බුලත් වගාවේ පීදුණු අතු තරහ වෙලාද ?

ගොඩක් බුලත් වවන ගොවීන්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි බුලත් වැළෙහි අතු නොපීදීම. ඒ නිසා මුදල් වියදම් කරල බුලත් වවන ගොවීන් පත්වෙන්නෙ ලොකු අපහසුතාවකට. බුලත් අතු පීදෙන්නෙ නෑ කියන්නෙ බුලත් වැලෙහි හරස් අතු හැදෙන්නෙ නැහැයි කියන එක. හරස් අතු නෑ කියන්නෙ පීදුනු කොළ හැදෙන්නෙ නැහැ කියන එක.

බුලත් වැලක් පීදෙන්නෙ නැහැ කියන්නෙ බුලත් අස්වැන්න හොඳටම අඩ ුවෙන සිද්ධියක්. එතකොට අස්වැන්න විදිහට නෙළන්න තියෙන්නෙ කඳ කොළ විතරයි. මේ නිසා ගොඩක් බුලත් ගොවීන් මේ ප්‍රශ්නයට මූහුණ දෙන්න විදිහක් නැතිව පීඩාවට පත්වෙනව. කාගෙන් ඇහැව්වත් නිවැරැදි පිළිතුරක් ලැබෙන්නෙත් නැහැ. මෙහෙම වුණාම සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් බුලත් වවන ගොවීන් කරන්නෙ බුලත් වැල් කප්පාදු කරන එක. ඒත් වැල් කප්පාදු කළත් හරස් අතු හැදෙන්න නැති අවස්ථාත් තියෙනව. එතකොට ආයෙත් ගොවි මහත්වරුන් ලොකු අමාරුවක වැටෙනවා.

  • බුලත් වැල් නොපීදීම කාරණා කිහිපයක්ම නිසා වෙන්න පුළුවන්.
  • අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සෙවනක් යටතේ බුලත් වගා කිරීම.
  • අවශ්‍ය ප්‍රමාණයට ක්ෂුද්‍ර පොහොර ප්‍රමාණයන් නොලැබීම
  • අලුතෙන් පැළ කර ගැනීමට තරම් සුදුසු නොවන බුලත් දඬු වලින් නැවත පැළ කරගෙන තිබීම.

මුල් කාරණා දෙකම බුලත් වගාවේ බාහිර සාධකයන් ලෙස සලකන්න පුළුවන්. එහෙත් තුන්වන කාරණාව බුලත් වැලෙහි අභ්‍යන්තර සාධකයක්. ඒ කියන්නේ පැළ කිරීමට ගත් දඬු කැබැල්ල අයත් බුලත් වැළට ආවේනික ලක්ෂණයක්. සමහර විට එවැනි ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යන්න පුළුවන්. එහෙත් එවැනි ලක්ෂණ පූර්වයෙන් හඳුනාගෙන ඒවා පැළ කිරීම සදහා නොගෙන සිටීමට  හැකියාවක් නැහැ. එනිසා එවැනි වැල් වලින් ලබාගත් දඬු වලින් පැළ කරගත් ඒවා නොපීදේ නම් ඉන් අනතුරුව එම වැළෙන් පැළ කිරීම සඳහා දඬු නොගත යුතුයි.

ඕනෑම ශාඛයක් එහි අභ්‍යන්තරයේ අඩංගු රසායනිකයක් නිසා සූර්යාලෝකය සොයාගෙන ඉහළට ගමන් කිරීම එම ශාඛයේ ලාක්ෂණිකයක්. බුලත් වැලෙහි අඩංගු ඔක්සින් නම් හෝමෝනය නිසා ද බුලත් වැල නිරත්තරයෙන් ඉහළට ගමන් කරමින් සූර්යා ලෝකය කරා ඉහළට ඇදෙනවා. බුලත් වගාව සඳහා සාමාන්‍යයෙන් 30%-40%ක පමණ සෙවනක් අවශ්‍ය වුවත් ඊට වඩා සෙවන ඇති පරිසරයක දී බුලත් වැළ හිරු එළිය සොයමින් වඩා සීඝ්‍රයෙන් ඉහළට ගමන් කරන්නේ ඔක්සින් හෝමෝනය සක්‍රීය වීමෙන්. මේ නිසා එහි අතු බෙදීමට හේතුවන සයිටොකිනින්ස් නම් හෝමෝනයේ සක්‍රියතාව හීනවීමෙන් අතු බෙදීම සිදුනොවී වැළ ඉහළට ගමන් කරනවා. බුලත් වැළ පීදෙන්නෙ නැතැයි ගොවීන් චෝදනා කරමින් කණස්සළු වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදීයි.

ඕනෑම ශාඛයක සෛල බෙදීමට හේතුවන්නේ සයිටෝකින් නම් හෝමෝනයයි. සයිටොකින් හා ඔක්සින් හෝමෝනයන්ගේ සක්‍රියතාව සඳහා ශාඛයට ලැබෙන ක්ෂුද්‍ර පොහොර මට්ටම බලපානවා. ඒ නිසා බුලත් ගොවීන් තම වගාවට යොදන පොහොරවල අඩංගුව ගැන සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය කරුණක්.

බුලත් වගාවේ අතු බෙදීම හෙවත් පීදුනු තත්ත්වය ඇතිවීමට නම් ප්‍රමාණවත් සෙවන මට්ටම නොඉක්මවන පරිසරයක වගාව කළ යුතුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙවන 30%-40%ක මට්ටම නොඉක්මවන්නට ගොවීන් උනන්දු විය යුතුයි. එසේම බුලත් වැළ අතු නොබෙදී ඉහළටම ගමන් කරන්නේ නම් අග්‍රස්ථ ප්‍රමුඛතාව රැ ්චසජ්ක ාදපසබ්බජැ අහෝසි කරවීම සඳහා බුලත් දල්ල කැඩිය යුතුයි. එවිට ඔක්සින් හෝමෝනයේ සක්‍රියතාව අහෝසි වී පාර්ශ්වික අංකුරයන්ගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීමෙන් හරස් අතු ඇතිවීමට ඇත්තේ ලොකු ඉඩකඩක්.

යම් බුලත් වගාවක පීදුනු තත්ත්වය ඇති නොවන්නේ නම් වගාව ඇති පරිසරයේ සෙවන තත්ත්වය අඩු කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. එසේම අග්‍රස්ථ ප්‍රමුඛතාව අවම කිරීම සදහා දල්ල කැඩීමත් කළ යුත්තක්. මේ උපායන් දෙකම අසාර්ථක නම් කළ යුත්තේ පොළොව මට්ටමේ සිට පුරුක් තුනක් ඉතුරු කර බුලත් වැළ කප්පාදු කිරීමයි. එවිට අලුතෙන් දළු ලා ඉහළට ඇදෙන බුලත් වැළ පීදීමට ඇත්තේ ලොකු ඉඩකඩක්. එසේම ක්ෂුද්‍ර පොහොර අඩංගු සත්ව මළ හෝ කොම්පොහොස්ට් හෝ වගාවට එකතු කිරීමත් සතුටුදායක ප්‍රථිපල ඇති කිරීමට හේතුවන්නක්.

මේ කිසිවක් කළ පසුව ද බුලත් වැළෙහි අතු නොබෙදේ නම් එම වැළ පැළ කිරීම සඳහා ලබා ගත් දඬු කැබැල්ල ලබා ගත් මව් ශාඛය පැළ සකස් කර ගැනීම සඳහා නුසුදුසු වූවක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එවිට කළ යුත්තේ එම මව් ශාඛයෙන් දඬු ලබාගෙන පැළ ලබා ගැනීමට සිටුවීමෙන් වැළකීමයි.

සටහන – කේ.ජී.පි. ශාන්ත, පර්යේෂණ හා සංවර්ධන සහකාර, සහකාර අධ්‍යක්ෂ කාර්යාලය/ කුරුණෑගල, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *