ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය සහ නියාමන ක්‍රමවේදයේ සිදුකරන ලද සංශෝධන පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව පැවැත්විය.
මෙම වැඩසටහන සංවිධානය කළේ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ජාතික කාබනික පාලන ඒකකය (NOCU) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සහ එක්සත් රාජධානියේ වෙළඳ හවුල්කාරිත්ව වැඩසටහන (UKTP) යටතේය.
මෙම වැඩසටහන සඳහා සහභාගීවෙමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකාවේ කාබනික ප්රමිතීන් ජාත්‍යන්තර මට්ටමට ගෙනයාමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ සඳහා ගන්නා පියවර යටතේ ගෝලීය වෙළඳපොලව විශ්වාසනීයභාවය පවත්වාගෙන යාමටත් කාබනික කෘෂිකර්ම ක්ෂේත්රයේ තවදුරටත් වර්ධනයක් සහතික කර ගැනීමටත් අත්‍යවශ්‍ය වන බවද ඔහු පැවසීය.
අවසන් වසර 30කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්ම අපනයන ක්ෂේත්රය දැඩි වර්ධනයක් පෙන්නුම් කරන අතර එය රටට විදේශ විනිමය උත්පාදනය කරන බවද විජේසිංහ මහතා සඳහන් කළේය. ඔහු පැවසූවේ ගෝලීය කාබනික වෙළඳපොලේ වටිනාකම යුරෝ බිලියන 136.4 පමණ වන අතර ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික මුදලක් උපයා ගනිමින් විශ්වාසදායක සහතික කළ කාබනික කෘෂිකර්ම නිෂ්පාදන සැපයුම්කරු ලෙස කටයුතු කරන බවයි.
ඉතා විශාල කාබනික නිෂ්පාදන භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ සහතික කළ කාබනික අපනයනකරුවන් 400කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා, යුරෝපා සංගමය (EU), ඇමරිකානු USDA, ජපානයේ JAS, Demeter සහ Naturland වැනි ජාත්‍යන්තර සහතික සම්මතයන් යටතේ ක්‍රියාත්මක වන බවද ඔහු අවධාරණය කළේය. ඊට අමතරව අපනයනකරුවන් සහ සැකසීමේ කර්මාන්තකරුවන් මූලික කරගත් ගොවී කණ්ඩායම් මගින් සංවිධානය කළ ගොවියන් 20,000කට අධික සංඛ්‍යාවක්ද කාබනික ලෙස සහතික කර ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනයේ සහකාර අධ්යක්ෂ ගනීෂා ද සිල්වා මහත්මිය විසින් SLS 1324:2018 කාබනික කෘෂි ජාතික ප්‍රමිතියේ සංශෝධන පිළිබඳව සහ ජාතික කාබනික පාලන ඒකකයේ සහකාර අධ්යක්ෂ විනෝකා පෙරේරා මහත්මිය කාබනික නියාමන ක්‍රමවේදයේ සංශෝධනය පිළිබඳව දීර්ඝ දැනුවත් කිරීමක් සිදු කළහ.
කාබනික සහතිකකරණය, නිෂ්පාදන හා අපනයනය සම්බන්ධ පාර්ශවකරුවන් විශාල පිරිසක් වැඩසටහනට සහභාගී වූ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කාබනික වෙළඳපොලකට සූදානම් කිරීමේ වටිනා අවස්ථාවක් විය.