
කුඩා තේ වතු ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සහ මෙරට තේ කර්මාන්තයේ තිරසර සංවර්ධනය ඉලක්ක කරගත් “සිලෝන් ටී විලේජ්” (Ceylon Tea Village) නමින් වූ තේ ගම්මාන 500 ව්‍යාපෘතිය අද (15) ට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙරට තේ කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2030 වසර වන විට වාර්ෂික තේ නිෂ්පාදනය නිමි කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය වන අතර, වර්තමානයේ එය නිමි කිලෝග්‍රෑම් මිලියන 264ක් පමණ වේ. එමෙන්ම, පසුගිය වසරේ තේ අපනයනයෙන් උපයාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ආදායම 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නැංවීම ද අපේක්ෂිතය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී මෙලෙස ලබා දුන් පිළිතුරකදී මේ බැව් කියැවිණි.
අමාත්‍යවරයාගේ පිළිතුරු කථාවට අනුව, දැනට පවතින කුඩා තේ වතු ගම්මාන පදනම් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ තේ වගා කෙරෙන දිස්ත්‍රික්ක 14 අතුරින් දිස්ත්‍රික්ක 11ක් තුළ පළමු අදියර යටතේ “සිලෝන් ටී විලේජ්” ගම්මාන ආරම්භ කිරීමට නියමිතය. මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඊට සමගාමීව දිස්ත්‍රික්ක 11ම ආවරණය වන පරිදි ප්‍රධාන උත්සව සංවිධානය කිරීමට ද කටයුතු යොදා තිබේ. දැනට ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු ගොවීන්ගේ සංඛ්‍යාව 418,000ක් පමණ වන අතර, තේ කර්මාන්තය මගින් ඊටත් වඩා විශාල පවුල් සංඛ්‍යාවක ජීවනෝපාය සුරක්ෂිත කරමින් ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.
මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් 75%ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ කුඩා තේ වතු ගොවීන් විසින් බැවින් 2030 වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක අපනයන ඉලක්ක සපුරා ගැනීමේදී කුඩා තේ වතු ගොවීන්ගේ දායකත්වය ඉතා වැදගත් වේ. එසේම , කුඩා තේ වතු ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම, දළු නිෂ්පාදනය වැඩිදියුණු කිරීම, නිෂ්පාදිත දළු සඳහා සාධාරණ හා වැඩි මිලක් ලබා දීම මෙන්ම, ඔවුන් සඳහා රක්ෂණාවරණයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම ද මෙම “සිලෝන් ටී විලේජ්” වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.

