බත්මැඩිල්ල සැපයුම් ඇළේ පැති බැම්ම නාය ගිහින්

කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බත්මැඩිල්ල මහා වාරි ව්‍යාපෘතියට ජලය සපයන බත්මැඩිල්ල සැපයුම් ඇළේ පැති බැම්ම ඉකුත් 21 වැනිදා රාත්‍රි නාය යෑමට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් මේ වනවිට බත්මැඩිල්ල ව්‍යාපාරයේ ජල සැපයුම සම්පූර්ණයෙන් නතර වී ඇති බව වාර්තාවේ.

එලෙස නායයන ලද ඇළ බැම්ම යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඉකුත් 22 වැනිදා එම ස්ථානයේ නිරීක්ෂණයක නිරත විය. එම නිරීක්ෂණ කටයුතු අවසානයේ දී මේ පිළිබඳව අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර සිටියේ පවතින තත්ත්වය ඉතාමත් අවදානම් බැවින් බත්මැඩිල්ල ව්‍යාපාරයේ 2024/2025 මහ කන්නය පවත්වාගෙන යෑම ගැටළුවක් වී තිබෙන බවත් වාරිමාර්ග, දෙපාර්තමේන්තුව සහ අදාළ සියලු පාර්ශ්ව එක්ව කඩිනමින් අවශ්‍ය ක්‍රියායාමාර්ග ගෙන 2024/2025 මහ කන්නය සඳහා අවශ්‍ය ජලය ලබාදීමට පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය තුළ මහ කන්නය ආරම්භ කිරීම නියමිත දිනයට වඩා දින කිහිපයක් ප්‍රමාද විය හැකි බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගේ ක්ෂේත්‍ර පරික්ෂාවෙන් පසු පැති බැම්ම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් දිසාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

බත්මැඩිල්ල ව්‍යාපාරය හෙක්ටයාර 1400 කින් සමන්විත වන අතර එය පෝෂණය වන්නේ මෙම බත්මැඩිල්ල ඇළ හරහා සපයන ජලයෙනි.

මෙම නිරීක්ෂණය චාරිකාව සඳහා බත්මැඩිල්ල මහා වාරිමාර්ග ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපෘති කළමානාකරු කේ.ටී.ආර්.ප්‍රේමදාස, කන්දකැටිය වාරිමාර්ග කාර්යාලයේ ඉංජිනේරු එස්.තිලීපන්, බත්මැඩිල්ල ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඇතුළු ගොවි සංවිධාන නිලධාරීහු පිරිසක් එක්වූහ.

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන – දිනමිණ ඊ  ඇසුරිනි

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *