තල් රුකෙන් රුපියල් මවන මඩකළපුවේ ශර්මිලා

අද ලංකාවේ ප්ලාස්ටික් නිෂ්පාදනයන් අඩු කරන්න පෙලඹිලා තියෙනවා. ඒ නිසා ස්වාභාවිකව කරන මෙවැනි නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම නව නිෂ්පාදන ගැන පාරිභෝගිකයන්ටත් උනන්දුවක් තිබෙනවා.

තල් යනු විවිධ නිෂ්පාදන සඳහා ගැනෙන වටිනා ශාකයකි. මේ නිසා එහි ආර්ථික වටිනාකම ඉහළය. අත්කම් භාණ්ඩ නිෂ්පාදනය, තල් කෙඳි සහ පල්ප් නිෂ්පාදනය හා තල් හකුරු වැනි නිෂ්පාදනයන් මඟින් ආර්ථික වාසි අත්කර ගත හැකිය. ශ්‍රී ලංකාවේ දකුණේ ජනතාවට කප්රුක පොල් ගස මෙන් උතුරු නැඟෙනහිර ජනතාවගේ කප්රුක තල් ගසය. උතුරු නැඟෙනහිර දමිළ ජනයා තල් ගස දේවත්වයෙන් සලකති. තල් ආශ්‍රිත නිෂ්පාදන කටයුතුවල දීර්ඝ කාලයක් තිස්සේ සිංහල, දමිළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් නියුක්තව සිටිති. නමුත් පසුගිය තිස් වසරක යුදමය කාලපරිච්ඡේදයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා තල් වගාව හා තල් නිෂ්පාදන ව්‍යාපෘති බොහෝමයක් අඩපණ විය. නමුත් මේ වෙන විට උතුරු නැඟෙනහිර තල් සම්බන්ධ නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් දැකිය හැකිය. ජනතාව ද ව්‍යාපාරික අවස්ථා උදා කරගෙන ඇත.

ඒ අනුව තල් ආශ්‍රිතව අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කරන මඩකළපුවේ පදිංචි පරමසිවම් ෂර්මිලා දිරිය කාන්තාවකි. ඇය යුද සමයේ සහ යුද්ධයෙන් පසුව බොහෝ දුක් පීඩා විඳි කාන්තාවකි. නමුත් ඇය මේ වෙන විට තම ස්වෝත්සාහයෙන් නැඟිට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන්නීය. එමෙන්ම ඇය ප්‍රදේශයේ තවත් අයට රැකියා අවස්ථා ද ලබා දී තිබේ.

“මම යුද්ධයෙන් පීඩාවට පත් වූ කාන්තාවක්. යුද්ධයේ අවසානයෙන් පස්සේ මම අවතැන් කඳවුරුවල හිටියා. යුද්ධය නිසා මගේ පවුලේ ඥාතීන් මට අහිමි වුණා. යුද්ධයේ අවසානයෙන් පසුව මටත් මගේ ස්වාමි පුරුෂයාටත් ජීවත් වීමට කළ යුතු දෙයක් තිබුණේ නැහැ. මම උසස් පෙළ සමත් කෙනෙක්. මම මගේ අධ්‍යාපනය අතරමඟ නවතා දමා තිබුණා. නමුත් අධ්‍යාපනයෙන් රැකියාවක් ලබා ගන්න මට බැරි වුණේ, මම වකුගඩු රෝගියෙක් බවට පත්වුණ නිසයි. මගේ වකුගඩු රෝගයට වෛද්‍ය ප්‍රතිකාර කරන්නට වීම නිසා මට රැකියාවට යන්න බැරි වුණා.

මුලින්ම මම තල් සම්බන්ධව කටයුතු කරන කුඩා නිෂ්පාදන ආයතනයක සේවයට ගියා. නමුත් එහි පඩි අඩුවීමේ හේතුව නිසා මම එතැනින් ඉවත් වුණා. එතැනින් ඉවත් වෙලා මගේ හැකියාව අනුව ස්වයං රැකියාවක් විදිහට තල් අත්කම් භාණ්ඩ නිර්මාණය කළා. මුලදී මම සේවය කළ තැනේ තල් වගාකරුවන් මට උදව් කළා. ඒ අනුවයි මම මේ ව්‍යාපාරය ආරම්භ කරන්න පදනම දැමුවේ.

පසුව මම තල් අත්කම් භාණ්ඩ ස්වයං රැකියාවක් ලෙස සිදු කරමින්ම පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධියත් සම්පූර්ණ කළා. දැන් පශ්චාත් උපාධියත් හදාරමින් සිටිනවා. තල්වලින් අත්කම් භාණ්ඩ නිෂ්පාදනයට අමතරව මම ස්වේච්ඡා සේවයක් ද කරනවා. මම මඩකළපුවේ ව්‍යවසායක කාන්තා සංගමයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනවා. ඒත් එක්කම මම කාන්තා වැඩමුළුවලදී දේශනවලටත් සහභාගි වෙනවා. දැන් මම ඇවිත් තියෙන මාවත දිහා හැරී බලන විට සතුටක් දැනෙනවා. දැන් මමයි මගේ ස්වාමිපුරුෂයයි දරුවනුයි සතුටින් ඉන්නවා. දැන් කරන මගේ වෘත්තිය ගැන මට තියෙන්නේ ආත්ම තෘප්තියක්.”

යනුවෙන් පරමසිවම් ෂර්මිලා නමැති දිරිය කාන්තාව තම අතීතය සිහිපත් කරමින් කතාබහ ආරම්භ කළාය.

තල් අත්කම් භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නේ, තල් කොළ නොහොත් තල් ගොබය යි. ක්‍රමවත්ව සකසා ගත් දලු කොළය පුස්කොළ ලෙස සකසා අතීතයේ දී ලේඛන කලාවට ද යොදා ගන්නා ලදි. දැන් මෙම තල් කොළ මඟින් අත්කම් භාණ්ඩ නිපදවීම ජනප්‍රිය කලාවකි. එමෙන්ම එය සතුටුදායක ආදායමක් ඉපයිය හැකි කර්මාන්තයක් සේම ස්වයං රැකියාවකි.

“තල් අත්කම් භාණ්ඩ නිෂ්පාදනයට මම අමුද්‍රව්‍ය සපයා ගන්නේ ග‍ෙමන්මයි. ඒ සඳහා සැපයුම්කරුවන් ගමේම ඉන්නවා. ලොකු ප්‍රමාණයේ තල් කොළ රුපියල් 100 -120 අතර මුදලකටත්, පොඩි තල් කොළ 80 ක් වගේ මුදලකටත් මම මිලදී ගන්නවා. මම තල් නිර්මාණ කරද්දි ඉගෙනගත් න්‍යායාත්මක දැනුමට අමතරව සහජ දැනුමත් යොදවලා තමයි නිර්මාණයන් කරන්නේ. ඒ අනුව මම කාන්තාවන්ට අවශ්‍ය විසිතුරු ගමන් මලු, තොප්පි, කූඩ, ටේබල් මෙට් වගේම තවත් බොහෝ දේවල් නිෂ්පාදනය කරනවා. අපේ ප්‍රදේශයේ කාන්තාවන් 32ක් දැනට මා යටතේ වැඩ කරනවා. ඒ සියලු දෙනාම යුද්ධයෙන් පීඩාවට පත් වූ අයයි. එවැනි අයට රැකියා ලබා දීලා ඔවුන්ගේ පවුල් ජීවත් කරවීම ගැන මට පුදුමාකාර සතුටක් තියෙනවා.”

තවද මේ වෙන විට සාමාන්‍ය පාරිභෝගික ජනතාව ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට තල් ආශ්‍රයෙන් නිර්මාණය කළ නොයෙකුත් භාණ්ඩ එදිනෙදා ජීවිතයේ දී පරිභෝජනයට ද වැඩි නැඹුරුවක් දක්වති. මේ පිළිබඳව ද ෂර්මිලා මහත්මිය තම අදහස් මෙසේ ප්‍රකාශ කළාය.

“අද ලංකාවේ ප්ලාස්ටික් නිෂ්පාදනයන් අඩු කරන්න පෙලඹිලා තියෙනවා. ඒ නිසා ස්වාභාවිකව කරන මෙවැනි නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම නව නිෂ්පාදන ගැන පාරිභෝගිකයන්ටත් උනන්දුවක් තිබෙනවා. විශේෂයෙන් රජයෙන් තල් සංවර්ධන මණ්ඩලය හරහා කරන තල් අත්කම් භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල භාවිත කරන බොහෝ ප්ලාස්ටික් උපකරණ වෙනුවට උදාහරණයක් විදිහට කුණු කූඩ ආදිය සඳහා තල්පත් යොදා ගෙන නිපදවූ උපකරණ ඉතා අඩු මිලකට හඳුන්වා දීම අප විසින් සිදුකරනු ලබනවා. ඒ වගේම ගෘහාශ්‍රිතව ඉඳිආප්ප, පිට්ටු වැනි දේ සකස් කරන විට, ප්ලාස්ටික් තට්ටු වෙනුවට තල්වලින් නිෂ්පාදනය කරන ලද තට්ටු හඳුන්වා දීම නිසා එහි සෞඛ්‍යාරක්ෂිත බවකුත් තිබෙනවා. ඒ වගේම රසයෙනුත් ඉහළයි.

“අපි මේ සියලු නිෂ්පාදනයන් කරන්නේ ගම ඇතුළේ ඒ නිසා ඒවා අලෙවි කරන්න මඩකළපුව නගරයෙන් කුඩා කඩ කාමරයක් කුලියට ගත්තා. දැන් තල්වලින් කරන නිෂ්පාදනයන් අලෙවි කරන්නේ ඒ ව්‍යාපාරික ස්ථානයේදීයි. ඊට අමතරව ප්‍රදර්ශන තිබෙන ස්ථානවලටත් අපට ආරාධනා ලැබෙනවා. එවැනි තැන්වලටත් ගිහින් භාණ්ඩ අලෙවි කරනවා.”

තල්වලින් සිදුකරන මේ සියලු අත්කම් නිර්මාණයක්ම සිදුකරන්නේ තමන්ගේ දෑත් උපයෝගි කරගෙනයි. සෑම ව්‍යවසායකයෙක්ම තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට නොයෙකුත් ක්‍රියාමාර්ගවලට එළඹේ. ඒ අනුව ෂර්මිලා මහත්මිය ද තම ව්‍යාපාරයේ ඉදිරි ගමන ගැන, වර්ධනය ගැන තීන්දු තීරණ ගනු ලබන්නීය. ඇයගේ එකම බලාපොරොත්තුව පරිසර හිතකාමී තල් කොළ ආශ්‍රිත නිර්මාණ ප්‍රචලිත කරමින් ප්‍රදේශයේ කාන්තාවන් හට රැකියා අවස්ථා ලබා දෙමින්, විදේශ වෙ‍ෙළඳපොළට තම භාණ්ඩ අපනයනය කිරීමය.

“අපිට සංචාරකයන් වෙනුවෙන් නිශ්චිත වෙ‍ෙළඳපොළක් නැහැ. ඒක එක ගැටලුවක්. විශේෂයෙන් සංචාරකයන්ගේ ටුවරිස්ට් ගයිඩ්ලා මේ භාණ්ඩවල අපේ මිල තවත් අඩු කරලයි සංචාරකයන්ට දෙන්න පුරුදුවෙලා තියෙන්නේ. වෙන්න ඕන ඒක නෙවෙයි. විදේශ සංචාරකයන්ට හැම තැනම මිල වැඩියි. ඒ ක්‍රමයම අපටත් සිදුවිය යුතු වුවත් අපේ මහන්සියටවත් උදව් නොකර භාණ්ඩ මිල ගණන් අඩු කරලා කියන එක ගැන අපි විරුද්ධයි.”

තවත් ඉල්ලිමක් කරන්න ඕන, ශ්‍රී ලංකාවේ තල් සංවර්ධන මණ්ඩලයෙන් අපේ මේ භාණ්ඩ අපනයනය කිරීමටත් නිශ්චිත වැඩපිළිවෙළක් හදලා දුන්නොත් අපිට ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනඒමේ ක්‍රියාවලියටත් දායක වෙන්න පුළුවන්.”

එම්. තාරික්

මූලාශ්‍රය – දිනමිණ

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *