කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් යෝජනා කර ඇති එල් නිනෝ වගා සැලසුම පාර්ලිමේන්තුවට

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් යෝජනා කොට ඇති එල් නිනෝ වගා සැලැස්ම කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය සම්පූර්ණයෙන් පහත පළ වේ.

අති ප්‍රබල (Super) එල්නිනෝ තත්වයන් 1982/83, 1997/98, 2015/16 යන වර්ෂවල පැවතුනි. 2026/27 වර්ෂයේ ද එවැනි අති ප්‍රබල එල්නිනෝ තත්වයක් ඇති වන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත.

පසුගිය අති ප්‍රබල එල්නිනෝ තත්වන්හිදී නිරීක්ෂණය වූ ආකාරයට වර්ෂාපතනය:

ඔක්තෝබර්, නොවැම්බර් – වැඩි වර්ෂාපතනයක්

දෙසැම්බර් – සාමාන්‍ය වර්ෂාපතනයක්

ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් – ඉතා අඩු වර්ෂාපතනයක්

ඒ අනුව ඉතා ප්‍රබල එල්නිනෝ තත්වයක් යටතේ ඔක්තෝබර් සහ නොවැම්බර් වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර, දෙසැම්බර් මාසයේ සිට ඊළඟ වසරේ සැප්තැම්බර් දක්වා ඉතා අඩු වර්ෂාපතනයක් වියළි කලාපයට ලැබේ.

ඒ අනුව, මහ කන්නයට 2026/2027 කාලගුණ රටාවට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බැවින් හා තවද, දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු වාරිමාර්ග කටයුතු සඳහා ජලය නිකුත් කරනු ලබන ජලාශවල පවතින සමස්ත ජල ධාරිතාව 51% හා මහවැලි ජල ලේකම් කාර්යාලය සතු වාරිමාර්ග කටයුතු සඳහා ජලය නිකුත් කරනු ලබන ජලාශවල පවතින සමස්ත ජල ධාරිතාව වන 62% සැලකිල්ලට ගෙන දෙවන අන්තර් මෝසම් කාලය තුළ පැවති එල්-නිනෝ තත්ත්වයන් හිදී පැවති වර්ෂාපතන අසාමාන්‍යතාවයන් ජාතික කෘෂිකාර්මික නිෂ්පාදනයට ඇතිවන බලපෑම අවම කර ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ ජලකළමනාකරණ ලේකම් කාර්යාලය විසින් නිර්දේශ නිකුත් කරනු ලබයි.

මහවැලි කලාපවලට අදාලව ජලය ප්‍රධාන වශයෙන් මහා වාරි හා කලාප තුළ පවතින කුඩා පරිමාණ වැව් මඟින් සපයා ගැනේ. ඊට අමතරව කැනීම් කර ඇති හා බඳින ලද වගා ළිං 9,000කට ආසන්න ප්‍රමාණයක් කලාප තුල විසිරි පවතින බැවින් එමඟින් භූගත ජලය සපයා ගැනීම සිදු කෙරේ.

අපේක්ෂිත ජල හිඟ තත්වයන් යටතේ ජල භාවිත කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම, වගා වසුන් යොදා ගැනීමෙන් වාෂ්පීකරණය අවම කිරීම, ජල අවශ්‍යතාවය අඩු බෝග හා කෙටි කාලීන බෝග හඳුන්වාදීම තුළින් ආහාර සුරක්ෂිතතාවය ඇති කරලීම සිදු කෙරේ. මේ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම ක්ෂුද්‍ර ජල සම්පාදනය සඳහා සහනාධාර ලබා දීමේ ක්‍රමවේදය යටතේ ගොවීන් මේ සඳහා දිරිමත් කිරීම සිදු කෙරේ.

තවද 2026.08.31 වන දින පැවති කෘෂි කාලගුණ උපදේශන රැස්වීමේ දී ඉදිරිපත් කරන ලද නවතම කාලගුණ පුරෝකථන අනුව ඔක්තෝබර්, නොවැම්බර් මාසයන්හි දී වර්ෂාපතන පුරෝකථනයන් අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි ජල ලේකම් කාර්යාල තොරතුරු අනුව ඉදිරි 2026/2027 මහ කන්නය සැලසුම් කිරීම තීරණය කරනු ලබයි.

එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පූරෝතකනය කරන ලද පරිදි, ඇති වන වර්ෂාපතන තත්වයන් සැලකිල්ලට ගෙන ඔක්තෝබර් මාසය ආරම්භ වන විට, එනම් මේ වන විට ආරම්භ වී ඇති අන්තර් මෝසමට කලින් වී අස්වනු නෙලා ගැනීම (විශේෂයෙන්ම තෙත් කලාපයේ) සිදු කර අවසන් විය යුතුය.

2026/2027 මහ කන්නය

වී වගාව

• 2026/2027 මහ කන්නය සඳහා දර්ශීය වගා ඉලක්කය – හෙක්ටයාර් 830,000 කි.

• ඉන් පළාත් සභා යටතේ 69.37 % (හෙක්ටයාර 575,717) ද අන්තර් පළාත් වලින් 19.27% (හෙක්ටයාර 159,941) ද මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ 11.36 % (හෙක්ටයාර94,288) ද ලෙස වගා වපසරියක ඉලක්කයක් ඇත.

තවද වී වගාව ප්‍රධාන වශයෙන් සිදු කරන දිස්ත්‍රික්ක ලෙස:

 අනුරාධපුරය – හෙක්ටයාර් 133,846

 කුරුණෑගල – හෙක්ටයාර් 89,039

 අම්පාර – හෙක්ටයාර් 86,142

 මඩකලපුව – හෙක්ටයාර් 76,697

 පොළොන්නරුව – හෙක්ටයාර් 70,224

වපසරියක වගා කිරීමට බලාපොරොත්තු වේ.

 අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුර දිස්ත්‍රික්ක සහ උතුරු පළාත සඳහා

බිම් සැකසීම – සැප්තැම්බර් අග සති දෙකේ ආරම්භ කර ඇත.

වැපිරීම – ඔක්තෝබර් 15 ට පෙර අවසන් කිරීම

බෝග සංස්ථාපනයේදී මාස 3½ වයස් කාණ්ඩයේ බීජ වී පහත පරිදි නිර්දේශ කරයි.

 අම්පාර – Bg 94/1, At 362, Bg 360 වී ප්‍රභේද

 මඩකලපුව – At 362, Bg 357, Bg 366, Bg 360 වී ප්‍රභේද

 ත්‍රිකුණාමලය – Bg 366, Bg 360, At 378 වී ප්‍රභේද

 අනුරාධපුර – Bg 352, Bg 366, Bg 374, At 378, Bg 360 වී ප්‍රභේද

 උතුරු පළාත – Bg 406, At 362, Bg 360, Bg 366, Bg 300 වී ප්‍රභේද

මොණරාගල, හම්බන්තොට, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තතලම දිස්ත්‍රික්ක සඳහා

• බිම් සැකසීම – ඔක්තෝබර් මුල සති දෙකෙහි ආරම්භ කළ යුතු අතර එය මේ වන විට සිදු කරමින් පවතී.

• වැපිරීම – ඔක්තෝබර් 25 ට පෙර අවසන් කිරීම

• බෝග සංස්ථාපනයේදී මාස 3 – 3½ වයස් කාණ්ඩයේ පහත ප්‍රභේද නිර්දේශ කරයි.

 මාස 3 වී ප්‍රභේද – Bg 300, At 308, Bg 310

 මාස 3 ½ වී ප්‍රභේද – Bg 352, Bg 366, Bg 374, Bg 406, At 362, Bg 360

මහවැලි කලාපවල වගා කටයුතු ආරම්භ කිරීම සඳහා 2026/27 මහ කන්නය සඳහා වූ ජල පාලන කමිටු රැස්වීමේ තීරණවලට අනුව පහත පරිදි ජලය ලබා දීමට සැලසුම් කර ඇත.

මහවැලි එච් කලාපය – ඔක්තෝබර් 10 හා 15 දිනයන්හි

එච් 1 කලාපය – ඔක්තෝබර් 15හා නොවැම්බර් 01 දිනයන්හි

ජී කලාපය – ඔක්තෝබර් 20

සී කලාපය – ඔක්තෝබර් 25

ඩී කලාපය – නොවැම්බර් 01

බී කලාපය – නොවැම්බර් 04

රඹකැන්ඔය කලාපය – ඔක්තෝබර් 15

උදාහරණයක් ලෙස ජල කළමනාකරණ ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන ලද 2026/27 මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීමේ කාල සටහනට අනුව කලාවැව වම්ඇල ව්‍යාපාරය සඳහා ජලය නිකුත් කිරීම ඔක්තෝබර් 10 දිනත්, කන්තලේ ව්‍යාපාරය සඳහා ජලය නිකුත් කිරීම ඔක්තෝබර් 15 දිනත් කිරීමට බලාපොරොත්තු වන බව දන්වා ඇත.

ඒ අනුව එක් එක් කලාප මට්ටමෙන් ව්‍යාපාර කමිටු පවත්වා මෙම ජලය නිකුත් කිරීමේ දින තහවුරු කිරීම සිදු කරනු ලැබේ. එමෙන්ම මහවැලි එල් කලාපයේ වර්ෂාව ආරම්භ වීමත් සමඟ වී වගාව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. ජල භාවිත කාර්යක්ෂමතාවය ඉහල නැංවීම සඳහා මේවන විට වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශවල එම ජලය උපයෝගී කර ගනිමින් බිම් සැකසීම ආරම්භ කර ඇත.

මේ වන විට පහත සඳහන් වාරි ව්‍යාපාරයන්හි 2026/27 මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇත.

i. හඳපානාගල

ii. නුවරවැව

iii. තිසාවැව

iv. කරඹවැව යෝධ ඇල

v. බසවක්කුලම

vi. හුරුළුවැව

vii. අලිකොටආර

viii. කල්තොට අමුණ

ix. උඩවලව

x. ලියන්ගස්තොට වම් ඇල

2026/2027 මහ කන්නයේ වී වගාව සඳහා පොදු නිර්දේශ

• කුඹුරු යායේ ඇළ මාර්ග ඇතුළු ජලවහන පද්ධතිය විධිමත්ව සැකසීම තුළින් වැඩි ජලය බැසයාමට සැලැස්වීම.

• වැඩි වර්ෂා තත්ත්වයකදී ජලයෙන් යටවීම අවම කිරීම සඳහා කුඹුරෙහි අවශ්‍ය ස්ථාන, පැති බැමි ආදිය යෙදීමෙන් ආරක්ෂා කිරීම.

• පැල සිටුවීම මාස 3 ½, මාස 4 ප්‍රභේද සඳහා ද, පැල වැපිරීම (පැරෂුට්/ ඩැපොග් ක්‍රම භාවිතා කිරීම මඟින්) ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා ද භාවිතා කළ හැකිය.

අධික වර්ෂාපතනය හෝ ගංවතුර තත්ත්වය යටතේ ඇතිවිය හැකි තත්ත්වයන් පාලනය තිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

* ගංවතුරින් හානි සිදු වී පැල ගහණය අඩුවුවහොත් එය යථාවත් කිරීම සඳහා අමතර තවානක පවත්වා ගැනීම සුදුසුය.

* ගංවතුරින් සම්පූර්ණයෙන් වගාව හානි වුවහොත් නැවත වගාව සංස්ථාපනය සඳහා කෙටි කාලීන ප්‍රභේද තෝරා ගත යුතුය. (මාස 2 ½ – Bg 252, Ld 253, Bg 251වී ප්‍රභේද හා මාස 3 වී ප්‍රභේද).

* මේ සඳහා අමතර බිත්තර වී සංචිත තබා ගැනීම.

* අධික වර්ෂාපතන තත්ත්වය හමුවේ ඇතිවිය හැකි රෝග සහ පළිබෝධ (බැක්ටීරියානු කොළ අංගමාරය, ගොක් මැස්සා, කොළ හකුලන දළඹුවා, පුරුක් පණුවා) පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

* ගංවතුර තත්ත්ව යටතේ වල් වී ඇතුළු වෙනත් වල් පැළෑටි ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවයක පවතින බැවින් ඒවා අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම.

* ගංවතුර හේතුවෙන් යොදන ලද පෝෂක සේදී ගියහොත් වගාවේ වයසට අදාළව නිර්දේශිත පොහොර ප්‍රමාණය යොදන්න.

* දින කිහිපයක ගංවතුරට යටවී පැවතුණහොත් ජලය බැස යාමෙන් පසුව හා දින තුන හතරකට පමණ පසුව (ශාකයට ඇතිවූ ආතති තත්ත්වය අඩුවූ පසුව) අක්කරයට යූරියා කිලෝ 10 ක් හා MOP කිලෝ 10 ක් අමතරව යෙදීම සුදුසුය.

* යූරියා පොහොර භාවිතා කිරීමේදී පත්‍ර වර්ණ දර්ශකය භාවිතා කිරීම සුදුසුය.

2027 යල කන්නය සඳහා බිත්තර වී සැපයීම සඳහා සහ ආරක්ෂක තොග තබා ගැනීම සඳහා 2026/2027 මහ කන්නයේදී ගත යුතු ක්‍රියාමාර්ග

* 2026/27 මහ කන්නයේදී නියඟයට ඔරොත්තු දෙන සහ කෙටි කාලීන වී ප්‍රභේද වල බීජ වී නිෂ්පාදනය වැඩි කිරීම සිදු කළ යුතුය (පැලවීම පමණක් පරීක්ෂා කරන ලද /සහතික බීජ වී)

මාස 2 ½ – Bg 251, Ld 253 (දැනට නිෂ්පාදන ප්‍රමාණය 2% (බුසල් 5,000) දක්වා වැඩි කිරීම. මාස 3 – Bg 300, At 306, At 307, At 308, Bg 310, Bw 312 නිෂ්පාදන ප්‍රමාණය 30% (බුසල් 750,000) දක්වා වැඩි කිරීම.

මාස 3 ½ – Bg 352, Bg 94/1, Bg 360, Bg 366, At 362, Bw 367, Bg 374, At 378 (දැනට නිෂ්පාදන ප්‍රමාණය 60% (බුසල් 1,500,000) දක්වා අඩු කිරීම.

* මේ සඳහා ලියාපදිංචි බීජ වී ව්‍යාප්ති අංශ හරහා ලබාදීම.

* කොන්ත්‍රාත් බීජ වැඩසටහන යටතේ සිදු කරන වැඩසටහන් පුළුල් කිරීම.

* පවතින බීජ තොග පිළිබඳව තොරතුරු යාවත්කාලීන කිරීම (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව/ පෞද්ගලික අංශය/ පෞද්ගලික ගොවීන්).

අතිරේක බෝග වගාව

2026/2027 මහ කන්නය සඳහා මුළු අතිරේක බෝග වගාවන්හි දර්ශීය ඉලක්කය හෙක්ටයාර් 168,408.

කන්නය ආරම්භයේදී වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් අතිරේක බෝග වගාවන් කරන ක්ෂේත්‍රවල ජල වහන තත්ත්වය දියුණු කිරීම වැදගත් වේ .බඩඉරිඟු වගාව සඳහා දර්ශීය ඉලක්කය හෙක්ටයාර් 105,100 වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වන බදුල්ල, මොණරාගල, අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සඳහා.

බීජ වැපිරීම – සැප්තැම්බර් මැද – අග දී අතිරේක ජල සම්පාදනය සිදු කර ගත් ප්‍රදේශවල ඒ සමඟ බීජ වැපිරීම මේ වන විට සිදු කර ඇත.

මිරිස් වගාව සඳහා දර්ශීය ඉලක්කය හෙක්ටයාර් 9,450

වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වන අනුරාධපුර, මඩකලපුව, පුත්තතලම, වවුනියාව මොණරාගල, යාපනය, කිලිනොච්චි, කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා අතිරේක ජල සම්පාදනය භාවිත කරමින්:

පැල සිටුවීම සැප්තැම්බර් මාසයේදී සිදු කර ඇත (නිර්දේශ අනුව).

මෙමඟින් ඔක්තෝබර් මාසයේ බලාපොරොත්තු වන අධික වර්ෂාවට පෙර වගාව හොඳින් ස්ථාපිත කර ගැනීමට හැකි වේ.

නිර්දේශිත ප්‍රභේද ලෙස MICh Hy1, KA2, MI2, P, වැරනිය හා ගලකිරියාගම ප්‍රභේද නිර්දේශ කරනු ලබයි.

කෙටි කාලීන මාස භෝග : මුං, උදු, කව්පි

මෙම බෝග වර්ෂා පෝෂිත තත්ත්වය යටතේ නොවැම්බර් හා දෙසැම්බර් මාසයන්හිදී සංස්ථාපනය:

මුං ප්‍රභේද : MI 6 , MImb 7

උදු ප්‍රභේද : MI1,MIbg3, MIbg4

කව්පි ප්‍රභේද : දවල හා වරුනි

කන්නයේ අග භාගයේදී අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන හෙයින් කන්නය ආරම්භයේදී පහත සඳහන් ජල සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම නිර්දේශ කරයි.

පහතරට වියළි කලාපයේ උස් බිම වගා සඳහා බහු කාර්ය පාංශු සංරක්ෂණ වැටි හඳුන්වාදීම.

 කාබනික ද්‍රව්‍ය නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් පසට එකතු කිරීම.

 ජල සංරක්ෂණ ව්‍යුහ ලෙස ක්ෂේත්‍රයේ පිහිටවන පොකුණු යොදාගැනීම.

 ක්ෂුද්‍ර ජලසම්පාදන ක්‍රම හඳුන්වා දීම.

 වහල මත එකතුවන වැසි ජලය සංරක්ෂණය සඳහා වුහ යොදා ගැනීම.

 ජල ප්‍රතිචක්‍රීකරණ ක්‍රම වලින් ලැබෙන ජලය වගාව සඳහා යොදා ගැනීම.

 වසුන් භාවිතයෙන් පාංශු ජල සංරක්ෂණය.

 අධික තෙතමනය නිසා ඇතිවන දිලීර රෝග වැළැක්වීමට ඒවා සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම

 බී ලූනු : බල්බ සඳහා බී ලූනු වගාව නිර්දේශ නොකරන අතර බීජ සඳහා බී ලූනු වගාව නිර්දේශ කරයි. විශේෂයෙන් මෙහිදී හැකි පමණ වැසි ආවරණ තුළ වගාව නිර්දේශ කරනු ලබයි.

එළවළු වගාව

උඩරට එළවළු වගාව

නුවරඑළිය, මාතලේ, මහනුවර, බදුල්ල (බණ්ඩාරවෙල, වැලිමඩ) දිස්ත්‍රික්ක – වගාව සඳහා දර්ශීය ඉලක්කය හෙක්ටයාර් 14,910

කන්නය ආරම්භයේදී වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් සහ කන්නයේ අග භාගයේ දී අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන හෙයින් බෝග සංස්ථාපනයේදී පහත ක්‍රියාමාර්ග නිර්දේශ කරයි.

 ක්ෂේත්‍රවල ජල වහන තත්ත්වය දියුණු කිරීම වැදගත් වේ .

 උස් පාත්ති සකස් කිරීම.

 ආරක්ෂිත ගෘහ තුළ හා වැසි ආවරණ ගෘහ තුළ වගාව ප්‍රචලිත කිරීම

 අධික තෙතමනය නිසා ඇතිවන දිලීර රෝග වැළැක්වීමට ඒවා සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම හා නිරන්තර පරීක්ෂාව.

 ශක්තිමත් තවාන් පැල ක්ෂේත්‍ර සංස්ථාපනය සඳහා යොදා ගැනීම.

 පොහොර යොදන වාර ගණන වැඩි කිරීම හා කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම

 ක්ෂුද්‍ර ජලසම්පාදන ක්‍රම හඳුන්වා දීම.

පහතරට එළවළු වගාව

 මොණරාගල, අනුරාධපුර, අම්පාර, බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට දිස්ත්‍රික්ක මුල් කරගෙන දර්ශීය වගා ඉලක්කය හෙක්ටයාර් 32,052

 බෝග සංස්ථාපනයේදී පහත ක්‍රියාමාර්ග නිර්දේශ කරයි.

 ක්ෂේත්‍රවල ජල වහන තත්ත්වය දියුණු කිරීම

 අධික තෙතමනය නිසා ඇතිවන දිලීර රෝග වැළැක්වීමට සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම හා නිරන්තර පරීක්ෂාව

 ශක්තිමත් තවාන් පැල ක්ෂේත්‍ර සංස්ථාපනය සඳහා යොදා ගැනීම

 පොහොර යොදන වාර ගණන වැඩි කිරීම හා කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම

 ක්ෂද්‍ර ජලසම්පාදන ක්‍රම හඳුන්වා දීම

 වසුන් යෙදීම.

ඉදිරි වර්ෂයේදී ඇතිවිය හැකි යැයි අපේක්ෂිත එල්නිනෝ තත්වය හේතුවෙන් 2027 යල කන්නය සාර්ථක කර ගැනීම සඳහා 2026/27 මහ කන්නය ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ආරම්භ කිරීමත්, උපරිම කාර්යක්ෂමතාවයකින් ජලය භාවිතයට ගැනීම තුළින් ජලාශවල ජලය ආරක්ෂා කර ගැනීමටත් සැලසුම් කර ඇත.

එමෙන්ම මහ කන්නයේදී ලැබෙන වර්ෂාපතනය උපරිම භාවිතයට ගැනීම තුළින් ජල භාවිත කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත්, ආදර්ශ යාය වැඩසටහන තුළින් උපරිම අස්වනු ලබා ගැනීම මඟින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමටත් සකස් කර ඇත.

එමෙන්ම ඉදිරි යල කන්නයේදී පවතින වාරි ජලය හා භූගත ජලය භාවිත කරමින් අතිරේක බෝග වගාව වැඩි වශයෙන් ස්ථාපනය කර භූමි ඵලදායීතාවය ඉහළ නැංවීමටත් ගොවීන් දැනුවත් කර ඇත.

මීට අමතරව දේශගුණික විපර්යාසයන්වලට ඔරොත්තු දෙන සුහුරු කෘෂි තාක්ෂණය හඳුන්වා දීම තුළින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අවශ්‍ය සැලසුම් යොදා ඇත. උදාහරණයක් ලෙස විසිරුම් පද්ධති ලබා දීම, මිරිස් හා එළවළු වගාව සඳහා සුහුරු තාක්ෂණික පැකේජ ලබා දීම හා සූර්ය බල ජල පද්ධති ලබා දීම දැක්විය හැකිය.

තවද වී වගාවේ ආදර්ශ යාය ගොවීන් සඳහා පොහොර භාවිත කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ගැඹුරට සී සෑම තුළින් ඉහළ අස්වනු ලබා ගැනීමට ගොවීන් පෙළඹවීම සිදු කරනු ලැබේ.

2027 යල කන්නයේ වී වගාව සඳහා යෝජනා

 වර්ෂාව ආරම්භයත් සමඟ නිවැරදිව බිම් සැකසීම තුළින් වාරි ජලය සුරක්ෂිත කිරීමත්, වල් පැල පාලනයත් කාර්යක්ෂම කර ගත හැක.

 දිගුකාලීන ප්‍රභේද භාවිතයෙන් ඉවත් වීම: වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ජල හිඟයක් පවතින බවට පුරෝකථනය කර ඇති ප්‍රදේශවල මාස 4 හෝ මාස 4½ දිගුකාලීන වී ප්‍රභේද වගා කිරීම දිරිමත් නොකළ යුතුය.

 ජලය සීමාකාරී වීමේ දැඩි අවධානමක ඇති විට කෙටි කාලීන වී ප්‍රභේද හා නියඟයට ඔරොත්තු දෙන වී ප්‍රභේද වගාවට යොදා ගැනීම.

o නියඟයට ඔරොත්තු දෙන ප්‍රභේද – Bg 251, Bg 314, Bg 377

o කෙටිකාලින/ නියගය මග හරින ප්‍රභේද – Bg 252, Ld 253

 වගාවට ජලය ප්‍රමාණවත් යැයි හැඟේ නම්:

o මාස 3 :(Bg 300, Bg 310, Bw 312, At 313, At 307, At 308) සහ

o මාස 3½ :(Bg 352, Bg 366, At 362, Bw 367, At 378, Bg 375,

Bw 372, Bg 359, Bg 360) ප්‍රභේද වගා කල හැක.

 බිම් සැකසීමේ ක්‍රියාවලිය තුළදී ක්ෂේත්‍රයට කාබනික පොහොර සමග කර-දහයියා යෙදීමෙන් පාංශු ජලය සුරක්ෂිත කර ගත හැකිය.

 නිර්දේශිත පොස්පරස් පොහොර ප්‍රමාණය වගාව ආරම්භයේදීම (මූලික පොහොර ලෙස) යෙදීමෙන් හොඳින් පැතිරුණු ශක්තිමත් මූල මණ්ඩලයක් ඇති වීම මඟින් අඩු ජල තත්ත්වයට ඔරොත්තු දෙන දිරිමත් වගාවක් ලබා ගත හැක.

 නියමිත පැල ගහනය පවත්වා ගැනීම සඳහා බිත්තර වී නිර්දේශිත ප්‍රමාණයන් භාවිතා කළ යුතුය.

 පැල මැක්කා පාලනය සඳහා බීජ ප්‍රතිකාර සිදු කිරීම අත්‍යවශ්‍යය.

 හැකි සෑම විටම ඒකාන්තර තෙත් හා වියළි ක්‍රමය නිර්දේශිත පරිදි අනුගමනය කරමින් ජලය සම්පාදනය කිරීම තුළින් වාරි ජලය සුරක්ෂිත කිරීම.

 පස මතුපිට තෙතමනය පවතින අවස්ථාවේදී පමණක් පොහොර යෙදිය යුතුය. එසේම, වැඩිපුර ප්‍රමාණයන්ගෙන් පොහොර යෙදීමෙන් වැළකිය යුතු අතර එමඟින් ජල අවශ්‍යතාව ද වැඩි කරනු ලබයි. නිර්දේශිත පොහොර ප්‍රමාණයම යෙදීම අත්‍යවශ්‍ය වේ.

 වියළි තත්ත්ව යටතේදී මයිටාවන්, කීඩෑ උවදුරු, ගොයම් මකුනාගේ හානිය හා ගොඩවෙල්ලාගේ හානිය වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බැවින් වගාව නිරන්තර පරීක්ෂාවකට ලක් කිරීම හා නිර්දේශිත පාලන ක්‍රම අනුගමනය කිරීම.

 ජලය හිඟ තත්ත්ව යටතේ නිර්දේශිත පරිදි පොහොර යෙදීමට නොහැකි වීම තුළින් දුඹුරු පුල්ලි රෝගය බහුල විය හැකි බැවින් නිර්දේශිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම.

 අඩු ජල තත්ත්ව යටතේදී වල් පැල ගහනය වැඩිවිය හැකි බැවින් වල් පැළෑටි කළමනාකරණය සඳහා නිවැරදිව බිම් සැකසීම සිදු කිරීම සහ අත්‍යවශ්‍ය විටකදී නිර්දේශිත පූර්ව නිර්ගමන වල්නාශක භාවිතා කිරීම.

2026/27 මහ කන්නය සඳහා පොහොර අවශ්‍යතාවය

• අපේක්ෂිත සමස්ත පොහොර අවශ්‍යතාවය:

o යූරියා – මෙට්‍රික්ටොන් 180,159.92

o TSP/SSP – මෙට්‍රික්ටොන් 25,657.01

o MOP – මෙට්‍රික්ටොන් 57,994.92

• භාවිතා කළ හැකි පොහොර තොගය:

o යූරියා – මෙට්‍රික්ටොන් 201,204.62

o TSP – මෙට්‍රික්ටොන් 20,493.91

o SSP – මෙට්‍රික්ටොන් 14,700.00

o MOP – මෙට්‍රික්ටොන් 52,821.82

• 2026 සැප්තැම්බර් 28 වන විට: රට තුළ යූරියා මෙට්‍රික්ටොන් 56,612.62, TSP මෙට්‍රික්ටොන් 20,493.91, SSP මෙට්‍රික්ටොන් 8,200 සහ MOP මෙට්‍රික්ටොන් 24,111.82 පැවති අතර, MOP මෙට්‍රික්ටොන් 26,710 ක් වරායට පැමිණ තිබුණි.

• ඔක්තෝබර් මාසයේ: යූරියා මෙට්‍රික්ටොන් 67,150, SSP මෙට්‍රික්ටොන් 3,500 සහ MOP මෙට්‍රික්ටොන් 2,000 ක් ලැබීමට නියමිත අතර, තවත් යූරියා මෙට්‍රික්ටොන් 77,442 ක් සහ SSP මෙට්‍රික්ටොන් 3,000 ක් ලැබීමට නියමිතව ඇත.

• අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල පොහොර බෙදාහැරීම:

o යූරියා මෙට්‍රික්ටොන් 18,162.66

o TSP මෙට්‍රික්ටොන් 1,196.17

o SSP මෙට්‍රික්ටොන් 148

o MOP මෙට්‍රික්ටොන් 4,571.19

අවසාන වශයෙන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පුරොකතනය කරන ලද පරිදි, ඉදිරි වර්ෂයේදී ඇතිවිය හැකි යැයි අපේක්ෂිත එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි වර්ෂාපතන අසාමාන්‍යතාවයන් සහ ජල හිඟ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2026/27 මහ කන්නය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇත.

එමෙන්ම, පවතින ජල සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කිරීම, සුදුසු බෝග හා වී ප්‍රභේද තෝරා ගැනීම, අවශ්‍ය බීජ වී හා පොහොර තොග පවත්වා ගැනීම සහ 2027 යල කන්නය සඳහා අවශ්‍ය පූර්ව සූදානම් කිරීම් සිදු කිරීම තුළින් රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.

කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ facebook පිටුවෙන් කළ සම්පූර්ණ උපුටා ගැනීමකි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *