උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ජනතා අයිතියට

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පැවරීම කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදුවිය.

මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් මිලියන 22,017කි වන අතර, ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 5000ක් පමණ වේ.

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු නිකුත් කරන ජලය කිරිඳි ඔය ගංඟා ද්‍රෝණියට හැරවීමෙන් පසු එම ජලය අලිකොටආර, හඳපානාගල හා කුඩා ඔය යන ප්‍රධාන ජලාශ ත්‍රිත්වය හා බැදුණු මහා වාරි පද්ධතියක් ඔස්සේ මොනරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු හා පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමයි.

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය මඟින් හඳපානාගල වම් සහ දකුණු ඉවුරු ඇළ, අලිකොටආර හැරවුම් ඇළ මාර්ගය හා කුඩා ඔය සිංහලයාගම හැරවුම් ඇළ මාර්ගය යටතේ  යල සහ මහ කන්න සඳහා අක්කර 21,038ක් සඳහා වාරි ජලය සැපයෙන අතර, වාර්ෂිකව ඝන මීටර මිලියන 10ක පමණ ප්‍රමාණයක් පානීය ජල අවශ්‍යතාවය සඳහා වෙන්කර තිබේ.

වැල්ලවාය සහ තණමල්විල ප්‍රදේශයේ උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පෝෂක ඇළ පද්ධති ඉදිකිරිම, වැඩිදියුණු කිරීම හා ග්‍රාමීය වැව් 58ක් හා ඊට අදාළ වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම හා පුනරුත්ථාපනය කිරීම සිදු කෙරේ. තව ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාර්මික හා කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල සුරක්ෂිතතාවය තහවුරු කිරීම මෙන්ම ප්‍රධාන ජලාශවල ධීවර සමිති පිහිටුවා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීමට ද මෙම ව්‍යාපෘතිය කටයුතු කරයි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *