මානව පරිණාමයේ විශ්වීය සාධකයන් විසින් ප්‍රාග් ඓතිහාසික මානවයා ගංගා නිම්න ශිෂ්ටාචාරය වෙත කැඳවා කෘෂිකාර්මික ජීවන රටාවකට අනුගත කරන ලදී. ඔහුගේ සංස්කෘතිය සදාචාරමය පරිණාමය සිදුවුයේ එතැන් සිටය. එලෙස ලද ආභාෂය මත මුල් බැස ගත් කෘෂිකාර්මික ජීවන රටාව පසු කාලීනව මිනිසාගේ පැවැත්ම පිළිබඳ තිරසාර සාධකය බවට පත්විය.
ඒ අනුව සොබා දහමේ අපූර්ව දායාද ආරක්ෂා කරගනිමින් පරිසරය හා සහජීවනයෙන් යුක්ත සියලු ධන ධාන්‍යයන්ගෙන් හෙබි ස්වයංපෝෂිත ශිෂ්ටාචාරයක් බිහිකර තිබූ අතර ඔවුහූ පරිසර හිතකාමී පිළිවෙත් හරහා දේශීය ආහාර නිෂ්පාදනය මෙන්ම නිරෝගී ශක්තිමත් පරම්පරාවක්ද බිහි කළෝය. එසේ වුවද ඉතිහාසයේ විකාශය තුළ ස්වාභාවික වසංගත, අභ්‍යන්තර ආරවුල් හා බාහිර ආක්‍රමණ නිසාවෙන් මෙම ස්වයංපෝෂිත කෘෂිකාර්මික සමාජය යම් යම් වෙනසකම් වලට මෙන්ම පසුබෑම් වලට ලක්වූ බව නොරහසකි. මෙම තත්ත්වය තවත් වේගවත් කරමින් යටත් විජිත සමය තුළ වැවිලි ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ සම්ප්‍රදායික කෘෂි සමාජය විශාල වෙනසකට ලක් වූ අතර 60 දශකය තුළ වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ‘හරිත විප්ලවය’ වර්තමානය වන විට සමස්ත ලෝක ප්‍රජාව තුළත් ශ්‍රී ලාංකික ජන සමාජය තුළත් ලක්ෂ සංඛ්‍යාත ප්‍රජාව කෙරෙහි අහිතකර ලෙස බලපෑම් එල්ල කර ඇති අතර ප්‍රජාවේ මූලික අවශ්‍යතා සපුරාලීමට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට තද බල ලෙස බලපෑම් එල්ල කර ඇත.
වර්තමානය වන විට අඩු ආදායම්ලාභීන් ලෙස වර්ගීකරණය කර ඇති මෙම පිරිස සමාජ පිළිගැනීම මෙන්ම දිළිඳුකම රටේ කෘෂිකාර්මික අංශය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් එල්ල කරමින් සිටින අතර යැපුම් මට්ටමෙන් පවතින කෘෂිකර්මාන්තය ලාභ නොලැබෙන කෘෂි ව්‍යවසායකයන් ලෙස සමාජය තුළ පිළිගැනීමට ලක්ව ඇති අතර තරුණයන් කෘෂි කර්මාන්තයෙන් බැහැර වෙමින් සිටී. එසේම මුලික අවශ්‍යතා සපුරා ගැනිමට නොහැකිව තනි තනිව ක්‍රියාත්මක වීම, නව දැනුම හිඟකම, විවිධ සේවාවන් ළඟා නොවීම, වෙළඳපොළ අවාසිදායක තත්ත්වය සහ භෞතික සම්පත්වල ඌනතාවය තවදුරටත් මෙම ප්‍රජාවෙි සමාජ ආර්ථික තත්ත්වය දුර්වල කර ඇති බව අපි දනිමු.
-
ආහාර බෝග නිෂ්පාදන ක්ෂේත්‍රය වර්තමානයේ තුළ මුහුණ දෙන පොදු ගැටලු
මෙම පසුබිම තුළ ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ දෙමින් සිටි. එනම්
- වැඩි වන ජනගහනයට සමගාමීව ආහාර සඳහා වන ඉල්ලුම ඉහළ යාම.
- දේශීය නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය තවදුරටත් ආනයනයට කිරීමට සිදුවීම සහ ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වීම.
- ආහාරවල සෞඛ්‍යමය ආරක්ෂාව මෙන්ම ආහාර සංචිතවල සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලු.
- නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මකභාවය අඩු වීම.
- ගොවියා ආර්ථික අතින් දුර්වල වීම.
- අවිධිමත් පොහොර, කෘෂි රසයාන භාවිතය මත වකුගඩු රෝග වැනි සෞඛ්‍යමය ගැටලු වලට ජනයා ගොදුරු වීම.
- දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රමාණවත් පරිදි යෝග්‍ය තාක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම.
- අවිධිමත් කෘෂි රසායන භාවිතය නිසා සිදුවන පාරසරික හානිය.
- අපනයන ප්‍රවර්ධනය සඳහා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට යොමු නොවීම.
වර්තමානය වන විට අඩු ආදායම්ලාභීන් ලෙස වර්ගීකරණය කර ඇති මෙම පිරිස සමාජ පිළිගැනීම මෙන්ම දිළිඳුකම රටේ කෘෂිකාර්මික අංශය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් එල්ල කරමින් සිටින අතර යැපුම් මට්ටමෙන් පවතින කෘෂිකර්මාන්තය ලාභ නොලැබෙන කෘෂි ව්‍යවසායකයන් ලෙස සමාජය තුළ පිළිගැනීමට ලක්ව ඇති අතර තරුණයන් කෘසි කර්මාන්තයෙන් බැහැර වෙමින් පවතී. දේශගුණික විපර්යාස හේතුවෙන් අහිතකර බලපෑම් ඇති වීම, මේ අතර ප්‍රමුඛ ගැටලු වේ. මෙම පසුබිම තුළ වර්තමානය වන විට මුළු දේශීය ආහාර අවශ්‍යතාවය රට තුළ නිෂ්පාදනය කර ගැනිමට අසමත් වී ඇති අතර, අතිරේක ආහාර බෝග ඇතුළු ආහාර ද්‍රව්‍ය ගනණාවක් විදේශ රටවලින් ආනයන කිරීමට සිදු වී ඇත. ඒ සඳහා විශාල විදේශ විනිමයක් දැරීමට රජයට සිදුව ඇත. කොවිඩ් 19 වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ එම තත්ත්වය වඩාත් බරපතළ ලෙස ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය කෙරෙහි බලපා ඇති අතර මිනිසා හා සොබදහම අතර ඇති යහපත් සම්මුතිය බිදී ගොස් ඇති අතර ආනයනීය ආහාර ද්‍රව්‍ය මත යැපෙන්නට සිදුව ඇත. එම තත්ත්වය ජනතාවගේ පෝෂණය හා සෞඛ්‍ය කෙරෙහි මෙන්ම ආහාර සුරක්ෂිතතාවයටද තර්ජන එල්ල කර ඇත.
-
ආහාර බෝග නිෂ්පාදන ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග ජය ගත හැකිද?
දේශීය ආහාර සංග්‍රාමයක කඩිනම් අවශ්‍යතාවය මතුවන්නේ මෙකී තත්ත්වයන් මතය. සැබවින්ම ඒ අප හමුවේ ඇති බාරදූර අභියෝගයකි. මෙම අභියෝගය කෙසේ හෝ ජය ගත යුතු වෙමු. අප සියලු දෙනාගේම නිවැරදි දැක්ම හා තිර අදිටන මගින් නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් මෙන්ම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන ආහාර නිෂ්පාදන සංග්‍රාමයකට සූදානම් විය යුතුව ඇත.
මේ සඳහා
- ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය දිරි ගැන්විය යුතු අතර, දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර වලින් රට ස්වයං පෝෂණය කළ යුතුව ඇත.
- ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා වන වියදම් අඩු කර ගැනිමට මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයද ආහාර සුරක්ෂිතතාවයද තහවුරු කළ යුතුව ඇත.
- ආහාර නිෂ්පාදනයේදී රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය අවම කර පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කිරීම මගින් ගුණාත්මක ආහාර ද්‍රව්‍ය සුලබ කළ යුතුව ඇත.
- අතිරේක ආහාර සංචිත විධිමත්ව කළමනාකරණය කිරීම මගින් ආහාර සුරක්ෂිතතාවය ඇති කළ යුතුව ඇත.
- ආහාර නිෂ්පාදන ක්‍රියාවලියදී යෝග්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය තුළින් නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ නැංවිය යුතුය.
- ආහාර නිෂ්පාදනය සඳහා ගුණාත්මක යෙදවුම් ලබාදිය යුතුය.
- නිෂ්පාදන සදහා විධිමත් ක්‍රමවේද ඇතුළත් කළ යුතුව ඇත.
අර්ධ නාගරික කාන්තාවන් වන අපට පවුලේ අතිරේක ආහාර, පෝෂණ අවශ්‍යතා සහ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගත හැකිද?
ඔව්, සත්‍ය වශයෙන්ම පුළුවන්, අපට අපේ පවුලේ අතිරේක ආහාර, පෝෂණ අවශ්‍යතා හා ආහාර සුරක්ෂිතතාවය ළඟාකර ගැනීමට නොහැකි වූයේ අප අතර පැහැදිලි සංවාදයක්, මතවාදයක් නොතිබූ නිසා වෙන් බව අපි දකිමු. එසේ වුවද, එක්ව සිතුවොත්, එක්ව වැඩ කළහොත් අපේ ප්‍රශ්න වලට විසඳුම අප තුළ හා අප ළඟම තිබෙන බව පෙනෙන්න පටන් ගන්නවා. එවිට අපිට ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා අවස්ථා ඇති බව අපේම අත්දැකීම් වලින් අපට වැටහෙන්න පටන් ගන්නවා. වැදගත් වනුයේ අපේ ‘සිතුවිලි’ සිතුවිලි යහපත් නම් අපගේ ආහාර අවශ්‍යතා පමණක් නොව ජීවිතයේ අප මුහුණ දෙන සියලු අභියෝග ජයගැනිමට හැකියාව තිබෙනවා. එය එතරම්ම ප්‍රබලයි. අර්ධ නාගරික ගෙවිලියන් වන අපට අවශ්‍ය ආහාර අප ළඟට එනතුරු බලා ඉන්නවා වෙනුවට, අප තුළ ඇති ශක්තිය උපයෝගී කර ගනිමින් අපට තිබෙන අවස්ථා තේරුම් කර ගනිමින් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපට තිබෙන සීමිත සම්පත් නිවැරදිව කළමනාකරණය කරගත හොත් පවුලේ ආහාර සහ පෝෂණ අව්‍යතා සපුරා ගන්නත්
- පවුලේ ආහාර අවශ්‍යතා වැය වෙන වියදම අඩු කර ගන්නත්
- යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමෙන් පවුලේ පෝෂණය හා සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නත්
- ආහාර සම්බන්ධයෙන් ඇති ආකල්ප හා පුරුදු, සහ ආහාර පරිභෝඡන රටා නිවැරදි කර ගත හැකි නම් පවුලේ සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නත්
- මුළුතැන්ගෙයි නිවැරදිව කළමනාකරණය කර ගතහොත් ගෘහ ඒකකයේ ආහාර සුරක්ෂිතතාවය තහවරු ගන්නත් අපට පුළුවන්.
ඒ සඳහා අපට අත හිත දීමට, සහය දීමට ඒ සඳහා එක් රොක් වූ පිරිසක් ඉන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, හා ඊට අනුබද්ධ ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික ආයතන මේ අතරින් ප්‍රධාන වෙනවා. මෙම සහය සේවා පද්ධතිය තුළ අර්ධ නාගරික ගෙවිලියන් වන අපට බාහිරින් එන ආහාරපාන මත යැපෙන ජනතාවක් වෙනවා වෙනුවට, අපිට අවශ්‍ය ආහාර අපිම නිෂ්පාදනය කර ගනිමින් රටේ ආහාර නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කරන සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කරන, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන ගෙවිලියන් වන්න පුළුවන්. එහෙම නම් ගොවිතැනට මුල්තැන දිය යුතු වෙනවා. ඔව් අප සැවොම සිතුවොත් එක්ව වැඩ කළහොත් එක්ව රට ගොඩනැඟීමට පුළුවන්. අවශ්‍ය වනුයේ ‘යහපත් සිතුවිලි’පමණයි.
S.M ආනන්ද සමරකෝන්, අධි පර්යේෂක, අධ්‍යාපන හා පුහුණු අංශය, හෙක්ටර් කොබ්බැකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
මූලාශ්‍රය – හදබිම පුවත්පත, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය