රිළවුන් සමඟ ජීවත් වීම

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට වන සතුන්ගෙන් සිදුවන හානි තිරසර ලෙස කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සංවාදයක් පවතී. වර්තමානය වන විට රට තුළ පවතින ආර්ථික දුෂ්කරතා තුළ මේ සංවාදය වඩාත් ප්‍රබල වී ඇති අතර එය විද්වතුන්, පර්යේෂකයින් සහ පරිසරවේදීන් වෙතින් ගොවිජනතාව වෙත ද විතැන් වී ඇත. ඒ වන සත්ත්ව හානි තිරසර ලෙස කළමනාකරණය යනු හුදු විද්වත් සංවාදයක් පමණක් නොව රටේ ආහාර සුරක්ෂිතභාවය, ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවකගේ ආර්ථිකය හා ඇතැම් විට ජීවිතය, දේපොළ සමග ඍජුව සම්බන්ධ වී ඇති කරුණක් බවට පත්ව ඇති බැවිනි.

මෙම සංවාදය ආරම්භයේදී වනඅලින්ගෙන් සිදුවන ජීවිත හා වගා හානි ගැන පුළුල් අවධානයක් යොමු වුව ද වර්තමානය වන විට මොනරා, දඩුලේනා සහ විශේෂයෙන් රිලවා ගැන වඩාත් වැඩි අවධානයක් යොමුව ඇත. ඊට හේතුව වන්නේ වන අලින් මෙන් නොව මෙම සතුන් තිදෙනා සමස්ත ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්තව සිටීම හා සියලුම ආකාරයේ බෝග වගාවන්ට හානි කිරීමය.

‘ගොවිමිණ’ මෙම ලිපිය මගින් හෙළිදරව් කරන්නේ ‘රිළවා’ විසින් කෘෂිකර්මාන්තය තුළ සිදුකරනු ලබන හානිය සහ එය වළක්වා ගැනීමට ගන්නා වූ විවිධාකාර ප්‍රයත්නයන් සම්බන්ධ ‘පර්යේෂණාත්මක’ වාර්තාවකි. මෙම ලිපියට පදනම් වන්නේ’ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය චාමලී නාහල්ලගේ, පේරාදෙණිය සරසවියේ මහාචාර්ය අශෝද දංගොල්ල සහ ශ්‍රී ලංකා උක් පර්යේෂණ ආයතනයේ ආචාර්ය නිමල් කුමාරසිංහ යන විද්වතුන් විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘රිළවුන් සමඟ ජීවත් වීම’ නම් පර්යේෂණ වාර්තවයි.

ශ්‍රී ලංකාවේ වන ගහනය අඩුවිමත් සමඟ, මිනිස්-රිළවුන් ගැටුම වැඩි වී ඇති බව පෙනේ. මිනිස් ජනගහනය වැඩිවීම හා ඔවුන්ගේ අවශ්‍යතා වැඩිවීමද මේ සඳහා හේතු වී ඇත. (Nahallage et al., 2008 ) වර්තමාන කෘෂිකර්මික ක්‍රම සහ එදිනෙදා    ජීවන රටාවන්හි වෙනස් වීම්, ආහාරදාම මෙන් ම ස්වභාවික සමතුලිතතාව ද වෙනස් කර ඇත. මෙම තත්ත්වය රිළවුන්ගේ විලෝපිකයන් අඩුවීමට හා වඳවීමට ද හේතුකාරක වී ඇති බව පෙනේ.

වර්ෂ 2000 දී, පශු ශික්ෂණ රෝහලට නිතර කරන ලද ඉල්ලීම් නිසා මේ වෙනුවෙන් වැඩ පිළිවෙළක් යෙදීමට සිදු විය. එහි දී රතු මුහුණ සහිත රිළවා මේ බොහෝ ගැටලු සඳහා ඍජුවම සම්බන්ධ බව වැටහිණි. මොවුන් නිසා එදිනෙදා ජීවිතය, කඩ සාප්පු, පාසල් හා අනෙකුත් දේවස්ථාන වල කටයුතු කිරීමට මහත් බාධාවක් වී ඇති බව නිරීක්ෂණ වලින් පැහැදිලි වී ඇත. රිළවුන්ට අමතරව ඌරන්, ඉත්තෑවන්, දඬුලේනන් හම්බාවන් හා මොණරුන් ද මේ ගනයට අයත් බව වැටහී ඇත. මෙතෙක් අප විසින් කරන ලද පර්යේෂණ සහ වැඩපිළිවෙළ සාරංශයක් මෙම ලිපියේ අඩංගු කර ඇත.

රිළවුන් සහ ගැටුමේ ස්වභාවය

පේරාදෙණිය පශ්චාත් විද්‍යා උපාධි ආයතනය මගින් වර්ෂ 2000 දී මහනුවර නගර සීමාවේ මිනිස්-රිළවු ගැටුම පිළිබඳ අධ්‍යනයක් කරන ලදි. මෙහිදී ඒ සඳහා රිළවුන් වර්ග දෙකක් සම්බන්ධ බවට පෙනී ගියේය. පළමු වර්ගය නම්, තනි රිළවුන් (කලකට ඉහත හීලෑ කළ හෝ සර්කස් වලට පාව්ච්චි කිරිම මඟින්) සහ දෙවන වර්ගය රංචු වශයෙන් සිටින රිළවුන්ය.  (Wijesingha et al.,2005)  පළමු වර්ගයේ තනි රිළවු තමාට ලබා ගත හැකි වඩාත් ප්‍රණීත රසවත් වූ ආහාර සොයා ගෙන මිනිසුන් වෙත පැමිණෙති. ඒ මිනිසුන් හුරුපුරුදු නිසාය. ඔවුන් විශේෂයෙන් කුඩා ළමුන්ට හා ස්ත්‍රින්ට බිය නැති ස්වභාවයක් පෙන්වයි. දෙවන වර්ගයේ රිළවුන් රංචු වශයෙන් තමන්ට අවශ්‍ය ආහාර සඳහා ගෙවල් වලට ඉඩම් වලට වැදී නොයෙකුත් ප්‍රමාණයට ඒවා විනාශ කර මිනිසුන්ට කුපිත කරන ආකාරයට හැසිරෙන අය බවට වාර්තා වී ඇත.

රිළවුන් මෙම වාසස්ථාන පරික්ෂා කර බලන අතර ඉක්මනින් තත්ත්වය වටහා ගෙන යමක් ඉගෙනීමට සමත් වන අතර එවන් රිළා රංචු ඇතැම් විට 20-60 තරමට විශාලය. ගින්දරින් බය කිරීම, අනෙකුත් සතුන් යෙදවීම, පඹයන් සෑදීම, රතිඤ්ඤාා හා අහස්කූරු දැමීම හෝ එක් රිළවෙක් මැරීම ද ගම්වාසීන් රිළවුන් පලවා හැරීමට යොදන උපක්‍රම වේ.

තවද එක් අයෙකු අල්ලා කොණ්ඩය කැපීම, නොයෙකුත් පාට වර්ග ආලේප කිරීමද කරනු ලැබේ. නමුත් මේ සියල්ලටම රිළවුන් මාස 5 පමණ කාලයකදී හුරුවන බව පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

මේ අනුව රිළවුන් බිය වැද්දීමට හැකි ශබ්ද නිකුත් කරන ( මිනිසුන්ට නොඇසෙන සේ ) විදුලි බලයෙන් ක්‍රියා කරන උපකරණයක් නිෂ්පාදනය කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු වී ඇත. මෙවන් උපකරණ අනෙකුත් සතුන් (උරගයන්, පක්ෂින්) පලවා හැරීම සඳහා මිලදී ගත හැක. තව ද ආලෝකය උපයෝහී කර ගෙන රිළවුන් පලවා හැරීමට උපකරණයක් නිපදවීම ගැන අපගේ අවදානය යොමු වී ඇත. තවත් සමහර සතුන් පැන්නීම සඳහා විලෝපිකයන්ගේ බියකරු ශබ්ද හෝ ඔවුන්ගේ මුත්‍රා ඉසීමද අනෙකුත් රටවල් වල භාවිතා කරන ක්‍රම අතර වෙයි.

මිනිස්-රිළා ගැටුම ආසන්න අවුරුදු 15 දී  උත්සන්න වු බවක් පෙනෙන්නට තිබේ (Jayalath” 2011) රිළාවුන් ඵලදාව සහ සමහර කෙසෙල් වර්ග විනාශ නොකරන බවක් වැටහී ගොස් ඇත (Jayalath -2011).) රිළවුන් සමහර ශාක කොටස් පමණක් නොව කුඩා සතුන්, කෘමීන් වැනි දෑ ආහාරයට ගනී. මෙම කෘමීන් බහුලව ගැවසෙන්නේ මිනිසුන් හෝ නිවෙස් ආසන්නයේ බව රිළවුන් දන්නා බව පෙනේ. කෙසේ වෙතත් රිලවුන් උප වර්ග 4ක් ලංකාවේ වාසය කරන බවත් ඒ අයගේ ආහාර රටාව හා හැසිරීම් එකිනෙකට වෙනස් බවත් කිව යුතුය.(Binduhewa et al'”2005).

වර්ෂ 2012 දී මහනුවර නගර සීමාව තුළ තැනින් තැන රිළවුන් අසනීප වී මිය යන බව වාර්තා විය. සතුන්ගේ සුභ සිද්ධිය කතා කරන ආයතන කිහිපයක්ම මහනුවර ක්‍රියාත්මක නමුත් ඒ අවස්ථාවේ මහනුවර පොලීසියේ සහ අප කාර්ය්‍ය මණ්ඩලය පමණක් එසේ අසනීප වූ රිළවුන්ට උදවු උපකාර කල බව කිව යුතුමය. මේ සිද්ධිය පසු දින ප්‍රවෘර්ති පත්‍ර වල ද ප්‍රමුඛ පුවතක් විය.

රිළා ගහණය පාලනය කීරීම

වාර්ෂ 2005 දී මහනුවර නගර සීමාවේ සිටි කරදරකාරී තනිව වාසය කළ රිළවුන් සියල්ලම 2005 වර්ෂයේ දී අල්ලා ගැනීමට අපට හැකි විය. (Wijesinghe et al 2005). එය සිදු කරන ලද්දේ සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු නොයෙක් පැමිණිලි වලින් පසුවයි. ඉන් පසු කරදරකාරී තනි රිළවුන් පිළිබඳව කිසිම පැමිණිල්ලක් නොමැති විය. එසේ අල්ලා ගත් රිළවුන් වන්ධ්‍යාකරණ ශල්‍ය කර්මයට භාජනය කර අවශ්‍ය ප්‍රතිජීවක එන්නත් කර අනෙකුත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අප විසින් සිදු කරන ලදි. කල්යත්ම අපි මෙම රිළවුන් කෘතිම රංචුවක් වශයෙන් බලා ගත්තෙමු. ඒ සඳහා වරකට එක් රිළවෙකු පමණක් අනෙක් සමඟ හිත මිත්‍ර වීමට ඉඩ හරින ලදි. නොයෙකුත් අවස්ථා වල ඔවුන් එකිනෙකා සමඟ ඇතැම් විට තුවාල වන තෙක් රණ්ඩු කර ගන්නා ආකාරය අප විසින් නිරීක්ෂණය කරණු ලැබිණි. මාස 6ක පමණ කාලයකට පසුව මෙම රිළවුන් කණ්ඩායම එක්තරා දූපතකට නිදහස් කොට යවන ලදි (Rupasingha 2006) නමුත් එම රිළවුන් රංචුව ඉන් පසු නිරික්ෂණය කිරිමට නොහැකි විය.

ශල්‍යකර්ම මඟින් පිරිමි රිළවුන් ව්‍යන්ධයාකරණය කිරීම හා වෘෂණ කෝෂවලට සෛල වලට අහිතකර ඖෂධ එන්නත් කිරීම ආදී උපත් පාලන ක්‍රම අප විසින් පරික්ෂා කර ඇත. (Samal et 2015) රිළවුන්ගේ සුභසාධනය සහ සතුන්ගේ අයිතිවාසිකම් ගැනද මෙම අවස්ථාවේ සඳහන් කළ යුතුය. කලකට පෙර හාලිඇළ ප්‍රදේශයේ රිළවුන් ගහණය වැඩි වී මිනිසුන්ගේ දෛනික ජිවිත වලට බලවත් තර්ජන එල්ල විය. මේ සඳහා විසඳුමක් ලබා දෙන මෙන් එම පළාතේ වැසියන් සියලු බලධාරීන් ගෙන් ඉල්ලා සිටියද කිසිවක් සිදු නොවිණි. අපගේ මැදිහත් වීමෙන් එම රංචු වශයෙන් මිනිසුන්ට කරදරකාරී ලෙස හැසිරුනු රිළවුන් උගුල් මර්ගයෙන් අල්ලා ගෙන ව්‍යන්ධ්‍යාකරණය කරන ලදි (Wijesingha et  2009) මෙම කාර්ය සඳහා එම ප්‍රදේශයේ සියලු පුද්ගලයින්ගේ (ගැහැණු, පිරිමි,බාල, මහළු) සහාය ලැබිණි. මෙය රිළවුන් විනාශ කිරීමේ ක්‍රියාවක් නොවන බව ගැමියන්ට වටහා දුන්නේ එම පළාතේ පන්සලෙ ස්වාමීන් වහන්සේ විසිනි. එම ක්‍රියාවේ දී උගුල් සෑදීම, උගුල ප්‍රවාහනය, රිළවුන්ට කෑම දීම, ශල්‍යකර්ම වලට උදවු දීම යන දේ ගමේ සියලුම දෙනා එක් වී එකාවන්ව කරන ලදී.

ඉන් අනතුරුව සැත්කම් සහ වෛද්‍ය ප්‍රතිකාර සායන කටයුතු යන ආදිය අප පිරිස් විසින්  සිදු කරන ලදී. මේම උගුල් නිෂ්පාදනය කළේ ද එම ගමේම වාසය කරන  ගම් වැසියන් විසිනි. වෛද්‍යවරුන් එම ගමේ දින 4-5 නවාතැන් ගෙන මෙම ව්‍යාපෘතිය සිදු කළහ. රිලවුන්ගේ සුභසිද්ධිය සහ අනෙකුත් අවශ්‍යතාවන් නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරුන් යොදා තිබිණ. දින හතර පහකට පසු මෙසේ ශල්‍යකර්ම කරන ලද රිළවුන් වෙනත් ස්ථානයකට ගෙන ගොස් මුදා හරිනු ලැබිණි. නමුත් එතැන් පටන් රිළවුන් වෙනත් ස්ථානයකට ගෙන යාම නවතා දමනු ලැබිණි. මෙයට හේතුව එම පළාතේ රිළවුන් පිටින් එන සතුන් බාර නොගෙන ඔවුන්ට හිරිහැර කිරීම් සහ ඉන් ඇතිවන ජානමය වෙනස්කම් ය. මෙම ව්‍යාපෘතියට වනජීවී දෙපාර්තමේන්තුවේ සහය අනිවාර්යයෙන් අවශ්‍ය ය.

වසර දෙකකට පමණ පසුව මහනුවර මහ කන්ද ප්‍රදේශයේ ද එවැනි වැඩ වැඩ පිළිවෙළක්  ක්‍රියාත්මක කරන ලදී. සාර්ථකත්වය ගම්මුන් විසින් අත්විඳි අතර මාස 6 කට පමණ පසු නැවතත් රිළවු එම ගමට ඒමට පුරුදු වූහ. රිළවුන් රංචු අල්ලා වඳ කරණය කිරීමට නැවත නැවතත් අවුරුදු කිහිපයක් තුළ එක දිගටම ම කළ යුතු බව මෙයින් අවධාරණය විය.

වසර 2014 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රිළවුන්ගේ ප්‍රශ්නය උග්‍ර වීම නිසා රිලවුන් පලවා හැරීමට සුදුසු උපකරණ හතරක් ඉන්දියාවෙන් ගෙන්වන ලදී. මෙම උපකරණ  උන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීමෙන් පසුව තීරණය කරගත් ස්ථානවල ක්‍රියාත්මක කරනු ලැබිණ. එහෙත් ඉන් අත් වු ප්‍රතිඵල සාර්ථක බවක් නොපෙනුණි.කෙසේ වෙතත් රිළවුන් පලවා හැරිය හැකි ශබ්ද තරංග නිකුත් කිරීමට සමත් උපකරණයක් නිපදවීමට අපගේ අදහස යොමු වී ඇත. ආලෝකය ද මේ සඳහා භාවිතා කළ හැකියි. එනම් රිලව් බිය වද්දා පලවා හැරිය හැකි ආලෝක කිරණ නිකුත් කළ හැකි උපකරණයක් සොයා ගැනීම උචිතය. මෙසේ ශබ්ද හා ආලෝක  තරංග නිකුත් කර සතුන් පලවා හැරිය හැකි උපකරණ අනෙකුත් රට රටවල වෙනත් සතුන් සඳහා භාවිතා කරන බව පොත්පත්වල සඳහන් වේ. එහෙත් මේ සියලු දේ සඳහා රිළවුන් හැඩගැසිය හැකි බවත් හුරු විය හැකි බවත් අමතක නො නොකළ යුතුය.

රිළවුන් මගින් මිනිසාට බෝවිය හැකි රෝග

වර්ෂ 2015 දී පේරාදෙණිය පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ පැවැත් වූ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස රිළවුන්ගෙන් මිනිසාට බෝවිය හැකි බැක්ටීරියා වර්ග, ඒක සෛලික පරපෝෂිතයින් සහ පණුවන් වර්ග කිහිපයක් සොයා ගනු ලැබිණ (Mendis, 2016;Dangolla and Mendis, 2016) ඩෙංගු වෛරසය රිලවුන් තුළ ගබඩා වී ඇති බවට සැක පළ කර දැනට අවුරුදු පහළොවක් පමණ වේ රිළවුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝග අතර  ජලභීතිකාව හෙවත් ‘පිස්සු බලු රෝගය’ ද  විශේෂ ස්ථානයක් ගනී. කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම ඉතා  කාලෝචිත බව අපට පෙනේ.

මිනිසුන්ගේ ක්‍රියාකාරකම්

රිළවුන් ඔවුන්ට අයත් වන රක්ෂිතයේ රඳවා තබා ගැනීම සඳහා මිනිසුන් ගේ ක්‍රියාකාරීත්වය උපකාරී වේ. එම නිසා රිළවුන් මිනිසුන් වාසය කරන ස්ථානවලට ආකර්ෂණය කර ගන්නා කිසිම දෙයක් මිනිසුන් නොකළ යුතුය. උදාහරණයක් වශයෙන් කසළ බැහැර කිරීම හා කසළ කළමනාකරණය මනාව සිදු කළ යුතුවේ කිසිම අවස්ථාවක රිළවුන්ට කෑම දීම උචිත නොවේ මන්ද, ඉන් අනතුරව එම ආහාර බලාපොරොත්තු වන නිසාය එම නිසා සත්ත්ව කරුණාව දැක්විය යුතු ආකාරය පිළිබඳ දීර්ඝ කතිකාවක් ඇති කළ යුතුය කෙසේ වෙතත් මානව ක්‍රියාකාරකම්වල දී දැනට වඩා අප සැළකිලිමලකිලිමත් නොවුණහොත් උන් අප නිවෙස් වලට පැමිණීම වැළැක්විය නොහැක.

අධ්‍යාපන වැඩසටහන්

වර්ෂ 2005 දී රිලවුන් පිළිබඳ මහනුවර පාසල් වල දේශන පැවැත්විණි (Rupasingha and Dangolla,2005) . එයට අමතරව අ.පො.ස උසස් පෙළ හදාරන සිසුන් මේ පිළිබඳව නොයෙකුත් විෂය කරුණු හදාරනු අප දැක ඇත්තෙමු (Rupasingha 2005). මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීම් වඩා උචිත වේ. රිළවුන් මගින් මිනිසුන්ට බෝවන රෝග ගැන පාසල් ළමුන් දැනුවත් කළ හැකි බව අප නිරීක්ෂණය කර ඇත්තෙමු (Wijesingha et al.,2003). ඊට අමතර සියලුම මානව සංවිධාන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මේ සඳහා දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය බව පෙනේ.

ශ්‍රී ලාංකිකයින් සත්ත්ව කරුණාවෙන් හෙබි ජනතාවක් වන නිසා මෙම ගැටලුවෙන් අත්මිදෙන ආකාරය ගැන පුළුල් සංවාදයක අවශ්‍යතාවය දැන් මතුව ඇත. මේ සඳහා අධ්‍යාපන වැඩසටහන් සහ ප්‍රායෝගික විසඳුම් සෙවීමට අප තීරණය කර ඇත්තෙමු. ඒත් ඒ සඳහා අපට සියලුම තරාතිරම්වල සහ සියලු අධ්‍යාපන මට්ටම් වල සිටින සියලුම පුරවැසියන් ගේ සහය අත්‍යවශ්‍ය බව මෙහිලා සඳහන් කරමු.

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *