‘ගොවියා කළ යුත්තේ නිෂ්පාදන වියදම මත්තේ හැපෙන එක නෙමෙයි, නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට කටයුතු කිරීමයි’

ටෙරන්ස් ගාමිණි, දේශීය බීජ සුරැකීමේ සංවිධානයේ අනුශාසක

මේ දිනවල වී ගොවීන් යළි පාරට බැස ඇති අතර වී වලට ප්‍රමාණවත් මිලක් නොලැබෙන බවට ඔවුන්ගෙන් බරපතළ චෝදනාවක් එල්ල වේ. වී කිලෝවකට රුපියල් 140ක් හෝ 200ක් පවා ලැබෙන්නේ නම් වී ගොවියාට සතුටු විය හැකිය. නමුත් එය ඒක පාර්ශ්වික කතාවකි. වී ගොවියා ගැන පමණක් නොව පාරිභෝගිකයා ගැන ද සැලකිලිමත් වීමට සිදුවේ. මේ අවස්ථාවේ තමන් වී වලට ඉහළම මිලක් ඉල්ලා සිටින වී ගොවියා ද තවත් මොහොතකින් පාරිභෝගිකයෙකු බවට පත්වේ. ඒ නිසා වී මිල සහ සහල් මිල අතර තුලනයක් පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය වේ.

වී මිල සම්බන්ධ අර්බුදයක් නිර්මාණය වන සෑම අවස්ථාවක දීම වී නිෂ්පාදනය සහ නිෂ්පාදන වියදම සම්බන්ධ සංවාදය ද කරළියට පැමිණේ. නිෂ්පාදන වියදම අඩුකර ගැනීම, නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම මෙම අර්බුදයට විසඳුම බවට තර්ක විතර්ක ඉදිරිපත් වේ. තර්කයක් ලෙස ඒ කිසිවක් පහසුවෙන් බැහැර කළ නොහැකිය.

  • නිෂ්පාදන වියදම අඩුකර ගැනීම

දේශීය බීජ සුරැකීමේ ව්‍යාපාරයේ අනුශාසක ටෙරන්ස් ගාමිණි මහතාට අනුව වී වගාවේ නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට බොහෝ ක්‍රම තිබේ. නමුත් ඒ සාම්ප්‍රදායික දැනුම මේ වන විට ගොවීන් අතරින් දුරස් වී ඇති අතර භාවිතයෙන් තොර වී තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල කළ අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ‘උගත්තු’ ලබා දුන් දැනුම හේතුවෙන් පාරම්පරික දැනුම භාවිතයෙන් ඉවත් වූ බවට ඔහු චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය, “වී වගාවේ නිෂ්පාදන වියදම අඩුකර ගන්න බොහෝ ක්‍රමවේද තිබෙනවා. ඒ බොහෝ ක්‍රමවේද වෙනස් වෙලා තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උගත්තු අපට ලබා දුන්නා වූ උපදෙස් අනුව ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. මොකද අපි ගොවිතැන් කළේ වියදම් නොකර. අපි වියදම් නොකර ගොවිතැන් කරන කොට ‘මේකේ අස්වැන්න ප්‍රමාණවත් නෑ’ කියලා අපට වැඩි ඇස්වැන්නක් ලැබෙන බීජ හඳුන්වලා දුන්නා. වැඩි අස්වැන්නක් ලැබෙනවා කියලා කිව්ව මේ බීජ හඳුන්වලා දුන්න දවසේ සිටම අපිට වී වගාවට විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වුණා. බිත්තර වී ටිකේ ඉදලා සේරම දේවල්ට අසීමිතව වියදම් කරන්න සිද්ධ වුණා. මේක කළේ හරිත  විප්ලවේනේ.  කොහොම වුණත් හරිත විප්ලවේ ගොවීන්ට වියදම් කරන හැටි නම් කියලා දුන්නා. මේ වන විට ඒක උපරිම තත්ත්වයට පැමිණ තිබෙනවා. අද ගොවීන්ට අස්වැන්න විකුණලා ගන්න මිලට වඩා වැඩි මිලක් වියදම් කරලා අතපිහ දා ගන්න වෙලා තියෙනවා. පුදුම් කියන්නේ මේ වියදම අඩුකර ගන්න කියලා අපිට කියා දෙන්නෙත් වියදම මහ පුදුමු විදිහට වැඩි වෙන ක්‍රම. ලියැදි විශාල කරන්න කියලා කියනවා. ලියැද්ද විශාල කළ පළියට ඇස්වැන්න වැඩි වෙනවද ?. මහ පොළව විනාශ කළාම අස්වැන්නන අඩු වෙනවා. වියදම වැඩි වෙනවා, අස්වැන්න අඩු වෙනවා. මේ නවීන විද්‍යාව විජ්ජාවක්  බවට පත්කර ගෙන තිබෙනවා”.

මෙහි දී ටෙරන්ස් ගාමිණි මහතා පැවසුවේ නවීන විද්‍යාවට තමා ගරු කළ ද ‘එය විජ්ඡාවක් බවට පත්කර ගෙන තිබීම හෙළා දකින’ බවයි.

“ගොවියෝ විදිහට අපිත් විද්‍යාත්මක හිතන්නේ, කටයුතු කරන්නේ. නමුත් ඇතැම් සමාගම් තමන්ගේ ලාභය උපරිම කර ගන්න නවීන විද්‍යාව විජ්ඡාවක් බවට පත්කර ගෙන තිබෙනවා. ඒ විච්ඡාවෙන් ගොවීන් සූරා කන්න හදනවා. වැඩි දුර කල්පනා නොකරන ගොවියා මේ විච්ඡාවට අහුවෙනවා. ඒ නිසා තමයි මේ අවුල ඇති වෙලා තියෙන්නේ” ටෙරන්ස් ගාමිණි මහතා වැඩි දුරටත් පැවසුවේය.

  • පට්ටපල් බොරුවක ගිලී යාම

2020 වන විට දැවැන්ත ආහාර හිඟයක් ඇති වන බවට ‘පට්ටපල් බොරුවක්’ සමාජගත කළ බවට චෝදනා කළ ටෙරන්ස් ගාමිණි මහතා ලංකාවේ පමණක් නොව ලෝකය පුරා ද මිනිස් අවශ්‍යතාවට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව කීවේය.

“ඒ වගේම විශාල ආහාර ප්‍රමාණයක් අපි නාස්ති කරනවා” ඔහු චෝදනා කළේය.

‘ආහාර’ සම්බන්ධයෙන් මිනිසුන් අතර පවතින ‘ඉතා පටු’ අදහස දැඩිව විවේචනය කළ ටෙරන්ස් ගාමිණි මහතා කොස්, දෙල් වැනි දේශීය ආහාරවල සිදුවන දැවැන්ත විනාශය මෙහි දී පෙන්වා දුන්නේය.

‘ආහාර කිව්වාම හිතන්නේ බත්, පාන් ගැන විතරයි. කොස් ටික, දෙල් ටික ගස් යට කුණුවෙනවා. අඹ වාරෙට අඹ, දිවුල් වාරෙට දිවුල් ටික ගස් යට කුණු වෙනවා, නිසි මිලක් නැහැ. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මුලින්ම මේ ආහාර සංස්කෘතිය වෙනස් විය යුතුයි. අපේ ආහාර සංස්කෘතිය වෙනස් වුණොත් අපි නිෂ්පාදනය කරන වී ප්‍රමාණය අපේ අවශ්‍යතාවට ඉතාම ප්‍රමාණවත්’ ඔහු තව දුරටත් පැහැදිලි කළේය.

  • දේශීය වී ගොවියාට චෝදනාවක්

දේශීය වී වගා කරන වී ගොවියා ජාතික වී නිෂ්පාදනය අඩුකරන බවට චෝදනාවක් තිබෙන බව කී ටෙරන්ස් ගාමිණි මහතා එම චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කළේය.

“මම ඒ චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කරනවා. අක්කරයට වී බුසල් 120කට වඩා ගන්න පුළුවන් දේශීය වී වර්ග අපි හඳුනා ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් රසායනික පොහොර කිසිවක් යෙදීමට අවශ්‍ය නැහැ. ඒ ව‌ගේම තමයි, අපි අක්කරයකින් ගන්න ඒ වී බුසල් 120 රසායනික පෝරා දාලා අක්කරයකින් ගන්න වී බුසල් 150ට වඩා ලොකුයි.  මොකද අපි වී නෙමෙයි කන්නේ බත්. දේශීය වී වර්ග වලින් ලබා ගත් වී සහල් කරන කොට 70%ක සහල් ප්‍රමාණයක් ලැබෙනවා. වී කිලෝ 100කට හාල් කිලෝ 70ක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, දේශීය සහල් වල බත වැඩියි. කීරි සම්බා, සම්බාවලට වඩා විශාල බත් ප්‍රමාණයක් දේශීය හාල් වලින් ලැබෙනවා. අවසාන ප්‍රතිඵලය වන බත් පිඟන් සංඛ්‍යාව ගණන් බැලුවොත් දේශීය සහල් වලින් වැඩි වී ප්‍රමාණයක් නිෂ්පාදනය වන බව ගණනය කරන්න පුළුවන්” ටෙරන්ස් ගාමිණි මහතා මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේ ව්‍යාපාරික සමාගම් විසින් ‘විජ්ඡාව පෙන්නා සැබෑ විද්‍යාව යටපත් කර ඇති බව’යි.

ආහාර සොයා ගැනීමට සතුන්ට කකුල් දුන් ස්වභාවධර්මය ගස් කොළන්වලට මුල් සහ කොළ ලබා දුන් බව පෙන්වා දුන් ගාමිණි මහතා ‘අපි මේ යථාර්ථය වටහා ගත යුතු බව ද” කීවේය.

‘ඒනිසි ගස් වලට දිගට විදිදෙන මුල් සහ සූර්යා ලෝකය ලබා ගන්න විශාල කොළ ලබා දුන්නේ. මුල් විහිදිලා ගිහින් අවශ්‍ය ආහාර සොයා ගන්නවා. කොළ වලින් අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරනවා. ඒක තමයි ස්වභාව ධර්මයේ නීතිය. අපි ඒක නොකතා කටයුතු කරනවා. මේ විශාල මුල් සහ කොළ ඊළඟ කන්නයට විශාල පිඳුරු ප්‍රමාණයක් එකතු කරලා පොළොවට පස් කරලා පෝර බවට පත්කරනවා. කන්නෙන් කන්නේ මේ අඛණ්ඩ ක්‍රියාවලිය සිදුවෙනවා. දේශීය බීජ වගාවේ වී කිලෝ 1000ක් එළියට ගියොත් පිඳුරු කිලෝ 3000ක් මහ පොළව මත ඉතුරු වෙනවා. නමුත් දෙමුහුන් බීජවල වී කිලෝ 1000ක් එළියට ගියොත් පිඳුරු කිලෝ 1000කටත් අඩුවෙන් තමයි පොළවට පස්වෙන්නේ” මෙහි දී ටෙරන්ස් ගාමිණි මහතා අවධාරණය කළේ ‘ගොවිතැන යනු තිරසර එකක්’බවයි.  ‘එය සදාකාලිකව කළ යුතු’ එකක් බව ද ඔහු කීවේය.

“මහ පොළවෙන් ඉවත් වෙන පෝර ටික කොහෙන් හරි කුඹුරට ගෙනත් දාලා ඉහළ අස්වැන්නක් ලබා ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒක මිසයිලයකින් ඒ කතාව වෙනස් වෙනවා. ඒ නිසා අපි අපේ  දේ තිරසාර විදිහට කරන්න ඉගෙන ගනිමු” ටෙරන්ස් ගාමිණි මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නැකත් බලා ගොවිතැන් කිරීම වැනි දේ තමා ඉල්ලා නොසිටින බව අවධාරණය කළ ඔහු තමා ඉල්ලා සිටින්නේ විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බව ද කීවේය.

“කන්නයට ගොවිතැන් කිරීම, නිසි කලට, නිසි පිළිවෙත් අනුව ගොවිතැන් කිරීම ගැනයි මම කතා කරන්නේ. ඒ අනුව ගොවිතැන් කළොත් පමණයි අපට නිසි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ” ඔහු පෙන්වා දුන්නේය.

  • නිලධාරීන් දැඩි චෝදනාවක්

කන්නයට ගොවිතැන් කිරීම කොතරම් වැදගත් හා තීරණාත්මක වුව ද එය නිසි ක්‍රමවේදය අනුව සිදු කිරීමට ඉඩ නොදෙන බලපෑම් තිබෙන බව ගාමිණි මහතා කීවේය.

“කන්න රැස්වීමට නියමිත පරිදි පවත්වන්නේ නැතිව, කන්නට අවශ්‍ය ජලය නිසි දිනවල නිකුත් නොකර, ඒකට විවිධ හේතු ඉදිරිපත් කරන නිලධාරීන් අපි දන්නවා. ඒ හරහා කන්නය අඩාල කරනවා. ගොවියොත් ඒ ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. ඔහුට ඒ ගැන නිසි අවබෝධයක් නැහැ. වැව පිරුණොත් ගොවිතැන් කරන ක්‍රමවේදයක් නෙමෙයි අපි පවත්වා ගෙන යා යුත්තේ. අපි අහස් වැස්සෙන් ගොවිතැන පටන් ගත යුතුයි. ඒ අතරේ වැව පිරෙයි. අපි වැවේ වතුර පාවිච්චි කළ යුත්තේ දෙවනුව. අපි නිසි කන්නෙට ගොවිතැන පටන් ගත යුතුයි. වැවේ වතුර දිහා නොබලා කන්නට පටන් ගත යුතුයි. ඒකට හේතුව පැහැදිලියි. ගොවිතැනට විශාල මුදල් වැය වෙන නිසා අවදානමක් ගන්න බයයි. ඒ නිසා වැව පිරෙන තුරු බලා ගෙන ඉනන්වා. මේ ක්‍රමය අපේ සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමය නෙමෙයි. මේක නිලධාරීන්, හරිත විප්ලවය විසින් අපට කියා දුන්න දෙයක්. හරිත විප්ලවේ තමයි මේ විනාශකාරී පුරුද්ද ඇති කළේ. ස්වභාව ධර්මයට නෙමෙයි  අපි කියන තාලේට ගොවිතැන් කරන්න, අර ලෙඩේ ආවවොත් මේක ගහන්න, මේ ලොඩේ ආවොත් අරක ගහන්න කියලා අපට පුරුදු කළේ හරිත විප්ලවේ. නමුත් මේක නිවැරදි ක්‍රමය නොවන බව දැන් අපට පේනවා. ඒ නිසා අපි නිසි කන්නයට ගොවිතැන් කළ යුතුයි” ටෙරන්ස් ගාමිණි මහතා අවධාරණය කළේය.

  • ගොවිතැන කියන්නේ ශ්‍රමය

මෙරට වී වගාවේ නිරත ගොවීන් මිලියන 1.2ක ප්‍රමාණයෙන් අති බහුතරයක් පිරිස අක්කරයකට වඩා අඩුවෙන් වී වගා කරන ගොවීන් බව පෙන්වා දුන් ටෙරන්ස් ගාමිණි මහතා අක්කරයකට වඩා අඩුවෙන් කුඹුරු වගා කරන මිනිසුන් ශ්‍රම හිඟයක් ගැන මැසිවිලි කීම ‘මොන විහිළුවක් දැයි’ ප්‍රශ්න කළේය.

වී ගොවිතැන් කිරීම යනු ශ්‍රමය සමඟ සම්බන්ධ ක්‍රියාවක් බවත් වී වගාවෙන් ශ්‍රමය බැහැර කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

“වී ගොවිතැන් කරනවා කියන්නේ ශ්‍රමය එක්ක කරන වැඩක්. ගොවියා කියන්නේ කුඹුරට ශ්‍රමය මුසු කරන පුද්ගලයාට. සාමාන්‍යයෙන් අක්කරයක වගාවට එක කන්නයකට දින 15ක් වැඩ කිරීම හොඳටම ප්‍රමාණවත්. ‍

“අක්කරයක කුඹුරක නියර රහින තැන සිට බිම් සකස් කිරීම, වැපිරිම සහ අවසානයේ වී අස්වැන්න නෙළීම දක්වා අවම වශයෙන් දවස් 15ක් හෝ උපරිම වශයෙන් තවත් දවස් තුන හතරක් තමයි යන්නේ. ඊට අමතරව දවසකට පැයක දෙකක වැඩ තිබෙනවා. වතුර බඳින එක වාගේ සුළු සුළු වැඩ තියෙනවා. නමුත් වන අලි ඉන්න ප්‍රදේශවල අලින්ගෙන් කුඹුර රැක ගන්න අපි සති කිහිපයක් ගත කරනවා. ඒ නිසා ප්‍රාදේශයෙන් ප්‍රදේශය නිෂ්පාදන වියදම සහ අස්වැන්න වෙනස්. ඒ නිසා අපි කළ යුත්තේ නිෂ්පාදන වියදම හොය හොය ඒ මත්තේ නැහෙක එක නෙමයි රටේ ජනතාවට සාධාරණ මිලකට සහල් සපයන්න පුළුවන් වෙන ආකාරයට වී වගාව කිරීමයි” ටෙරන්ස් ගාමිණි මහතා වැඩි දුරටත් පැවසුවේය.

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 283 වැනි කතිකාවේ දී දේශීය බීජ සුරැකීමේ ව්‍යාපාරයේ අනුශාසක ටෙරන්ස් ගාමිණි මහතා දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.

සටහන – තුෂාල් විතානගේ

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *