
කුඩා පරිමාණයේ වගාබිම්වල තිරසාර ලෙස නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචකයක් වන දේශගුණික විපර්යාසයන්ට අනුගත තිරසාර ඉඩම් කළමනාකරණය යටතේ 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් රැසක් සඳහා දුම්බර හරිත සවිය ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වෙන් කර තිබේ. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන පාර්ශ්වකාර ආයතනයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
එම ප්‍රතිපාදන කාර්යක්ෂමව යොදා ගනිමින් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන කොට්ඨාශ 23ම ආවරණය වන පරිදි වගා තීව්‍රතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 2026 වසර සඳහා සැලසුම් කර ඇති ව්‍යාපෘතිවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ රැස්වීමක් පසුගියදා නාවුල අලුගොල්ල ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මාතලේ දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කොමසාරිස් ඩී.එම්.ආර්.සී. දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට දෙපාර්තමේන්තුවට අයත් සියලුම ප්‍රාදේශීය නිලධාරීන්, විෂයභාර නිලධාරීන් සහ දුම්බර හරිත සවිය ව්‍යාපෘති කළමනාකරු මහින්ද රණසිංහ මහතා, උපදේශක ආනන්ද සුබසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක ඩී.ඩබ්.ඒ. පුෂ්පකුමාර මහතා, උපදේශකවරුන්, කලාප කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

මෙහිදී මාතලේ ගොවිජන සංවර්ධන බල ප්‍රදේශය තුළ පසුගිය වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති මඟින් අත්කරගත් ප්රතිලාභ, එක් එක් ගොවිජන කොට්ඨාශ තුළ සාර්ථකව ක්‍රියාත්මක කළ නව්‍ය හා විශේෂිත වැඩසටහන්, ඒවායේ ප්‍රතිඵල මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදු වූ අභියෝග සහ සපුරාගත නොහැකි වූ ඉලක්ක පිළිබඳ විවෘත සාකච්ඡාවක් ද පැවැත්විණි. එමගින් ඉදිරි කාලය සඳහා වඩාත් ප්‍රායෝගික හා ඵලදායී ක්‍රියාමාර්ග හඳුනා ගැනීමට අවස්ථාව සැලසුණි.
එසේම, දුම්බර හරිත සවිය ව්‍යාපෘතිය මඟින් හඳුන්වා දී ඇති විද්‍යුත් දත්ත පද්ධතිය නිවැරදිව හා කාලෝචිතව යාවත්කාලීන කිරීම, ව්‍යාපෘති තොරතුරු විධිමත්ව සමාලෝචනය කිරීම, පවතින ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම, නිලධාරීන් අතර අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීම සහ අනුමත කළ වාර්ෂික වැඩසැලැස්මට අනුව ඉලක්කගත ප්‍රතිඵල සපුරා ගැනීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
අතිරේක බෝග වගාව ප්‍රවර්ධනය කරමින් ගොවි ජනතාවගේ ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සඳහා අවශ්‍ය සම්පත්, තාක්ෂණික සහාය සහ ව්‍යාපෘති දායකත්වය ලබාදෙන ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමක් ද සිදු කෙරිණි.
මෙවැනි සමාලෝචන හා දැනුම හුවමාරු වැඩසටහන් මඟින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ දුම්බර හරිත සවිය ව්‍යාපෘතිය අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කරමින් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන, තිරසාර හා ඵලදායී කෘෂිකාර්මික පද්ධතියක් ගොඩනැගීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

සටහන – ඊ.එස්. අනුත්තරා, මාධ්‍ය නිලධාරි, මහවැලි උපදේශන කාර්යංශය

