
ඉදිරියේදී සහල් නිෂ්පාදනය ඉහළ නංවා ගනිමින් එය සත්ත්ව ආහාරයක් වශයෙන් යොදා ගැනීමේ අවස්ථාව පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තා මහතා පැවසුවේය.
කඳුකර ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට ගැටලු මතුව තිබෙන බවත් ඉදිරියේදී කඳුකර ප්‍රදේශවල වෙනස්කම් සිදු කිරීමට සිදුවිය හැකි අතර එම ප්‍රදේශවල ජනතාව සහ වගා බිම් ඉන් ඉවත් කර ගන්නවා ද යන ගැටලුව පැන නැඟී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසුයේ.
චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක් සහ කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තා මහතා සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පසුගිය 19 වැනිදා විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් දිගුකාලීන මිත්‍රත්වයක් පවතී. චීනයේ සිංජියාවෝ නගරය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත අංශයෙන් ප්‍රසිද්ධියක් උසුලන නගරයකි. චීනයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කෘෂිකර්මාන්තය ආශ්‍රිත කර්මාන්ත ඉතා දියුණුය. විශේෂයෙන් ගබඩාකරණය, ශීතාගාර පහසුකම් ඉහළ මට්ටමක පවතී.
මෙවැනි අවස්ථාවක චීනය ශ්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් බව ඔවුන්ට ප්‍රකාශ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අවස්ථාව ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය, පශු සම්පත් ක්ෂේත්‍රය, වාරිමාර්ග, අපනයන බෝග, සුළු අපනයන බෝග යන අංශවලින් ආපදාවට ලක්ව සිටින බව ද කීවේය.
ආපදා තත්ත්වය හේතුවෙන් වී වගාවේ යම් හානියක් තිබුණත් එය රටේ ආහාර සුරක්ෂිතතාවයට ප්‍රබල ගැටලුවක් ඇති නොවන ආකාරයට යළි ගොඩ නැංවීම කළ හැකි බව පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍යවරයා ආපදාවෙන් පශු සම්පත් ක්ෂේත්‍රයේ යම් විනාශයක් සිදුව ඇති බව ද කීවේය.
වී වගාවෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවන ධාන්‍ය නිෂ්පාදනය වන්නේ බඩඉරිඟු බවත් මෙරට තුළ බඩඉරිඟු වැඩි වශයෙන් භාවිත වන්නේ සත්ව ආහාරයක් වශයෙන් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා සාමාන්‍යයෙන් රටේ අවශ්‍යතාවයෙන් බඩඉරිඟු නිෂ්පාදනය කරනු ලබන්නේ 50%ක් බවත් ඉඩම් හිඟතාවය හේතුවෙන් බඩඉරිඟු වගා කරන ඉඩ ප්‍රමාණය වැඩි කිරීමේ ගැටලුවක් ද පවතින බව චීන නියෝජිතයින්ට පැවසුවේය.
ඉදිරියේදී සහල් නිෂ්පාදනය ඉහළ නංවා ගනිමින් එය සත්ත්ව ආහාරයක් වශයෙන් යොදා ගැනීමේ අවස්ථාව පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා චීන නියෝජනයින්ට හෙළි කළේය.
පසුගිය දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට සුළු වාරිමාර්ග සැලකිය යුතු ප්‍රමාණයක් බිඳ වැටී තිබෙන අතර මේ වන විට ඒවා තාවකාලිකව ඉතා වේගයෙන් පිළිසකර කරමින් පවතින බව කී වාරිමාර්ග අමාත්‍යවරයා තව දුරටත් මෙසේ ද කීවේය. “ දිට්වා සුළි කුණාටුවෙන් මහා වාරිමාර්ග වලට සැලකිය යුතු හානියක් සිදු වුණේන නැහැ. පොදුවේ ගත්කල අපගේ කඳුකර ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට ගැටලු මතුව තිබෙනවා. ඉදිරියේදී කඳුකර ප්‍රදේශවල වෙනස්කම් සිදු කිරීමට සිදුවේවි. එම ප්‍රදේශවල ජනතාව සහ වගා බිම් ඉන් ඉවත් කරගන්නවා ද යන ගැටලුව පැන නැඟී තිබෙනවා. ඒ සඳහා ජාතික වශයෙන් ස්ථීරසාර විසඳුම් සෙවිය යුතුයි”.

