අපනයන කෘෂි මහිම ජාතික වැඩසටහනෙන් මහනුවරට කුළුබඩු ආශ්‍රිත පොකුරු ගම්මාන 36ක්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘අපනයන කෘෂි මහිම ජාතික වැඩසටහන’ මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහනුවර නියෝජ්‍ය අධ්‍යක්ෂ ගිත් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ වන විට එම වැඩසටහන යටතේ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි කොට්ඨාස තුළ කුඵබඩු ආශ්‍රිත පොකුරු ගම්මාන 36ක් ලියාපදිංචි කර ඇත.

මෙම පොකුරු ගම්මාන වැඩසටහන 2026 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන්නකි. අපනයන කෘෂිබෝග නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම, මෙම ගම්මාන වෙළඳපොල සමඟ සම්බන්ධිකරණය කිරීම සහ ව්‍යාප්ති සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරිම මෙම වැඩසටහනේ අරමුණු වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා  පැවසිය.

අපනයන කෘෂිමහිම පොකුරු ගම්මාන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා තෝරාගත් සෑම පොකුරු ගම්මානයකම අපනයන කෘෂිබෝග නිෂ්පාදන සමිති පිහිටුවන අතර ඒවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලැබේ.

මෙම වැඩසටහන යටතේ තෝරාගත් හා ලියාපදිංචි කළ පොකුරු ගම්මාන තුළ කුළුබඩු බෝග අළුතින් වගා කිරිම , ගෙවතු වගා සංවර්ධනය, පුවක් වගාව ව්‍යාප්ත කිරීම , පවතින කුළුබඩු වගාවන්හි ආර්ථික ඵලදායිතා මට්ටම වැඩි දියුණු කිරිම යන වැඩසටහන් ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කෙරේ.

මිට අමතරව ජල සම්පාදන පද්ධති සැපයීම, අස්වනු සැකසිම සඳහා යෝග්‍ය තාක්ෂණයෙන් යුතු යන්ත්‍රෝපකරණ සඳහා ආයෝජන ආධාර ලබාදිම, මානව සම්පත් සංවර්ධනය ආදියද සිදු කෙරේ. මෙම සියළු වැඩසටහන් සඳහා බිජ හා රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබාදෙන බවද ගීත් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. අපනයන කෘෂිමහිම වැඩසටහන සඳහා මෙම 2026 වසර වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 104ක් වෙන් කර තිබේ.

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු  

මාධ්‍ය හා සන්නිවේදන අංශය – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *