අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීම පිළිබඳව ආංශික අධීක්ෂ කාරක සභාවේ අවධානය

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (13) පාර්ලිමේන්තුවේදී රැස් විය.

මෙහිදී අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලි මංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී සාකච්ඡා විය. අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා GPS සහ සැටලයිට් කොලර් තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.

එසේම රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් සහ ක්ෂේත්‍රයේදී ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් හා ජංගම එක්ස්-රේ යන්ත්‍ර වැනි තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට ලක් විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංස් නෙල්සන්, උපුල් කිත්සිරි, නීතීඥ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *