
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (31) ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සහ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා සිය ගෞරවය පළ කළේය.
මෙම හමුවේදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රයට සිදු වූ හානිය පිළිබඳව විමසා සිටියේය. එහිදී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.
“යම් ඉඩම් ප්‍රමාණයක් තියෙනවා ළඟදි වගා කරගන්න බැරිවෙන. ඒ ඉඩම්වල පස් තට්ටුවත් එක්කම හේදිලා ගිහින් තියෙන්නේ. තව ප්‍රමාණයක් තියෙනවා, වගා කරලා තියෙන ප්‍රමාණය විනාශ වුණු. තවත් කොටසක් තියෙනවා, වතුර බැහැලා ගියාට පස්සේ ඒ වගා බිම්වලට හානියක් නැහැ. එළළුළු වගාවට යම් හානියක් වෙලා තියෙනවා. කහ, ඉඟුරු, ගම්මිරිස්, කෝපි වගේ සුළු අපනයන බෝගවලටත් හානියක් වෙලා තියෙනවා. ඒවා නැවත වගා කරන්න ගොවියෝ උනන්දුවෙන් ඉන්නවා. ඔවුන්ට රජය සහයෝගය ලබා දෙනවා.
පශු සම්පත් ක්ෂේත්රයෙත් සතුන්ට හානි වුණා. රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ හානි වුණු හැම කෙනෙකුටම නැවත නැගීසිටීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි. ආහාර සුරක්ෂිතතාවය ගැන අපිට ලොකු ගැටළුවක් එන එකක් නැහැ කියලා අපට විශ්වාසයක් තියෙනවා.
අපේ වාරිමාර්ග පද්ධතිවලට හානි වෙලා තියෙනවා. මහා වාරිමාර්ගවලට ලොකු හානියක් වෙලා නැහැ. මහා වාරිමාර්ගවලින් මාවිල්ආරු, ඇළහැර වගේ ස්ථානවලට හානි වෙලා තියෙනවා. නමුත් සුළු පරිමාණ වාරිමාර්ගවලට විශාල හානියක් සිදු වුණා.
මධ්‍යම පළාතේ මාර්ග නැවත නැවත පිළිසකර කරන්න සිදු වෙනවා. මූලික කාරණය තමයි නැවත පදිංචි කරවීම. ඒක හරියටම කරනවා නම් අවුරුදු එකහමාරක් විතර යනවා. එතෙක් ඒ ජනතාව රැක බලා ගැනීම අභියෝගයක්.
සහල්වලින් කරන වෙනත් නිෂ්පාදනවලට යොමු වීමට අප බලාපොරොත්තු වෙනවා. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන අපි දැනට ඇතැම් එළවළු ආනයනය කරනවා. පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන එළවළු අපනයනය වැඩි දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැනට අපි කිරි නිෂ්පාදනය කරන්නේ අවශයතාවයෙන් 40%ක් පමණ. එය 70% දක්වා ඉහළ නැංවීමට අපි යම් යම් පියවර ගන්නවා. මේ වෙනකොට කුකුළු මස් අපනයනයටත් යොමු වෙලා තියෙනවා. සත්ව ආහාරයක් ලෙස ප්‍රධාන වශයෙන් යොදා ගන්නා බඩඉරිඟු රට තුළ නිෂ්පාදනය කරන්නේ 50%ක් පමණ. රට පුරා විසිරී සිටින ගොවීන් එකතු කරමින් ගොවි සමාගම් ඇති කිරිමටත් අපගේ අවධානය යොමු වෙලා තියෙනවා.”
මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ද දිත්වා සුළි කුණාටුව හේතුවෙන් කෘෂිකර්ම ක්ෂේත්රයට සිදු වූ හානි සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අතර, එහිදී ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුවන අභියෝග පිළිබඳව ද බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාව දැනුම්වත් කරන ලදී.

