අපි නිරන්තරයෙන් ගොවි සංවිධාන සහ ගොවි නායකයින් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව පසුගිය දා නැවත වරක් ගොවි සංවිධාන සහ ගොවි නායකයෝ සමඟ විශේෂ සාකච්ඡාවක් කළා. එම සාකච්ඡාවේ දී ඔවුන් ද හෙළි කළේ මෙවර ඉතා හොඳ අස්වැන්නක් තිබෙන බවයි.
- පසුගිය දා 2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කළ බව ඔබ පසුගිය දා ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ඔව්, අපි අපේක්ෂා කළ ආකාරයට 2026 යල කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු පසුගිය ජූලි 13 වැනිදා ආරම්භ කළා. ඒ අනුව මුලතිව්, කිළිනොච්චි, වවුනියා, අම්පාර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ගබඩාව ඇතුළු වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා විවෘත කර තිබෙනවා. මේ ගබඩා විවෘත කළ දවසේ පමණක් ගොවි ජනතාව වී කිලෝ 30,000කට ආසන්න ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට අලෙවි කර තිබෙනවා. නාඩු කිලෝවක් රුපියල් 120ටත්, සම්බා කිලොවක් රුපියල් 130ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 140ට මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ වගේම රජයට වී අලෙවි කිරීමට ගොවි ජනතාව අතර විශාල උනන්දුවක් තිබෙන බවක් පේනවා.
- මෙවර යල කන්නයේ වී මිල දී ගැනීමේ දී රජය වඩාත් ඵලදායී ප්‍රවේශයක් ලෙස වී මිල දී ගැනීමට විකල්ප ප්‍රවේශයක් වෙත ගමන් කළ බව වාර්තා වෙනවා. ඒ ගැන පැහැදිලි කරනවා ද ?
මේ වන විට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා හිස් කිරීමේ කටයුතු සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම රජය මේ වන විට විකල්ප ගබඩා තෝරා ගෙන තිබෙන අතර ඒ විකල්ප ගබඩා වලිනුත් වී මිලදී ගැනීමේ කටයුතු සිදු වෙනවා. අපි මෙවර යල කන්නයේ වී මිල දී ගැනීමේ දී තවත් වැදගත් පියවරක් වෙත යොමු වුණා. ඒ අනුව වී මිල දී ගැනීම සඳහා (ණය පදනමින්) පුද්ගලික අංශයට රුපියල් මිලියන 10,000ක් වෙන් කරලා තිබෙනවා. ඒ අනුව මෙවර යල කන්නයේ දී පුද්ගලික අංශයටත් වී අලෙවි කිරීමට ගොවීන්ට අවස්ථාව තිබෙනවා. මේ අවස්ථාවේ අපි ගොවි ජනතාවට කියන්නේ ‘රජයටම වී ලබා දෙන්න කියලා නියමයක් නෑ. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන පුද්ගලික ආයතනවලට වී අලෙවි කිරීමට ගොවිජනතාවට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව මෙවර යල කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ හැකියාව අපට කිබෙනවා.
- වී මිලදී ගැනීමේ කටයුතු සඳහා පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්, ආයතන කොපමණ සංඛ්‍යාවක් තෝරා ගෙන තිබෙනවා ද ?
නිශ්චිත ප්‍රමාණයක් තෝරා ගෙන නැහැ. නමුත් රුපියල් මිලියන 10,000ක් වැනි දැවැන්ත මුදල් ප්‍රමාණයක් රජය මේ වෙනුවෙන් වෙන්කර තිබෙනවා. ඒ වගේම වී මිල දී ගැනීමේ කටයුතුවලට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් මේ ගැන විශාල උනන්දුවකින් කටයුතු කරනවා.
- වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා වැළැක්වීමට නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු වුණ බව වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 08) රැස්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අවධානය යොමු වුණා. රජය නියම කර ඇති සහතික මිලට අනුව වී මිල දී ගැනීම කාර්යක්ෂමව සිදු කිරීම, වංචා හා අක්‍රමිකතා වැළැක්වීම සහ ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ව්‍යාපාරිකයන්, ගොවීන් ලෙස පෙනී සිටිමින් රජයට වී අලෙවි කිරීම වැළැක්වීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පොහොර ප්‍රතිලාභී ගොවීන්ගේ නාම ලේඛනය, වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත ලබා දීම පිළිබඳව ද මෙම රැස්වීමේ දී අවධානය යොමු වුණා. එමෙන්ම ගොවියා වගා කළ අක්කර ප්‍රමාණය පදනම් කරගනිමින් ඔහුට අලෙවි කළ හැකි වී ප්‍රමාණය තහවුරු කිරීම මගින් වංචනික ලෙස වැඩි වී ප්‍රමාණයක් අලෙවි කිරීම වැළැක්විය හැකි බව ද මෙහි දී අපි හඳුනා ගත්තා. වී මිල දී ගැනීමේ දී බර අනුව ප්‍රමිතිගත ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වුණා. රජයේ ගබඩා ධාරිතාව ඉහළ නැංවීම සඳහා සමුපකාර හා පෞද්ගලික ගබඩා කුලී පදනම මත ලබාගෙන ගබඩා පහසුකම් පුළුල් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව අදාළ නිලධාරීන් කමිටුවට දැනුම් දුන්නා.
සමුපකාර සමිති හා වී අලෙවි මණ්ඩලය එක්ව සහතික මිලට වී ගැනීම, ගබඩා පහසුකම් පුළුල් කිරීම සහ ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම මඟින් ගොවීන්ට වඩාත් කාර්යක්ෂම හා සාධාරණ සේවාවක් සැපයිය හැකි බව ද කාරක සභාවේ දී අනාවරණය වුණා. මීට අමතරව, කළුතර හා අම්පාර දිස්ත්‍රික්කවල පැරණි ඇළ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, ඒවා සංචාරක කර්මාන්තයට යොදා ගැනීමේ හැකියාව සහ වනජීවී හා පුරාවිද්‍යා රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ඉඩම් බලපත්‍ර ලබා දීමේදී පවතින නීතිමය හා ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද සාකච්ඡා කළා.

- වී කිරීමේ දී බරපතළ දූෂණ හා අක්‍රමිකතා සිදු වන බවට කාලයක් තිස්සේ බරපතළ චෝදනාවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා ද ?
සමහර දිස්ත්‍රික්ක වල වී මිටි විදිහට තමයි මිල දී ගන්නේ. වි මිටියක් කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ 64ක්. නමුත් සමහර තැන්වල වී මිටියට කිලෝ 70ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වැටෙන ආකාරයට මිටි හදනවා. ඊට පස්සේ වී මිටියට යම්කිසි මිලක් කියනවා. වී මිටියට කියන මේ මුදල වී මිටියේ තිබෙන වී කිලෝ ප්‍රමාණයෙන් බෙදූ විට ගොවියට අසාධාරණයක් වෙනවා. ඒ නිසා අපි මෙවර ගොවියට උපදෙස් දීලා තිබෙනවා, ‘වි මිටි විදිහට විකුණන්න එපා, කිලෝ ගාණට අලෙවි කරන්න කියලා. වී කිලෝවකට අපි යම්කිසි නිශ්චිත මිලක් නියම කරලා තිබෙනවා, ඒ මිලට වී අලෙවි කරන මෙන් අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වී මිටිවලට මිලක් නියම කිරීම තුළින් ගොවියා සූරා කන මේ වංචනික ක්‍රියාවලියට තිත තියන්න අපි මේ කන්නයේ පියවර ගන්නවා. ඒ වගේම අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා වී මිටි ලෙස නොව කිලෝ ප්‍රමාණයට අලෙවි කරන්න කියලා.
- තෙත වී සම්බන්ධයෙන් සෑම කන්නයකදීම ගැටලු ඇති වෙනවා. මෙවර තෙත වී ගැටලුවට යම්කිසි විසඳුමක් ලබා දෙනවා ද ?
මේක කාලයක් තිස්සේ ගොවියා මුහුණ දෙන තවත් බරපතළ ගැටලුවක්. මේකටත් තිරසාර විසඳුමක් දෙන්න අපි පියවර ගෙන තිබෙනවා. අපි වී අලෙවි මණ්ඩලය භාර ගන්න කොට වී වේලන යන්ත්‍ර කිසිවක් තිබුණේ නැහැ. නමුත් අපි මේ වන විට වී වේලන යන්ත්‍ර සවි කිරීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට වී වේලන යන්ත්‍ර දෙකක් ස්ථාපිත කරලා තිබෙනවා. ඊට අමතරව වී වේලන යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 5000ක් වෙන් කරලා තිබෙනවා. ඊට අමතරව පුද්ගලික අංශය සම්බන්ධ කරගෙන වී වේලන යන්ත්‍ර සවි කිරීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා. මේ කන්නයේ දී අපිට ඒක හරියට ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි. නමුත් ඉදිරි කන්නවලදී අපිට මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න පුළුවන් වෙයි. මේ හරහා තෙත වී විකුණන්නේ නැතිව වී වේලලා අලෙවි කිරීමට හෝ තොග රැස් කර ගැනීමට ගොවියට අවස්ථාව ලැබෙනවා.
- වී මිල දී ගැනීම ඇතුළු කටයුතු වලදී වෙළෙඳ අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයක් සිදුවෙනවා ද ?
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධව තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. වී වේලන යන්ත්‍ර සැපයීම වෙළෙඳ අමාත්‍යාංශය හරහා තමයි සිද්ධ වෙන්නේ.
- මීට දින කිහිපයකට පමණ පෙර වී මෝල් හිමියන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශය සාකච්ඡාවක් කළා. එහි ප්‍රගතිය ගැන පැහැදිලි කිරීමක් කරනවා ද ?
අපි පසුගිය සතියේ වී මෝල් හිමියන් සමඟ ඉතාම වැදගත් සාකච්ඡාවක් කළා. කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ වී මෝල් හිමියෝ සහ ඔවුන් නියෝජනය කරන සංගම් මේ සාකච්ඡාවට සහභාගී වුණා. දශකයකට පසු මෙරට ඉහළම වී අස්වැන්න මේ වන විට ලැබෙමින් පවතින බව ඔවුන් හෙළි කළා. ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු මහා පරිමාණ මෝල් හිමියෝ මේ සාකච්ඡාවේ දී තමන් මුහුණ දෙන ගැටලු ගැනත් කතා කළා. කොහොම වුණත් මේක ඉතාම ඵලදායී සාකච්ඡාවක් බව කිව යුතුයි. රජයේ සහතික මිල යටතේ වී මිල දී ගැනීමට මෝල් හිමියෝ සිය පුර්ණ එකඟතාවය පළ කළා. මේ හරහා පසුගිය කාලය පුරාම ගොවීන් විසින් ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉටු කරන්න රජයට අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ රජයේ සහතික මිලට වී මිල දී ගැනීමට මෝල් හිමියන් එකඟ කර ගැනීම සහ රජයේ ගබඩා විවෘත කිරීමට අපට අවස්ථාව ලැබීම තුළින් ගොවීන්ගේ ප්‍රධානම ඉල්ලීම් දෙක ඉටු කිරීමට රජයට හැකි වුණා. මේ පසුබිම තුළ අපි දැන් ගොවීන්ට කියනවා, ‘ඔබේ වී රුපියල් 90ට විකුණන්න එපා, නාඩු කිලෝවක් රුපියල් 120කටත්, සම්බා කිලෝවක් රුපියල් 130කට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 140කට මිල දී ගැනීමට මෝල් හිමියෝ දැන් එකඟ වෙලා සිටිනවා. ඒ වගේම වී මිලදී ගැනීමට රුපියල් මිලියන 10,000ක් වැනි අති විශාල මුදලක් අඩු පොළියට අපි පුද්ගලික අංශයට ලබා දීලා තිබෙනවා. ඒ වගේම වී අලෙවි මණ්ඩලයටත් වී මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කරලා තිබෙනවා. මේ තත්ත්වය තුළ මෝල් හිමියෝ එක්ක අපි කළ සාකච්ඡාව ඉතාම සාර්ථක සාකච්ඡාවක් කියලා කියන්න පුළුවන්.
- මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගොවි නායකයෝ හමු වුණේ නැද්ද ?
අපි නිරන්තරයෙන් ගොවි සංවිධාන සහ ගොවි නායකයින් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව පසුගිය දා නැවත වරක් ගොවි සංවිධාන සහ ගොවි නායකයෝ සමඟ විශේෂ සාකච්ඡාවක් කළා. එම සාකච්ඡාවේ දී ඔවුන් ද හෙළි කළේ මෙවර ඉතා හොඳ අස්වැන්නක් තිබෙන බවයි.
- ඉහළ අස්වැන්නක් ලැබීම සමඟ බොහෝ අවස්ථාවල වී මිලදී ගැනීමේ දී ගැටලු ඇති වෙනවා. ඉහළ සැපයුම මිල පහළ යාමට හේතු වෙනවා. මේ ඉහළ අස්වැන්න කළමනාකරණය කර ගැනීමට යම්කිසි වැඩපිළිවෙළක් තිබෙනවා ද ?
ඔව්, අපි මේ වෙනුවෙන් පියවර කිහිපයක් ගෙන තිබෙනවා. ඒ අනුව මෙපමණ කාලයක් සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් අලෙවි කිරීම තහනම් කරලා තිබුණේ. අපි පසුගිය දා තාවකාලිකව ඒ තහනම ඉවත් කළා. ඉදිරියේ දී අවශ්‍ය වුණොත් ඒ තහනම යළි පැනවීමට පියවර ගන්නවා. නමුත් මේ කන්නයේ දී ඒ තහනම ඉවත් කර ඇති නිසා වී සහ සහල් වලින් අතුරු නිෂ්පාදන කිරීමට හැකියාව තිබෙනවා.
- දේශගුණික විපර්යාස හේතුවෙන් නිර්මාණය වූ එල් නිනෝ තත්ත්වයක් ගැන මේ වන විට සාකච්ඡා වෙනවා. මෙය කෘෂිකර්මාන්තයට බරපතළ අනතුරක් බවත් කියනවා. ඉදිරි එල් නිනෝ තත්ත්වයට මුහුණ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඇති පියවර මොනවා ද ?
ඉදිරි එල් නිනෝ අවදානම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අදාළ දෙපාර්තමේන්තු, ආයතන මේ වන විට සූදානමින් සිටිනවා. විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ වෙනුවෙන් වඩාත් පුළුල් මැදිහත්වීමක් තුළ සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව 2026/27 මහ කන්නය සති දෙකක් කලින් ආරම්භ කිරීමට අපි තීරණය කළා. ඒ වගේම ජලය ඉතාම අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම කෙරෙහි අපේ දැඩි අවධානය යොමු වෙලා තිබෙනවා. තවත් වැදගත් කරුණක් ලෙස, කල් තබා ගැනීමට හැකියාව තිබෙන බෝග වෙත අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අනුව එල් නිනෝ තත්ත්වයට මුහුණ දීමට හැකි ආකාරයේ ශක්තිමත් යාන්ත්‍රණයක් අපි සකස් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා අපට ඒකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා.
- මීට පෙර මෙවැනි අර්බුදයක් එන විට ගෙවතු වගාව වෙත අවධානය යොමු කළා. මෙවරත් ගෙවතු වගාව සම්බන්ධ වැඩපිළිවෙළක් තිබෙනවා ද ?
ඔව්, ඌව පළාතේ ගෙවතු වගාව සම්බන්ධ විශාල වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ගොවි ජනතාවට පමණක් නොව සෙසු ජනතාවටත් තමන්ගේ ගෙවත්ත තුළ, තමන් ජීවත් වෙන පුංචි බිම්කඩ තුළ කිසියම් හෝ බෝගයක් වගා කිරීම තුළින් මේ අර්බුදයට මුහුණ දීමට රජය ගන්නා වෑයමට සහාය වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
- කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ මේ වන විට පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් යන පුළුල් විෂය ගණනාවක් ඇතුළත් අති දැවැන්ත අමාත්‍යාංශයක්. මේ ආකාරයේ කලින් අමාත්‍යාංශ ගණනාවක් යටතේ පැවැති ආයතන වර්තමානයේ එකම අමාත්‍යාංශයක් තුළ ක්‍රියාත්මක වන විට ගැටලු ඇති වෙන්නේ නැද්ද ?
කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් යන විෂයන් හතරම එකම අමාත්‍යාංශයක් යටතේ පැවැතීම ඉතාම වැදගත් පියවරක් ලෙස මම දකිනවා. මේවා දැන් එකම අරමුණක්, වැඩපිළිවෙළක් වෙනුවෙන් ඒකාබද්ධව ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව අවශ්‍ය තීන්දු – තීරණ ගැනීම ඉතාම පහසු වෙලා තිබෙනවා. ඉස්සර මේ අමාත්‍යාංශ අතර කඹ ඇදිලි තිබුණත් දැන් ඒවා කිසිවක් නැහැ. ඒ වගේම අනෙක් අමාත්‍යාංශ සමඟත් අපි අපේ කටයුතු ඉතාම සහයෝගයෙන් කටයුතු කරනවා.
- වරක් කෘෂිකර්ම අමාත්‍යවරයා කිව්වා, ‘අපට තව දුරටත් භූමිය වැඩි කරන්න බැහැ, කළ හැකි වන්නේ ඵලදායීතාවය වැඩි කිරීම පමණයි’ කියලා. කෘෂිකර්මාන්තයේ, කෘෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායීතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඔබේ අමාත්‍යාංශය ගෙන ඇති පියවර මොනවා ද ?
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාවය වර්ධනය කිරීම වෙනුවෙන් මේ වන විට ‘යාය’ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය සහ නව තාක්ෂණික ක්‍රමවේද භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. සාම්ප්‍රදායික වගාවට වඩා නව තාක්ෂණය අනුව වගා කිරීම තුළින් ඉහළ ඵලදායීතාවයක්, ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කුඩා, තනි ලියැදි ක්‍රමය හේතුවෙනුත් වී වගාවේ අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු වෙනවා. මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වෙන්කර නවීන තාක්ෂණය සහ දැනුම ගොවිබිමට ගෙන යාමට අපි මේ වන විට පියවර ගෙන තිබෙනවා. මේ අනුව අඩු භූමියකින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ ක්‍රමවේදයන් වෙත අපි ගොවිජනතාව මෙහෙයවමින් සිටිනවා. ඒකට හේතුව තමයි භූමියේ ඵලදායීතාවය ඉහළ නැංවීම තුළින් විශාල වශයෙන් නිෂ්පදන වියදම පහළ ගොස් වැඩි ලාභයක් ගොවිජනතාවට ලැබෙනවා. මේක රටට මෙන්ම, ගොවිජනතාවටත්, අවසානයේ අපේ පාරිභෝගික ජනතාවටත් වාසිදායක තත්ත්වයක්.
- කෘෂිකාර්මක යෙදවුම් වල මිල පාලනයට, ස්ථාවර කිරීමට හෝ නියාමනයට ආණ්ඩුව යම්කිසි පියවරක් ගෙන තිබෙනවා ද ?
කෘෂිකාර්මික යෙදවුම්වල මිල ස්ථාවර කිරීම සහ පාලනයට අපි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළ රැසක් මේ වන විට ක්‍රියාත්මකයි.
සටහන – භාතිය බරුකන්ද


