අතු බර වුණ ඵලබර අඹ ගසක සිහිනය සැබෑකර ගන්නේ කෙසේ ද ?

අද දවස වනවිට ස්වභාවික පලතුරු රසය තැවරුණු අඹ කෑල්ලක් කන්නට නම් අත්තටු ලැබ ගසක් මතට පියඹා යායුතු තැනකට අප පැමිණ සිටිමු. ගැට අඹ තොග පිටින් කඩාගෙන කාබයිඩ් හෝ වෙනත් රසායනිකයන් ඇසුරෙන් කහපාට ගන්වා වෙළඳසැල් පුරවා ඇති පසුබිමක, මිදුලේ ඇති අඹගස පල නොදරන්නේ යයි ඒ දෙස බලා සිටිනකු හූල්ලනවාද ඇසේ.

රට පුරා ඕනෑම පලාතකින් දින 365 පුරාවටම ගුණාත්මක තත්ත්වය කෙසේ වුවත් අඹ මිලදී ගත හැකිවී ඇත්තේ දිවයිනේ කොතැනක හෝ නිතිපතා අඹ ඵලගන්නා නිසාය. දිවයිනේ විවිධ කෘෂි දේශගුණික කලාප වලට ගැළපෙන අඹ ප්‍රභේද තිබෙන නිසා ඔබගේ ගෙවත්තේ ඇති අඹ ගස, ප්‍රභේදය අනුව නියම නවාතැනක සිටිනවා දැයි සැක සහිත වේ. එවැනි නොගැළපීමක් තිබෙන්නේ නම් ඇතැම් විට ඒ මගින් උපරිම අස්වැන්නක් නොදෙනවා වන්නටත් පුළුවන. එසේ වුවත් එය කිසිදා අඹ ගෙඩියක්වත් නොදෙන සෙවන ශාකයක් විය යුතු නොවේ.

බොහෝ විට එවන් තත්ත්වයන් උදාවී ඇත්තේ අප විසින්ම ගෙඩි හටගැනීමට අවශ්‍ය පරිසර තත්ත්වයන් නොසලකා හැරීම මගිනි. මෙසේ කරුණු ඉදිරිපත් කරමින් අප මේ උත්සාහ කරන්නේ ඔබගේ ගෙවත්තේ ඇති අඹගස, සෙවන ශාකයක් යන මායිමෙන් ඉවතට ගෙන ගොස් මිහිරි පලතුරක්, ඇතැම් විට අමතර ආදායමක් ඔබ වෙත ලබා දෙන තත්ත්වයට පත් කිරීමටයි. දියුණු රටවල තාක්ෂණයන් භාවිතා කරමින් ශ්‍රී ලංකාව තුළම මහා පරිමාණයෙන් කෙරෙන අඹ වගා ස්ථාපිතව තිබියදී, ගෙවත්තේ හුදකලාවූ අඹගස සෙවන ශාකයක් ලෙස කල්මැරිය යුතු නොවේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් කලකට ඉහතදී ගෙවත්තේ අයාලේ හැදුනු අඹගස් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹෙනුයේ මේ නිසාය. පුහුණු වැඩසටහන්, රුපවාහිනී ප්‍රචාරයන් ආදිය හරහා දැනුවත් කිරීම් සිදු කළ අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන්, විධිමත්ව පුහුණුකළ කණ්ඩායම් සඳහා කප්පාදු උපකරණ කට්ටල 700කට අධික ප්‍රමාණයක් බෙදා දීමට තරම් එකල මෙම වැඩසටහන ශක්තිමත් විය.

පසු විපරුමක් කර බැලූවිට අද වුවද පෙනෙන්නේ ඇතැම් ස්ථාන වලට අදාළ දැනුම හා පණිවිඩ නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බවයි. නැවතත් මේ පිළිබඳව අවධාරණය කල යුත්තේ මේ නිසාය. ප්‍රථමයෙන් පෙන්වාදිය යුත්තේ ගෙවතු වල ඇති බොහොමයක් අඹ ගස් කිසිදා කප්පාදුවකට හසු නොවී තම අභිමතය පරිදි අතු රිකිලි දමමින් වැඩුණු ශාක බවයි. ඒ හැම එකකම අනවශ්‍ය අතු ප්‍රමාණයක් තිබේ. ගෙවත්තේ ඇති අඹ ගසේ අප අත්තක් කපන්නේ, බොහෝ විට ගස හරහා ගෙඩි සාදවා ගැනීමේ බලාපොරොත්තුවෙන් නොව, වෙනත් අරමුණක් පෙරදැරිවය. අනවශ්‍ය අතු ප්‍රමාණයක් ගසේ රඳවාගෙන නම් ඔබට සාර්ථක අඹ ඵලදාවක් ලබන්නට බැරිවේවි.

වියළි කලාපයට යෝග්‍ය විලාඩ්, කර්තකොලොම්බන් වැනි ප්‍රභේදයන් වුවත්, තෙත් කලාපයට ගැළපෙන ගිරා අඹ, වෙල්ලෙකොලොම්බන් වැන්නක් වුවත් හොඳ ඵලදාවක් දෙන්නේ ගසේ කඳට හොඳින් හිරු එළිය පතනය වෙන තරමේ පත්‍ර කිරුළක් පවතින්නේනම් පමණි. ඒ නිසා වැඩි අතු ඉවත්කිරීම අනිවාර්යය සාධකයකි.

ගසක වර්ධනයට මෙන්ම ඵල දැරීමටත් හිරු එළිය අවැසි බව නොදන්නා කෙනෙක් නැත. එසේනම් මේ දැනුමින් ගෙවත්තේ ඇති අඹගස දෙසද ඔවුන් බැලිය යුතුය. අතු එකිනෙක අතිපිහිත වීමෙන් ඉහළ අතු වලින් පහළ අතු වලට සෙවන වැටීම නිසා පහළ අතු ආහාර නිපදවීමක් නොකර අලසව ජීවත් වන්නේ ගස නිපද වන ආහාර කොටසක් පරිභෝජනයද කරමින්ය.

එක්කෝ මෙම අතුවලට හිරුඑළිය ලැබෙන පරිදි ඒවා පරිසරයට නිරාවරණය කළ යුතුය. නැතහොත් ඒවා කපා ඉවත් කළ යුතුය. ගසෙහි තිබිය යුත්තේ හිරුඑලිය වැටෙන අතු වැඩි ප්‍රමාණයකි. මෙය හදිස්සියට ඕනෑවට එපාවට කළ හැකි දෙයක් නොවන බවනම් සිහිතබා ගැනීම වටී. කප්පාදු කලයුතු ගස වටා වාර දෙක තුනක් ඇවිදීමෙන් කැපිය යුතු අතු මොනවාදැයි ඔබටම හඳුනා ගන්නට පුළුවන. රෝගී අතු, හිරු එළිය නොවැටෙන අතු සියල්ල ඉවත් කළ යුතුය. මේ සඳහා භාවිතා කළ යුත්තේ කප්පාදු කියතක් මිස පිහියක් නම් නොවේ. අනෙක නම් ලෝබ නැතුව අත්ත ප්‍රධාන කඳට සවිවෙන තැනින්ම කපා දැමීමට ඔබ අවංක විය යුතුය.

ඇතැමුන් කඳේ ආරක්ෂාවටයි කියා අඟල් කීපයක් ඉතුරු කොට අතු කපා දැමූවිට සිදුවන්නේ එම කොටස කුණු වෙමින් කඳ දෙසට රෝගකාරකයන් ගමන් කිරීමයි. සෑදුනු තුවාලය මත එනැමල් තීන්ත හෝ රබර් ගස් මත ආලේප කරන රසායන ද්‍රව්‍ය හෝ තැවරිය හැකිය. මේ රෝග කාරකයන් අසාදනය වැළක්වීමටයි. දැන් ඉක්මනින් පොත්ත ලියලා තුවාලය වැසී යනු ඇත. තීන්ත වෙනුවට ඇතැමුන් දැවිතෙල් ආදිය ආලේප කරන අතර මෙය ඉතා අහිතකරය. තීන්ත භාවිතා කරන්නේ නම් තිනර් වැනි දෑ මිශ්‍ර කිරීමද නොකළ යුතුය.

තවත් කරුණක් කියනවා නම්, නිදහසේ අතු දමමින් ගසට වැඩෙන්නට ඉඩහැර, ගෙවත්තේ විශාල ගසක් නිර්මාණය කරගත්තා යයි සිතමු. ඔබට ලංවීමටවත් බැරි උසකින් සෑදෙන ගෙඩි වැඩි ප්‍රමාණයක් කන්නේ සතුන් විසිනි. මුළු ඵලදාවම එකවර පැසෙන්නේ නැති නිසා, සතුන්ගෙන් රැකගැනීමට ගෙඩි එකවර නෙලූවත්, යම් අපතේ යාමක් අනිවාර්යයෙන්ම සිදුවේ. මේ අනුව අඹගස ඔබට පාලනය කළ හැකි උසකට අඩු අතු ප්‍රමාණයකින් යුතුව නඩත්තු කිරීම අනිවාර්යෙයන් කළ යුත්තකි.

බොහෝ ගෙවතුවල අඹ ගස් පාමුල එහි සෙවන යටතේ අන්තුරියම් වැනි සෙවන ලැදි මල්පැල සමූහගත කිරීමට බොහෝ දෙනා පුරුදුව සිටී. ඒවාට නිතිපතා ජලය යෙදීමේදී අඹ ගසටද එම ජලයෙන් කොටසක් ලැබී පරිසරයේ වියළි කාලයක් තිබුණත් එහි වාසිය අඹ ගසට නොලැබී යයි. ගසයට මල් පිපුනත් මේ නිසා අඹ මල් නම් පිපෙන්නේ නැත. අපගේ මීළඟ පියවර විය යුත්තේ මෙවැනි මල් වගා ඇත්නම් ඒවා ඉවත් කිරීමයි.

මේ අයුරින් අපට නඩත්තු කළ හැකි උසකට ගසේ කිරුල සකස් කරගැනීම පළමු පියවරවේ. දැන් ඉතින් අතු වලට හොඳින් හිරුඑළිය වැටී, වියළි පරිසරයක්ද ලැබේ නම් අඹ මල් පිපෙන්නට සැරසෙනවායයි සිතමු. බොහෝ දෙනා මේ දෙස බලන්නේද සැකයක් සිත්හි දරා ගෙනය. ඒ පෙර අත්දැකීම් හේතුවෙනි. අනාවැකි පවා කියන්නට ඔවුන් සමතුන් වේ. මේ වාරයේ නම් හොඳ අඹ පලදාවක් ලැබේ යයි කියන අනාවැකියක් නම් ඉතා විරල වන අතර කියවෙන්නේම අසුභවාදී අදහස්ය.

පෑවිල්ල දිගටම පවතීනම් මල් පිළිස්සී කලුපාට වී විනාශවන බවටත්, වැස්ස වැටුනොත් මල් සේදී කළු පැහැවී හැලී යන බවත් ඔවුහු පවසත්. එසේනම් වැස්සත්, පෑවූවත් දෙකම වැරදිය. ඇත්තටම සිදුවන්නේ කුමක්ද ? අඹ මල් සුවඳට එන කීඩෑවන් වැනි කෘමීන් මල්වල යුෂ බොන අතර එවිට තුවාලවෙන මල් වලට පුස් වර්ග අසාදනය වේ. ප්‍රතිඵලය මල් කළු වෙලා හැලී යාමයි. පරිසර හිතකාමී විධියට අපේ පැරැන්නන් කීඩෑවො වැඩි පුර එන ඉර බැසයන වෙලාවට අසලින් ගිනිගොඩක් ගසා කෘමීන් පාලනය කල අතර, එවැනි ක්‍රියාමාර්ග තුළින් ඔය කියන මල් පිළිස්සීම හෝ සේදී යාම අඩුවූ බව ඔබටම වැටහේවි.

සැමදා මිතුරුව සිටින අඹ යහළුවෙක් ගෙවත්තේ බිකිරීමේ ව්‍යායාමයේ දැන් කොටසක් අවසන්ය. අතුවලට හොඳින් හිරුඑළිය වැටී, අඹමල් පිපී දසත සුවඳ විහිදුවයි. මල් කළු පැහැ වීමද හොඳටම අඩුය. බලාපොරොත්තු ඉටුවෙන බවක් පෙනේ.

සටහන – සනත් එම්. බණ්ඩාර, සහකාර කෘෂිකර්ම, අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

හදබිම පුවත්පත ඇසුරිණි – ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *