම්, වැව් ජලය පිළිබඳ තුලනයක් (Tank water balance) සිදුකිරීම අවශ්‍ය වන අතර, ඒ සඳහා වාරිමාර්ග ක්ෂේත්‍රයේ තාක්ෂණ නිලධාරියෙකුගේ සහාය ලබා ගැනීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවල කුඩා වැවක වාන් මට්ටමේදී රඳවා ගත හැකි ජල ධාරිතාවය අනුව වැවේ අක්කර අඩි 03කින් එක් කුඹුරු යායක් ද, අන්තර් කලාපයේ වැවේ අක්කර අඩි 02කින් කුඹුරු අක්කරයක් ද වගා කළ හැකි බව උපකල්පනය කළ හැකි වේ.
උදාහරණයක් ලෙස පහත සඳහන් සටහනේ ඇතුළත් තොරුතුරු විමසා බැලිය හැකි වේ.
දේශගුණික කලාපය | වැවේ ජල ධාරිතාවය අක්කර අඩි (උදා) | මාස් කන්නයේදී වී වගා කළ හැකි බිම් ප්‍රමාණය |
වියළි කලාපය | 100 | (100/3) 33 |
අන්තර් කලාපය | 50 | (50/2) 25 |
මෙහිදී අක්කර අඩියක් යනු, අක්කර එකක බිමක අඩියක් උසට ජලය රඳා පවතින විටදී රැදී පවතින ජල ප්‍රමාණය වන අතර, මෙම ඒකකය බ්‍රිතාන්‍ය ක්‍රමය යටතේ වැවක ජල ධාරිතාවය මැනීම සඳහා යොදා ගනු ලැබේ.
කෙසේ වුව ද, වියළි කලාපීය ප්‍රදේශයක වාන් මට්ටමේ දී ජල පැතුරුම් ක්ෂේත්‍රඵලයට (දිය ගිල්ම) වඩා වැඩි කුඹුරු ප්‍රමාණයක්, එම වැව යටතේ පැවතීම යෝග්‍ය නොවේ.
තෙත් කලාපීය අමුණු ව්‍යාපාර වලදී නම්, අමුණ පිහිටා ඇති ජල මාර්ගයේ අවම ජල ගැල්ම ඝන අඩි / අක්කරයක් යොදා ගනිමින් කුඹුරු අක්කර 30ක් වගා කළ හැකි වනු ඇත.
ස්වභාවික ජල මාර්ගයක, එහි ජල පෝෂක ප්‍රදේශය නිසා ගලන අවම ජල ප්‍රමාණය වියළි මාස වලදී වාර්තා වන අතර, එම ජල ගැල්ම මැනීම සම්මත මිනුම් උපකරණයක් යොදා ගෙන හෝ සරල ජල මිනුම් යොදා ගනිමින් හෝ උපකල්පන මත ඇස්තමේන්තු කිරීම තුළින් හෝ සිදු කිරීමට වාරිමාර්ග තාක්ෂණ නිලධාරීන්ට හැකියාව ඇත.කෙසේ වුව ද, වැවක් යටතේ වගා කටයුතු ආරම්භ කිරීමට නම්, එම වැව අවම වශයෙන් පැවතිය යුතු ජල උසක් පවතින අතර, මෙම ජල අස ‘අවම ක්‍රියාකාරී මට්ටම’ ලෙස නම් කෙරේ. මෙම අගය වැවෙන් වැවට වෙනස් වන අතර ම, වැව් ජල තුලනයක් මගින් ගණනය කිරීමට හැකියාව ඇති සේම, දිගු කාලීනව අත්දැකීම් මගින් මෙම අගය තීරණය කිරීමට ගොවීන්ට ද හැකියාව ඇත.
ග්‍රාමීය වැව් යටතේ මාස් කන්නයේදී වී වගාව සඳහා බිම් සැකසීමට අවශ්‍ය ජලය ඔක්තෝබර්, නොවැම්බර් මාසවල පවතින අන්තර් මෝසම් වැසි වලින් අපේක්ෂා කරන අතර, ඒ සඳහා වැවෙන් ජලය නිකුත් කිරීමක් අපේක්ෂා නොකෙරේ. සෑම වාරිමාර්ගයක් යටතේම වගා බිම් අවම වශයෙන් ප්‍රධාන කොටස් තුනකය බෙදා හඳුනා ටගන තිබීම වැදගත් වේ.
- දුර්වල ජල වහන බිම් – වර්ෂයේ සෑම කාලයකදී ම භූගත ජල මට්ටම මතුපිට සිට අඩි තුනක පාංශු ගැඹුරක් තුළ පැවතීම.
- අර්ධ ජල වහන බිම් – වැඩි වර්ෂාවක් පවතින කාලවලදී ජල මට්ටම මතුපිට සිට අඩි 03ක සීමාවට පැමිණෙන අතර, වර්ෂාව අඩු හෝ වැසි නොමැති කාලවලදී භූගත ජල මට්ටම පසේ මතුපිට සිට අඩි 03කට වඩා ගැඹුරින් පිහිටීම.
- හොඳින් ජල වහන බිම් – වර්ෂයේ සෑම වකවානුවකදීම භූගත ජල මට්ටම පසේ මතුපිට සිට අඩි 03කට වඩා වැඩි ගැඹුරින් පිහිටීම. දුර්වල ජල වහන බිම් ඕනෑම වගා කන්නයකදී වී වගාව සඳහා පමණක් සුදුසු වන අතර, අර්ධ ජලවහන බිම් මහ කන්නයේදී වී වගාව සඳහාත්, වර්ෂාව අඩු කන්නයකදී මිරිස්, සෝයා, කව්පි ආදී අතුරු බෝග වගාවන් සඳහාත් යොදා ගැනීම සුදුසුය.
හොඳින් ජල වහනය වන බිම් ගම්බද වැව්වල ගොඩ සොරොව් යටතේ කලාතුරකින් පැවතිය හැකි අතර, ඕනෑම කන්නයකදී අතුරු බෝග වගාව සඳහා මෙම බිම් යොදා ගත හැකි වේ. ඉහත සඳහන් ඕනෑම බිමක සාර්ථකව වී වගා කළ හැකි වුව ද, ඒ සඳහා අවශ්‍ය වන අධික ජල ප්‍රමාණය සලකා සුළු වාරිමාර්ග යටතේ හොඳින් ජල වහනය වන බිම්වල වී වගාව නිර්දේශ නොකරන බව අවබෝධ කර ගත යුතුවේ.
වියළි කලාපයේ ග්‍රාමීය වැව් ආශ්‍රිතව පවතින ප්‍රධාන පාංශු විශේෂ 02කි.
- සුළු දිය වහනතා පස – Low humic glay
- රතු දුඹුරු පස – Reddosh brown soils
1. සුළු දිය වහනතා පස
වියළි කලාපයේ දුර්වල ජල වහනයකින් යුත් මෙම පස මැටි ප්‍රමාණය අධික පසක් වන අතර, බොහෝ විට පහත් මිටියාවත් වල දක්නට ඇත. කලු වර්ණයෙන් යුත් මෙම පස වී ශාඛයේ මූල පද්ධතිය සඳහා හොඳ වාතාශ්‍රයක් නොසපයන අතර, මෙහි ඇති වැලි, මැටි අනුපාතය (වයනය) සැලකිල්ලට ගනිමින් ප්‍රධාන කොටස් තුනකට බෙදා ගැනීම ප්‍රයෝජනවත් වේ.
- සියුම් වයනය /Fine Texture – වැඩි මැටි ප්‍රමාණයක් සහිත මෙම පස, අතේ ඇඟිලි දෙකකින් රිබන් පටියක් සැදීමේදී අඟල් දෙකකට වඩා වැඩි දුරකට පාංශු රිබන් පටිය දික්වනු ඇත.
- මධ්‍යම වයනය / Mediaum Texture – මධ්‍යම ප්‍රමාණයේ මැටි සහිත මෙම පස් වර්ගය යොදා ගනිමින් රිබන් පටියක් සෑදීමේදී අඟල් 1-2 අතර දිගකට එම පටිය දික්වනු ඇත.
- රළු වයනය / Coarse Texture- වැඩි ප්‍රමාණයක් වැලි සහිත මෙම පාංශු කණ්ඩය පිරිමැදීමේදී වැලි කැටි අතට හසුවන අතර, පාංශු රිබන් පටියේ දිග අඟලකට ආසන්න වනු ඇත.
-
රතු දුඹුරු පස
ශාක මුල් සඳහා මනා වාතාශ්‍රයක් සපයන මෙම පස අතිරේක බෝග වගාවන් සඳහා නිර්දේශ කරනු ලැබේ. රසායනික පොහොර යෙදීමෙන් වැඩි අස්වැන්නක් අපේක්ෂා කළ හැකි මෙම පසේ සාර්ථකව වී වගා කළ හැකි වුව ද, ඒ සඳහා අධික ජල ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින්, බොහෝ විට කුඩා වැව් යටතේ වී වගාව සඳහා බිම් හඳුනා ගැනීමේදී අඩු ප්‍රමුඛතාවයක් ලබා දේ.
රතු දුඹුරු පසේ වුව ද, ඉහත සඳහන් කළ සුළු දිය වහනතා පස මෙන් වයනය අනුව කාණ්ඩ තුනකට වර්ගීකරණය කර හඳුනා ගැනීම ප්‍රයෝජනවත් වේ.
මහ කන්නයේදී ග්‍රාමීය වැවක් යටතේ වගා බිම් ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ ඉදිරියේදී ඇති වන වැසි අපේක්ෂාවෙන් වන අතර, කන්නය අවසානයේදී යම් ජල ප්‍රමාණයක් වැවේ ඉතිරිව පැවතීම යල කන්නයේ වගාවන් සඳහා මෙන් ම, මිනිසා ඇතුළු අනෙකුත් සතුන් හා ශාකවල පාරිභෝජනය සඳහා අතිෂයින් ප්‍රයෝජනවත් වේ. එසේම මාස් කන්නයේ දී ඇතිවන වැසි ඵල අඩුවීමෙන් කුඹුරු මැරී යාමේ අවදානම අඩුකර ගැනීම ද මෙම උපාය මාර්ගය ප්‍රයෝජනවත් වනු ඇත.
යල කන්නයේදී විශේෂිත තත්ත්වයක් යටතේ නොවේ නම්, වියළි කලාපීය වැවක් යටතේ වගා කරන අක්කර ප්‍රමාණය මහ කන්නයේ වගා කළ බිම් ප්‍රමාණයෙන් උපරිම වශයෙන් 40%කි. එහෙත් IL – Ia පහත රට අන්තර් කලාපයේ (උදාහරණ ලෙස වාරියපොළ) යල කන්නයේ දී ද පැතිරුණු වැස්සක් පැවතීම නිසා බොහෝ විට මහ කන්නයේ වගා කළ බිම් ප්‍රමාණය ම යල කන්නයේදීත් වගා කිරීමට හැකියාව ලැබෙන ඇත.
කෙසේ වුව ද ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ විශාලතම බිම් ප්‍රමාණයක් නියෝජනය කරන DL -1 පහත රට වියළි කලාපීය කෘෂි පාරිසරික කලාපයේ පිහිටි වැව්වල යල කන්නයේදී වගා කළ හැකි බිම් ප්‍රමාණය තීරණය කරනුයේ වගා කන්න රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී වැවේ ඇති ජල පරිමාව සැලකිල්ලට ගැනීමෙන් පසුවය.
ඉදිරි ලිපිය – වැවේ පවතින ජල පරිමාව තීරණය කිරීම –
උපුටා ගැනීම – ද.දි. ප්‍රභාත් විතාරණ, වගා කන්න රැස්වීම් හා සුළු වාරිමාර්ග නඩත්තුව, පිටුව 1-4, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව,