කිරිගව පාලනය – ඔබ දැනගත යුතුම කතාව

සත්ත්ව පාලනය ඇත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවති බවට සාක්ෂි පවතින අතර මෙය ව්‍යාපාරයක් ලෙස විකාශනය වූ ආකාරය මදක් විමසා බලමු. මිනිසා සහ සතුන් අතර සම්බන්ධතාව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා පැතිර යන්නකි. මෙම සම්බන්ධතාව යුග කිහිපයක් තුළ විකාශය වී ඇත.

දඩයම් යුගයේ දී විවිධ උපක්‍රම යොදා ගනිමින් වන සතුන් දඩයම් කර ආහාර සඳහා යොදා ගන්නා ලදි. එඩේර යුගය තුළ දී වන සතුන් සීමිත වර්ග ගණනක් හීලෑ කරගෙන ඇති දැඩි කර, තම අවශ්‍යතා සඳහා යොදා ගෙන ඇත. අනතුරුව එළඹුණු කෘෂිකාර්මික යුගය තුළදී මිනිසා තම ආහාරයට හා වෙනත් අවශ්‍යතා සඳහා ගවයින් සහ වෙනත් ගොවිපොළ සතුන් සීමිත සංඛ්‍යාවක් ගෘහාශ්‍රිත ව ඇති කිරීම ආරම්භ කර ඇත. මේ සඳහා සතුන් හීලෑ කර ගැනීම ගෘහස්තකරණය (ෘදපැිඑසජ්එසදබ) ලෙස හැඳින්වේ.
වර්තමානයේ බොහෝ රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය අංශයන්, පෞද්ගලික අංශයත් විසින් විශේෂිතකරණය වූ සත්ත්ව ගොවිපොළ, ව්‍යාපාරයක් ලෙස සාර්ථකව පවත්වා ගෙන යනු ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් එළගව, මී ගව, කුකුළු, එළු හා ඌරු යන සත්ත්ව විශේෂ ඇති කරනු ලැබේ. එම සත්ත්ව විශේෂ වලට අමතර ව බැටළුවන්, හාවුන්, තාරාවන්, කළුකුම් හා වටුවන් ද සුළු වශයෙන් ඇති කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ එළගව පාලනය හා මී ගව පාලනය ප්‍රධාන වශයෙන් කිරි නිෂ්පාදනය ඉලක්ක කොට සිදු කරනු ලබයි. ඒ අනුව එළකිරි, මී කිරී හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වන මුදවපු කිරි, චීස්, බටර්, අයිස්ක්‍රීම්, යෝගට්, කිරිපිට් හා රසකල කිරී ආදී නිෂ්පාදන රැසක් වෙළඳපොළ තුළ දක්නට ලැබේ. එයට අමතරව ශ්‍රමය සඳහා මී ගවයින් හා එළ ගවයින් ඇති කිරීම ගොවි ජනාවාස ආශ්‍රිතව සිදු කෙරේ.

ගොවිපොළ සතුන් තේරීම

ගොවිපළ සඳහා සතුන් තේරී‌මේ දී විවිධ ලක්ෂණ සලකා බැලීම සිදු වේ. මෙහි දී ප්‍රධාන වශයෙන් සත්ත්ව වර්ගීකරණය භාවිතා කිරීම වැදගත් වේ. ගොවිපළ සතුන් ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරනය කළ හැකිය.

  1. සම්භවය හෙවත් මුල් උපත සිදු වූ රට අනුව ‍
  2. ප්‍රයෝජන අනුව

මේ අනුව ගවයින් වර්ගීකරණය පිළිබඳව විමසා බලමු.

ගවයින් සම්භවය වූ රට අනුව, කාණ්ඩ දෙකකට වෙන්කළ හැකිය.

  1. යුරෝපීය ගව වර්ග
  2. ඉන්දීය ගව වර්ග

‍මෙම ගව වර්ග පෙන්නුම් කරන විශේෂ ලක්ෂණ අනුව එම කාණ්ඩ දෙක වෙන්කොට හඳුනාගත හැකි ය.

ළ ගවයින්ගෙන් ලබාගන්නා ප්‍රයෝජන අනුව ඔවුන් නැවත වර්ගීකරණය කළ හැකි ය.

  • කිරි ලබා ගැනීම සඳහා – උදා : ජර්සි ‍, ප්‍රිෂියර්. අයර්ෂයර්, සින්දි, සහිවාල්
  • මස් ලබා ගැනීම සඳහා – උදා : හෙරිෆඩ්, බීෆ් මාස්ටර්, ඇබඩින් ඇන්ගස්
  • ශ්‍රමය/ බර වැඩ සඳහා – උදා : කිලාරි, කාන්ගායම්, හරියානා

මස් ලබා ගැනීම සඳහා පමණක් වෙන් වූ ගවයන් ශ්‍රී ලංකාවේ ඇති කිරීම සිදු නොකරන අතර උතුරු හා දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හා යුරෝපිය රටවල මස් සඳහාම ද ගවයන් ඇති කිරීම සිදු කරනු ලබයි.

එළගව වර්ග

ලංකාවේ කිරි නිෂ්පාදනය සඳහා ඇති කරනු ලබන දේශීය, යුරෝපීය සහ ඉන්දීය ගව වර්ග වන්නේ, ප්‍රිෂියර්, ජර්සි, අයර්ෂයර්, AMZ, සහිවාල්, AFS, සින්දි, AMX ආදී සත්ත්ව වර්ග වේ.

යුරෝපීය ගව වර්ග

  • ප්‍රිෂියර් (Friesian)

කිරි සඳහා ඇති කරන සතුන් අතරින් ඉහළ ම කිරි නිෂ්පාදනයක් ලබා දෙන වර්ගය ප්‍රිෂියර් ලෙස සැලකේ. යුරෝපීය ගව වර්ගයක් වන මොවුන්ගේ සම්භවය නෙදර්ලන්තයයි. ශරීරය සුදු පුල්ලි සහිත ය. අං දිගය. ශරීර ප්‍රමාණය විශාල ය. පරිණත පිරිමි සතෙකුගේ දේහ බර 900 – 1100 kg පමණ වන අතර ගැහැනු සතෙකු 550 – 650kgක් පමණ වේ. එක් මුරයකදී නිපදවන කිරි ප්‍රමාණය ලීටර් 6000 – 7000ක් පමණ වන අතර අඩංගු කිරි වල මේද ප්‍රතිශතය 3.5 – 4.0 % පමණ වේ. මෙම සතුන් ශීත දේශගුණයට වඩාත් සුදුසු ය. ඒ බැවින් ලංකාවේ උඩරට තෙත් කලාපයට වඩාත් යෝග්‍ය ය. දේශීය ගවයන් හා අභිජනනය කිරීමෙන් උසස් දෙමුහුන් සතුන් ලබා ගත හැකි ය.

අයර්ෂයර් (Ayrshire)

කිරි ලබා ගැනීම සඳහා යොදා ගන්නා යුරෝපීය ගව වර්ගයකි. බ්‍රිතාන්‍යයේ අයර්ෂයර් හි සම්භවය සිදු වී ඇත. රතු හෝ දුඹුරු පුල්ලි සහිතය. සුදු පැහැති ශරීරයකින් යුක්ත ය. නමුත් තද දුඹුරු හෝ සුදු පැහැති ගවයන් ද ඇත. අං දිගය. ශරීරය මධ්‍යම ප්‍රමාණයේ වන අතර පිරිමි සතකු 800 – 900  kgක් වන අතර ගැහැණු සතෙකු 600 – 700 kgක් පමණ වේ. එක් මුරයක දී නිපදවනකිරි ප්‍රමාණය ලීටර් 4500 – 6000 පමණ වන අතර කිරි වල අඩංගු මේද ප්‍රතිශතය 4% පමණ වේ. ශ්‍රී ලංකාවේ උඩරට තෙත් කලාපය මෙම සතුන් ඇති කිරීමට වඩාත් යෝග්‍ය වේ.

ජර්සි (Jersey)

යුරෝපය අවට ජර්සි දූපත ජන්ම භූමිය වන අතර කිරි ලබා ගැනීම සඳහා මෙම සතුන් ඇති කරනු ලබයි. ශරීර වර්ණය දුඹුරු හෝ තඹ හෝ අළු පැහැති විය හැකි ය. පිරිමි සතාට සාපේක්ෂ ව ගැහැණු සතා ලා පැහැති ය. හොම්බ කළු පාටය. ශරීරය ප්‍රමාණයෙන් කුඩා ය. පරිණත පිරිමි සතෙකුගේ බර 500 – 600 kgක් වන අතර ගැහැණු සතෙකු 400 බ- 500 kgක් පමණ වේ. මෙම සතුන්ගේ අං උල් වී ඉදිරියට නැමී ඇත. ඇස් ඉදිරියට නෙරා ඇත. එක් මුරයකදී නිපදවන කිරි ප්‍රමාණය ලීටර් 4000 – 4500ක් පමණ වන අතර කිරිවල අඩංගු මේද ප්‍රතිශතය 4.5 – 5.4 % ක් පමණ වේ. රෝග සඳහා ඔරොත්තු දේ. මෙම නඩත්තුව පහසුය. උඩරට හා මැදරට තෙත් කලාපවලට යෝග්‍ය වේ. යුරෝපීය එළ වර්ග අතරින් කටුක පරිසරවලට ඔරොත්තු දීමේ හැකියාවක් මොවුන් සතුව පවතියි.

ඉන්දීය ගව වර්ග

  • සහිවාල් (Sahiwal)

පාකිස්ථානයේ සම්භවය ලබා ඇති මෙම සතුන් කිරි ලබා ගැනීම සඳහා ඇති කරනු ලබන ගව වර්ගයකි. විශාල ශරීරයකින් යුතු වන අතර ලා රතු දුඹුරු වර්ණ ගනියි. පරිණත පිරිමි සතෙකුගේ බර 500 600 kg ක් වන අතර ගැහැණු සතෙකුගේ බර 400 – 450 kgක් පමණ වේ. එක් මුරයක දී    නිපදවන කිරි ප්‍රමාණය ලීටර් 2000 – 2500ක් වන අතර කිරිවල අඩංගු මේද ප්‍රතිශතය 4.5% කි. මොල්ලියක් හා එල්ලා වැටෙන තැල්ලක් ඇත. රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති මෙම සතුන් වියළි කලාපයේ ද මැදරට හා පහතරට වියළි ප්‍රදේශවල ද හොඳින් වැඩේ.

  • රතු සින්දි (Red Sindhi)

පාකිස්ථානයේ කරච්චි ප්‍රදේශයේ සම්භවය ලබා ඇති ඉන්දීය ගව වර්ගයකි. ශරීර වර්ණය රතු හෝ දුඹුරු පැහැති ය. ද්විකාර (කිරි හා ශ්‍රමය සදහා) සත්ත්ව වර්ගයකි. ශරීරයේ මධ්‍යම ප්‍රමාණයේ වන අතර පරිණත පිරිමි සතෙකු 450 – 500 kgක් වන අතර ගැහැණු සතෙකු 300 – 350 kgක් අතර වේ. කිරි සඳහා ඇති කරන මෙම සතුන් ඒක් මුරයක දී නිපදවන කිරි ප්‍රමාණය ලීටර් 2000ක් වන අතර කිරිවල මේද ප්‍රතිශතය 4.5 – 5.0% කි. මොල්ලිය විශාලය. පාරිශ්විකව දිගු වක් වූ අං ඇත. කන් විශාලය. විවිධ පැාරිසරික තත්ත්ව යටතේ මෙම සතුන් ඇති කළ හැකි අතර ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ඇති කිරීම සඳහා නිර්දේශ කරනු ලැබේ.

දේශීය ගව වර්ග

මෙරට උපත ලද කුඩා ගව වර්ගයකි. බටු හරක් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ දී හඳුන්වන්නේ දේශීය ගව වර්ගය ලෙසයි. මෙරට සෑම ප්‍රදේශයක ම දැකිය හැකි වුව ද වැඩි වශයෙන් ම දැකිය හැක්කේ වියළි කලාපයේ ස්වභාවික තෘණ භූමිවල ය. මෙම සතුන් කටුන පරිසර වලට හොඳින් ඔරොත්තු දේ. අඩු පහසුකම් යටතේ වුවද මනාව වර්ධනය වේ. ශරීර වර්ණය කළු හෝ රතු වේ. සුදු පැහැති පුල්ලි දක්නට ඇත. පරිණත පිරිමි සතකු 200 – 300 kg ක් පමණ ද ගැහැණු සතෙකු 150 – 300 kg පමණ ද බර වේ. එක් මුරයකදී කිරි ලීටර් 600 – 700ක් පමණ ගත හැකිය. කිරි හා මස් ලබා ගැනීමට මෙන්ම බර ඇදීම, සී සෑම ආදී කටයුතු සඳහා ද යෝග්‍ය ය. උසස් ගව වරිඟ දෙමුහුම් කිරීමෙන් දේශීය සතුන් වැඩි දියුණු කළ හැකිය.

දෙමුහුම් එළගව වර්ග

  • ඔස්ට්‍රේලියානු මිල්කින් සීබු (AMZ) Australian Milking Zebu

ජර්සි ගව වරිගය පාකිස්ථානයේ සහිවාල් හෝ හෝ සින්දි වරිගයක් සමඟ අභිජනනය කිරීමෙන් ලැබුණු දෙමුහුමකි. ශරීර වර්ණය රන්වන් පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා වේ. ප්‍රමාණයෙන් කුඩාය. ඒක් මුරයකදී නිපදවන කිරි ප්‍රමාණය ලීටර් 3000ක් පමණ වේ. මොල්ලියක් නැත. තැල්ලක් හා සිනිදු සමක් ඇත. වියළි කලාපයේ, මැදරට හා පහතරට තෙත් කලාපයේ හා පොල් ත්‍රිකෝණයේ ඇති කරනු ලබයි.

මී ගව වර්ග

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සඳහා ඇති කරනු ලබන්නේ ඉන්දීය සම්භවයක් සහික මී ගව වරිග වේ. මී ගවයන් වර්ගීකරණයේ දී සම්භවය අනුව වර්ග කළ හැක්කේ දේශීය මී ගවයිනන් හා විදේශීය මී ගවයින් ලෙසයි.

  • දේශීය – උදාහරණ – දේශීය මී ගවයා
  • විදේශීය – උදාහරණ – මූරා, සූර්ති, නිලිරවි

මී ගවයන් ගන්නා ප්‍රයෝජන අනුව වර්ගීකරණය කරන විට කිරි ලබා ගැනීමට හා කෘෂි කාර්මික කටයුතු සඳහා යනුවෙන් වර්ගීකරණය කෙරේ. ඒ් අනුව පහත සඳහන් වර්ග උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. (කිරි ලබා ගැනීම සඳහා – මූරා, සූර්ති, නිලරවි – ශ්‍රමය/ ද්විකාර්ය සඳහා – දේශීය මී ගවයින්)

  • මූරා (MURRAH)

පන්ජාබ් හා දිල්ලි ප්‍රදේශවල සම්බවය වූ වර්ගයකි. තද කළු පැහැයක් ගන්නා හොඳින් සැකසුනු දේහයක් සහිත ය. රැළි ගැසුණු අං කෙටිය. පසු පසට, උඩට හා ඉදිරියට නැවී ඇත. කිරි නිපදවිමේ දක්ෂයෝ ය. මුරයකදී කිරි ලීටර් 1200 – 2200ක් නිපදවයි. කිරිවල මේද ප්‍රතිශතය 7% කි. පිරිමි සතා 600 – 700 kg ක් ද ගැහැණු සතා 500 – 600 kgක් පමණ ද බරය.

  • සූර්ති (Surti)

පංජාබයේ සූර්ති ප්‍රදේශයේ සම්භවය සිදුවී ඇත. දුඹුරු පැහැති අළු වර්ණයක් ඇත. අං දෑ කැත්තක හැඩය ගනියි. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකි. එක් මුරයකදී කිරි ලීටර් 1300 – 1400ක් පමණ නිපදවයි. කිරිවල මේද ප්‍රතිශතය 7- 7.5% පමණ වේ. පිරිමි සතා 550 – 600 kg ක් ද ගැහැණු සතා 400 – 500 kgක් ද පමණ බරය.

  • නිලිරවි (Niliravi)

සම්භවය ඉන්දියාවේ හා පාකිස්ථානයේ සිදු වී ඇත. මධ්‍යම ප්‍රමාණයේ ගැඹුරු ශරීරයක් ඇත. අං දඟර ගැසී ඇත. බුරුල්ල හොඳින් වර්ධනය වී ඇත. වලිඟය දිගය. බිම ගෑවේ. ශරීරය කළු හෝ දුඹුරු පැහැති ය. නළල, වලිඟය කෙළවර හා පාද කෙළවර සුදු පැහැති ය. ඇස් දීප්තිමත් ය. මුරයකදී කිරි ලීටර් 2000ක් පමණ ලබා දේ. කිරිවල අඩංගු මේද ප්‍රතිශතය 7 – 7.5% පමණ වේ. පිරිමි සතා 600 – 700 kg ක්ද ගැහැණු සතා 450 – 550 kg ක් ද පමණ බර ය.

  • දේශීය මී ගවයා ( Local Buffalo)

ශ්‍රී ලංකාවේ සිටින දේශිය මී ගවයා වගුරු මී ගවයා ලෙස ද හඳුන්වන ලැබේ. ශරීරය කලු හෝ දුඹුරු හෝ අළු වර්ණයක් ගනියි. අං හොඳින් වැඩී ඇත. තියුණු ය. අංවල පිහිටීම විවිධය. ඍතුමය අභිජනන රටාවක් පෙන්නුම් කරයි. මද ලක්ෂණ හඳුනා ගැනීම අපහසුය. කිරි නිෂ්පාදනය අඩු ය.

ශ්‍රී ලංකාවේ ගව පාලන කලාප හා නිර්දේශිත ගව වර්ග

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ දේශගුණික තත්ත්ව පවතින අතර පරිසර උෂ්ණත්වය, වර්ෂාපතනය, සාපේක්ෂ ආර්ද්‍රතාව වැනි සාධකවල විවිධත්වයක් පවතියි. මෙම වෙනස්කම් ඇති වනුයේ මුහුදු මට්ටමේ සිට එම ප්‍රදේශ පිහිටා ඇති උස අනුවය. ඒ අනුව ගව පාලන කලාප ලෙස ශ්‍රී ලංකාවේ විශේෂික කලාප හයක් සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඇත. ඒම කලාප පහත දැක්වේ.

  1. උඩරට කලාප
  2. මැදරට කලාප
  3. පහතරට තෙත් කලාප
  4. පොල් ත්‍රිකෝණය
  5. යාපන අර්ධද්වීපය

උඩරට කලාපය

මුහුදු මට්ටමේ සිට මීටර් 100ට වැඩි උසකින් පිහිටා ඇත. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 -24 පමණ වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000 mm ට වැඩිය. ආර්ද්‍රතාව 58% – 75% පමණ වේ. මෙම කලාපයේ ප්‍රිෂියර්, ජර්සි, අයර්ෂයර්. වැනි පිරිසිදු යුරෝපීය ගව වර්ග (100% යුරෝපීය රුධිරය සහිත) ඇති කිරීමේ හැකියාව ඇත. ‍

මැදරට කලාපය

මුහුදු මට්ටමේ සිට මීටර් 300 – 1000 අතර උසක පැතිරී ඇත. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 – 31ක් පමණ වේ. වාර්ෂික වර්ෂාපතනය 1800 – 2500 mm වන අතර සාපේක්ෂ ආර්ද්‍රතාව 65 -75% පමණ වේ. මෙම කලාපයේ සූක්ෂ්ම ත්‍රමය යටතේ ජර්සි, අයර්ෂයර් වැනි පිරිසිදු යුරෝපීය වර්ග ඇති කළ හැකි අතර අඩ සියුම් ක්‍රමය යටතේ AFS/AMZ වැනි 50% යුරෝපීය රුධිරය ඇති දෙමුහුන් ගව වර්ග ඇති තළ හැකිය.

පහතරට තෙත් කලාපය

මුහුදු මට්ටමේ සිට මීටර් 300 අඩු උසක පැතිරී ඇත. වාර්ෂික වර්ෂාපතනය 2500 mm ට වැඩි ය. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 – 35 අතර වේ. සාපේක්ෂ ආර්ද්‍රතාව 75% – 80% පමණ වේ. මෙම කලාපයේ සූක්ෂම ක්‍රමය යටතේ ජර්සි වැනි පිරිසුදු යුරෝපීය ගව වර්ග ඇති කළ හැකි වුව ද වඩා සුදුසු වන්නේ AMZ ,AFS වැනි 50% යුරෝපීය රුධිරය සහිත දෙමුහුම් වර්ග ය. සහිවාල්, සින්දි ආදී පිරිසුදු ඉන්දීය වර්ග පහසුවෙන් ඇති කළ හැකිය.

පහතරට වියළි කලාපය

මුහුදු මට්ටමේ සිට මීටර් 300 දක්වා පැතිරී ඇත. වියළි කලාපයේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 – 32 වන අතර වාර්ෂික වර්ෂාපතනය 1878 mm ට වඩා අඩු ය. සාපේක්ෂ ආර්ද්‍රතාව 70% – 85% පමණ වේ. ඒකාකාරව පැතිරී ගිය වර්ෂාපතනයක් නොමැති අතර තද වියළි කාලගුණය සහිත කාල ඇත. සින්දි හා සහිවාල් වැනි පිරිසිදු ඉන්දීය ගව වර්ග මෙහි හොඳින් ඇති කළ හැකිය. 50% යුරෝපීය රුධිරය සහිත AFS, AMZ වැනි වර්ග අර්ධ සූක්ෂ්ම ක්‍රම යටතේ ඇති කළ හැකි අතර, දියුණු නිවාස ක්‍රම යටතේ 75% පමණ යුරෝපීය රුධිරය ඇති ජර්සි සතුන් ඇති කළ හැකි ය.

පොල් ත්‍රිකෝණය

කුරුණැගල, හලාවත සහ කොළඹ අතර ප්‍රදේශය පොල් ත්‍රිකෝණය ලෙස සැලකේ. මුහුදු මට්ටමේ සිට මීටර් 450 දක්වා උස් ප්‍රදේශ අයත් වේ. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 24- 36 වන අතර වාර්ෂික වර්සාපතනය 1200 – 4000 mm  අතර ප්‍රමාණයක් වේ. සාපේක්ෂ ආර්ද්‍රතාව 60% – 80% පමණ වේ. සූක්ෂ්ම ක්‍රමය යටතේ 75% -100% යුරෝපීය රුධිරය සහිත ජර්සි සතුන් ඇති කළ හැකි අතර අර්ධ සූක්ෂ්ම ක්‍රම යටතේ AFS, AMZ වැනි 50% දෙමුහුම් වර්ග හොදින් ඇති කළ හැකිය. එමෙන් ම සහිවාල්, සින්දි පිරිසිදු ඉන්දීය ගව වරිග හොඳින් ඇති කළ හැකිය.

මූලාශ්‍රය – කෘෂි හා ආහාර තාක්ෂණය – අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *